-මිහායිල් ගොර්බචෙව්ගේ අභාවය වෙනුවෙන් ආනුභාවනන්ද ලියයි
(ලංකා ඊ නිව්ස් -2022.සැප්.15, ප.ව.2.25) නිකීතා සර්ගර්යෙවිච් කෘෂෙෆ් යනු සෝවියට් සංගමය තුළ දේශපාලන, ආර්ථික ප්‍රතිසංස්කරණ මෙහෙය වූ පළමු චරිතයයි. ඔහුට පෙර සිටි දරදඬු ස්ටාලින්ගේ ප්‍රතිපත්තිවලින් බැහැරව යමින් මෙන්ම බටහිර සමඟ යම් සාමයක් ඇති කර ගනිමින් කටයුතු කිරීමට කෘෂෙෆ් කටයුතු කළේ ය. එහෙත් ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණය වලට එරෙහිව සෝවියට් කොමියුනිස්ට් පක්ෂය තුළින්ම විවිධ බලවේග මතු විය. එහි අවසාන ප්‍රතිඵලය ලෙස 1964 දී කෘෂෙව් ව බලයෙන් පහකර ලේකම් තනතුරට ලියොනිඩ් බ්‍රෙශ්නෙව් සහ සභාපති ලෙස ඇලෙක්සෙයි කොසිගින් පත් කරන ලදී.
කෘෂෙව්ගේ මැදිහත්වීම පිළිබඳව වසර 2003 දී "Khrushchev: The man and his era" නමින් විශිෂ්ට ග්‍රන්ථයක් රචනා කරන William Taubman, කෘෂෙව් සහ මිහායිල් ගොර්බචෙව්ගේ ප්‍රතිසංස්කරණ පිළිබඳ සංසන්දනාත්මක විශ්ලේෂණයක් කරයි. ගොර්බචෙව්ට කෘෂෙව්ට වඩා වාසිදායක තත්ත්ව ගණනාවක් තිබූ බව William Taubman පෙන්වා දෙයි. කෘෂෙව්ට වඩා ගොර්බචෙව්ට හොඳ අධ්‍යාපන පදනමක් තිබිණ. ඔහු මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ නීති විද්‍යාලයේ උපාධිධාරියෙකි. බ්‍රෙශ්නෙව්ගේ සහ ඉන් පසු නායකයන් යටතේ ඇතිවූ එක තැන පල්වීම් නිසා ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රතිරෝධයන් දූර්වල වූ අතර ඒ සඳහා සහයෝගය කෘෂෙව්ගේ වකවානුවට වඩා පුළුල් සහ ගැඹුරු විය. වසර 1953 සිට පක්ෂ මධ්‍යම කාරකසභාව නියෝජනය කළ Aleksandr Yakovlev, සහ Eduard Shevardnadze (1958 සිට) වැනි ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ තීරණාත්මක සහය ගොර්බචෙව්ට හිමිවිය (පිටු 649-651).
එවැනි ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන් සෝවියට් සංගමයේ අවසාන නායක මිහායිල් ගොර්බචෙව් පසුගිය අගෝස්තු 30 වන දා සිය දිවි ගමන නිම කළේ ය. අනූ එක්වන වියේ පසු වූ ඔහු වසර 1985 සිට 1991 දක්වා සෝවියට් සංගමයට නායකත්වය දුන්නේ ය.
සෝවියට් සංගමය යනු කුමක් ද? එය බිහි වූයේ කෙසේද? යන්න පළමුව විමසා බලමු.
වසර 1917 දී සිදුවූ රුසියානු විප්ලවය හරහා නව සෝවියට් සංගමය බිහිවිය. දෙවන සාර් නිකලස් බලයෙන් පහ කළ ලෙනින්, ට්‍රොට්ස්කි ඇතුළු විප්ලවවාදීහූ සියවස් ගණනනාවක් රුසියානු අධිරාජ්‍යය පාලනය කළ රොමානොව් රජ පරපුර බලයෙන් නෙරපා හැරියහ. රුසියානු විප්ලවයට එරෙහිව මතු වූ සිවිල් යුද්ධයෙන් පසුව වසර 1922 දී රුසියාව, යුක්රේනය, බෙලරෑස්, ට්‍රාන්ස්කොකේසියා (නූතන ජෝජියාව), ආර්මේනියාව, අසර්බයිජානය එක් කරගනිමින් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය (U.S.S.R) බිහිවිය. එයින් වසර කිහිපයකට පසුව එස්ටෝනියාව, කසක්ස්ථාන්, කිරිගිස්තාන්, ලැට්වියා, ලිතුවේනියාව, මෝල්ඩෝවා, ටජිගිස්ථානය, ටුක්මෙනිස්ථානය සහ උස්බෙකිස්තානය යන ස්වාධීන රාජ්‍ය නමය ද සෝවියට් සංගමයට එක්වීමත් සමඟ දැවැන්ත රාජ්‍යයක් නිර්මාණය විය.
සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය (U.S.S.R) ඒ වකවානුවේ ලෝකයේ විශාලතම ස්වාධීන රාජ්‍යය විය. වර්ග කිලෝමීටර් 22,402,200ක් පුරා එය පැතිර පැවතුණි. ඛනිජතෙල්, ගෑස්, ගල් අඟුරු, වැනි බලශක්ති ප්‍රභවයන් යකඩ, රත්තරන්, මැංගනීස්, ටයිටේනියම් වැනි වටිනා ඛනිජ සම්පත්, තිරිඟු, බාර්ලි ඇතුළු ධාන්‍යය වර්ග ඇතුළු ස්වාභාවික සම්පත් රාශියකින් මේ සමූහාණ්ඩුව සමන්විත විය. විශේෂයෙන් ඛනිජතෙල්, ගෑස්, ගල් අඟුරු අපනයනයෙන් සෝවියට් සංගමය දැවැන්ත ආදායමක් ලැබීය. සෝවියට් සංගමය ස්වයං පෝෂිත රාජ්‍යයක් වූ අතර ඔවුන් තම මූලික අවශ්‍යතා බෙහෝ සෙයින් සිය රටෙන් සපුරා ගත්තේ ය. දෙවැනි ලෝක සංග්‍රාමයේ දී සෝවියට් සංගම් හමුදා අත්පත් කරගත් නැගෙනහිර යූරෝපා රාජ්‍යයන් තුළ සෝවියට් හිතවාදී කොමියුනිස්ට් පාලන ස්ථාපිත කෙරිනි. මේ "සැටලයිට්" රාජ්‍ය මෙන්ම තුන් වන ලෝකයේ සැළකිය යුතු රටවල් ප්‍රමාණයකට සෝවියට් සංගමය මූල්‍ය සහ ප්‍රාග්ධන ආධාර සැපයීය. දිනෙන් දින ඉහළ ගිය බලශක්ති ඉල්ලුම සහ මිල ඉහළ යෑමේ දැවැන්ත වාසිය දශක ගණනාවක් පුරා ඔවුනට හිමි විය. සෝවියට් ආර්ථික ශක්තිය දෙවැනි වූයේ ඇමරිකාවට පමණි. ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කීමට ඔවුනට හැකි විය.
කෘෂෙව් බලයෙන් පහ කර, 1964 දී බලයට පැමිණි සෝවියට් නායක ලියොනිඩ් බ්‍රෙෂ්නෙව්, ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළේ ය. ඔහු සෝවියට් කර්මාන්ත අංශයට ලාභය මත බර තබා සිය නිෂ්පාදන කටයුතු මෙහෙයවීමේ නිදහස ලබා දුන්නේ ය. එහි ප්‍රතිඵල ක්‍රමක්‍රමයෙන් සෝවියට් ආර්ථිකයට ගලා ආවේ ය. වසර 1970 වන විට, සෝවියට් ආර්ථිකය එහි ඉහළම මට්ටමට ලඟා වූ අතර, දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකාවේ අගයෙන් සියයට 60කට ආසන්න විය.
බලශක්ති සම්පත් අපනයනයෙන් ලැබුනු දැවැන්ත ආදායම සෝවියට් නායකයෝ නිසි ලෙස ආයෝජන නොකළහ. දැවැන්ත සෝවියට් ශ්‍රම බලකාය මත පදනම් වූ කෘෂිකර්ම සහ කර්මාන්ත අංශ නවීකරණය කිරීමට ඔවුනට නොහැකි විය. ඒ හේතුවෙන් එම අංශ යන්හි ඵලදායීතාවය පහල වැටුණි. ආර්ථිකය නවීකරණය කරනු වෙනුවට ඔවුහු ඇමරිකාව සමඟ නොනිමි අවි තරඟයකට අවතීර්ණ වූහ. සෝවියට් ආර්ථිකයේ විශාලතම පංගුව යොමු කරනු ලැබූවේ න්‍යෂ්ටික අවිආයුධ ප්‍රමුඛ ආරක්ෂක වියදම් වෙනුවෙනි.
වසර 1979 නත්තල් දා සෝවියට් සංගමය ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළේ ය. සෝවියට් සංගමය දශක දෙකකට ආසන්න කාලයක් ඇෆ්ගන් යුද්ධයට මැදි විය. ඒ යුද්ධය සඳහා විශාල ධනස්කන්ධයක් වැය කළේ ය. ඇෆ්ගනිස්ථානය යනු සෝවියට් සංගමයේ වියට්නාමයයි. එහි ඝෘජු ප්‍රතිඵලය වූයේ සෝවියට් ආර්ථික වර්ධනය ක්‍රමයෙන් බිඳ වැටීම ය. දශක දෙකකට අධික කාලයක් පැවති සෝවියට් "තෙලේ බලය" ද වසර 1986 පමණ වන විට බිඳ වැටෙන්නට වූයේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඛනිජතෙල් මිල පහත වැටීම හේතුවෙනි. වසර 1989 පෙබරවාරියේ සෝවියට් සංගමය ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වන විට ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 2,500 දක්වා පහත වැටී තිබිණ. ඒ වසරේ ඇමරිකානු දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 4,862 කි. සෝවියට් සංගමයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 8,700 ක් වූ අතර, එය ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් 19,800 ක් විය.
බ්‍රෙෂ්නෙව්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙමින් තිබිය දී පවා රට පාලනය කළ දේශපාලන මණ්ඩලය පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය ඉහළ දැමීමට මෙන්ම කෘෂි සහ කර්මාන්ත ක්ෂේත්‍ර නවීකරණය කිරීමට පියවර නොගත්තේ ය. ඒ හරහා රට තුළ ක්‍රමයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් සහ කළු කඩ සම්ප්‍රදායක් බිහි විය. අනෙක් අතින් ඇමරිකාව සමඟ නිර්මාණය කරගත් අවි තරඟය සහ ඇෆ්ගනිස්ථාන ආක්‍රමණය සඳහා ඛනිජතෙල් හරහා ලැබුණු දැවැන්ත ලාභය වැය කළේ ය. එහි ඝෘජු ප්‍රතිඵලයක් වශයෙන් සෝවියට් ආර්ථිකය සීඝ්‍ර බිඳවැටීමකට ගොදුරු වූ අතර ජනතාවගේ ජීවන තත්ත්වය පහත වැටුණි. එහෙත් 70, 80 දශකයන්හිදී කොමියුනිස්ට් පක්ෂ නායකයෝ විශාල ධනයක් ඒකරාශී කර ගනිමින් සුඛෝපභෝගී ජීවිත ගත කළහ. නිළධාරීවාදය සහ එයට සම්බන්ධ අල්ලස් සහ දූෂණය සෝවියට් සමාජ දේහයම වෙලා ගත්තේ ය.
වසර 1985 දී මිහායිල් ගොර්බචෙව් බලයට පත් වන විට සෝවියට් දේශය පැවතියේ දේශපාලන, ආර්ථික, සහ සාමාජීය අර්බූදයකය. ඔහුට සෝවියට් ජනතාවගේ ජීවන මට්ටම ඉහළ ගැනීමට නම් දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සිදු විය. ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සපයා ගැනීමට නම් සෝවියට් මූල්‍ය සම්පත් විනාශ කරන ඇෆ්ගනිස්ථාන යුද්ධය නැවැත්වීමටත් ඇමරිකාව සමඟ සිදු කරන ජයග්‍රහණය කළ නොහැකි අවි තරඟය අවසන් කිරීමටත් ගොර්බචෙව්ට සිදුවිය. එමෙන්ම නිළධාරිවාදයෙන් රට ගලවා ගෙන දේශපාලන සහ ප්‍රජාත්‍රන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රවේශයකට යොමුවනවා හැර විකල්පයක් ඔහුට නොවීය.
තරුණ වියේ සිට භක්තිමත් කොමියුනිස්ට්වාදියෙකු වූ ගොර්බචෙව් උත්සාහ කළේ කොමියුනිස්ට් පාලන ව්‍යුහය තුළ හැකි දේශපාලන, ආර්ථික, සහ සාමාජීය ප්‍රතිසංස්කරණ සිදු කිරීමටය. ඒ අනුව ඔහු ඉහළ මට්ටමේ සිට පැවති දූෂණ නැවැත්වීමටත්, රජයේ විනිවිදභාවය වැඩි කිරීමටත්, මාධ්‍ය නිදහස ප්‍රවර්ධනය කිරීමට සහ සෝවියට් සංගමයේ ආර්ථිකය නවීකරණය කිරීමට උත්සාහ ගත්තේ ය. ඒ සඳහා "ග්ලැස්නොස්ට්" ('විවෘතභාවය') සහ පෙරෙස්ත්‍රොයිකා ('ප්‍රතිව්‍යුහගත කිරීම') යන රුසියානු යෙදුම් මගින් සඳහන් ප්‍රවේශයන්ට අවතීර්ණ විය. ඔහු සෝවියට්-ඇෆ්ගන් යුද්ධය අවසන් කළේය, සහ රේගන් පරිපාලනය සමඟ ජාත්‍යන්තර ආයුධ ගිවිසුමකට එළඹියේය. න්‍යෂ්ටික ආයුධ අවම කිරීමට එකඟවීම හරහා සෝවියට් යුධ වියදම් කපාහැරීමට ගොර්බචෙව්ට හැකිවිය. බටහිර සමඟ නිරන්තර තරඟයකට සහ ගැටුමකට අවතීර්ණ වනවාට වඩා ඔවුන් සමඟ සහජීවනයෙන් කටයුතු කිරීම සෝවියට් සංගමයට වාසිදායක බව ගොර්බචෙව්ගේ තක්සේරුව විය. ඒ වෙනුවෙන් ඔහු නිරවි යුද්ධය නිම කළේ ය.
ඔහුට තම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත පූර්ව සූත්‍රයක්, ක්‍රමවේදයක් නොතිබුණේ ය. ඒ සඳහා ගොර්බචෙව් ඇතුළු ඔහුගේ කණ්ඩායමට විවිධ අත්හදා බැලීම්, ක්‍රම උපායන් ක්‍රියාත්මක කිරීමට සිදු විය. ආරම්භයේ දී එම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ හරහා රටතුළ යම් ප්‍රබෝධයක් ඇති වුවද එය දීර්ඝකාලීනව පවත්වා ගැනීමට නොහැකි විය. බලාපොරොත්තු වූ ආර්ථික වර්ධනය සෝවියට් සංගමයට අත්පත් කර ගැනීමට නොහැකි වූ අතර ආර්ථිකය ක්‍රමයෙන් බිඳ වැටෙන්නට විය. එයට සමගාමීව දේශපාලන අර්බූදයන් ද තීව්ර විය. වසර 1991 දී සෝවියට් හමුදා නායකයෝ, සහ කේ.ජී.බී. ප්‍රධානියා බලය අල්ලා ගැනීම සඳහා සිදු කළ ආයුධ සන්නද්ධ ක්‍රමන්ත්‍රණ මෙහි කූටප්‍රාප්තියයි.
සෝවියට් සංගමයේ සාමාජික රටවල් ක්‍රමයෙන් එය හැර යෑමේ ප්‍රතිඵලයක් ලෙස, වසර 1991 දෙසැම්බර් 26 වන දා සංගමය විසිරුවා හැරීමට ගොර්බචෙව් තීරණය කළේ ය. එය සෝවියට් සංගමයේ ගමනක අවසානයයි. එය නොවැළැක්විය හැකි ප්‍රතිඵලයකි. සෝවියට් සංගමයේ බිඳ වැටීම ගොර්බචෙව්ගේ "ක්‍රමන්ත්‍රණයක්" යන ජනප්‍රිය චෝදනාවට පදනමක් නැත.
බොහෝ බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ගොර්බචෙව් පුළුල් ලෙස අගය කරන ලදී. ඔහු 1990 දී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ අතර, 1987, 1989 වසරයන් හි ටයිම්ස් වසරේ පුද්ගලයා, මෙන්ම සමස්ත අසූව දශකය සඳහා සඟරාවේ දශකයේ මිනිසා ලෙස දෙවරක් ගොර්බචෙව්ව නම් කරන ලදී.
එහෙත් මිහායිල් ගොර්බචෙව් යනු බටහිර ප්‍රමිතියට අනුව ප්‍රජාතන්ත්‍රවාදියෙකු හෝ ලිබරල්වාදියෙකු නොවෙයි. ඔහු පැහැදිලි ප්‍රතිසංස්කරණවාදියෙකි. පෝලන්තයේ සහ නැගෙනහිර ජර්මනියේ කොමියුනිස්ට් ආණ්ඩු බිඳවැටෙන විට ඒවා ආරක්ෂා කිරීම සඳහා ඔහු සෝවියට් හමුදා යැවුවේ නැත. එහෙත් බෝල්කන්හි විකල්ප මතධාරීන් මර්දනය කළ බවට ඔහුට චෝදනා එල්ල විය. සෝවියට් "සමාජවාදය" ඇදහූ පුද්ගලයන්ට මෙන්ම වර්තමාන රුසියාවේ බහුතරයකට ගොර්බචෙව් යනු සෝවියට් සංගමය බිඳ දැමූ "ද්‍රෝහියා" ය. දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරූ නිකීතා කෘෂෙෆ්ට ද එම ලේබලය අලවා තිබේ.
රුසියාව ශතවර්ෂ ගණනාවක් පාලනය වූයේ රොමානොව් රජ පරපුර යටතේ ය. එයින් පරිබාහිරව වසර හැත්තෑවක් කොමියුනිස්ට් පාලකයෝ රුසියාව පාලනය කළහ. සෝවියට් සංගමය මෙන්ම කොමියුනිස්ට් පාලනය බිඳ වැටීමෙන් පසුව රුසියාව ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට යොමු වනු ඇතැයි බොහෝ දෙනෙකු බලාපොරොත්තු වුවද එය එසේ නොවීය. ඒ වෙනුවට රුසියාව යළි ඒකාධිපති රාජාණ්ඩු ක්‍රමය වැළඳගෙන තිබේ. රුසියානු ජනතාව පුටීන් නූතන සාර් ලෙස ආඩම්බරයෙන් හඳුන්වති. ඔවුන්ගේ ජානවලම ඇත්තේ රජවරුන්ට ආශක්ත වීමේ උද්දාමය සහ ඔවුන් ඉදිරියේ දනින් වැටීමේ නිවට බවයි (ලංකාවේ තත්ත්වය මෙනි). මේ රුසියන් "රජ පිස්සුව" සමඟ රුසියන් ජාතිකවාදය, රණකාමය සහ යුධවාදය එක්ව ගමන් කරයි.
මිහායිල් ගොර්බචෙව් සිය දිවි ගමන නිමා කරන තෙක් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටියේ ය. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, මානව අයිතිවාසිකම්, සුළු ජාතික අයිතිවාසිකම් වැනි ක්ෂේත්‍ර පිළිබඳ ඔහු විශේෂ අවධානයක් යොමු කළේ ය. නොබෙල් ත්‍යාගය හරහා තමාට හිමිවූ මූල්‍ය සම්පත් රුසියානු ජනතාවට නිදහස්, ස්වාධීන පුවත්පතක් ලබාදීමට ගොර්බචෙව් ආයෝජන කළේ ය. දිගු කාලයක් රෝගීව සිටි ඔහුගේ අවසාන ප්‍රකාශය වූයේ මිනිස් ජිවිතයේ වටිනාකම ගැන ඉහලින් සලකමින් යුක්රේන යුද්ධය ඉක්මනින් අවසන් කරන ලෙස කරනු ලැබූ ඉල්ලීමය.
තරමක දිගු මේ ලිපිය අවසන් කිරීමට පසුගිය අගෝස්තු 30 වන දා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මිහායිල් ගොර්බචෙව් වෙනුවෙන් පල කළ ලිපියේ වැකියක් මෙසේ උපුටා දක්වමු "නිදහස් ඡන්දයකින් මිහායිල් ගොර්බචෙව්ට සෝවියට් සංගමය හැර ලොව ඕනෑම තැනක ජනාධිපති ලෙස තේරී පත් වීමේ හැකියාවක් තිබිණ". ඒ මිහායිල් ගොර්බචෙව්ගේ උරුමයයි.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33
---------------------------
by (2022-09-15 08:55:57)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි