-ජේලර් පොඩ්ඩා හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2022.සැප්.02, පෙ.ව.5.15) ⋆ පණුවන් සමඟ කුණු මාළු තැම්බූ වතුරට මිරිස් කුඩු දමා මාළු හොදි කියා කන්න දෙයි..!
⋆ පිළුණු පොල් කුඩු වලින් පොල් සම්බෝල..!
⋆ කට අරින්න බෑ පහර දෙනවා; රැඳවියන් අපා දුක් විඳී..!
⋆ හිරේ ඉන්න මහා පරිමාණ අපරාධ කරුවන්ට සහ දේශපාලකයින්ට සුපිරි හෝටල් වලින් කෑම..!
⋆ පරිප්පු හොද්දේ පූස් කුණක් තිබුණා..! හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෙළි කරයි..!
බන්ධනාගාර රැඳවියන්ට ලබා දෙන ආහාර වලින් ගසා කමින් රැඳවියන්ට නරක් වූ සහ ඉතාමත් අපිරිසිදු ආහාර ලබා දෙන බවට මේ වන විට කරුණු හෙළි වී තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනාධිපති සමාව ලැබීමෙන් අනතුරුව පසුගිය දා පැවැත්වූ මාධ්‍ය හමුවකදී නැවත වතාවක් මේ පිළිබඳ කරුණු හෙළිකර තිබුණේ මේ කාරණාව නැවත සිහිපත් කරමිනි.
“හිර ගෙදර සප්ලයර්ස්ලාට පොලු තියලා ඒගොල්ලෝ දැන් සප්ලයි නවතලා තියෙන්නේ. කෝටි 50, 60 පොලු තියලා. එතකොට දැන් ගේන්නේ, මේක කිව්වට කමක් නැහැ. මාළු අරන් එද්දී පණුවෝ වැටෙනවා. පණුවෝ අරන් දාලා මෙහෙම කැපුවා, උණුවතුර දැම්මා, මිරිස් ටිකක් දැම්මා, කන්න දුන්නා. එතකොට බත් එක හදන්නේ කුඩු කාරයෝ තමයි හදන්නේ. දාඩිය, සෙම, සොටු සේරම වැටෙනවා බත් එකේ. ඒවා තමයි මෙහෙම කරලා දෙන්නේ.
පාලිත තෙවරප්පෙරුම කිව්වා කළුතර දිගට ම වාට්ටු 6 ක් තිබුණා. පරිප්පු එක අරන් ගියා. පරිප්පු එක අන්තිමට වාට්ටු 4 කට බෙදුවා. ඉන්න හිරකාරයෝ ටික කෑගැහුවා ටිකක් පරිප්පු යටින් අරන් දෙන්න කියලා. මෙහෙම යටින් ගද්දි තඩි පූසෙක් ආවා. පරිප්පු එකේ. මේකා උඩින් පනින්න ගිහිල්ලා වැටිලා. අර වාට්ටු හතර ම කාලා තියෙන්නේ පූස් හොදි. පස්සේ ඒක ඒ ගොල්ලන්ට කිව්වා ම වමනේ දාල තිබුණා.
බිත්තර ගනිද්දී බොහොමයක් බිත්තර ඇතුල කුණු වෙලා. එතකොට මාළු කාපුවාම ඇස්වල ගෙඩි දානවා, කට වණ වෙනවා. බොහෝ දෙනෙක් ලෙඩ වෙලා ඉන්නේ. පව් ඒක ඉතින්. බොහෝ ම භයානක තත්ත්වයක් හිර ගෙදර තියෙන්නේ. මොකද එළියේ අය හිතනවා එළියේ අයට වඩා හිරගේ හොඳයි කියලා. නමුත් ඇත්ත වශයෙන් ම හිර ගෙදර කෑම තත්ත්වේ බලන්න හිරේ යන්න ම ඕනා. ඒ කියන්නේ කන්න ම බෑ. පෙළක් අය කන්නේ ම නෑ. ලෙඩ හැදෙන්න තෝතැන්නක් ඒක. ඒ කියන්නනේ කිසි ම රහක් නෑ. මොක ද බිල් ගෙවලා නැති හින්දා සප්ලයර්ස්ලා දෙන්නේ නැහැ.”
මේ කතාව රන්ජන් රාමනායක විසින් හෝ මතු කිරීම අගය කළ යුතුය. නමුත් මේ කතාව දන්නා එකම පුද්ගලයා රන්ජන් රාමනායක නොවේ. ඒ අයුරින්ම සිරකරුවන්ට ලබාදෙන ආහාර වලින් ගසා කමින් කටේ තියා අහලකවත් තැබිය නොහැකි දහ ජරාව සිරකරුවන්ට ලබා දෙමින් බන්ධනාගාර නිලධාරීන් ගෙන යන මේ අසිකිත්ත ක්‍රියාවට ඕනෑ තරම් සාක්ෂි තිබේ.
නමුත් මේ ගැන කතාකරන්නට කිසිදු සිරකරුවෙකු ඉදිරිපත් වන්නේද නැත. එසේ කරුණු හෙලිකළහොත් සිදුවන්නේ ඉල ඇට කුඩුවන තුරු දූෂිත ජේලර්ලාගෙන් පමණක් නොව උන් සමඟ ජාවාරමේ යෙදෙන සිරකරුවන්ගෙන්ද ගුටි කන්නට ය.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් සිරකරුවාට ලබා දෙන ආහාර සම්බන්ධයෙන් කරුණු හෙළිකළ විගස එම කරුණු ප්‍රතික්ෂේප කරමින් බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක ලබාදුන් පිළිතුර රන්ජන්ට දුන් සැර පිළිතුරක් ලෙස පෙන්වමින් රන්ජන් කීවේ බොරුවක් බව ඒත්තු ගැන්වීමට හිරු මධ්‍ය ජාලයට ඇත්තේ පුදුම ගායකි.
එය එසේ වීම එක අතකට අරුමයක් ද නොවේ. පිස්සු ගෝඨාගේ ජනාධිපති සමාවට කෙළවී මිනිමරු කුඩු දුමියා ද සිටින්නේ නැවත මරණ දඬුවමට නියම වීය. නමුත් දුමියා බන්ධනාගාරය තුළ ගෙවන්නේ කුමාර ජීවිතයකි. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන්නේ මේ දූෂිත නිලධාරීන් පිරිසයි. එනිසා ඔවුන් රැකගැනීමට රෙනෝ සිල්වා දිවි හිමියෙන් කැපවන බව අමුතුවෙන් කිව යුතු නැත.
අසරණ යමක් කමක් කර ගැනීමට නොහැකි සිරකරුවන් වෙනුවෙන් දහ ජරා ආහාර ලබා දෙන අතරවාරයේ මහා ජාවාරම් කාරයින් සහ සිර දඬුවමට හෝ රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙන බලවත් පුද්ගලයන්ට සුපිරි හෝටල්වලින් ආහාර පාන ලබා දීමට ඉඩ දී තිබීම පුදුම සහගතය.
පසුගිය මැයි මස 09 වෙනිදා මුළු රටම ගිනිබත් කළ සනත් නිශාන්ත ඇතුළු මන්ත්‍රීවරුන් රක්ෂිත බන්ධනාගාර ගත කළ අවස්ථාවේ ඔවුන් කෑවේ සුපිරි හෝටල්වලින් ගෙන්වාගත් කෑමය. කෑම එව්වෙ බැසිල්ය. පහසුකම් සැපයූයේ මහින්දානන්ද ය. උන්ට නීතිය එක විදිහකට ය. අසරණයන්ට නීතිය තවත් විදිහකට ය.
කිසිදු ගින්නක් නැතිව නිවසටත් වඩා සැප පහසුව බන්ධනාගාරයේ රැඳී සිටින්නට ක්‍රමයක් තිබේ. එනම් බන්ධනාගාර නිලධාරීන්ට මාස්පතා මුදල් ගෙවා කාමරයක් සහ ආවතේව කරුවන් වෙන් කරවා ගැනීමය.
රුපියල් 20,000 - 30,000 - 50,000 ආදී වශයෙන් මේ සඳහා රැඳවියන්ගෙන් මුදල් අය කෙරේ. ඒ මුදල් ඊසි කෑෂ් ක්‍රමය හරහා බන්ධනාගාර නිලධාරීන් විසින් ලබා ගනී. මීට අමතරව රෙදි සේදීම ඇතුළු සෙසු අවතේව කටයුතු රැඳවියන් ලවා ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ගෙවා සිදු කර ගැනීමට ඕනෑම රැඳවියෙකුට පුළුවන. දුරකතන සංවාද පහසුකම් ලබා ගැනීමට ද ඒ අයුරින්ම අවස්ථාව පවතී.
බන්ධනාගාරය තුළ ඇත්තේ කැලෑ නීතිය පවා අභිබවා ගිය අවනීතියකි. මීක් කිව්වොත් සිදුවන්නේ දහසක් හිරිහැර වලට ලක්වන්නටය. ඇතැම් මාධ්‍ය හිමිකරුවන් මහා ජාවාරමුන් වීම හේතුවෙන් ඔවුන් බන්ධනාගාර පද්ධතිය තුළ ඇති දූෂණ අක්‍රමිකතා හෙළි කරන්නට ඉදිරිපත් වන්නේ නැත.
මේ කාලකන්නි තත්වය නිසා බන්ධනාගාරයේ ඉහළම පුටුවල සිටින හොර තක්කඩියන් මනාව ආරක්ෂා වෙමින් තම තක්කඩිකම් දිගටම ක්‍රියාත්මක කරති.
මේ ගැන රන්ජන් රාමනායක කරුණු හෙළි කළ විට බන්ධනාගාර කොමසාරිස් (පාලන) පිළිතුරු ලබා දී තිබෙන්නේ බන්ධනාගාරයේ ආහාර පිසීම මහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ සිදුකරන බව හුවා දක්වමිනි.
නමුත් ඕනෑම කෙනෙකුට බන්ධනාගාරයට ගොස් මෙහි සැබෑ තත්ත්වය නිරීක්ෂණය කළ හැක. සිරකරුවන් අයිතිවාසිකම් නැති පිරිසක් සේ සලකා දහජරාව ඔවුන්ට කන්නට ලබා දෙන්නට කිසිවෙකුට අයිතියක් නොමැත. රෝගවලට ප්‍රතිකාර ලබා ගැනීමට ඔවුන්ට ඇති අයිතියට එරෙහිවීමට කිසිවකුට නොහැකිය. මේ කරන්නේ නීච භයානක අපරාධයක් මිස අන් දෙයක් නොවේ.
බත් පතින් හොරකම් කරන, කුණු ජරාව මිනිසුන්ට කන්නට දී සාක්කු පුරවා ගන්නා අමන තක්කඩි බන්ධනාගාර ජේලර්ලාට සහ උන් රකිමින් උන් සමගම එකට ගසා කන බන්ධනාගාර ලොක්කන්ට කීමට ඇත්තේ උඹලා මේ රටේ විහිළු සහගත නීතියෙන් මේවා යටපත් කර ගත්ත ද දිනකදී මෙහි ප්රතිවිපාකයන් ට ඔබට අනිවාර්යෙන්ම මුහුණ දීමට සිදුවනු ඇති බවයි.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/64
---------------------------
by (2022-09-01 23:54:06)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි