~

ඉතිහාසයෙන් බිඳක් සමග අරගලයට අරුතක්..!

-ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සිසිර ජයමහ ලියයි

(ලංකා ඊ නිව්ස් -2022.අප්‍රේල්.22, පෙ.ව.2.45)  මේ විධායක ජනාධිපති ධුරය ඉවත් කරන්න කියල සෝභිත හිමි සටන් කළේ අරගල කළේ 1987- 1988 කාලයේ සිටයි.  ජනතා විමුක්ති පෙරමුණේ අරගලය දරා ගන්න බැරි තරමට උග්‍ර වෙලා රට කරගන යන්න බැරිවෙන තරමට, මේ අද වගේම වර්ජන රැල්ලක් ඇවිත් රජය විසුරුවා හරින්න අන්තිමේ ජේ.ආර්. ජයවර්ධන මහතා තීරණය කොට, එයට අත්සන් තැබීමට ඔන්න මෙන්න කියා තිබියදී සිරිමාවෝ මැතිනිය එදා තිබුන පක්ෂ 08 සන්ධානයේ රැස්වීමකට ගිහින් තියනවා. එතැනදී එතුමිය ඉතාම සතුටින් ඒ බව දන්වල තියනවා. 

පාවා දීම එක..

එතන හිටපු එක පාවා දෙන්නෙක් ඒ මොහොතේම එම පණිවිඩය ප්‍රේමදාස මහතාට කියල තියනවා. එය දැනගත් විගස ඔහු එකල ආරක්ෂක අමාත්‍ය ධුරය දැරූ රන්ජන් විජේරත්න මහතා සමග JR මුණගැසී වහාම එය නවතා ජනාධිපතිවරණයකට යන ලෙස ඉල්ලා තියනවා. එහෙම නොවුනා නම් එම පක්ෂ අටේ සන්ධානය ජ.වි.පෙ.ද ඇතුළුව පාර්ලිමේන්තුවක් සිරිමාවෝ මැතිනිය අගමැතිනිය යටතේ 1988 පිහිටුවන්න ලේසියෙන්ම වාතාවරණය උදාවෙලා තිබුන. එහෙම උනා නම් 1988 එම ආණ්ඩුවේ ඇමති කෙනෙක් වෙන්න රෝහණ  විජේවීරට අවස්ථාව ලැබෙනව. එපමණක් නොව ඒ සමගම JR ට ජනාධිපතිවරණය තියන්න වෙනවා. එවිට අනිවාර්යයෙන් සිරිමාවෝ මැතිනිය දිනනවා. එහෙම උනා නම් විධායක ජනාධිපති ධුරය ඇය අනිවාර්යයෙන් ඉවත් කොට පක්ෂ 08 සමග ඉතාම සාර්ථක ගමනක් යන්න තිබුනා. 

අවස්ථාව අහිමි වීම..

අවසනාවක මහත. ජනාධිපතිවරණය කලින් පැමිණි නිසා 1988 ජනාධිපතිවරණය දිනලා  රටේම ජනතාවට ඕනවෙලා තිබුනේ මේක ඉවත් කරන්න. 1988 ජනාධිපති වරණයේදී පක්ෂ 08 ක සන්ධානය සමග මැතිනිය දිනු පසුව විධායක ජනාධිපති ධුරය ඉවත් කරන පොරොන්දුව පිට චන්දෙට සුදානම් උනත් අන්තිම මොහොතේ කුමන හේතුවක් නිසාදෝ JVP එක මේ සන්ධානයෙන් ඉවත් වුනා. මම හිතන විදියට හේතුව උනේ මැතිනිය 1971 කැරැල්ල මර්ධනය කළ පිළිවෙතම අනුගමනය කොට ඇය පැමිණි පසු ඔවුන් මර්දනය කරාවී යන සැකයයි. මේ හේතුව නිසා පක්ෂ අටේ සන්ධානය කිසියම් අර්බුධයකට ලක්වූ අතර අවසානයේ එහි තවත් පක්ෂයක් වූ විජය කුමාරතුංග ආරම්භ කළ ශ්‍රි ලංකා මහජන පක්ෂය  එවකට එහි නායකත්වය දැරූ ඔසී අබේගුණසේකර වෙනම තරඟ කිරීමට තීරණය කිරීම නිසා අර්බුදය දෙගුණ වූ අතර අවසානයෙදී  JVPය එම ජනාධිපතිවරණය වර්ජනය කරමින් චන්දය දීමට එන උදවිය ඝාතනය කරන බවට තර්ජනය කිරීම නිසා බොහෝ ශ්‍රි ලංකා නිදහස්පක්ෂ චන්ද අහිමිවීමත්, ඔසී අබේගුණසේකර දෙලක්ෂ තිස්පන්දහසක් ඉක්මවා චන්ද ලබාගැනීමත් නිසා ඉතාම අඩු චන්ද වෙනසකින් ඡන්ද විසිපන්දහසකින් පමණ යාන්තමින් 50% ඉක්මවා ලබා ගැනීම නිසා ප්‍රේමදාස මහතා ජනාධිපති වීම හේතුකොට ගෙන එදා 1988 දීම මෙය අහෝසි කිරීමට තිබු අවස්ථාව අහිමි විය. සිරිමාවෝ මැතිනිය ජයගත්තේ නම් ඇය නියත වශයෙන්ම එය අහෝසි කරනු ඇත. 

පාවා දීම දෙක..

එහි අනෙක් ඵලය උනේ සිරිමාවෝ මැතිනියගේ රජයක අමාත්‍ය ධුර ලැබීමට අවකාශ තිබු ජ.වි.පෙ ප්‍රේමදාස මහතාගේ පැමිණීමත් සමග තම අරගලය තවත් තීව්ර කිරීම නිසා අවසානයේ ප්‍රේමදාස මහතා ද ඔවුන්ට  සාකච්ඡා සඳහා ආරාධනය කිරීමයි. ඒ වෙනවිට ප්‍රේමදාස මහතාටද රජය කරගන යාමට නොහැකි තරම් බලවත් පීඩනයක් දකුණේ ඔවුන් එල්ල කරද්දී උතුරද ගිනි ගෙන තිබිණි. තම ජයග්‍රහනය ආසන්නයේ යයි සිතා සිටි ජවිපෙ ප්‍රේමදාස රජය සමග සාකච්ඡාවට සුචරිතය වෙත පැමිණියා. ඒ වෙන විටත් ලලිත් සහ ගාමිණී සමග ප්‍රේමදාස මහතා ඇතිකරගන තිබු මත අරගලය නිසා ඔහුට ද විජේවීර සමග එක්ව දුගී දුප්පත් කම නැති කිරීමේ අරමුණින් වාමවාදී රජයක් සැදීමේ අවංක උවමනාවක් තිබුන නිසා යයි මා අසා ඇත.  එහෙත් සාකච්ඡාවට පැමිණියේ පක්ෂයේ තුන්වැනියා වූ ඩි.එම්. ආනන්ද යි. රජයේ හමුදා විසින් ඔහු අත් අඩංගුවට ගෙන පසුව ඔහු දුන් හෝඩුවා අනුව විජේවීර ද අත්අඩංගුවට පත්විය. ඉන්පසු වූ දෙය රටම දනී. අවසානයේ තවත් පාවාදීමක් නිසා එම අවස්ථාවද මේ රටට අහිමි විය. 

රනිල් කළ පාවාදීම..

නැවත වසර 17ක විධායක ජනාධිපති පාලනයක් අවසන් කිරීමේ අවස්ථාවක් උදා උනේ 1994 දී ය. එදත් සෝභිත හිමි චන්ද්‍රිකා මැතිනියට සහය වෙමින් මැතිවරණයෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණේද සහාය ලබාගන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අරමුණින් 94 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළත් එම පොරොන්දුව ඒ ආකාරයෙන් ඉටු නොවිණි.  නැවත 1999 දී පැවති ජනාධිපතිවරණයෙන් දිනා අලුත් ව්‍යවස්ථාවක් හදා එය අහෝසි කිරීමට ඇය ගත් උත්සාහය අසාර්ථක වුයේ එදා එක්සත් ජාතික පක්ෂය එම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේදී ගිනිතබා කරන ලද වින්නැහිය නිසාවෙනි. එයට එකම හේතුව උනේ එවකට ජනාධිපති සිහිනයේ උන් රනිල් එය අහෝසි කරනවාට කැමති නොවීමයි. සාකච්ඡා වට ගණනාවක් කර අවසානයේ අනවශ්‍යම කාරණයක් මුල් කරගෙන විධායකයෙන් ආ විධායකය අහෝසි කිරීමේ මහඟු අවස්ථාව රනිල් අහිමි කළා. රනිල් කළ ඒ විශාල පාවා දීමේ ප්‍රතිඵලය ඔහුම භුක්ති විඳ තිබේ.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය බිහි කිරීම..

2005 ජනාධිපතිවරණයේදී  නැවත වරක් ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දුන්නේ එය අහෝසි කරන පොරොන්දුව පිට වුවත් එයත් සිදු නොවින. එහිදී ද සෝභිත හිමි තම අරගලය දියත් කරමින් එය අහෝසි කරවා ගැනීමට දැරූ ප්‍රයත්නය අසාර්ථක විය. 2010 ජනාධිපතිවරණයේදී යලි සෝභිත හිමි තම අරගලය දියත් කරමින් සරත් පොන්සේකාට සහාය වන්නේද එම පොරොන්දුව පිටමය. ඔහු පරාජයවීම නිසා එම අවස්ථාවද ගිලිහිණි. මෙවන් පසුබිමක් තුල සරත් පොන්සේකා ඉන්පසු සිරගගත කිරීම සහ මාධ්‍යවේදීන් ඝාතනය සහ අතුරුදහන්වීම , සුදු වැන් සංස්කෘතිය, භාරත ලක්ෂ්මන් ඝාතනය,  වැනි කරුණු   නිසා නැවත ඉමහත් කලකිරීමට පත්ව සිටි සෝභිත හිමි 2011 වසරෙදි  ප්‍රථමයෙන් තමන්ට ඉතාම සමීප පුද්ගලයන් කීප දෙනෙක් සමග පන්සලේදී පැවති සාකච්ඡාවකදී ඔවුන් කරන ලද ඉල්ලීමක් අනුව මේ විධායක ක්‍රමයේ ඇති භයානක කම අවබෝධ කරගෙන ඊට තවත් බොහෝ දෙනෙක් පසුව සම්බන්ධ කරගෙන 2011 අග භාගය වනවිට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ආරම්භ කළේ පුද්ගලයකු ගෙදර යැවීම වෙනුවට මුළු ක්‍රමයම වෙනස් කිරීමේ අවංක චේතනාවෙනි.  ඒ අනුවයි උන්වහන්සේ ගේ 70 වෙනි උපන්දිනය දවසේ ප්‍රකාශ කළේ 'මම මගේ ජීවිතේ ඉතුරු කාලයම මේ රටට මහා හෙනයක් වී ඇති විධායක ක්‍රමය අහෝසි කිරීම සඳහා මගේ ඉදිරි මුළු ජීවිතයම කැප කරන බව'. 

2013 දී අග්‍ර විනිශ්චයකාරිනිය ගෙදර යැවීම නිසා තවත් කම්පනයට  පත් සෝභිත හිමි තම අරගලය වඩා ප්‍රවේගවත් අයුරින් දියත් කළ අතර රජය දැඩි ප්‍රහාරයකට ලක් කරමින් සියලුම දේශපාලන පක්ෂ හමුවෙමින් රට පුරා රැස්වීම් සහ දේශන සංවිධානය කරමින් අවසානයේ තමන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පත්වන රජය මාස හයක් අතුලත විධායක ජනපති ක්‍රමය අවසන් කිරීමට මාර්ග සැලසුමක් සහ ව්‍යවස්ථා කෙටුම් පතක් ද සාදා පත්වන ආණ්ඩුවේ මැති ඇමති ධුර 25 දක්වා අඩු කරන වැඩපිළිවෙලක් ද සමග රජයට සහාය දුන් බොහෝ දේශපාලන පක්ෂ මෙන්ම බොහෝ සිවිල් සංවිධාන ද එක් කරගනිමින් පක්ෂ 49 ක එකමුතුවක් සදා පොදු අපේක්ෂකයෙක් සොයමින් රටවටා ගොස් රැස්වීම් තැබුවද අවසන් මොහොත දක්වා ඊට සුදුස්සකු සොයාගැනීම අපහසු විය. 

රනිල් සහ චන්ද්‍රිකා කළ පජාත වැඩේ..

අවසානයේ උන්වහන්සේම එයට ඉදිරිපත් වී දින 120 කින් විධායක ක්‍රමය අවසන් කොට ගෙදර යන බව කීවත් රනිල් වික්‍රමසිංහ තමුන්ම ඉදිරිපත්වන බව කියන විට වෙනත් අයකු සොයාගැනීම අපහසු කරුණක් විය. අවසානයේ උන්වහන්සේටම ඉදිරිපත්වීමට තම සංවිධානයෙන් කරන ලද ඉල්ලීමට කැමති නොවූ උන්වහන්සේ ඒ සඳහා මෙය අහෝසි කරාවි කියා විශ්වාසය තැබිය හැකි  ඒ වනවිට විරුද්ධ පක්ෂයේ උන් එකම පුද්ගලයා කරු ජයසුරිය බැවින් ඔහුගේ නම රනිල් සමග පැවති අවසන් සාකච්ඡාවේ දී යෝජනාවක් ලෙස ගෙනාව ද රනිල් ඊට ද විරුද්ධත්වය පෑම නිසා අවසානයේ සියලුම පක්ෂවල නායකයන් එකම දිනෙක වෙන වෙනම පන්සලට කැඳවා සාකච්ඡා කොට තීරණය කිරීමට කටයුතු කළා. ඒ 2014 නොවැම්බර් 07 වෙනිදාය. එදින මුලින්ම පැමිණියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියයි. ඇය සමග සාකච්චාවේදීත් එම යෝජනාවම ඉදිරිපත් කළ ද ඇයගේ අදහස වුයේ කරු ජයසූරිය මහතා ඊට සුදුසු නොවන බවත් අදින් පසු අපේක්ෂකත්වය අමතක කොට වැඩපිළිවෙල පමනක් කතා කරන ලෙස සඳහන් කොට ඇය නික්ම ගිය පසු පැමිණි අනෙක් සියලු නායකයන් ප්‍රකාශ කළේ උන්වහන්සේ ඉදිරිපත්කරන ඕනෑම නායකයකුට ඔවුන්ගේ සහාය ලබා දෙන බවයි.

මෛත්‍රී රනිල් රාජපක්ෂලාට එන්න පාර කැපුවා..

එහෙත් සියලු දෙනාම මවිතයට පත්කරමින් කිසිවෙක් සිහිනයකින්වත් අපේක්ෂා නොකළ පුද්ගලයෙක් වූ මෛත්‍රීපාලව චන්ද්‍රිකා සහ රනිල් එක්ව ගෙන ආ අතර සාධාරණ සමාජයේ සහ ඊට සම්බන්ධ පක්ෂ අකමැත්තෙන් වුවද ඊට එකඟ වුයේ වෙනත් කෙනෙක් සෙවීමට තරම් තවත් කාලයක් නොතිබුන නිසාවෙනි. සෝභිත හිමි වෙනත් පක්ෂයක අයෙක් අපි කොහොම විශ්වාස කරන්නදැයි  ඇසූ විට ඇයගේ පිළිතුර වුයේ තමන් ඒ ගැන වගකීම සම්පුර්ණයෙන් දරන බවයි. එහෙත් ඔහු ද විධායක ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දු පිට පැමිණියද ඉදිරි ජනාධිපති වරණයේදී ජනාධිපති සිහිනයේ උන් කීප දෙනෙක් එක්ව ඒ වෙනුවට 19 වැනි සංශෝධනයක් ගෙනා අතර ඒ අනුව බලතල සීමා කිරීමකින් පමණක් එය අවසන් විය. 20 වන සංශෝධනයක් මගින් එය අහෝසි කරන බවට සෝභිත හිමි දේහය ඉදිරියේ සපථ කළ මෛත්‍රී අවසානයේ දෙවන වතාවටත් ජනපති වීමේ සිහිනයක් දැකීම නිසා සියලු ප්‍රයත්න අසාර්ථක වූ අතර ඒ අතරතුර මෛත්‍රී  සහ රනිල් අතර වූ විරසකය ද දුර දිග යාමෙන් සියල්ල උඩු යටිකුරු කරමින් නැවතවරක් එදා අසීමිත කැපවීම් කොට තම ජීවිතයද පුදා උන්වහන්සේ ලබා දුන් අවස්ථාව අහිමි කර ඒ වෙනුවට රනිල් සහ මෛත්‍රී නැවත වරක්  මහින්දට සහ ගෝඨාභයට එන්නට පාර කැපීය. 

කිසිදු විකල්පයක් නොමැති තැන දියත් කළ මේ අරගලය...

ඉන් පසු වූ දේවල් මේ රටේ ජනතාවට අමුතුවෙන් කිව යුතු නොවේ. එදා 69 ලක්ෂයක් ලැබූ චන්ද වලින් ලක්ෂ 15ක් පමණ තරුණ චන්ද විය. මන්ද ඔවුන්ට දුන් පොරොන්දු අනුව රට බේරා ගැනීමට අමතරව ඔවුන්ගේ උසස් අධ්‍යාපන වරම් වැඩි කිරීමේ යෝජනා සහ රැකියා අවස්ථා වැඩි කිරීම් වැනි දේද ඉවහල් වන්නට ඇත. අවසානයේ ඔවුන්ගේ සියලු සිහින බොඳ කරමින් වසර දෙකක් කොවිඩ් නිසා තම අධ්‍යයන කටයුතු අඩාල වීමත් නැවත අධ්‍යයන කටයුතු ආරම්භ කලත් විදුලි බලය, ඉන්ධන  සහ ගෑස් නැතිවීම තුලින් තම ඉගනීමේ කටයුතු නැවත අඩාල වීමත්  නිසා මෙසේ සිදුවීමට හේතු ඔවුන් ගැඹුරින් අධ්‍යයනය කළාට කිසිදු සැකයක් නැත. මේ සියල්ලට හේතුව වසර 35 කට ආසන්න කාලයක් තිස්සේ මේ විධායක බලතල තනි පුද්ගලයකු අතට යාම නිසා පාර්ලිමේන්තුව සහ අධිකරණය අකර්මන්‍ය වීම පාලක පක්ෂයේ අභිමතය අනුව තනි තීරණ ගැනීම බවත් ඒ නිසාම පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මැති ඇමත්වරුන් සතු අසීමිත වරප්‍රසාද සහ බලතල උපයෝගී කරගනිමින් රට සැදීම පසෙක තබා ඔවුන් සහ ඔවුන්ගේ පරම්පරා පමණක් හැදෙන පසුබිමෙක පාර්ලිමේන්තුවේ සිටින 225 පමණක් අසීමිත ලෙස සුඛෝප බෝගී ජීවිත ගතකරද්දී රටේ ආර්ථිකය දිනෙන් දිනම පහලට යන බවත්,  ජනතාවගේ මුදල් මංකොල්ල කමින් රටම විකුණා දමන ගමන් ඔවුන්ගේ පමණක් මඩි තරවෙද්දී ජනතාව දිනෙන් දිනම ඉතාම අසීරු වෙන් තම ජීවිත ගැට ගසා ගැනීමේ අරගලයක නිරතවෙද්දීත් පාර්ලිමේන්තුව නිකම්ම එකිනෙකාට දොස් පවරගන්නවා මිස මේ කිසිම ප්‍රශ්නයකට විසඳුමක් දෙන බවක්  පේන තෙක්මානයේ නැති බවත්, ඒ අතරම විදේශ සංචිත අහිමිවෙමින් පැවතීමත් ඉතාම හොඳින් අධ්‍යයනය කොට වෙනත් කිසිම විකල්පයක් නොමැති තැන මේ අරගලය දියත් කිරීමට ගත් ප්‍රයත්නය අප අගය කළ යුතුය. ඔවුන් අද තම ජීවිත පරදුවට තබා මේ අරගලය ගෙන යන්නේ ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමටත් වඩා මේ රටේ අනාගතය ගැන සිතාය. 

මහත්තයෝ ජනාධිපති පුටුවේ වාඩි වෙලා මාස හයකින් පිස්සු හැදෙනවා..

අනෙක් අතට වසර 35කට ආසන්න කාලයක් මේ විධායක ක්‍රමයේ ඇති භයානක කම පිළිබඳව වැඩිමහල් උදවිය දැන සිටියද තරුණ ළමයින්ට එහි අත්දැකීම ලබන්නට ලැබුණු පළමු අවස්ථාව මෙයයි.  සෝභිත හිමි තිස් පස් වසරකට ආසන්න කාලයක් එය පාලකයන්ට මෙන්ම රටේ ජනතාවටත් අවබෝධ කරදීමට නොකළ දෙයක් නැත. අවසානයේ උන්වහන්සේ ප්‍රකාශ කළේ,

 "මහත්තයෝ මේක ඉවත් කරනවා කියල එන එකෙක්වත් මේකේ රහ වැටුනම ආයේ යන්නේ නැහැ. අනෙක මේ පුටුවේ වාඩි උන හැම කෙනෙකුටම මාස හයක් යන්න කලින් පිස්සු හැදෙනවා. අන්තිමේ කොච්චර හොඳ නමක් තියාගන මේකේ වාඩි උනත් ඒ මනුස්සය වැඩිකල් යන්න කලින් රටේ මිනිස්සු අමතන්නේ ගෙවල්වල ඇති කරන සතුන්ගේ නම් වලින්.  එත් ඒ අයගේ බල තන්හාව නිසා ඒක මේ අයට පෙනෙන්නේ නැහැ.  සදාකාලිකවම බලයේ ඉන්න එය පාවිච්චි කරනවා මිස කවදාවත් අයින් කරන්නේ නැහැ. ඒ සේරටමත් වඩා රටට හෙණ ගැහුවත් මේ මනුස්සයට පිස්සු හැදුනම එයා එලවන්න වගන්තියක් ව්‍යවස්ථාවේ නැහැ. අන්න ඒ නිසා මේක අහෝසි කළයුතුයි"  කියායි. 

මෛත්‍රීට වගේම ගෝඨාභයටත් මාස හයෙන් පිස්සු හැදුනා..

කීව වගේම මෛත්‍රීට මාස හයෙන් පිස්සු හැදුන. මහ බැංකු ප්‍රශ්නය සහ බෝම්බ පිපිරීම නිසා රටම අගාධයට වැටුන. එහෙම තිබියදීත් ඔහු අවසන් තත්පරය දක්වා උත්සාහ කෙළේ පොහොට්ටුවේ සහාය අරන් දෙවන වරටත් ඉල්ලන්න. අන්තිමේ ගෝඨාභය ඒ පුටුවේ වාඩිවෙලා මාස හයක් යන්න කලින් ඒ වගේම තනි මතයට කාගෙන්වත් අහන්නේ නැතුව වැඩ කරන්න යාමේ විපාකය නිසා අන්තිමේ සේරම අනාගත්ත. රටම විශාලා මහනුවරක් උනා. එත් පාර්ලිමේන්තුවේ 225 ම එකිනෙකාට චෝදනා එල්ල කරගනිමින් උන්නා මිස කරපු දෙයක් නැහැ.  රට මේ තරම් අගාධයකට වැටිලා තිබෙද්දිත් රට ගැන සිතල මුලින්ම කොවිඩ් අවස්ථාවේ එකතුවෙලා වැඩ කළා නම් මේ තත්වය මේ තරම් දරුණු නොවන්න වග බලාගන්න තිබුන.  ඊටත් පස්සේ ඉන්ධන, ගෑස් සහ විදුලිබලය නැතුව මිනිස්සු අන්ත දුක් විඳිද්දී , පොහොර නැතුව ගොවියෝ පාරට බහිද්දී මේ තරුණයෝ ස්වේච්චාවෙන් එකතුවෙලා අවිහින්සාවදීව පෝස්ටර් ප්‍රදර්ශනයක් කරලා රජයට කීවේ පක්ෂ විපක්ෂ දැන්වත් එකතුවෙලා මේ ජනතාව තවත් පෙළන්නේ නැතුව ඒවාට ඉක්මනට විසඳුම් දෙන්න කියල මිස රට පෙරලන්න කීවේ නැහැ. 

සංදර්ශන මිස සති දෙකක් ගිහිල්ලත් කරපු දෙයක් නැහැ..

මුල්ම දිනයේ පාර්ලිමේන්තුවේ ඒ ගැන උනන්දුවක් ඇතුව කීප දෙනෙක් මේ වෙලාවේ අපි එකතුවෙලා මේකට මුහුණ දෙමු කීවත් සේරම කර ඇරියේ එයාලගේ මීළඟ ජනාධිපති සිහිනය නිසයි. ජනතාව ජීවිතය සහ මරණය අතර  උන්නත් ඔවුන් හැමගේ එකම සහ ලොකුම ප්‍රශ්නය ජනපති සිහිනයයි. මේ වෙලාවේ බාර ගත්තොත් ඒකේ ලකුණු ගන්න කෙනාට මීළඟ අවස්ථාව ලැබෙයි , එක්කෝ අරන් අසමත් උනොත් ඒ අවස්ථාව අහිමි වෙයි කියන බයට සහ  රට අන්තයටම වැටුනම ඔක්කොම එකතු  වෙලා අපට මේ සැරේ අනිවාර්යයෙන් දෙයි කියල සිතන කට්ටිය තනතුරු නොගෙන සහය දෙන්න හදන අතර කවදාවත් තමන්ගේ පක්ෂයකින් තනිවම බලයට එන්න බැරි කීප දෙනෙක් මේ අවස්ථාවේ ලකුණු අරගන්න ඔවුන්ට දෙන්න කියලත් කියනවා. මේ වගේ සංදර්ශන මිස දැනට සති දෙකක් ගිහිල්ලත් කරපු දෙයක් නැහැ. එවන් අවස්ථාවක මේ තරුණයන්ගේ ඉදිරිපත්වීම අප අගය කළ යුතුවාක් මෙන්ම ඔවුන් ආරක්ෂා කර  ගැනීමේ වගකීමද අප සතුයි. 

අරගලයේ පීඩනය තව වැඩි කළ යුතුවා මිස සාකච්ඡා පලක් නැත...

වෙලාවකට මට හිතෙනවා වසර 35ක් ම සාකච්ඡා කරලා අවසානයේ කිසිම ඵලක් නොවූ අත්දැකීම් එක්ක ව්‍යවස්ථාවේ, ඔහුට පිස්සු හැදුනොත් ඉවත්කිරීමේ වගන්තියක් නැති බවට සෝභිත හිමි කළ ප්‍රකාශය අනුව ඊට ඇති එකම විකල්පය ලෙස ඔවුන් මේ අරගලය තෝරාගත්තා විය හැක. කෙසේ වුවත් ඉන් ලැබුන හොඳම ඵලය මෙතෙක් තම බලය සඳහා ජනතාව ජාති, ආගම්, පක්ෂ, පාට අනුව බෙදා තිබු දේශපාලකයන්ට දිය හැකි ලොකුම පිළිතුර ඔවුන් දී ඇත.  එයම ඔවුන් ලැබූ ලොකුම ජයග්‍රහණයකි. අනෙක් අතට සමානාත්මතාවය සහ සහජීවනය සඳහා බෙදී වෙන්වී නොසිට එකම ශ්‍රි ලාංකික ජාතියක් ලෙස එකාවන්ව නැගී සිටීමට ඔවුන් ලබාදුන් මේ ස්වර්ණමය අවස්ථාව අප කිසි සේත්ම අත්නොහළ යුතුය. තම රට ගැන අභිමානයක් ඇතිකිරීමටත්, තවදුරටත් පාට පක්ෂ සහ ජාති ආගම් අනුව ඔවුන් බෙදා බලය ලබාගැනීමේ ක්‍රමයට නැවතීමේ ලකුණ තැබීමත්  ඔවුන් ලද ලොකුම ජයග්‍රහණයයි. ඒ වගේම ජනතාව ඔවුන්ගේ වහලුන් ලෙස සිතා සිටි පාලකයන්ට තවදුරටත් ඔවුන්ගේ වහලුන් නොවන බවත් මේ රට ඔවුන්ට ලියා දී නැති බවත් ඔවුන් භුක්ති විදින්නේ ඔවුන්ගේ සම්පත් බවත් දැන් දැන් වටහාගෙන ඇත. එබැවින් මේ ලැබූ ජයග්‍රහණය අවසන් වනතෙක්ම අප මේ පීඩනය තව තවත් වැඩි කිරීමෙන් මිස කිසිම දිනෙක මෙය සාකච්ඡාවෙන් විසඳා ගත නොහැකි බවද අතීතයේ ලද පාඩම් වලින් ඉගන ගත යුතුය. මහත්මා ගාන්ධි  එදා ඉන්දියාව එක්සේසත් කළේ ද මෙවැනිම අවිහිංසාවාදී අරගලයකින් බව මේ ඉන්න පාලකයන්ට අමතකවීම පුදුමයකි.

රට අරාජික වීම 225 ම භාර ගතයුතුය..

කළයුතුව ඇති එකම දෙය මේ අවස්ථාවේ මේ ප්‍රශ්නය විසඳීමට ජනතාවට බාර නොදී 225 ම මේ රටට ආදරේ නම් ජනතාවට ආදරේ නම් අර හරින් ප්‍රනාන්දු මන්ත්‍රී තුමා යෝජනා කළ පරිදි හෝ වෙනත් ක්‍රමයකින් හැකි ඉක්මනින් එදා සෝභිත හිමි 18 ට අත ඉස්සවූ අය ලවාම 19 ට අත උස්සවා එය සම්මත කරගත් පරිදිම 19 හෝ 19 ට එහා ගිය විසඳුමක් නැවත බලගැන්වීම සඳහා  20 අහෝසි කිරීමට පාර්ලිමේන්තුව වහාම ක්‍රියාත්මක කිරීම මිස ජනපති සිහින නිසා ඇඟ බේරා ගැනීම නොවේ.  එසේ නොවුනහොත් රට අරාජික වීම නොවැලක්විය හැකි වන අතර එහි සම්පුර්ණ වගකීම 225 ම භාර ගතයුතුය. මිනිස්සු පක්ෂ හෝ විපක්ෂ දෙකේම නායකයෝ පත්කරන්නේ ඔවුන්ගේ ප්‍රශ්නවලට ඒ ඒ අවස්ථාවේ විසඳුම් ලබාගන්න මිස ජනතාව ඉදිරියට පැමිණ  ඊට හේතු දක්වනු අසන්න නොවේ. වගකීමක් ඇති පාර්ලිමේන්තුවක් ලෙස කතානායක තුමන් තමන්ට පැවරී ඇති බලතල අනුව වහාම ක්‍රියාත්මකවී මේ ගැටලුව නිරාකරණය කළ යුතුය. ඊළඟට කරන දේ ඊට පසුව කල්පනා කළ හැකිය. 

සිසිර ජයමහ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය / ඉංජිනේරු පීඨය 
ශ්‍රි ලංකා  විවෘත විශ්ව විද්‍යාලය
  

---------------------------
by     (2022-04-21 21:19:58)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links