~

මොළ හතා නන්නා කරමින් 22 සම්මතයි..! විධායක තටු කැපීම අඩාල කළ ශ්‍රේෂ්ඨාධිකරණයට දිව දෙකක්ද? සජිත්ගෙන් සන්ධිස්ථාන කතාවක්..! (Video)

-චන්ද්‍රප්‍රදීප් ලියයි

(ලංකා ඊ නිව්ස් -2022.ඔක්.21, ප.ව.11.45) රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 22 වන සංශෝධනය අද 21 වැනිදා වැඩි ඡන්ද 178 කින් එනම් තුනෙන් දෙකකින්  සංශෝධන සහිතව සම්මත විය. විරුද්ධව ඡන්දය දුන්නේ සරත් වීරසේකර ගොබිලා පමණි. ඔහු 19 වැනි සංශෝධනයට ද විරුද්ධ වූ ගොබිලෙකි. 

මෙම 22 වැනි සංශෝධනය අද පටන් 21 වැනි සංශෝධනය ලෙස නම් කෙරෙනු ඇත. මන්ද යත් විපක්ෂයෙන් ඉදිරිපත් කළ 21 වැනි සංශෝධනය ආණ්ඩුව බාර නොගෙන 22 වැනි එක ලෙස වෙනත් එකක් ඉදිරිපත් කර 20 න් පසුව සම්මත වූයේ එය බැවිනි. 

මොළ හතා නන්නාපෝල්..

මෙම සංශෝධනය කිසි සේත් 19 වැනි සංශෝධනය තරම් හෝ විධායක බලතල අඩු කැරෙන, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නක් නොවුන ද එය ගෝඨාභය විසින් ජනාධිපති ධූරය ඒකාධිපතියෙක් බවට පත් කළ 20 වැනි සංශෝධනයට වඩා මඳක් හෝ සාධනීය බැවින් ඊට සහාය දක්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය කතාවේ දී කියා සිටියේ ය. සජබ සංශෝධන ඉදිරිපත් කළ අතර ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට ඒමට හැකියාව ලැබෙන වගන්තිය ඉවත් නොකරන්නේ නම් තම සහාය නොලැබෙන බවට දැඩි ස්ථාවරයක සිටියේ ය. මොළ හතාට යලි පාර්ලිමේන්තුවට ඒමට කිසිදා ඉඩ නොලැබෙන්නේ වී නමුත් ඊට යට වීමට පොහොට්ටුවන් ට සිදු වූයේ තුනෙන් දෙකක් නොමැතිව මෙම සංශෝධනය පරාජය වුවහොත් එය සමස්ථ පොහොට්ටුවේම පරාජයක් වී සජබේ බලය ශක්තිමත් වන නිසා ය.  

කෙසේ නමුත් 19 වැනි සංශෝධනයට පක්ෂ වූ දෙමළ ජාතික සන්ධානය මෙයට සහයෝගය නොදුන් නමුත් විරුද්ධව ඡන්දය නොදී ඡන්දය වර්ජනය කළහ. ජවිපෙ සේම පොහොට්ටුවෙන් කැඩී සහ පාර්ලිමේන්තුවේ ස්වාධීනව ක්‍රියා කරන සියළු කණ්ඩායම් මෙයට පක්ෂව ඡන්දය දුන්හ. රාජපක්ෂ සනුහරේ චමල් නාමල් ශෂීන්ද්‍ර ට්‍රිබල ද පක්ෂව ඡන්දය දුන්හ.  

චෞර පොහොට්ටු වහලුන් 26 දෙනා මෙන්න..

රාජපක්ෂලාටත් වඩා රාජපක්ෂවාදී මැටි මෝල් චෞර පොහොට්ටු වහලුන් 26 දෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේ මග හැර සිටියහ. ඒ පිරිස නම් , මහින්ද රාජපක්ෂ (චෞර නායකයා), ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, සනත් නිශාන්ත, සිරිපාල ගම්ලත්, අනුරාධ ජයරත්න, සීතා අරඹේපොල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්.එම්. චන්ද්‍රසේන, විමලවීර දිසානායක, රෝහිත අබේගුණවර්ධන, ධම්මික පෙරේරා, එස්.එම්.එම්. මුෂාරෆ්, ජයන්ත කැටගොඩ, ප්‍රදීප් උඳුගොඩ, සංජීව එදිරිමාන්න, නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ, නිපුණ රණවක, සහන් ප්‍රදීප් විතාන, සාගර කාරියවසම්, මහාචාර්ය රංජිත් බණ්ඩාර, ජයන්ත වීරසිංහ යන 26 දෙනා ය. මොවුන්නේ සමහරෙකු ඡන්දය විමසීම මග හැරීම සඳහා විදේශගතවීම්, රෝහල් ගත වීම්, මගුල් ගෙවල් ආදී විවිධ හේතු විවිධ හේතු දක්වා තිබිණ.  

නමුත් ව්‍යවස්ථා සංශෝධනයකට අවශ්‍ය 2/3 ක වටිනාකම දන්නා, සජබේ නිතර කෑ ගහන එස්. එස් මරික්කාර්, හෙක්ටර් අප්පුහාමි, හේෂා විතානගේ වැනි ගොබිලන් සේම පොහොට්ටුවේ සිට දැන් ස්වාධීන වී ඊට විරුද්ධව බුරන ජී.ඇල්. පීරිස්, තිස්ස කාරියවසම් වැනි ගොබිලන් ද ඡන්දය දෙන අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ නොසිටියේ මන්ද කියා ඔවුන් ජනතාවට කියා දිය යුතු ය.

ශ්‍රේෂ්ඨාධිකරණයට දිවවල් කීයද? 

මෙම සංශෝධනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණයේ හැසිරීම ද ප්‍රශ්නකාරී ය, සෙවල ය. ජනතාවට පිළිගත නොහැකි තරම් දෙබිඩි ය. ඊට හේතු වන්නේ 19 වැනි සංශෝධනයේ දී ජනාධිපතිගේ  බලතල ඉවත් කිරීමේ දී ජනමත විචාරණ අනවශ්‍ය යැයි කී සංශෝධන 3 කට මෙවර 22 දී ජනමත විචාරණ අවශ්‍ය බව කියා සිටීමයි. එබැවින් ඒ අතිශය වැදගත් සංශෝධන අකුලා ගැනීමට සිදුවිය. එනිසා මෙමගින් 19 යේ තරම් වත් විධායක බලතල අඩු වන්නේ නැත. ඇත්තටම ඊට වගකිව යුතු වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දෙබිඩි ප්‍රතිපත්තිය මිස අනෙකක් නොවන බව ජනතාවට හැඟෙනු ඇත. 

එකී කාරණා 3 මෙසේය...

1. ඇමැතිවරු පත් කිරීමේ දී අගමැතිවරයාගේ උපදෙස් මත මිස ජනාධිපතිට හිතුමතයේ කළ නොහැකි යයි 19 තිබූ නියමය 22 දී එසේ කිරීමට නම් ජනමත විචාරණයක් අවශ්‍ය යැයි මෙහිදී නිර්දේශ කිරීම.

2. පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තක් නොමැතිව අගමැතිවරයා ඉවත් කිරීමට  ජනාධිපතිට බලයක් නොමැති යයි 19 තිබූ නියමය 22 දී එසේ කිරීමට නම් ජනමත විචාරණයක් අවශ්‍ය යැයි මෙහිදී නිර්දේශ කිරීම. ( එදා එසේ වී නම් දින 52 කුමන්ත්‍රණයේ දී සිරිසේනගේ ක්‍රියාව නිවැරදි ය. නමුත් එය වැරදි යයි නිගමනය කරමින් සිරිසේන හිතුමතේ මහින්ද රාජපක්ෂ අගමැති කිරීම නන්නත්තාර කෙළේ ද මේ ශ්‍රේෂ්ඨාධිකරණයම ය.)

3. කොමිෂන් සභා සාමාජිකයන් නම් කිරීමේ දී ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ කරන නම් ජනාධිපතිවරයා පත් නොකරන්නේ නම් දින 14 කින් පසු ජනාධිපති ඒ සඳහා ක්‍රියා නොකළද ඒ අය පත් කළ අය සේ සැලකෙන බවට 19 වැනි සංශෝධනයේ තිබූ නියමයට ද මෙවර එසේ කිරීමට නම් ජනමත විචාරණයක් අවශ්‍යය යැයි නිර්දේශ කිරීම. 

ඉහත කාරණා තුනම ලංකාවේ පමණක් පවතින ඒකාධිපති ජනාධිපති ධූරයේ බලතල දැඩි සේ යළි පාර්ලිමේන්තුවට ලැබෙන කාරණාය. 2015 දී ඒවාට ජනමත විචාරණ අනවශ්‍ය යැයි කී ශ්‍රේෂ්ඨාධිකරණය මෙවර ඒ කාරණා වලට ජනමත විචාරණ අවශ්‍ය යැයි නිගමනය කෙළේය. එබැවින් අද සම්මත වූ 22 වන සංශෝධනයේ දී ඒවා ඉවත් කෙරිණ. ඉන් සිදුවූයේ විධායකයේ බලතල අඩුවීමක් නොව ගෝඨාභය ගෙනා ඒකාධිපතිත්වයම යලි තහවුරු කිරීමට ඉඩ හැරීම ය.

මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ හැසිරීම ගැන බරපතලම ප්‍රශ්නය වන්නේ ගෝටාබය 20 වැනි සංශෝධනය ගෙන එන අවස්ථාවේ දී 19 න් ජනතාවට ලැබී තිබූ අයිතිවාසිකම් උදුරා ගන්නා විට ඒ සඳහා ජනමත විචාරණ අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය  නොකීමයි. ලෝකයේ සම්මතය වන්නේ රාජ්‍යයක් ජනතාවට අයිතිවාසිකම් වරප්‍රසාද ආදිය ලබා දෙද්දී ඒවා ඕනෑ ද එපා ද කියා ජනතාවගෙන් විමසීමක් නොකරන නමුත් ජනතාව විඳිමින් සිටින අයිතිවාසිකම් වරප්‍රසාද රාජ්‍යයක් විසින් උදුරා ගන්නේ නම් එහිදී ජනතාවගෙන් ඒ ගැන විමසිය යුතුමය යන්නයි. අපේ ශ්‍රේෂ්ඨාධිකරණය 19, 20 සහ 22 දී හැසිරී ඇත්තේ ඒ සම්මත සදාචාරයට අනුවද? මෙය හඳුන්වන්නේ දෙබිඩි ප්‍රතිපත්ති කියා මිස අන් කවර වචනයකින්ද?

විනිසුරුවරුන් තේරුම් නොගැනීම අනාගත පරපුරේ අභාග්‍යයකි..

2015 ටත් එහා ගිය 'සිස්ටම් චේන්ජ්' එකක් සඳහා මේ සා විශාල ජනතා අරගලයකින් පසුව ද තමා ගත යුතු තීන්දු වල දිශානතිය විය යුත්තේ ජනතාවගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සාධාරණත්වය, අයිතිවාසිකම් ආදිය දියුණු කෙරෙන දිශාව මිස  තම තම මනස් තුල ලැග නහින වෙනත් බහුබූත ලබ්බවල් වල දිශාව නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින විනිසුරුවරුන් තේරුම් නොගැනීම අනාගත පරපුරේ අභාග්‍යයකි. නීතියේ තර්ක සහ ක්‍රමවේද අනුව වුව එකම කාරණා අරභයා වරෙක එක නිගමනයකුත් පසු කලෙක ඊට වෙනස් නිගමනයකටත් එළැඹීම සිදුවිය හැකි බව  ජනතාවට තේරුම් ගත හැකි නමුත් මුල් නිගමනය වෙනස් වනවා නම් වෙනස් විය යුත්තේ පසුගාමීව නොව ඉදිරිගාමීව නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ නිගමනයන් ජනතාව ප්‍රශ්න කරණු නිසැක ය. ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ නිගමනයන් අද නීති විශාරදයන්ගේ ද දැඩි විවේචනයට ලක්ව තිබේ. එබැවින් මෙවැනි තීන්දු වලට හවුල් වන පංචස්කන්ධ මේ මහ පොළොව ඉතා ඉක්මනින් තමා තුල සඟවා ගන්නා බව නම් නිරනුමාන ය.

22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ගෙන තිබූ විනිසුරු මඬුල්ල වූයේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු බුවනෙක අලුවිහාරේ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන් ය. 

කෙසේ වෙතත් අද විවාදයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ එකී සංශෝධන ප්‍රතික්ෂේප  කර නැති අතර නිගමනය කර ඇත්තේ ජනමත විචාරණයක් අවශ්‍ය බව පමණක් බැවින් සජබ ආණ්ඩුවක දී ඒවා ජනමත විචාරණයකින් ද අනුමත කරගෙන ස්ථාපිත කරන බවයි. සජිත් ගේ කතාවේ දී කී තව ප්‍රකාශයක් නම් එදා මොළ හතක් ඕනෑ යයි කී පොහොට්ටුවන් අද කරන නාඩගමේ දී පෙනී යන්නේ ඔවුන්ට දිව වල් හතක් ද තිබෙන බවයි. ඔහු නොකීව ද ජනතාවට මෙහිදී පෙනී යන කාරණයක් නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ද දිවවල් දෙකක් තිබෙන බවයි.

සජිත්ගේ පරිණත වීමේ සන්ධිස්ථානයක්..

කෙසේ වෙතත් විපක්ෂ නායකවරයාගේ අද කතාව සජිත් ප්‍රේමදාසගේ දේශපාලන ජීවිතයේ පරිනත වීමේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ බව අපගේ විශ්වාසයයි. ඔහු එතරම් අපූර්ව කතාවක් කෙළේ ය. එම කතාව මෙහි අවසානයේ ඇති වීඩියෝවේ දැක්වේ. කරුණාකර එය අවසානය දක්වා අසන ලෙස අපි පාඨකයාගෙන් ඉල්ලා සිටිමු. (පාර්ලිමේන්තුවේ ඡන්දය දුන් ආකාරය පහත ඉමේජ වල දැක්වේ)

-චන්ද්‍රප්‍රදීප්

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/54

සංශෝධන නොමැති යෝජිත 22 වැනි ව්‍යවස්ථා කෙටුම්පත පහත දිගුවේ දැක්වේ
https://www.parliament.lk/uploads/bills/gbills/sinhala/6261.pdf

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පහත දිගුවේ දැක්වේ
https://www.parliament.lk/uploads/bills/gbills/scdet/6261.pdf

විපක්ෂ නායකවරයාගේ සන්ධිස්ථාන දේශනය නොවරදවා බලන්න

---------------------------
by     (2022-10-22 15:01:43)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links