~

තනි තටුවෙන් පියාඹමින් සිටි රනිල් අගමැති..! දිව්රුම් දුන් සැනින් ඇමරිකාවේ සහාය..! පොහොට්ටුවන්ට කලිසම ඔළුවෙන් ගලවන්න සිදුවේ..!

(ලංකා ඊ නිව්ස් -2022.මැයි.12, ප.ව.4.50) ලංකාවේ පමණක් නොව ලෝක දේශපාලනයේම වාර්තාවක් තබමින් පාර්ලිමේන්තුව තුල තනි තටුවෙන් පියාඹමින් සිටි රනිල් වික්‍රමසිංහ අද සවස නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝටාබය රාජපක්ෂ ඉදිරියේ දිව්රුම් දුන්නේ ය. රනිල් වික්‍රමසිංහ ලංකාවේ අගමැති ධූරයට පත් වූ 6 වැනි අවස්ථාව මෙයයි. එයද වාර්තාවකි.

එම අවස්ථාවට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ පමණක් සහභාගී වූ බව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද කෙටි නිවේදනයක සඳහන් විය. 

ජනාධිපති ගෝටාබය 19 වැනි සංශෝධනයට යමින් යලි අගමැතිධූරය බලාත්මක කරන බවත් විධායක ජනාධිපති ධූරය අහෝසි කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බවත් වාචිකව දුන් පොරොන්දු අනුව රනිල් වික්‍රමසිංහ පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම පිණිස අගමැති ධූරය බාර ගත් බව රනිල්ට හිතවත් එජාප නායකයෝ කියති. ගෝටාබය ඊයේ ඒ බව ජාතිය අමතමින් ද ප්‍රකාශ කරන ලද්දකි.

රනිල්ට 120 කගේ සහාය..

රටේ මුදල් ඇත්තේ තව සති දෙකකට පමණක් බවත් සති දෙකක් තුල දේශපාලන ස්ථාවරත්වයක් හදා ගත්තේ නැතිනම් තමන් මහ බැංකු අධිපති ධූරයෙන් අස්වී ගෙදර යන බව ඊයේ මහබැංකු අධිපතිවරයා නිවේදනය කෙළේය.

තනි ආසනයක් පමණක් ඇති පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහට පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමේ සහාය ලැබෙන බවත් ස්වාධීන වී සිටින 41 දෙනාගේ ද සහාය ලබා ගැනීමට රනිල්ට හැකිවනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෛත්‍රීපාල සිරිසේන රනිල්ට සහාය දීම තවත් ඉතිහාසගත වාර්තාවක් වනු ඇත. ඒ 41 නැතත් රනිල්ට 120 කගේ සහාය ඇතැයි පැවසේ.

රනිල් දැලි පිහියෙන් කිරි කයි.. 

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ බාර ගත්තේ විශාල අභියෝගයකි. එය දැලි පිහියෙන් කිරි කෑමක් වැනි අභියෝගයකි. ඔහු හමුවේ ඇත්තේ හොරු ඇල්ලීමේ වගකීමට වඩා මූලික වී ඇති ආර්ථිකය ගොඩ ගැනීමේ වගකීම ය. ඔහු හැකි ඉක්මනින් ආර්ථිකය ගොඩ ගෙන අඩුම ගණනේ පෝලිම් නැති කර විදුලිය කප්පාදුව නවත්වා ගත්තේ නැතිනම් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ද නිවෙස් වලට සිදුවන්නේ පොහොට්ටු දේශපාලකයන්ගේ නිවෙස් වලට සිදු වූ දේම ය. රනිල්ට සිදුවන්නේ බේරේටම වී සිටීමට ය. 

පොහොට්ටුවන්ට විධායකය සහිත තුනෙන් දෙකක් තිබුනද ඔවුන් පිළිසරණක් නොමැති තරම් අසරණ වී ඇත. සජිත් ආණ්ඩුව බාර ගෙන කරගෙන යෑමට ආසයි බයයි ප්‍රතිපත්තියක සිටියේ ය. ජවිපෙට ද විවේචන මිස විසඳුමක් සඳහා ප්‍රායෝගික වැඩ පිළිවෙලක් තිබුනේ නැත. ඒ සියල්ලටම වඩා ජාත්‍යන්තරය පිළිගන්නා තත්ත්වයක් කිසිවෙකුට තිබුනේම නැත.

දිව්රුම් දුන් සැනින් ඇමරිකානු සහාය..

රනිල් අගමැතිධූරයේ දිව්රුම් දෙනවාත් සමගම ඔහු සමග ඉදිරියේදී වැඩ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් නිල ට්විටර් ගිණුමේ සටහනක් තැබුවාය. 

"රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම  සහ ඉක්මනින් නව රජයක්  පත් කිරීම ශ්‍රී ලංකාවේ  ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාගැනීමටත්  ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමටත් පළමු පියවර වේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාර්ථක ප්‍රගතියක් ලබාගැනීමට සහ ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සපුරාලීමට දීර්ඝකාලීන විසඳුමක් ලබාදීමට රජය දිරිමත් කරමු.“ යි ඇයගේ සටහනේ සිංහල අරුතයි. 

ඇමරිකානු නිවේදනයෙන් ඉඟිකරන්නේ ගෝටා රනිල් ආණ්ඩුව ජාත්‍යන්තරය පිළිගන්නා බවත් ඊට උදව් කරනු ඇති බවයි.

පිළිතුරු නොමැති අරගල විසඳුමක් නොවේ.. 

පිළිතුරු නොමැතිව අරගල පමණක් කිරීමෙන් අද රට පත්ව ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් නැත. එසේ වුවහොත් සියළු දෙනා ඇදී යන්නේ ගොඩ ඒමක් නැති කළු කුහරයකට ය.

රනිල්ට අන් මොනවා නැතත් ආර්ථිකය කළමණාකරණය කර ගැනීමේ හැකියාවක් ඇතැයි ඔහුගේ සතුරන් පවා පිළිගන්නා සත්‍යයකි. වඩාත් වැදගත් වන්නේ රනිල්ගේ කැබිනට් මණ්ඩලය කවුරුන් වේද යන්නයි. ඒ අනුව ජාත්‍යන්තර පිළිගැනීමකුත් ලැබේ නම් රටට අත්‍යාවශ්‍යව පවතින විදේශ විනිමය ලබා ගැනීම ශක්තිමත් කර ගත හැකිවුවහොත් රනිලුත් ගොඩ ය ගෝටාබයත් ගොඩ ය. ගෝටාබය යන විට විධායක ජනාධිපති ධූරය ද අහෝසි කර ගියහොත් ඔහුට යලි වීරයෙක් ද විය හැකිය. 

කලිසම ඔළුවෙන් ගැලවීම..

පසුගිය යහපාලන ආණ්ඩුව රාජපක්ෂලා විසින් ඩැහැගෙන රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයෙන් පහකළ දින 52 කාලයේ දී අරලිය ගහ මන්දිරය අල්ලා ගෙන සිටි රනිල් වික්‍රමසිංහ හමුවීමට ගෝටාබය රහසිගතව පැමිණියේ ය. අර්බුදයක දී දෙදෙනා අතර  අනොන්‍ය අවබෝධයක් කාලයක සිට තිබුනා විය හැකිය. 

කෙසේ වෙතත් 'මහ බැංකු හොරා' යයි කියා රනිල් පරාජය කළ පොහොට්ටුවන්ටම තමන් විසින් කෙළවා ගත් ආර්ථිකය ගොඩ ගැනීමට රනිල්ම අවශ්‍ය වීම නම් දෛවෝපගත සරදමකි. 

'කලිසම ඔළුවෙන් ගලවන්න සිදුවුනා' යි කියන්නේ මේවාට ය.

රනිල් අගමැති කිරීම අරභයා සමාජ ජාල අතර සංසරණය වූ අපූරු සටහනකින් මේ සටහන නිමා කරමු. 

"බයියන් වතුර වැනිය, මහින්ද අරන් දෙන භාජනයේ හැඩය ගනී..." 

-මාණ්ඩලික වාර්තාකරුවෙක් විසිනි

---------------------------
by     (2022-05-12 15:17:47)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links