ජේ.ආර්. රනිල්, ගෝණවල සුනිල් හා යූරියා කම්හල..! යූරියා කම්හලේ කාපාළුවා - රනිල් -වීරනන්දාබාහු ලියයි
(ලංකා ඊ නිව්ස් -2022.දෙසැ.19, ප.ව.10.35) වීරනන්දාබාහු විසින් "බටලන්දට ගිනි තැබුවෙමු" නමින් මේ දක්වා කොටස් 4 ක් පළකරන ලද ලිපි මාලාව මෙතැන් සිට "බටලන්දේ වධලන්ද" ලෙස නම් කරමින් ඉදිරියට ලියැවෙන බව පාඨක ඔබට කරුණාකර දැනුම් දෙන අතර මේ කොටස සමස්තයේ "හැඳින්වීම" සේ සලකන මෙන් ඉල්ලමු..! -කර්තෘ
බැලුබැල්මට ම මේ නම් හතර නොගැලපෙන්නේ ය. මුලින් ලියැවෙන නාමයන් තුන අඩුම තරමින් මනුෂ්‍යන් හා එකිනෙකා හඳුනන තිදෙනෙක් ය. ඒ නිසා ගැලපීමක් ඇත. එහෙත් යුරියා කම්හලක් [සපුගස්කන්ද] මේ නාමයන් තුනට යාකිරීමේ යුක්තියක් තිබේ ද? ‘යුරියා කම්හල’ නැමැති අජීවි වස්තුවේ ආරම්භය සහ අවසානය අපිට ඉතා වැදගත් වන්නේ එය එක් යුගයක දේශපාලන සංස්කෘතියක අවසානය හා නව දේශපාලන සංස්කෘතියක ආරම්භයක් සනිටුහන් කරන නිසාය.
ජේ.ආර්. රනිල් හා ගෝණවල සුනිල් පසුගිය සියවසේ 80 දශකයේ දේශපාලන ‘පොරවල්’ වී සිටි නිසා අපි මේ කතාව අප්‍රකට යුරියා කම්හලෙන් පටන් ගනිමු. 1975 දී යුරියා කම්හලක් ඉදිකිරීමට සපුගස්කන්දේ මුල්ගල තැබෙන්නේ රටේ කෘෂිකර්මයට අත්‍යාවශ්‍ය වූ යූරියා පොහොර මේ රටේම නිපදවා ගැනීම වෙනුවෙන් ය. එවකට පැවති සමඟි පෙරමුණු රජයේ කර්මාන්ත ඇමතිව සිටියේ ටී.බී. සුබසිංහය. සුබසිංහලා නාරම්මල, ප්‍රකට සඳලංකා සමුපකාර ව්‍යාපාරයේ පුරෝගාමීන් වූහ. ඔවුහු දේශීය කර්මාන්ත නඟා සිටුවීමට කැප වූහ. ‘සඳලංකා ගාන්ධි’ නමින් ප්‍රකට වූ සුබසිංහගේ වැඩිමහල් සහෝදරයා - වින්සන්ට් සුබසිංහ, මහජන බැංකුවේ ආරම්භක සභාපතිවරයා ය.
කර්මාන්ත ආමාත්‍යාශයේ ව්‍යාපෘතියක් වූ යූරියා කම්හලක් වෙනුවෙන් ආයෝජනය කිරීමට රාජ්‍ය ආයතන කීපයක් ද එක් විය. කම්හල සපුගස්කන්දට එන්නේ එහි තෙල් පිරිපහදුවේ අපද්‍රව්‍ය යුරියා නිෂ්පාදනයට යොදා ගැනීමේ ලාභය සලකා ගෙනය. බටලන්දේ රජයේ ඉඩමක කම්හලේ සේවකයන් සඳහා සුපිරි නිල නිවාස සංකීර්නයක් ද ඉදිවිය. එහි නාන තටාග පවා ඉදිවුණේ ය.
විදේශ විනිමය අහේනියෙන් බේරෙන්නට ආනයනය වෙනුවට රටේම යුරියා නිපදවා ගැනීමට කම්හලක් සඳහා ප්‍රධාන ණය මුදල ලබා ගන්නේ ‘ආසියානු සංවර්ධන බැංකුවෙන් ය. 1975 මුල්ගල තැබී කම්හලේ ඉදිකිරීම ආරම්භ වුවත් එහි යන්ත්‍රසූත්‍ර සවිකර නිෂ්පාදන පටන් ගැනීමට වසර 4ක් ම ගත විය. එනම් කම්හලේ යූරියා නිෂ්පාදනය ආරම්භ වන්නේ 1979 අවුරුද්දේ ය. 1977 මහා මැතිවරණයේ දේශපාලන පෙරලියෙන් පසු සමගි පෙරමුණ පමනක් නොව එහි කර්මාන්ත ඇමතිවරයා වූ ටී.බී. සුබසිංහ ඔහුගේ කටුගම්පොල ආසනයෙන් ද පරාජයට පත් විය. නව එජාප ආන්ඩුවේ කර්මාන්ත ඇමතිවරයා වූයේ එම පක්ෂයේ කම්කරු නායකයා මෙන්ම දේවවංශික නායකයා ද වු කළුවාදේව සිරිල් මැතිව් ය. අහම්භයකට මෙන් යුරියා කම්හල තිබුනේ ද ඇමති මැතිව් නියෝජනය කළ කැලණිය ආසනය ආසන්නයේ ය.
ජයවර්ධන ආණ්ඩුවේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියට මේ ස්වදේශික යූරියා නිෂ්පාදනය නොගැලපුනේ ය. මන්ද රටේ නිපදවා ගන්නවාට වඩා අඩු මිලකට යුරියා ආනයනය කිරීම වඩා ලාභදායී විය. මේ නිසා ජයවර්ධන ආණ්ඩුවට මේ කම්හල වසා දැමීමේ මහා හදිස්සියක් තිබුණේ ය. වසා දැමීමේ සටනේ නායකයා වුයේ මුදල් ඇමැත්තයා වූ රොනී ද මෙල් ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත අයවැය රචනා කරමින් සිටි ඔහුට එම උපදේශකයන්ගෙන් ගැලවීමක් නොවීය. එහෙත් විශාලතම ණය මුදල ලබා දුන් ආසියානු සංවර්ධන බැංකුව කීවේ ‘පාඩු ලබනවා නම් කම්හල වසර 05 කට වසා තබා යලි නිෂ්පාදනය ආරම්භ කරන විට ලෝක වෙළඳ පොළේ තත්ත්වය වෙනස් වෙන බවයි. කම්හල තමන්ගේ ආසනය ආසන්නයේ පිහිටා තිබීමත් ඔහු එජාපයේ කම්කරු නායකයා වීම නිසාත් ඇමති සිරිල් මැතිව් එය වසා දැමීමට කල් ගනිමින් සිටියේ ය.
1984 වසරේ දී ඇමති සිරිල් මැතිව් ට 'කැබිනට් මණ්ඩලයේ සාමුහිකත්වය උල්ලංඝනය කිරීම' නිසා දේශපාලනයෙන් සමුගන්නට පක්ෂයේ නායකයා අණ කළේය. අස්වූ කර්මාන්ත ඇමති තනතුර ගියේ ජනාධිපතිගේ බෑණා වූ රනිල් වික්‍රමසිංහගේ ඇමති තනතුරු එකතුවට ය. නව කර්මාන්ත ඇමති වික්‍රමසිංහ තනතුරට පත් වී කළ මුල්ම කටයුත්තක් වූයේ යුරියා කම්හල වසා දැමීමය. කෙසේ හෝ කම්හලේ නිෂ්පාදනය ආරම්භ කර වසර 5 කින් යුරියා කම්හල වසා දැමුණේ ය. ආනයනික යූරියා මත යැපීම ආරම්භ විය.
1977 බියගම නමින් අලුත් මතිවරණ කොට්ඨාශයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ආරම්භ විය. ජයවර්ධන - විජේවර්ධන පවුලේ දේශපාලන උරුමයට අනුව යමින් කැලණි නිම්නයේ පිහිටි ආසනයේ එජාප නායකයා හැටියට රනිල් වික්‍රමසිංහ පත් විය. 1977 මහා මතිවරණයෙන් ජයගත් රනිල් වික්‍රමසිහ මංත්‍රිවරයාට මේ ආසනය යලි කිසිම මැතිවරනයක දී ජය ගැනීමට නොහැකි වෙමින් තිබුනේ ය. මේ නිසා ආසනයේ තහවුරු වීමට අලුත් මඟක් ඔහුට ලැබෙමින් තිබුණි. කම්හලත් එහි නිල නිවාස සංකීර්ණයත් තිබුනේ බියගම ආසනයේ ය. වසා දැමු යූරියා කම්හල කැලයට යට වෙද්දී අභිනව කර්මාන්ත ඇමතිවරයාගේ සිත් ගත්තේ බටලන්දේ තිබූ එහි නවීන නිල නිවාස සංකීර්ණයයි. ඔහු එහි තිබූ ආගන්තුක බංගලාව තමාගේ නිල නිවසක් හැටියට තබා ගත්තේ ය. ස්වකීය දේශපාලන සහචරයන් අතරේ හිස් වූ නිල නිවාස බෙදා දුන්නේ ය. බියගම ආසනයේ එජාප මූලස්ථානය හැටියට තෝරා ගත්තේ ද බටලන්දේ ඇමතිවරයා අත්පත් කරගත් ආගන්තුක බංගලාවය.
1987 මැද වෙද්දී ඉන්දු - ලංකා ගිවිසුමත් සමඟ ජවිපේ භා එජාප ආණ්ඩුව මුහුණට මුහුණ ලා හැප්පෙමින් සිටියේ ය. ජනාධිපති ජයවර්ධනගේ ‘චන්ඩි බෑණා’ එජාප ආණ්ඩුව බේරා ගැනීමේ සටනේ ප්‍රධාන නායකයෙක් බවට පත් කෙරුණේ ය. දශකයකට ආසන්න කාලයක් එජාප ආණ්ඩුවේ තරුණ කටයුතු, රැකීරක්ෂා හා අධ්‍යාපන ඇමති තනතුරු දරමින් සිටි ‘රනිල් බෑණා’ දැන් පැවරී තිබෙන්නේ රජයට එරෙහිව අවි ඔසොවා සිටින දෙමළ -සිංහල තරුණයන් මැඬීමය. ඔහු දෙමළ තරුණයන් මැඬීමට අතිරේක හමුදා පුහුණු කඳවුරු තරුණ කටයුතු අමාත්‍යාංශය යටතේ ආරම්භ කළේ ය. සිංහල තරුණයන් මැඩීම ට ‘කළු, කහ බළල් කල්ලි තනා ඔවුන්ගේ මුලස්ථානය හැටියට බටකන්ද නිවාස සංකීර්ණය දුන්නේ ය. බටලන්දේ හමුදා කඳවුරක් ද ආරම්භ කළේ ය. බියගම ආසනයේ ජීවත් වූ එජාප මැර නායක ගෝණවල සුනිල් ට ද නිල නිවසක් දුන්නේ ය.
1988 වෙද්දී ජවිපේ මර්දනයට බටලන්දේ වධකාගාරයක් ආරම්භ විය. පෑලියගොඩ පොලිසියේ සිටි අපරාධ කල්ලියට බටලන්දේ නිවාස සංකිර්ණයෙන්ම නිල නිවාස සැපයුනේ ය. ගම්පහ දිස්ත්‍රික්කයේ හා බියගම ආසනයේ සිටි දේශපාලන සතුරන්ගේ පුත්‍රයන් මෙන්ම ජවිපේ සැකකරුවන්ද වධබන්ධනයට ගෙන ආවේ මේ බටලන්ද වධකාගාරයට ය. 1989 අවසාන වෙද්දී ජවිපේ සමුල ඝාතනය අවසන් විය. 1988 මහා මැතිවරණයෙන් පසු රණසිංහ ප්‍රේමදාස ආන්ඩුවේ ද කර්මාන්ත ඇමති තනතුර හිමි වූයේ රනිල් වික්‍රමසිංහට ය. ඔහුගේ නව ඇමති පදවියේ මුල්ම කටයුත්තක් වූයේ ලංකා ඉතිහාසයෙන් යූරියා නිෂ්පාදන කතාව මකා දැමීමය. ඒ වෙනුවෙන් ඔහු 1989 දී යුරියා කම්හල පරණ යකඩවලට විකුණා දැම්මේ ය. නිවාස සංකීර්ණය හමුදා කඳවුරකට දුන්නේ ය.
ලංකාවේ මුල්ම හා එකම යූරියා කම්හලේ ඉතිහාස කතාව ලංකා දේශපාලනයේ වසර 15 ක [1975 -1990] ඉතිහාසයක අගනා සංකේත හැටියට ඉතිරි වී පවතින්නේ ය. රටේ කර්මාන්ත කාපාළු කිරීම ඒ වෙනුවට එම භූමියේ වධකාගාර ආරම්භ කිරීම, නිල මැරයන් හා කුලී මැරයන්ට දේශපාල රැකවරණ සැලසීම අවසානයේ රට බංකොලොත් වීම දක්වා ගමන් කිරීම එකම දේශපාලන ප්‍රවාහයක කොටස් නොවේ ද? එහි බලවත්ම විමතියට කාරණය වන්නේ මේ කාපාළු පරම්පරාවේ ඉතිරි වූ එකා රටේ ජනාධිපතියා වී රට සංවර්ධනය කිරීමට පාරම්බෑම ය. අපි එය යළිත් සාවධානව අසා සිටීම ය.
බටලන්දේ වධලන්ද ලිපි එකතුව
https://www.lankaenews.com/category/99
---------------------------
by (2022-12-19 17:11:27)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි