~

ධර්මිෂ්ටයා සහ බෑණා ලංකාවේ නීති ක්ෂේත්‍රයට එක් කළ පාදඩ වදන..! බටලන්දේ වධලන්ද - (අංක 05)

-වීරනන්දාබාහු ලියයි

(ලංකා ඊ නිව්ස් -2022.දෙසැ.24, පෙ.ව.4.15) මාධ්‍යකරු: ඇයි ඔබ ගෝණවල සුනිල් ට ජනාධිපති සමාව දුන්නේ?

හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන; මොකක් ද ඒකේ තියෙන වැරැද්ද?

මාධ්‍යකරු; ඔහු සාපරාධී ස්ත්‍රී දූෂණයක වරදකරුවෙක්. ඇයි ඔහුට සමාව දුන්නේ ?

හිටපු ජනාධිපති ජයවර්ධන; ඉතින් මට බලය තිබුණ ද එහෙම සමාව දෙන්න?

මාධ්‍යකරු; ඔව්.  ඔබට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය තිබුණ.

හිටපු ජනාධිපති ජයවර්ධන; ඉතින් මොකක්ද මම කරපු වර ද? මට බලය තිබුණ. මම ඒ බලය ක්‍රියාවේ යෙදෙව්ව.

[1994 දී හිටපු ජනාධිපති ජේ,ආර්. ජයවර්ධන සමඟ ‘රාවයේ’ නෙල්සන් එස් පෙරේරා කළ සම්මුඛ සකාච්ඡාවෙනි]

රාජ්‍ය විරෝධය අනුකම්පා විරහිතව මැඬලීමෙන් 1976 වෙද්දී සමගි පෙරමුණු ආණ්ඩුව පිරිහෙමින් තිබුණේ ය. එයට විකල්ප දේශපාලනයක් ඉදිරිපත් කරමින් පැමිණි ජේ.ආර්. ජයවර්ධන නායකත්වය යටතේ තිබූ එජාපය අලුත්ම දේශපාලන සටන් පාඨයක් ඉදිරියට ගෙනෙමින් සිටියේ ය. ඒ එළඹෙන මහ චන්දයෙන් පසු “ධර්මිෂ්ඨ සමාජයක්” රටේ ඇති කිරීමේ පොරොන්දුවයි. සිරිමා බණ්ඩාරනායකගේ සමගි පෙරමුණු පාලනය මේ ධර්මිෂ්ඨයෝ ‘හත් අවුරුදු සාපයක්’ [1970 -1977] හැටියට පහසුවෙන්ම ජන මනසට කා වැද්දූහ. එසේම ඔවුන් ගෙනා “බණ්ඩාරනායක - රත්වත්තේ” පවුල් ගසේ පාලනයේ කෲරත්වය මහජනයාට හොඳින්ම දැනී තිබුනේ ය. “මට රකින්නට පරපුරක් හෝ පවුලක් නැතැයි” ජයවර්ධන රට පුරාම කියා ඇවිද්දේ ය. එහි අවසානය වුයේ 1977 මහ චන්දයෙන් එජාපයට හයෙන් පහක බලයක් හිමිවීම ය.

පරපුරක් නැතැයි කීවත් බෑණා ගෙනා හැටි..

“රකින්නට පවුලක් හෝ පරපුරක් නැත” යි කී ජේආර් 1977 චන්දයට බියගම ආසනයට ඉදිරිපත් කළේ ඔහුගේ බෑණා කෙනෙකුන් වූ රනිල් වික්‍රමසිංහය. ජයග්‍රහණයෙන් පසු දේශපාලනයට ආධුනිකයෙකු වූ රනිල් වික්‍රමසිංහ අලුත් එජාප ආණ්ඩුවේ නියෝජ්‍ය විදේශ ඇමති පදවිය ලැබුනේ ය. තවත් වසරක් ගෙවෙද්දී ජේආර් ජනාධිපති පදවිය ලබා ගනිද්දී මේ ආධුනික තරුණ බෑණාට තරුණ කටයුතු හා රැකීරක්ෂා කැබිනට් ඇමති පදවිය පැවරුවේ ය. 1980 දී ජනාධිපත් ජයවර්ධන ස්වකීය බෑණා වූ රනිල් ට තවත් කැබිනට් ඇමති තනතුරකින් සංග්‍රහ කළේය. ඒ රටේ අධ්‍යාපන ඇමතිවරයා හැටියට පත් කිරීමය. රනිල්, තරුණ කටයුතු, රැකීරක්ෂා හා අධ්‍යාපන ඇමතිවරයා හැටියට වඩා රටේ බලවත් දේශපාලන තනතුරු දරද්දී ඔහුගේ ප්‍රචන්ඩ දේශපාලන ඥාතියා වූ ගෝනවල සුනිල් සැන්ඩ්‍රා පෝල් ස්ත්‍රී දූෂණ  නඩුවෙන් වරදකරු වී වසර 10 ක සිරඬුවමක් හිමිවී සිටියේ ය.

මාමාගේ සහ බෑණාගේ එකම අරමුණ..

ජයවර්ධන මමා ට හිරගත වූ ගෝනවල සුනිල් පෙනුනේ තමාගේ දේශපාලන ජිවිතය පුරාම හෙන්චයියෙක් වී සිටි මාර්ටින් පෙරේරාගේ ‘දඟකාර පුත්‍රයා’ට සිදුවූ විපතක් හැටියට ය. රනිල් බෑනනුවන්ට ගෝනවල සුනිල් පෙනුනේ අනාගත දේශපාලන ගමනට අත්‍යාවශ්‍ය ‘මැර’ සහායකයෙකු අහිමි වූවා වගේ ය. අවාසනාවකට මේ මාමා හා බෑණා කනගාටුවට පත් කරමින් ඔවුන්ගේ මැරයා අධිකරණ තීන්දුවක් මත වසර 10 සිරදඬුවමක් හිමි වී මහ උළු ගෙදර සිටින්නේ ය. එකල මාමා හා බෑණාගේ එකම අරමුණ  වී තිබුනේ අනාගතයේ එළඹෙන දේශපාලනය හරියාකාරව කිරීමට මේ අපරාධකරුවා කෙසේ හෝ නිදහස් කර ගැනීමය. මේ වෙනුවෙන් රටේ විධායක ජනාධිපතිවරයාට හිමි විශේෂ බලයක් ක්‍රියාවේ යොදවන්නට දෙදෙනාම එකඟ වී සිටින බවක් පෙනෙන්නේ 1981 ජුලී මාසය වෙද්දී ය.

ආණ්ඩුව තමන්ගේ හතරවරිගයටම දේශපාලන බලය සැපසේ භුක්ති විඳින්නට ඉඩ හසරක් ගෙනා සැමරුමක් මේ වෙන විට දිනපොත්වලට ලඟා වෙමින් තිබුනේ ය. ඒ සර්වජන චන්ද බලය බලය ලැබීමේ රිදී ජුබිලියයි. ලංකාවට සර්වජන චන්දය හඳුන්වා දෙන්නේ 1931 ජුලි 07 වෙනිදා  ය.

තමන්ම හදා ගත් බලය අත්හදා බැලීමට...

ඒ වනවිට සර්වජන චන්දය ලැබ සිටි වසර 50 න් තිස් පහක්ම රට පාලනය කර තිබුනේ එජාපයේ නායකයන් හා ජයවර්ධන පවුලේ ඥාතීන් ය. මේ පාලක කල්ලියට රටේ සර්වජන චන්දයෙන් බහුතරයක් සෑම විටම දිනා ගනිද්දී ‘ගෝණවල සුනිල්’ බඳු මැරයගේ සහාය මැනවින් ලැබී තිබුණි. මෙයට සංකේතාත්මකව කෘතගුණ දැක්වීම ජනාධිපති ජයවර්ධන හා ඇමති වික්‍රමසිංහගේ බලවත් වුවමනාව මතු විය. මේ සඳහා බලවත් අවියක් ජයවර්ධන  1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල්ලත් කර ගෙන සිටියේ ය. ඒ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි ජනරජයේ ආණ්ඩුකරම ව්‍යවස්ථාවේ 34[1] වගන්තිය යටතේ විධායක ජනාධිපතිවරයාට රටේ ඕනෑම උසාවියකින් වරදකරුවෙකු වූ පුද්ගලයෙකුට සමාව දීමේ බලයයි.

මහජන අවධානය වෙනතකට යවන්න ආණ්ඩුව කල්වේලා ඇතිව ‘රිදී ජුබිලිය’ සැමරීමට රටම සුදානම් කළේ ය. චන්දයේ අවුරුදු පනහ සමරන්නට රටටම ඇරයුම් කළේ ය. විශේෂයෙන්ම රාජ්‍ය ආයතනවලට මේ රිදී ජුබිලිය උත්සවාකාරයෙන් සැමරීමට ආණ්ඩුව නියෝග කළේ ය.  රජය මේ සැමරුමට සුදානම්වෙද්දී ජයවර්ධන මාමා හා රනිල් බැණා අතිවිශේෂ නීති මෙහෙයුමකට සුදානම් වෙමින් සිටියේ ය. ඒ විධායක ජනාධිපතිවරයාට හිමි අපරාධකරුවෙකුට සමාව දීමේ බලය අත් හදා බැලීමට ය.

රටේ විධායක ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිවෙන මේ බලය හිතු මනාපයේ ක්‍රියාවේ යෙදවීමට ප්‍රතිපාදන නැත. මේ ‘ජනාධිපති සමාව’ සිරදඬුවම් විදින අපරාධකරුවෙකුට ප්‍රදානය කිරීමට පෙර ජනාධිපතිවරයා එම අපරාධය විභාග කළ විනිසුරුගෙන් වාර්තාවක් කැඳවිය යුතුය. එම වාර්තාව රජයේ නීතීපතිට යවා උපදෙස් ලබා ගත යුතුය. අනතුරුව එම වාර්තාව අධිකරණ ඇමතිවරයාට යොමු කළ යුතුය. මේ දුෂ්කර ක්‍රියාවලියෙන් පසුවයි ජනාධිපතිට තමාට අවශ්‍ය අපරාධකරුට සමාව දිය හැක්කේ.

ලංකාවේ නීතියට හඳුන්වාදුන් පාදඩ වදන..

එහෙත් ජනාධිපති ජයවර්ධන මහජන මතයට සඟවන්නට උපායක් ගෙනාවේ ය. ඔහු  ‘ජුබිලිය සැමරීම’ වඩාත් අර්ථවත් කරන්නට  තමාට හිමි බලය යොදා එදිනට තෝරා ගත් සිරකරුවන්ට සමාව දෙන්නට තීරණය කළ බව ප්‍රකාශයට පත් කළේ ය. තමාගේ  ‘ජනාධිපති සමාව ලැබීමට සුදුස්සෝ ඔහු මෙසේ වර්ග කළේ ය.

“මේ ජනාධිපති සමාව හිමිවන්නේ ස්ත්‍රී දුෂණය ට පලමු වරට වැරදිකරු වූ, එහි දඬුවම වසර 10 හෝ ඊට අඩු සිරදඬුවම් කාලයක් හිමි වුවන්ට පමණි”

මේ ‘ජනාධිපති සමාව’ ලබන්නට ලංකාවේ හිරගෙවල්වල සිටියේ එකම එක සිරකරුවෙක් පමණි. ඔහු කැලණියේ ගෝණවල, පල්ලිය පාරේ පදිංචිව සිටි වල්පොල කංකානමලාගේ සුනිල් පෙරේරා හෙවත් ගෝනවල සුනිල් ම පමණි. එය ගෝණවල සුනිල් ඉලක්කර කර දුන් සමාවක් නිසා එයට අදත් නීති ක්ෂේත්‍රයේ "සුනිල් සමාව" නමින් පටබැඳි නාමයක් ඇත්තේ ය.

රනිල්ගේ අමාත්‍යාංශයෙන් අපරාධකරුවා පිළිගැනීමේ උත්සව..

රටේ ජනාධිපති ප්‍රකට අපරාධකරුවෙකුට සමාව දිමට ජනාමාධ්‍යයෙන් ලැබුනේ ඇල්මැරුණු ප්‍රතිචාරයකි. එහෙත් අපරාධකරුවාගේ වින්දිතයෝ [සැන්ඩ්‍රා පෝල් පවුල] මරණ බයට පත් වුහ.

බියගම එජාප විරෝධී දේශපාලනයේ යෙදුනෝ දෙවියන්ගේ පිහිට පැතුහ. එහෙත් බියගම මංත්‍රි හා කැබිනට් ඇමති රනිල් වික්‍රමසිංහ ‘මහ උළු ගෙදරින්’ නිදහස් වී එන සුනිල් පිළිගැනීමට උත්සව සංවිධානය කිරීමට නියම කළේ ය. ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ස්වකීය අමාත්‍යංශ හරහා සැපයුවේ ය.

රට පුරාම සර්වජන චන්දයේ රිදී ජුබිලිය උත්සවාකාරයෙන් සැමරෙද්දී ගෝණවල එජාප පාක්ෂිකයෝ ගම පුරාම කොඩිවැල් අදිමින් බැනර් ගසමින් ස්වකීය වීරයා පිළිගැනීමට සුදානම් වෙමින් සිටියහ.

[මීලඟ කොටස - අලි ඇතුන් පිටින් ස්ත්‍රී දූෂකයා හිරගෙදරින් ගමට]

-වීරනන්දාබාහු

බටලන්දේ වධලන්ද ලිපි එකතුව
https://www.lankaenews.com/category/99

---------------------------
by     (2022-12-23 23:05:31)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links