~

එක දවසට කටඋත්තර දෙකක්..! වැරදිකාර පොලිස් නිලධාරීන්ට එරෙහිව පොලිසියට පැමිණිලි කළ ජනමාධ්‍යවේදියෙකුට දෙන වධය..!

-ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2022.දෙසැ.01, ප.ව.10.50) කොළඹ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක මහතාගේ සහ කොළඹ දකුණ දිසා 4 බාර සහකාර පොලිස් අධිකාරී සුනෙත් ශාන්ත මහතාගේ කැඳවීම අනුව ඊයේ (30) දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාසයට සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි කොළඹ දකුණ දිසා 4 බාර සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් ප්‍රකාශ දෙකක් ලබා දුන්නෙමි.

කොටුව ඕඅයිසීගේ නිල කාමරයේදීම අඩන්තේට්ටම් කිරීම..

මුලින්ම බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි කොළඹ දකුණ දිසා 4 බාර සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට නීතිඥ මනුෂිකා කු⁣⁣රේ සමඟ ගියෙමි. කොළඹ කො⁣ටුව පොලිස් ස්ථානාධිපති මහින්ද සාගර විලේගොඩ ලියනගේ ඔහුගේ නිල කාමරයේදී අඩත්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් ඔක්තෝබර් 11 වැනිදා පොලිස් මූලස්ථානයට කරන ලද පැමිණිල්ල විමර්ශනය කරන ලෙස දන්වමින් සහකාර පොලිස් අධිකාරී වෙත එවා ඇතැයි ද, ඊට අදාලව මේ වන විට මා සමඟ ගිය නීතිඥ තරිඳු රත්නායක මහතා ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි ද සහකාර පොලිස් අධිකාරීවරයා දැනුම් දුන්නේය.

එකම පැමිණිල්ල දෙවතාවක් කරන්න වෙලා..

මේ සම්බන්ධයෙන් මා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර ඇති බවත්, එය සහන මැදිරියේ තොරතුරු පොතේ සටහන් කරගෙන තිබියදී නැවත වරක් මාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 110 වගන්තිය යටතේ විමර්ශනයට අදාලව ද යන්න මාගේ නීතිඥවරිය ප්‍රශ්න කළාය. ඊට පිළිතුරු දෙමින් සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ මගෙන් අවශ්‍ය වන්නේ පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ල හා සමාන පැමිණිල්ලක් බවත්, එය සටහන් කර ගන්නේ මුල් තොරතුර ලෙස බවත්, මාගෙන් කිසිම ප්‍රශ්න කිරීමක් නොකරන බවත්ය.

ඊට ප්‍රතිචාර දක්වමින් මාගේ නීතිඥවරිය සඳහන් කළේ පොලිස් මූලස්ථානයෙන් මාගේ පැමිණිල්ලේ පිටපතක් එවා ඇති බැවින් එය තොරතුරු පොතේ අලවා එය මුල් තොරතුර ලෙස අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 යටතේ ගනිමින් විමර්ශනය සිදු කළ හැකි බවයි. එවිට සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ එය වෙනක් කෙනෙකු සටහන් කර ගත් පැමිණිල්ලක් බැවින් විමර්ශනය කරන සහකාර පොලිස් අධිකාරී ලෙස තමන් ඉදිරියේ යළි පැමිණිල්ල සටහන් කර ගත යුතුව ඇති බවයි. පැමිණිලි දෙකක් සටහන් කිරීම මගින් ඉදිරියේ දී නඩු කටයුත්තක් සිදු කළහොත් මා  පමණක් නොව විත්තියේ නීතිඥවරයා පවා සංකීර්ණතාවලට මුහුණ දිය හැකි බැවින් මුල් පැමිණිල්ල මත සිටිමින් යළිත් පැමිණිල්ලක් ලෙස නොව විමර්ශනයට අදාල ප්‍රකාශයක් ලෙස මාගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට විරෝධයක් නැති බවත් නීතිඥවරිය ප්‍රකාශ කළාය.

පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලට එහා ගොස් වැඩිදුර ප්‍රකාශයක් ලෙස පොලිසියේ ඉල්ලිම පරිදි මම ප්‍රකාශය ලබා දුන් අතර පැමිණිල සිදුකර මාසයක් පමණ යන තුරු විමර්ශන ආරම්භ නොකිරීම සහ එලෙස ආරම්භ නොකිරීම ගැන මීට පෙර රහස් පොලිසිය මට එරෙව කළ විමර්ශනයෙදී ඒ ගැන සඳහන් කිරීමෙන් පසු මෙම විමර්ශනය ආරම්භ කිරීම ගැනත් මම මාගේ කටඋත්තරයේ සඳහන් කළෙමි.

එම ප්‍රකාශය ලබා දීමෙන් පසු පස්වරු 2.50ට පමණ නීතිඥ මනුෂිකා කු⁣රේද සමඟ කොළඹ අපරාධ කොට්ඨාසයට ගියෙමි.

තර්ක එපා..! සීඅයිඩිය...

කොළඹ අපරාධ කොට්ඨාසයේ පිළිගැනීමේ කවුන්ටරයේදී නීතිඥවරියට ඇතුළට යෑමට දිය නොහැකි බව ප්‍රකාශ කළ අතර සේවාදායකයා පෙනෙන දුරින් සිටීමට තමාට අයිතියක් ඇති බව නීතිඥවරිය ප්‍රකාශ කළාය. පිළිගැනීමේ කවුන්ටරය අසල වාඩිවීමට පෙර නීතිඥවරියගේ ජංගම දුරකතනය ද බාර දෙන ලෙස දැනුම් දුන් අතර, නීතිඥවරුන්ගේ ජංගම දුරකතන ලබා ගන්නේ කුමන ප්‍රතිපාදනයක් යටතේදැයි නීතිඥවරිය ප්‍රශ්න කරද්දී තර්ක නොකරන ලෙස පොලිස් නිලධාරියෙක් දැනුම් දුන්නේය. කෙසේ වෙතත් ඒකක අංක 04 හි ස්ථානාධිපති පැමිණීමෙන් පසු ගැටලුවක් වීනම් සමාවන ලෙස දැනුම්දී මා සමඟ නීතිඥවරියට යෑමට අවස්ථාව දිය හැකි බව සඳහන් කළ අතර කෙසේ වෙතත් නීතිඥවරියගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර කවුන්ටරයේ තබා යන ලෙස දැනුම් දුන්නේය. දුරකතනය බාර ගත් බවට වූ ටෝකනයක් නුදුන් අතර දුරකතනය බාර ගත් බවට අතුළුවීමේ ලේඛනයේ සටහනක් තබන ලෙස අපි දැනුම් දුන්නෙමු.

පොලිස් ලොක්කන්ගේ අයුතු අවහිරය ගැන පැමිණිල්ලත් දෙවතාවක්..

ඒකක අංක 04හි ස්ථානාධිපතිවරයා මා⁣ කැඳවීම ගැන දැනුම් දුන් අතර ⁣නලින් දිල්රුක් සහ රොෂාන් ඩයස් යන නිලධාරීන් ඔක්තෝබර් 04 වැනිදා අයුතු අවහිරයක් කිරීම ගැන පොලිස් මූලස්ථානයට මා කළ පැමිණිල්ල විමර්ශනය සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට එවා ඇති බවත්, එය කො⁣ට්ඨාසයේ අධ්‍යක්ෂ සහ ස්ථානාධිපති හරහා තමා වෙත ලැබී ඇති බවත් කී ඒකක 04හි ස්ථානාධිපතිවරයා මාගේ පැමිණිල්ල යළි සටහන් කර ගැනීමට අවශ්‍ය බව ප්‍රකාශ කළේය.

මෙලෙස සටහන් කරන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 යටතේ පැමිණිල්ලක් ද එසේ නැතිනම් 110 යටතේ විමර්ශනයට අදාල වැඩිදුර ප්‍රකාශයක්ද යන්න මාගේ නීතිඥවරිය විමසා සිටි අතර 109 යටතේ පැමිණිල්ල බව ස්ථානාධිපති දැනුම් දුන්නේය. මීට පෙර කොළඹ දකුණ දිසා 04 බාර සහකාර පොලිස් අධිකාරීට කළ දැනුම්දීමම නීතිඥවරිය මෙම ස්ථානාධිපතිට ද දැනුම් දුන් අතර යළිත් පැමිණිල්ලක් සටහන් කරීම අවශ්‍ය නැති බවත්, අවශ්‍ය නම් විමර්ශනයට අදාල වැඩිදුර ප්‍රකාශයක් ලබා දිය හැකි බවත් දැනුම් දුන්නාය.

අනතුරුව ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා අදාල කාමරයේ පිටතින් සිටින ලෙස නීතිඥවරියට දැනුම් දුන් අතර මාගේ ප්‍රකාශය ලබා ගැනීම ආරම්භ කළේය. ආරම්භයේදීම මා සඳහන් කළේ පැමිණිල්ලක් තිබියදී නැවත ප්‍රකාශය ලබා ගැනීම ගැන සටහන් කළ යුතු බවයි. ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් නිසි පැමිණිල්ලක් කර තිබියදී විමර්ශනය සඳහා නැවත ප්‍රකාශයක් අවශ්‍ය බවට කළ දැනුම්දීම මත විමර්ශනයට අදාල ප්‍රකාශයක් ලෙස මෙය සටහන් කරන බව මුලින්ම සඳහන් කළෙමි.

ඒ දිනවල පාගමන්වලට අදාලව පොලිසියේ හැසිරීම ගැන පැහැදිලි කළ මම මෙම නිශ්චිත උද්ඝෝෂණයට (ඔක්තෝබර් 10) හේතුව ගැනත් පාගමන ඇරැඹීමට පැය හයකට පෙර එය ආරම්භ වන ස්ථානය කොටුව පොලිස් ස්ථානාධිපතිට දැනුම් දීම ගැනත් සඳහන් කළෙමි. පොලිස් ආඥාපනතේ 1984 සංශෝධනයේ පෙරහැරකට පැය හයකට පෙර පොලිසියට දැනුම් දිය යුතු බවට සඳහන් වුවද පොලිසිය එම ප්‍රතිපාදනය විරෝධතා පා ගමන්වලට ද අදාල කර ගන්නා බවත්, විරෝධතා පා ගමනකට පැය හයකට පෙර දැනුම්දීමට අවශ්‍ය නොවූවද පොලිසිය දිගින් දිගටම එය භාවිත කරමින් පා ගමන් විසිරුවන නිසා මෙම විරෝධතාවය ද විසිරුවතැයි සිතුණු නිසා පැය 06කට පෙර කොටුව පොලිස් ස්ථානාධිපතිට ලිඛිව ඊමේල් හා වට්ස්ඇප් මගින් දැනුම් දුන් බවත් සඳහන් කළෙමි.

විරෝධතාවය පැවැත්වීම, පාගමන ඇරැඹීම, පොලිසිය අයුතු ලෙස මාර්ගය බැරියර් දමා සම්පූර්ණයෙන් අවහිර කිරීම, රොෂාන් ඩයස්ගේ සහ නලින්ද දිල්රුක් යන නිලධාරීන්ගේ හැසිරීම ගැන දීර්ඝ ලෙස පැහැදිලි කළෙමි.

පොලිසිය මා බියට පත් කරන්නට හැසිරුණු හැටි..

අයුතු අවහිරය ගැන පැමිණිලි කිරීමට කොටුව පොලිසියට ගියවිට ස්ථානාධිපතිගේ හැසිරීම, පොලිස් මූලස්ථානයට පැමිණිලි කිරීම, පොලිසිය පැමිණිල්ල විමර්ශනය නොකිරීම නිසා පෞද්ගලික නඩුවක් ගොනු කිරීම, පෞද්ගලික නඩුවේ පාර්ශ්වයක් ⁣නොවන කොළඹ පොලිස් ස්ථානාධිපතිවරු රැසක් නිල ඇඳුමෙන්, රාජකාරි වේලාවේදී, රජයේ වාහනවලින් මා බියට පත් කිරීම උදෙසා චූදිතයන් දෙදෙනා වෙනුවෙන් අධිකරණයට පැමිණීම, ⁣මෙම පැමිණිල්ල ගැන විමර්ශනය නොකර පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා චූදිතයන් වෙනුවෙන් ම⁣ට අගතියක් වන ලෙස වැරදි හා නොමග යවන ප්‍රකාශ සිදු කිරීම ආදිය ගැන දීර්ඝ ලෙස කරුණු  ප්‍රකාශ කළෙමි.

මෙම පැමිණිල්ල කොටුව ස්ථානාධිපති බාර නොගැනීම සහ ඉන් පසු පොලිස් නිලධාරීන් මට අගතියක් වන ලෙස සහ මා බියට පත් කිරීම සඳහා හැසිරුණු ආකාරය ගැන මම ප්‍රකාශ කරද්දී ඒවා අවශ්‍ය නොවන බවත්, ඒවා සඳහන් කළොත් ඒ ගැන විමර්ශනය කිරීමට සිදුවන බවත්, පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලේ කරුණු පමණක් ප්‍රමාණවත් බවත් ඔවුහු ප්‍රකාශ කළහ.

එම කරුණු ප්‍රමාණවත් නම් එම පැමිණිල්ල තොරතුරු පොතේ අලවා විමර්ශනය කරන ලෙසත්, අලුතෙන් එම ප්‍රකාශයම අවශ්‍ය නොවන බවත්, මට අවශ්‍ය දේ මගේ ප්‍රකාශයේ සටහන් කර නොගන්නේ නම් එම ප්‍රකාශය සඳහා අත්සන් කළ නොහැකි බවත්, නීතිය අනුව මාගේ ප්‍රකාශය වෙනසකින් තොරව සටහන් කර ගැනීමට පොලිසිය බැඳී සිටින බවත් මම ප්‍රකාශ කළෙමි.

ඉන් පසු කිසිම වෙනසකින් සහ බාධාවකින් තොරව මාගේ ප්‍රකාශය ස⁣ටහන් කර ගැනීම සිදුවිය.

වැරදි කළ නිලධාරීන්ට පොලිසියේ ප්‍රසිද්ධ සහාය; දේශබන්දු නම් එපා..

දීර්ඝ ප්‍රකාශය අවසන් කරමින් මම සඳහන් කළේ පොලිසිය මෙම සිද්ධියට අදාලව මේවන විටත් වැරදි කළ නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පක්ෂපාතීව කටයුතු කරද්දීත් සහ මෙම කොට්ඨාසය දේශබන්දු⁣ තෙන්නකෝන්ගේ අධීක්ෂණය යටතේ තිබෙත්දීත් කොළඹ අපරාධ කොට්ඨාස කළ දැනුම්දීම අනුව මා පැමිණියේ නීතිය අනුව ඇති වගකීම නිසා බවයි.

ජනමාධ්‍යවේදියකු ලෙස මා කළ වාර්තා කිරීමකින් පසු දේශබන්දු⁣ තෙන්නකෝන් මට තර්ජනය කිරීම ගැන මා පැමිණිල්ලක් කර ඇති බවත්, එවැනි තත්ත්වයක දේශබන්දු⁣ගේ අධීක්ෂණය යටතේ මෙම විමර්ශනය සිදුවන්නේ නම් කිසිසේත් සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි බවත්, ඔහුගේ අධීක්ෂණයෙන් තොරව මෙය කොළඹ  අපරාධ කොට්ඨාසය විමර්ශනය කිරීමට මාගේ විරෝධයක් නැති බවත්, ඔහුගේ අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ කොට්ඨාසයට මෙම විමර්ශනය සිදු කිරීමට සිදුවන්නේ නම් ඔහුගේ අධීක්ෂණය නැති වෙනත් අංශයක⁣ට පැමිණිල්ල යොමු කරන ලෙසත් මම අවසන් වශයෙන් ඉල්ලා සිටියෙමි.

ප්‍රකාශය සටහන් කිරීමෙන් පසු මාගේ නීතිඥවරිය එම ස්ථානයට කැඳවූ ස්ථානාධිපතිවරයා, ප්‍රකාශ ගන්නා අතරතුර යම් අනවබෝධයක් ඇතිවූ බවත්, ඒ ගැන කණගාටුව පළ කරන බවත් සඳහන් කළේය. ඉන් පසු ප්‍රකාශය කියවා මට අත්සන් කරන ලෙස දැනුම් දුන්නේය. කොළඹ අපරාධ කොට්ඨාසට ඇතුළුවෙද්දී නීතිඥවරුන්ට මීට වඩා යහපත් ප්‍රතිචාර දැක්වීමට නිලධාරීන්ට උපදෙස් දෙන ලෙස ද මාගේ නීතිඥවරිය දැනුම් දුන්නාය.

නීතිඥවරියගෙන් සමාව ඉල්ලයි..

එම සිදුවීම ගැන කණගාටුව පල කරන බව ප්‍රකාශ කළ  ඒකක 04හි ස්ථානාධිපතිවරයා ඒ ගැන සමාව අයැද සිටියේය. ඉන් පසු කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති වෙතද අප කැඳවාගෙන ගිය අතර ඉදිරියේ දී කිසිම නීතිඥවරයකුට එලෙස නොසලකන ලෙස මාගේ නීතිඥවරිය ඉල්ලා සිටියාය. අපහසුතාවක් වීනම් කණගාටුව පළ කරන බවත්, නීතිඥවරුන්⁣ට දුරකතනය ගෙන යෑමට නොදෙන ලෙසට නීතියක් නැතත් එලෙස කරන බවත් කී කොළඹ අපරාධ අපරාධ  කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා නීතිඥවරිය ජංගම දුරකතනය ගෙනයාම අත්‍යවශ්‍ය බවට දැඩිය ප්‍රකාශ කළේ නම් ඊට ඉඩ දෙන බවත් ප්‍රකාශ කළ අතර ඇතිවූ තත්ත්වය ගැන ඔහු නැවතත් කණගාටුව පළ කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ ලෙස සිටින්නේ නෙවිල් සිල්වා මහතාය. අපි පොලිස් නිලධාරීන් සමඟ වෛරයකින් හෝ තරහකින් මේ කිසිම දෙයක් නොකරන බවට හොඳම උදාහරණය නෙවිල් සිල්වා මහතායි. ඔහු මීට පෙර කොළඹ අපරාධ කොට්ඨාසයේම ස්ථානාධිපති ලෙස කටයුතු කළේය. එලෙස කටයුතු කරද්දී නියෝජ්‍ය පොලිස්පතිවරවකුගේ නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම මත ඔහූ 2019 මාර්තු මා⁣සයේදී කොළඹින් පිට පොලිස් ස්ථානයකට මාරු කරනු ලැබීය. මාරුවෙන් දින කිහිපයක් ඇතුළත සිට එනම් මාර්තු 07 වැනිදා සිට ඔහුගේ ස්ථානමාරුව අවලංගු කරන තෙක් දිගින් දිගටම වාර්තා කිරීම් කළෙමි. මාගේ එම වාර්තාකරණයේ සහ මැදිහත්වීමේ බලපෑම කෙතෙක්ද යන්න එවකට පොලිස් කොමිසමේ සිටි ලේකම්වරයා ද සාක්ෂි දරනවා ඇත.

⁣ඔහුට වූ අසාධාරණයේදී එම අසාධාරණයට එරෙව අපි කටයුතු කළ අතර ඔහු යටතේ නීති විරෝධී ලෙස ශානි අබේසේකර අතුළු නිලධාරීන් අනීතිකව අත්අඩංගුවට ගනිද්දී එම අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිවත් එලෙසම වාර්තා කිරීම් කළෙමු. මැදිහත්වීම් කළෙමු. අපට පොලිස් නිලධාරීන් සමඟ පුද්ගලික තරහක් හෝ වෛරයක් නැත. කුමන තරාතිරමක නිලධාරියකු වුවද නීති විරෝධීව කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව ඉදිරියේ දී ද වෙනසකින් තොරව කටයුතු කරන්නෙමු.

මෙම විමර්ශන දෙකට අදාලව ප්‍රකාශය ලබාදීමට යද්දී සහාය වූ නීතිඥ මනුෂිකා කුරේ, නීතිඥ සුරේන් ඩී පෙරේරා ඇතුළු සියලුම දෙනාට ස්තුතිය පළ කරමි.  සහයෝගය දැක්වූ ජනමාධ්‍යවලට ද ස්තුතියි  

- තරිඳු ජයවර්ධන

සභාපති -ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

---------------------------
by     (2022-12-01 18:40:59)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links