~

අරගලය ජය මාවතට..! ගොබ්බ ගෝටා හෝම්ලස්..! ජුදාස් ඩාම්, ඩූම්..! අරගලකරුවන් එක්ස්පයර් පාර්ලිමේන්තුව පිළිනොගත යුතුයි..! අරගලයේ නව ජනතා පරමාධිපත්‍යය අනුව නව ජනතා පාලනයක් පිහිටුවමු.!

-LeN කර්තෘ මණ්ඩලයේ අනුමැතියට යටත්ව ලිව්වේ, චන්ද්‍රප්‍රදීප්

(ලංකා ඊ නිව්ස් -2022.ජුලි.09, ප.ව.11.30) ශ්‍රී ලංකා ඉතිහාසයේ සේම දකුණු ආසියාවේ ප්‍රථම වරට අපරාධකාරී විධායක ජනාධිපතිකාරයා 'හෝම්ලස්' කරමින් ජුදාස් අගමැතිකාරයා එක්ස්පයර් කරමින් අරගලකාමී නමුත් සාමකාමී, පීඩිත සර්වපාක්ෂික ජනතාව අගනුවර මර්මස්ථාන වල බලය තහවුරු කර ගනිමින් සිටී.

අද ජූලි 9 වැනිදා උදෑසන සිට අපරාධකාර රාජපක්ෂ ජුන්ටාව මාතෘභූමියෙන් සදාකාලිකවම පළවා හැරීම තම පරම පවිත්‍ර අරමුණ කර ගත් කොළඹට ඇදී ආ පීඩිත ජනතාව ලක්ෂ 5 ක් ඉක්මවූ අතර දිවයින පුරා සෑම නගරයකටම පාහේ විරෝධතාවයන්ට එක්වූ පිරිස ද ලක්ෂ ගණනකි . කෙසේ හෝ බලය රඳවා ගැනීමට රාජපක්ෂ ජුන්ටාව තම හමුදා පොලිසි යොදවන ලද නමුත් එය සාර්ථක නොවීය. ප්‍රථම වටයේ දී ම ඔවුන් පැනවූ අනීතික ඇඳිරි නීතිය හකුළා ගැනීමට සිදුවිය. 

ඓතිහාසික දිනයේ ආරම්භය..

ප්‍රථම ඉලක්කය ලෙස කොටුවේ ජනාධිපති මන්දිරය අල්ලා ගැනීමේ සටනට පිළිපන් ජනතාවට මුහුණ දෙන්නට සිදුවූයේ CS4 කඳුළු ගෑස් වර්ගය ඉක්මවා ගිය වෙනත් අලුත් විෂ ගෑස් වර්ෂාවකට ය. (එම නීති විරොධී ගෑස් හිස් අසුරණ දැනටමත් සුරක්ෂිතව තබා ගෙන සිටින නීතිවේදීහු හෙට දිනයේ ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යනු ඇත.) මේ වන විට නැතිවන්නට කිසිවක් නැති ජනතාව බලාපොරොත්තු අත් නොහැරගනිමින් ධෛර්ය සම්පන්න ලෙස ආරක්ෂක හමුදා සහ පොලිසිය සමග මුහුණට මුහුණ ගැටුනාහ. එහිදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ තරුණයන්ගේ කැපවීම සහ සටන්කාමීත්වය කැපී පෙණින. වෙඩි ප්‍රහාරයන්ට ද ලක්වන්ට සිදු වූ නමුත් ඉදිරි පෙල සහ දෙවන පෙල සටන් කෙළේ ඔව්හු ය. වෙඩි වැදීමෙන් තිදෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් සවස් වන විට ආරක්ෂක අංශවල දෙදෙනෙකු ද කාන්තාවක් පස් දෙනෙකුද ඇතුළු 56 ක් රෝහල් ගත කර ඇති අතර එක් අයෙකු අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඒ සමග හමුදාවේ නිලධාරියෙකු ඇතුළු පිරිසක් ද අරගල කරුවන් සමග එක්වූ අතර පොලිසියේ ද තැන තැන නිලධාරීහු හුදකලාව අරගල කරුවන් සමග එක්වූහ. එම ගණන් හිලව් නිශ්චිතව නැති අතර ගණන විශාල නොවන නමුත් එය අරගලයට ශක්තියක් විය. ඒ සමග ගෝටා ඉල්ලා අස්වීමට තීන්දු කර ඇති බව ලංකා ඊ නිව්ස් හෙළි කිරීමත් සමග ආරක්ෂක අංශවල 'මොරාල් එක' ද සෑහෙන ප්‍රමාණයකට ඇද වැටුනේ ය. 

ලෝකයේ ජනතා අරගල වල දක්නට නොලැබුණු සිද්ධියක්..

අවසානයේ ජනාධිපති මන්දිරය රැක ගැනීමේ අසාර්ථක ව්‍යායාමය අතහැරිය පොලිසිය සහ හමුදාව ඉන් ඉවත්වූහ. අරගල කරුවෝ ජනාධිපති මන්දිරය අත්පත් කර ගත් අතර එහි ගෝටාභය ජනාධිපතිකාරයා සිටියේ නැත. මේ වන විටත් එම ස්ථානය අරගලකරුවන් අත්පත් කරගෙන සිටින අතර එහි ශතවර්ශයකට අධික කාලයක් වටිනා ඓතිහාසික දේපොල කිසිවකට ඔවුන් හානි කර නැතිවා මෙන්ම ඒවා සුරැකීමට කටයුතු යොදා ඇත. අරගලකරුවන් ජනාධිපති මන්දිරය අතු පතු ගාන අයුරුද දක්නට ලැබිණ. එය ලෝකයේ පැවැති මෙවැනි ජනතා අරගල වලදී දක්නට නොලැබුණු සිද්ධියක් බව ඔවුන්ට ගෞරව වශයෙන් සටහන් කර තැබිය යුතුය. 

ඒ සමගම ගෝල්ෆේස් භූමියේ අරගලකරුවන් ද ජනාධිපතිකාරයාගේ නිල කාර්යාලය වූ ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කර ගත් අතර එහි රැකවල් ලා සිටි ආරක්ෂක අංශ බරපතල ගැටුමකින් තොරව ආරක්ෂාවෙන් ඉවත්වූහ. 

ගෝඨා 'හෝම්ලස්'..

ඒ අනුව මේ වන විට ගෝටාබය ජනාධිපතිකාරයාගේ මිරිහානේ පදිංචි නිවසත්, ජනාධිපති මන්දිර නිල නිවසත්, නිල කාර්යාලයත් ඔහුට අහිමි කරමින් ඔහු 'හෝම්ලස්' අනාථ ජනාධිපතියෙකු වී සිටී. ඔහු නිල වශයෙන් ඉල්ලා අස්වුනත් නැතත් දැන් ඔහුට නියෝග දීමට ස්ථානයක් නැත. බංකරයක සැඟව සිට හෝ නියෝග දුන්නද ඒවා පිළිපැදීමට කිසිවෙක් නැත. රාත්‍රී වන විට ගෝටා ලබන 13 වැනිදා තනතුරින් ඉල්ලා අස්වන බව කතානායකවරයාට ලිඛිතව දැනුම් දී තිබිණ. (ලංකා ඊ නිව්ස් අද උදෑසන වාර්තා කෙළේ ඔහු 12 වැනිදා ඉල්ලා අස්වීමට 8 වැනිදා රාත්‍රී තීරණය කර තිබූ බවයි) 

ජුදාස් වික්‍රමසිංහ අගමැතිකාරයාගේ නිල නිවස වූ අරලිය ගහ මන්දිරය ද අරගල කරුවෝ වැඩි කරදරයකින් තොරව අත් පත් කර ගත්හ. මේ වන විට ආණ්ඩුවේ නිල හොරණෑ වූ ජාතික රූපවාහිනිය සහ ගුවන් විදුලි සංස්ථාවේ ද බලය තහවුරු කර ගැනීමට අරගලකරුවන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

සුන්දර සිද්ධියක්...

මෙහිදී දැකිය හැකි වඩාත්ම සුන්දර කාරණය නම් කොළඹ ප්‍රධාන පොලිසි බොහොමයක පාහේ බලය අරගලකරුවන්ට අවශ්‍ය ආකාරයට ග්‍රහණය කරගෙන සිටීමයි. එය ගැටුමකින් තොරව අවබෝධයෙන් යුතුව සිදුවන්නක් වීම ද සැලකිය යුතුය. පොලිස් රථ වාහන දැන් එළවන්නේ අරගලයේ පිරිස් ය. වෝටර් කැනන් ජල ප්‍රහාරක වාහන තරුණයන් අත්පත් කර ගත්තේ අද උදෑසන අරගලයේ දී ම ය.

අසුන්දර සිද්ධියක්..

පටු වාසි බලාගෙන හෝ අරගලයට අවසාන මොහොතේ පිළිපන් රාජිත සේනාරත්නට අරගල කරුවෝ පහර දී එළවා ගන්නා අයුරු දක්නට ලැබුණු නමුත් එය අනුමත කළ හැක්කක් නොවේ. මන්ද යත් එවිට එය විරුද්ධ මත මර්දනයෙන් තලා පොඩි පට්ටම් කරන රාජපක්ෂලාගේ විධික්‍රමයම යලි තහවුරු කරන්නක් වන බැවිනි. අනෙක් අතට රාජිත සේනාරත්න යනු කවර කලෙකවත් ජාතිවාදියෙකු නොවූ දේශපාලනඥයෙකු වීමත් නිදහසින් පසු සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාලතම සේවය කළ සෞඛ්‍ය ඇමැතිවරයා වීමත් නොතකා අරගලකරුවන් ක්‍රියා කිරීම කිසිසේත් අනුමත කළ නොහැකිය.

ජුදාස් ඉල්ලා අස්නොවන්නේ නම්..  

සවස් වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කතානායක වරයා විසින් කැඳවන ලදුව එහිදී පක්ෂ නායකයන් ගේ ඒකමතික තීන්දුව වුයේ ජනාධිපති ගෝටාත් අගමැති ජුදාස් වික්‍රමසිංහත් තනතුරු වලින් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික බාරකාර ආණ්ඩුවක් හදා  ගැනීමට ඉඩ දිය යුතු බවයි. පාර්ලිමේන්තුවෙන් තාවකාලික ජනාධිපතිවරයෙකු පත්කර ගන්නා තුරු කතානායකවරයා සතියකට වැඩ බලන ජනාධිපතිවරයා විය යුතු බවයි. මුල දී ජුදාස් අගමැතිකාරයා ඉල්ලා අස්වීමට අකමැති වූ අතර පසුව නිවේදනයක්  නිකුත් කරමින් ඉල්ලා අස්විමට කැමැත්ත පළ කරමින් ඔහුගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කළේ ය. යළි එය වෙනස් කරමින් තාවකාලික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පත් කර ගන්නා තුරු ඔහු අගමැතිධූරයේ සිටින බව ප්‍රකාශ කෙළේ ය. මේ කපටි කෛරාටික ජුදාස් හදන්නේ යලිත් අරගලයේ 'පීක් පොයින්ට්' එක දුර්වල කර අරගලය දියාරු කිරීමට මිස අන් යමකට නොවේ. ඔහුගේ බොරුවලවල් වල කිසිවෙකු වැටිය යුතු නැත. මැයි 9 වැනිදා අරගලයේ පීක් පොයින්ට් එක දියාරු කළ ඔහු අගමැති පුටුවට පැන ගෙන රාජපක්ෂලා ආරක්ෂා කරමින් අරගලයේ නායකයන් දෙදහසක් පමණ අත් අඩංගුවට ගනිමින්, පාර්ලිමේන්තුව තුල ගොං ජෝකර් කෙනෙකු වී මාස 2 ක් පුරා කළ හදිය හොඳටෝම ඇති ය. ජුදාස් වික්‍රමසිංහ අද රාත්‍රියේම ඉල්ලා අස්නොවන්නේ නම් හෙට උදෑසනම ඔහුගේ කං කෙටියෙන් අල්ලා ඉන්දියානු සාගරයට විසිකරනවා හැර කළ හැකි අන් යමක් නැත.

අරගලය හෙට සිට කවර දිසාවක් ගත යුතුද? ගත හැකිද?

2005 දී බලයට ආ රාජපක්ෂලා විසින් 2010 සිට ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදීන් අතුරුදහන් කර, සමහරු හිරේ විලංගුවේ දමා, ප්‍රධාන කතුවරයා ලංකාවෙන් පන්නා දමා, ආයතනය ගිනි තබා, මාධ්‍යය තහනම් කරමින්, අනවරත අනීතික නඩු පවරමින් කරන ලද මර්දනයේ ආරම්භයේ සිටම මේ විනාශකාරී මිනීමරු චෞර රාජපක්ෂ පවුල අප මාතෘ භූමියෙන් පන්නා දැමීමේ අරගලයට හුදකලාව පිවිසි අපට අද අරගලය ගැන මතයක් දැරීමට ශුද්ධ වූ අයිතියක් ඇතැයි අපි සිතමු.

ඒ අනුව අරගලකරුවන් මේ අවස්ථාවේ ගත යුතු ගත හැකි ඓතිහාසික ක්‍රියාමාර්ග මෙසේ විය යුතුය. නැතහොත් මෙය ව්‍යසනයකින් කෙළවර විය හැකිය. 

1. ශ්‍රී ලංකාවේ සියළු ජාතීන් අඩු වැඩි වශයෙන් එකමුතු වූ, සර්ව පාක්ෂික, සර්ව ආගමික, විවිධ පීඩාවන්ට පත් තරුණ ප්‍රජාව, වෘත්තිකයන්, ගොවියන්, සිවිල් සංවිධාන ඇතුළු ස්ත්‍රී පුරුෂ ජන කණ්ඩායම් වල සාධාරණ, සාමකාමී සේම සටන්කාමී, ඉවසිලිවන්ත සේම ධෛර්යය සම්පන්න, විනය ගරුක නැගිටීම හෙවත් 'අරගලය' මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ නොවූ විරූ ජන අරගලයකි. මෑත ලෝක ඉතිහාසයේ ද එය දුර්ලභ එකකි.

2. එම අරගලය අද ජුලි 09 දා තීරණාත්මක ජයග්‍රණයක මාවතට අවතීර්ණ වී ඇත. මේ ඉතිහාසගත අවස්ථාව යළි ශත වර්ෂ ගණනාවකට හෝ උදා වෙතැයි සිතිය නොහැකි ය. එබැවින් උදාවූ ඓතිහාසික අවස්ථාවේ එය අපරාජිතව අවසන් ජනතා ජයග්‍රහණ දක්වා රැගෙන යා යුතුය. එසේ නොවුවහොත් එය ආපසු කරකැවී විත් සියළු අරගල කරුවන්ගේ විනාශය ද ජනතාවගේ විනාශය ද සිදුවීමට ඇති ඉඩ කඩ වැඩිය. ඒකාධිපති පාලකයන් ජනතා අරගල මගින් පන්නා දැමීම අසීරු වුවත් කළ හැකිය. ඉතිහාසයේ ලොව ඒවා සිදුව තිබේ. නමුත් අර්බුද පැන නැග ඇත්තේ ඉන්පසුව පිහිටුවන ජනතා ආණ්ඩුවල තිබූ කල්ලි වාදය, දර්ශනයේ දුගී බව, අන්තවාදීකම, ආදී දුර්ගුණ නිසා ය. ඉරානයේ ෂා රජු ජනතා අරගලයකින් පළවා හරින ලද මුත් ඉන්පසුව එය ආගමික අන්තවාදීන් විසින් ඩැහැගැනීමත්, පසුව ඔවුන් ජනතා අරගලයේ නායකයන් විනාශ කිරීමත්, ගොඩ නැගුණු ආගමික අන්තවාදී පාලනය අද දක්වා නිවැරදි කර ගැනීමට නොහැකිවීමත් එක් හොඳම උදාහරණයකි. අරාබි වසන්තයෙන් ද එවැනි උදාහරණ ඕනෑවටත් වඩා සපයා තිබේ. එබැවින් එළැවීමට වඩා සැලකිලිමත් විය යුත්තේ අනාගත පාලනය කෙසේ සකස් කර ගත යුතුද යන්න සම්බන්ධයෙනි.   

3. අරගලකරුවන් අද ප්‍රකාශයට පත් කරන ලද අරගලයේ හෙට දවස කෙසේ විය යුතුද යන වගන්ති මාලාව නරක නැත. නමුත් අප ඉහත අංක දෙකෙන් පෙන්වා දුන් කාරණය ගැන දැඩි ලෙස සැලකිලිමත් විය යුතුය. එලෙස සැලකිලිමත් විය යුතු කාරණයේ අනුභූතීන් මෙසේය.

3.(1) පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වන වගන්තිය අනුවද ජනරජයේ පරමාධිපත්‍ය බලය ඇත්තේ ජනතාව සතුව නම්, එය අත් හළ නොහැකි දෙයක් නම්, පැවැති ඡන්දයෙන් රාජපක්ෂලාට හිමි වූ එකී බලය අද අවලංගු වී ඇති නම්, අද දින 92 ක අඛණ්ඩ ජනතා අරගලයකින් රාජපක්ෂලා එළවා දමා ඇතිනම්, එසේ එළවා දමන ලද්දේ හමුදාවක කුමන්ත්‍රණයකින් හෝ සහායකින් තොරව නම්, අරගලය බහුතර ජනතාව පිළිගෙන ද ඇති නම්, වත්මන් ජනතා පරමාධිපත්‍යය යනු අද ජයග්‍රාහී මාවතට පිළිපන් 'ජනතාවගේ අරගලය' ම මිස අනෙකක් නොවේ. ඊට විරුද්ධ විය නොහැකි සාක්ෂි වන්නේ, රාජපක්ෂලාද පාර්ලිමේන්තුව ද ඇතුළු වත්මන් පාලකයන්ට ආසන්න ජනමත විමසුමකින් කැමැත්ත ප්‍රකාශ වී තිබුනේ 3% ක් තරම් සොච්චමක් වීමත් එසේ නොවූයේ නම් අද අරගලයේ ජයග්‍රහණ වලින් පසු ඊට විරුද්ධ බලවේග විසින් මේ වන විටත් සිවිල් කැරලිකාරීත්වයක් පැන නංවා තිබිය යුතු වීමය. නමුත් එවැන්නක් සිදුව නැත. එනම් අරගලය විසින් ගෙන ආ 'නව ජනතා පරමාධිපත්‍යය' බහුතර ජනතාවගේ කැමැත්තම බව සනාථ ය.  

3.(2) ඒ අනුව පැරණි කල් ඉකුත් වූ පරමාධිපත්‍යය බලය හිමි වූ වත්මන් පාර්ලිමේන්තුවේ ක්‍රියා කිසිවක් 'නව පරමාධිපත්‍යය' විසින් අනුමත කළ යුතු නොවේ. පිළිගත යුතු ද නොවේ. මෙතරම් ව්‍යසනයකට පෙර විනාශකාරී ජනාධිපතිවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට හැකියාව තිබිය දී පාර්ලිමේන්තුව එය ඉටු නොකළේය. එනිසාම ව්‍යසනයට පත් ජනතාව මහත් වැර වෑයමකින්, අරගලයකින් ඒ විනාශකාරී ජනාධිපති ඉවත් කිරීමෙන් පසු, අර හැකියාවක් තිබියදීත් කිසිවක් නොකළ පාර්ලිමේන්තුව යළි යළි පිළිගත යුත්තේ අහවල් කාරියකට ද? එබැවින් අද සවස් වන විට කල් ඉකුත් වූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් යයි කියා ගන්නා ලද අයගේ සහ එහි අමු තක්කඩි කතානායකයාගේ තීන්දු තීරණ කිසිවක් අරගලයෙන් සම්මත වූ 'නව ජනතා පරමාධිපත්‍යය' විසින් පිළිගත යුතු නොවේ. නව ජනතා පරමාධිපත්‍යය විසින් 'ජනතා හිතකාමී නව පාලන ක්‍රමවේදයක්' මහජන ඡන්දයකින් අනුමත කරගන්නා තුරු වහ වහා සකස් කර ගත යුතුය. එමගින් ජනතාවට වහා අත්‍යාවශ්‍ය සහන එනම් ආහාර ඉන්ධන ඖෂධ අධ්‍යාපනය සැලසිය යුතුය. පැවැති පාර්ලිමේන්තුවට හෝ මැයි 9 වැනිදායින් පසුව හදා ගන්නා ලද බහුබූතය මගින් හෝ එවැන්නක් ඉටු කර ගත නොහැකි වුවද සැබෑ ජනතා පරමාධිපත්‍යයක පාලනයකින් එය ඉටු කර ගත හැකිය. මන්ද යත් එහි ආබාධ පැවැතියත් එය ජනතාව අනුමත කරන බැවිනි. 

ජය තහවුරු කර ගැනීමට අපෙන් යෝජනා කීපයක්..

අප කියන මෙකී 'අරගලයේ නව ජනතා පරමාධිපත්‍ය පාලනය' කෙසේ විය යුතුද යන්න ගැන අපි යෝජනා කිහිපයක් ගෙනෙමු.

*** සියල්ලට පෙර මූලික යෝජනාව නම් රාජපක්ෂලාට බලය හැරදා සුව පහසුව පලා යාමට කිසි සේත්ම ඉඩ නොදිය යුතු අතර ඔවුන් අල්ලා නීතිය හමුවට පමුණුවා නිසි දඬුවම් ලබා දිය යුතුය. සොරකම් කළ ජාතික ධනය යලි ලබා ගත යුතුය. 

1. ජනතාව අරගල කෙළේ 225 ම එපා කියා නම්, සිස්ටම් වෙනසක් ඉල්ලා නම්, අප වත්මන් කල් ඉකුත් වූ පාර්ලිමේන්තුවේ විසඳුම් පිළිගත නොයුතුවා පමණක් නොව ඒ ගැන බලාපොරොත්තු තැබිය යුතුද නොවේ. ඉල්ලුවේ සිස්ටම් වෙනසක් නම් ගෝටා එළැවූ පසු කල් ඉකුත් වූ පාර්ලිමේන්තුවෙන් කතානායකයා තාවකාලික වැඩ බලන ජනාධිපතිවරයා ලෙස සතියකට හෝ පත් කර ගන්නේ අහවල් කාරණයකට ද? රාජ්‍යයකට රාජ්‍ය නායකයෙකු අවශ්‍ය බව සැබැවි. ඒ එසේ නම් අරගලයේ නව ජනතා පරමාධිපත්‍යය තාවකාලිකව හෝ රාජ්‍ය නායකයා ලෙස පත් කර ගත යුත්තේ තමන්ගේම එනම් නව ජනතා පරමාධිපත්‍ය බලය ලැබුණු අරගලයේ නව වැඩ බලන ජනාධිපතිවරයෙකු ය. ඒ සිස්ටම් වෙනස් කරනා නව ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නා තුරු ය. ඒ සඳහා මෙතෙක් අරගලයට සැබෑ බුද්ධිමය නෛතිකමය නායකත්ව සහායක් දුන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සුදුසු බව අපගේ යෝජනාව ය. ඔහු සභාපති ධූරයට පත්වන්නේ ලංකාවේ ඉතිහාසයේ වාර්තාගත වැඩිම ඡන්දයෙන් වීම ද සැලකිය යුතුය. (එය ව්‍යවස්ථානුකූල නොවේ යයි කිසිවෙකු කියනු නියත ය. අරගලයේ දී දිවි දෙමින්, පෝලිම් වල අකාලයේ දිවි පූජා කරමින්, ජනතාව අරගල කෙළේ ජනතා ප්‍රශ්න වලට විසඳුම් නොදුන් අර්බුද රැසකට රට ඇද දැමූ වත්මන් ව්‍යවස්ථාවට වෙනස් සිස්ටම් චේන්ජ් එකකට නම්, එය අද ජය ගෙන තිබේ නම් පවතින ව්‍යවස්ථාව බිඳ දමා අරගලයේ නව ජනතා පරමාධිපත්‍යය අනුව කටයුතු කිරීමට ශුද්ධ වූ අයිතියක් තිබේ. දෙවැනුව එයට නව ව්‍යවස්ථාවකින් යලි ජනතා අනුමැතියක් ලබා ගැනීම නිශ්චිත කාලයක් තුල කළ යුතුය)

2. තාවකාලික නව රාජ්‍ය නායකයා පත් කර ගැනීමෙන් පසු ඔහු අගවිනිසුරුවරයා ඉදිරියේ දිව්රුම් දී නීත්‍යාණුකූල භාවය තහවුරු කර ගත යුතුය. ලංකාවේ අධිකරණය ක්‍රියාත්මක කරන්නේ ද ජනතා පරමාධිපත්‍යයම නම් අගවිනිසුරුවරයා අන්ධයෙක් බිහිරෙක් නොවේ නම් මේ අරගලයේ නව ජනතා පරාධිපත්‍යය පිළිගත යුතු ය.

3. ඒ හා සමගම අරගලයේ නව පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක කරන තාවකාලික පාලක කවුන්සිලයක් පත් කර ගත යුතුය. එය ගණනින් 50 ක් 100 ක් වුව ද අරගලයට ආරම්භයේ පටන් සම්බන්ධ වූ සහ සහාය පළකළ සියළු දේශපාලන පක්ෂ නායකයන්ගෙන්, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයන්ගෙන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, ශ්‍රී ලංකා පරිපාලන සංගමය, විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය, ආදී ඍජු සහාය පළකළ විද්වත් වෘත්තිකයන්ගේ සංවිධාන වල නියෝජිතයන්ගෙන්, අරගලයට සම්බන්ධ වූ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන්, ගොවි නියෝජිතයන්ගෙන්, සිවිල් සංවිධාන නියෝජිතයන්ගෙන්, කලා සහ සංස්කෘතික සංවිධාන නියෝජිතයන්ගෙන් ද සමන්විත විය යුතු ය. මේවා පත් කර ගනිද්දී ඊට ප්‍රමාණවත්ව සරිලන සේ කාන්තා නියෝජනය සිදුවීම අනිවාර්යයකි.  අවවාදාත්මක ලෙස කිව යුත්තේ මීට කිසිදු ආගමික පූජකයෙකු සම්බන්ධ නොකර ගත යුතු බවයි. ආගම්වල පූජකයන් අරගලයට සහාය දුන්නේ වී නමුත් ආරම්භයේ සිටම නව අංකුර රාජ්‍යය ආගමික බැඳීම් වලින් තොර නිරාගමික රාජ්‍යයක් විය යුතුම ය. ආගම් ඇදහිය යුත්තේ පුද්ගලයින් මිස රාජ්‍යය නොවේ. ශ්‍රී ලංකාවේ රාජ්‍යයට ආගම් විසින් සිදුකර ඇති හානිය හොඳටෝම ඇතිය. හිට්ලර්ලා සේ රාජපක්ෂලා දොහොත් මුදුන් දී වැඩැම්මවූ ආගම් රාජ්‍යයකට අවශ්‍ය නොවේ. ඒවා පුද්ගලයන් සතු පූජනීය ඇදහිලි සේ තිබිය යුතු අතර රාජ්‍යය පුද්ගලයන් සතු ඒ අයිතියට බාධා නොකළ ද යුතු ය.

කෙසේ වුවද මෙකී තාවකාලික පාලක කවුන්සිලයට වත්මන් පාර්ලිමේන්තුවේ සිටින අරගලයට පක්ෂපාතීව සහාය දුන් දේශපාලන පක්ෂ නායකයන් සම්බන්ධ කර ගැනීමේ කිසිදු වරදක් නැත. එය කළ යුතුමය. ඒ අතර පාර්ලිමේන්තුවේ නැති නමුත් අරගලයට සහාය දුන් දේශපාලන පක්ෂ නායකයන් ද සම්බන්ධ කර ගත යුතුම ය. අරගලයට මුල සිටම පක්ෂපාතීත්වය දැක්වූ පාර්ලිමේන්තුවේ සිටින උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතා නියෝජිතයන්ගෙන් ප්‍රමාණවත් පිරිසක් ද, මුස්ලිම් ජනතා නියෝජිතයන්ගෙන් ප්‍රමාණවත් පිරිසක් ද සම්බන්ධ කර ගත යුතුම ය. පාර්ලිමේන්තුවේ නැතත් අන් කුඩා ජාතීන් ගේ නියෝජනයක් ද,  LGBT ප්‍රජාවගේ නියෝජනයක් ද තිබිය යුතුය.   

4. තාවකාලික නව රාජ්‍ය නායකයා පත් කර ගැනීමත්, තාවකාලික පාලක කවුන්සිලය පත් කර ගැනීමත් එක විට සිදුවිය යුතු අතර ඒ කණ්ඩායම විසින් ඉතාම සුදුසු පොලිස්පති, හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක නායකයන්ද, ඉතාම සුදුසු ප්‍රධාන ආයතන ප්‍රධානීන් ද වහ වහාම පත් කර ගත යුතුය.

5. මෙම ක්‍රියාදාමය ක්‍රියාත්මක වෙද්දී නිසැක වශයෙන්ම පවතින කල් ඉකුත් වූ පාර්ලිමේන්තුව ඊට බාධා වනවා පමණක් නොව, නිසැක වශයෙන්ම බල කේන්ද්‍ර දෙකක් ද නිර්මාණය කරනු ඇත. එය ව්‍යසනකාරී වනු නොඅනුමාන ය. ඊට එකම විසඳුම වන්නේ ද යලි අරගලයේ නව ජනතා පරමාධිපත්‍යයම ක්‍රියාත්මක කිරීම ය. එනම් ජනතාව විසින් ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය අත්පත් කර ගත්තා සේම පවතින කල් ඉකුත්වූ පාර්ලිමේන්තුව ද අත්පත් කර ගත යුතු අතර කල් ඉකුත්වූ ධූර වල සිටින ඩීල් දැමීමේ කප්පිත්තන් වූ හීපාටුවන් රැල තීරණාත්මකව නිශ්ක්‍රීය කළ යුතුය.

6. ලංකාවේ පවතින දුෂ්ඨ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවතින ක්‍රමවේදයන්ට අනුව වෙනස් කිරීම යනු කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවාටත් වඩා අසීරු දෙයකි. වෙනස අවශ්‍යම වූ විට එක්කෝ විධායකය විරුද්ධය, එක්කෝ පාර්ලිමේන්තුව විරුද්ධය, නැතිනම් අධිකරණය එකඟ නැත. එනිසා දශක ගණනාවක් මේ ව්‍යවස්ථා අර්බුදයෙන් බැට කන්නේ අන් කවරෙක් හෝ නොව ලංකාවේ පීඩිත ජනතාවම ය. නමුත් අරගලයේ 'නව ජනතා පරමාධිපත්‍යයට' අනුව පවතින රාමුවෙන් පිටින් එය කළ හැකිය. කළ යුතුම ය. සියළු වර්ග වල ජනතාවට බියක් සැකයක් නැතිව ජීවත් විය හැකි නව ජනතාවාදී ශ්‍රී ලාංකික ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමට මෙය මහඟු අවස්ථාවක් කර ගත යුතුම ය.  

අවසානය..

සමහරු සිතන්නේ අරගලය පවතින සම්ප්‍රදායික මාවතෙන් පිට විසඳුම් සොයද්දී නීතිය හා සාමය, විනය නැති අරාජික සමාජයක් බිහිවනු ඇති බවයි. අප ඔවුන්ගෙන් පෙරළා ප්‍රශ්න කරන්නේ ඔය කියන පවතින සම්ප්‍රදායික සිස්ටම් එකෙන් නීතිය හා සාමය හෝ විනය රැකුනා ද ? කියා ය. අරගලය ජනතාවගේ නම්, එකී ජනතාව විසින්ම නව විනයන්, නව නීතිය හා සාමය රැක ගැනීමේ ක්‍රමවේදයන් නිර්මාණය කරනු ඇත. එය ජනතාව විසින්ම ආරක්ෂා ද කරනු ඇත. කිසිවෙකු ඊට බිය විය යුතු නැත. තේ කෝප්පයේ කුණාටු නොදැකිය යුතුය.   

ඉහත කී ධෛර්ය සම්පන්න, නිශ්චිත, ඍජු ක්‍රියාමාර්ග නොගත හොත් පෙර කී පරිදිම අරගලය ආපසු කරකැවී විත් සියළු අරගල කරුවන්ගේ විනාශය ද ජනතාවගේ විනාශය ද සිදුවීමට ඇති ඉඩ කඩ වැඩිය. මේ පිළිබඳ අනන්තවත් ඇති ජාතික හා ජාත්‍යන්තර අත්දැකීම් වලට පෙර මැයි 9 වැනිදායින් පසුදාම ජුදාස් වික්‍රමසිංහ අරගලයට කළ විනාශයම අත්දැකීමකට ගන්නා ලෙස අරගලකරුවන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. අත්දැකීම් බහුල යයි කියා ගන්නා පැරණි දේසපාලු කපටි කෛරාටික හීපාටුවන්ට කිසිසේත් ඉඩ නොදිය යුතුය. උන්ට අත්දැකීම් ඇත්තේ ජනතාවට කෙළවීමටම ය. 

'කල්ලිවාදය අවස්ථාවාදය පරදවා සාමූහික කෞෂල්‍යවාදය ජයගනිමු..!'

'ජනතාවගේ අරගලය' දිගුකාලීන ජයග්‍රහණ ලබම්වා..!'

-ලංකා ඊ නිව්ස් කර්තෘ මණ්ඩලයේ අනුමැතියට යටත්ව ලිව්වේ,

චන්ද්‍රප්‍රදීප්       

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/54

---------------------------
by     (2022-07-10 06:47:04)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links