~

ජවිපෙ සයිබර් දඩ බල්ලන් දුටුවා ද..?

-ආනුභාවනන්ද ලියයි

(ලංකා ඊ නිව්ස් -2022.නොවැ.25, ප.ව.8.15) අප සඳ දෙසට ඇඟිල්ල දිගු කරන විට මෝඩයෝ ඇඟිල්ල දෙස බලති. අප ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් විවේචනයක් ඉදිරිපත් කරන විට ඔවුහු විවේචනය ගැන අවධානය යොමු නොකර නන් දොඩවති. 

බියගුළු බල්ලෝ හයියෙන් බුරති..

"පොහොට්ටු පාදඩයන් සමඟ එක්ව ජනතා අරගලය කිච කරන අනුර කුමාරගේ පජාත දේශපාලනය..!"  යන ලිපියට අනුර කුමාරගේ දායක සභාව සහ ජවිපෙ සිඟිති ළමා සමාජ,  මුහුණු පොතේ දක්වා ඇති ප්‍රතිචාර අපි තඹ පයිසකට ගණන් නොගන්නෙමු. බියගුළු බල්ලන් හයියෙන් බුරන බව අපි දනිමු. එහෙත් එම ප්‍රතිචාර දේශපාලන වශයෙන් කියවා ගැනීම රටේ දේශපාලන අනාගතයට තීරණාත්මක බව අපේ තක්සේරුව යි.

ජවිපෙ සයිබර් දඩ බල්ලෝ..

ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය පිළිබඳව සමාජ මාධ්‍යයන් හි කුඩා හෝ විවේචනයක් සමාජ මාධ්‍යයන්හි මතු කරන්නන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රවනතාවයක් පසුගිය කාලය පුරා දැකිය හැකි වූ අතර එය මේ වන විට වඩාත් තීවෘ වී ඇත. ජවිපෙ ඉහළ නායකත්වයේ අණ කිරීම් අනුව මේ සයිබර් දඩ බල්ලෝ ප්‍රහාර එල්ල කරති. ලක්ෂ ගණනක පාඨක වපසරියක්, ආකර්ෂණයක් ඇති "ලංකා ඊ නිවුස්" වෙත පමණක් නොව ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය පිළිබඳව සමාජ මාධ්‍යයන් හි සාධනීය විවේචන ඉදිරිපත් කරන සිවිල් පුරවැසියන් ඉලක්ක කර ගෙන පවා මේ සයිබර් දඩ බල්ලෝ ප්‍රහාර එල්ල කරති. 

පෝද්දල ජයන්තට ජවිපෙන් ලැබුණු ප්‍රතිචාරය...

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතාට පසුගිය දා එල්ල වූ සයිබර් ප්‍රහාරය මෙයට එක් නිදසුනකි. පසුගිය ඔක්තෝබර් 14 වන දා ඔහු සිය මුහුණු පොතේ "රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ තුච්ඡ මර්දනයට එරෙහිව දේශපාලන පක්ෂ , සිවිල් සංවිධාන නොවැම්ර් 02 යොදා ගෙන ඇති උද්ඝෝෂණය ජනතා විමුක්ති පෙරමුණ මග අරින්නේ ඇයි...?" යනුවෙන් සඳහනක් තැබීය. එය ඉතා සාධාරණ ප්‍රශ්නයකි. එහෙත් අවාසනාවකට එම ප්‍රශ්නය අනුර කුමාරගේ දායක සභාව සහ ජවිපෙ සිඟිති ළමා සමාජ හඳුනාගෙන තිබුණේ තමන්ට සිදු කළ අභියෝගයක් විවේචනයක් වශයෙනි. ඒ අනුව සයිබර් දඩ බල්ලෝ පෝද්දල ජයන්ත මහතාට වටකර පහර දුන්හ. පෝද්දල ජයන්ත යනු පසුගිය කාලයේ ජාතික ජන බලවේගයට ප්‍රසිද්ධියේ ආශීර්වාද කළ, අනුර කුමාර දිසානායක ඇතුළු ජවිපෙ නායකයන්ගේ දූෂණ විරෝධී හෙළිදරව් කිරීම් ඉහළින් අගය කළ චරිතයකි. එහෙත් එවැනි පුද්ගලයෙකුගේ හෝ සාධනීය විවේචනයක් ඉවසීමේ හැකියාවක් අද ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට නැත.

බයියන්ගෙන් වෙනස් නොවන ජවිපෙ..

මේ සයිබර් දඩ බල්ලන්ගේ හැසීරීම සිහිගන්වන්නේ රාජපක්ෂ රෙජීමය ඉහළින් වැජඹුණු අවධියේ ශ්‍රී ලංකා පාදඩ පෙරමුණේ (SLPP) බයියන්ගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් ය. රාජපක්ෂ රෙජීමයට එරෙහිව සමාජ මාධ්‍ය පෝසට් පල කරන්නන් ඉලක්ක කර ගනිමින් එදා මෙවැනි ම වර්ගයේ ප්‍රහාර එල්ල විය. නිළ සහ නිළ නොවන තර්ජන, අසභ්‍ය වදන්, අපහාස, අවලාද, හරහා විවේචකයන් පාලනය සහ මර්දනය කිරීම බයියන්ගේ උපාය මාර්ගය විය. 

"පොහොට්ටු පාදඩයන් සමඟ එක්ව ජනතා අරගලය කිච කරන අනුර කුමාරගේ පජාත දේශපාලනය..!"  යන ලිපියට අනුර කුමාරගේ දායක සභාව සහ ජවිපෙ සිඟිති ළමා සමාජ,  මුහුණු පොතේ දක්වා ඇති ප්‍රතිචාර හරහා ගම්‍යවන කරුණු වන්නේ:

1. ලියුම්කරුගේ අභිලාෂය ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට මඩ ගැසීම ය.
2. ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට විශාල ජනතා ආකර්ෂණයක් ඇතිවෙමින්  බැවින් දේශපාලන විරුද්ධවාදීහු එයට බියවී  ඇත.
3. ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය රටේ බලය ලබා ගැනීමට සූදානම් බැවින් ඔවුන් විවේචනය කිරීමෙන් වැළකිය යුතුය. 
4. ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට එරෙහි දේශපාලන විවේචන, චෝදනා සියල්ල විරුද්ධවාදීන්ගේ කුමන්ත්‍රණය  

විවේචනය අවැසි තැන අපි විවේචනය කරමු..

ලියුම්කරු කිසිවිටෙක ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට මඩ ගසා නැත. එහෙත් සාධනීය දැඩි විවේචන ඉදිරිපත් කර තිබේ. එමෙන්ම ජවිපෙ ජාතික ජන බලවේගය හරහා නව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමනකට අවතීර්ණ වීම අපි ඉහළින් අගය කළෙමු. එමෙන් ජවිපෙ විපක්ෂයේ භූමිකාව සම්බන්ධයෙන් අදටත් ඇත්තේ ගෞරවයකි. නිදසුන් වශයෙන් "අපේක්ෂාවේ අපේක්ෂකයා’ සහ ‘දේශපාලන සත්වයන්’ සමාජ සාධාරණත්වයේ ජයග්‍රහණයක් වීමට නම්..!"  https://www.lankaenews.com/news/9680
සහ 'අනුරලා කැකුණ තලන විට සජිත්ලාට රජ මඟුල්' දේශපාලනය අවසන් කිරීමේ අභියෝගය..! https://www.lankaenews.com/news/12094
ලිපි යළි කියවීමෙන් ඒ බව ඕනෑම මධ්‍යස්ථ පුද්ගලයෙකුට අවබෝධ කර ගත හැකිය. එහෙත් අපි කිසිවිටෙක ඔවුනට ප්‍රශස්ති ගායනයට සූදානම් නැති බව ද අවධාරණය කරමු. විවේචනය අවැසි තැන අපි විවේචනය කරමු. එබැවින් අපි සයිබර් දඩ බල්ලෝ තඹ පයිසෙකට මායිම් නොකරමු.

ජවිපෙ සටන් කළ  බලය ලබා ගත යුතුය …

දේශපාලන බලය ලබා ගැනීම සංගීත පුටු තරඟයක් නොවෙයි. දේශපාලන පොර පිටියේ චෝදනා, විවේචන, මඩ ප්‍රහාර, කැළණි නයි වැනි ප්‍රෝඩාවන් බලාපොරොත්තු විය යුතුය. ජවිපෙ යළි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට අවතීර්ණ වූ වසර 1994 සිට අද දක්වා රටේ සෑම පක්ෂයක්ම නිර්දය ලෙස විවේචනය කරයි. ජවිපෙයට අනුව ඔවුන් හැර අනෙක් සියළු දෙනාම හොරුන්, වංචාකරුවන්, සහ අපරාධකරුවන් ය. ජවිපෙ පහරදීම් වලට ලක්වන්නන් ද යළි පහරදීම අනිවාර්ය ප්‍රතික්‍රියාවකි. ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය වටා ජනතාව එකතු වූ යැයි කී සැනින් කිසිවෙක් රාජ්‍ය  බලය පිඟානක තබා ඔවුන්ට පිරිනමන්නේ නැත. ඒ සැනින් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට එරෙහි විවේචන නවතා දමා සුදු වැලි අතුරා මාර්ග සකස්කර දෙන්නේ නැත. රාජ්‍ය බලය ලබා ගැනීමට සන්නද්ධ කැරලි දෙකක් ගැසූ ජවිපෙට ඒ බව අප අමුතුවෙන් මතක් කළ යුතුව නැත. 

අධි තක්සේරු සහ සිහින…

රාජ්‍ය බලය ලබා ගැනීමට සූදානම් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඇති ජනතා ආකර්ෂණයට සියළුදෙනා බියෙන් සලිතවී ඇති බවට අනුර කුමාරගේ දායක සභාව සහ ජවිපෙ සිඟිති ළමා සමාජ මතුරන මන්තරය ගැන අපට කිවහැක්කේ දශක හයකට ආසන්න ජවිපෙ ඉතිහාසයේ මෙවැනි අධි තක්සේරු සහ සිහින ඕනෑ තරම් තිබූ බවයි.

සයිබර් මැතිවරණ සිහින…

එබැවින් "අපට ගහනවෝ" යැයි ඤාව් ඤාව් ගෑම නවතා දමා,  දශක හයකට ආසන්න කාලයක් ජප කළ "කුමන්ත්‍රණ" මන්තරයට තිත තබා, බිම් මට්ටමේ තම ඉලක්ක සපුරා ගැනීමට එම කාලය වැය කිරීම  ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට වැඩ දායක වනු ඇති බව අපගේ විශ්වාසයයි. එමෙන්ම සයිබර් අවකාශයේ මැතිවරණ ජයග්‍රහණය කළ නොහැකිය. එසේ කළ හැකිවූයේ නම් පසුගිය මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට සැළකිය යුතු බලයක් හිමිවිය යුතුව තිබිණ. 

නන්දන මාරසිංහ: කැලේ මාරුවූ පමණින් කොටියාගේ පුල්ලි මැකීගොස් නැත..

තමන්ට එරෙහි විවේචන මර්දනය කිරීම සඳහා සයිබර් දඩ බල්ලන් යෙදවීමෙන් සිදු වන්නේ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය මධ්‍යස්ථ ඡන්දදායකයන් අතර අප්‍රසාදයට පත්වීම පමණි. ඔවුහු මේ වන විට තමන් සහ  ශ්‍රී ලංකා පාදඩ පෙරමුණේ (SLPP) බයියන්ගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් අතර වෙනසක් නොමැති බව ඔප්පු කරමින් සිටිති. එහෙත් එහි දේශපාලන යථාර්ථය වන්නේ කැලේ මාරුවූ පමණින් කොටියාගේ පුල්ලි මැකීගොස් නැති බවයි. ජවිපෙ ජාතික ජන බලවේගය වශයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් වශයෙන් රෑපාන්තරනය වුවද පෙර පුරුදු අත්හැර නොමැත. ජවිපෙ සිය ඉතිහාසය පුරාම විවේචනයට පිලිතුරු දුන්නේ තර්ජන, අවලාද, අපහාස සහ බාහු බලයෙනි. 1987-89 දී නම් කටපුංචා සහ ටී 56 හරහා ය. නන්දන මාරසිංහ ඝාතනය මෙයට එක් නිදසුනකි. 1971 කැරැල්ලට සම්බන්ධ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ නන්දන, කැරැල්ල වන විට යාපනය හැමන්හිල් බන්ධනාගාරයේ රඳවා සිටි විජේවීර බේරා ගැනීමට සන්නද්ධ කණ්ඩායමක් සමග හැමන්හිල් බන්ධනාගාරයට ප්‍රහාරයක් එල්ල කළ කැරලි කණ්ඩායමේ නායකයා ය. විජේවීර මුදා ගැනීමට නොහැකි විය. කැරැල්ලේ පරාජයෙන් පසුව පක්ෂය යළි ගොඩනැගීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් පූර්ණ කාලීනව කටයුතු කළ චරිතයකි. ජවිපෙ "විමුක්ති ගී" ප්‍ර‍සංගයේ නිර්මාතෘ නන්දනය. වසර 1981 දී පමණ ඔහු ජවිපෙන් මතවාදී හේතු මත ඉවත්වී ‘රජරට කේන්ද්‍රය’ නමින් කලා සංවිධානයක් පිහිටුවා ගෙන ක‍ටයුතු කළේ ය. වසර 1987 නොවැම්බර් 27 වන දා අනුරාධපුර පොළ හිදී ජීවිකාව උදෙසා සපත්තු විකුණමින් සිටි නන්දනව "ද්‍රෝහී" චෝදනාව යටතේ ජවිපෙ ඝාතනය කළේ ය. විජේවීර බේරා ගැනීමට දිවි පරදුවට තබා සටන් කළ මිනිසා ඝාතනය කිරීමට තරම් ජවිපෙ කුරිරු විය. නන්දන අහිමි කර ගත් ජවිපෙට “විමුක්ති ගී” වෙනුවට එවන් ප්‍රබල සංස්කෘතික වැඩ සටහනක් අද දක්වා ආරම්භ කිරීමට නොහැකි විය. ජවිපෙ සයිබර් දඩ බල්ලන් යනු එදා එම ක්‍රියාදාමයේ නවතම මුහුණුවරයි.

මේ බල්ලන් දැන්ම බැඳ නොදැම්මොත්…

ජාතික ජන බලවේගය සමඟ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක නිරතව සිටින ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීයවේදීන්, කලාකරුවන් ඇතුළු මධ්‍යම පංති ක්‍රියාකාරීන් මේ සයිබර් දඩ බල්ලන් ගැන දක්වන ආකල්පය කුමක් දැයි අපි දැන ගැනීමට කැමැත්තෙමු. ඔවුන් සිහින මවන ජාතික ජන බලවේග ආණ්ඩුව යනු විවේචන මර්දනය කරන ෆැසිස්ට්වාදී ආකෘතියක් ද? අද අප වෙත මුදා හැර තිබෙන මේ සයිබර් දඩ බල්ලන් හෙට දිනයේ ඔවුන් වෙත ද මුදා හරිනු ඇති බව අපට කැට තබා ප්‍රකාශ කළ හැකිය. එබැවින් මේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ෆැසිස්ට් ප්‍රතිචාර පාලනය කිරීමට සහ මේ දඩ බල්ලන් බැඳ දැමීමට ඔවුන් මැදිහත් විය යුතුය. ප්‍රමාදය දුකට හේතුව බව පමණක් මේ මොහොතේ  සඳහන්  කිරීමට කැමැත්තෙමු.

-ආනුභාවනන්ද

[email protected]

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33

---------------------------
by     (2022-11-25 15:44:38)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links