~

ඇමති කංචනගේ ඉවරයක් නැති නාමල් වන්දනාව සහ ගල් අඟුරු මාෆියාව..!

-අර්ජුන් හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2023.ජන.28, ප.ව.4.15) අපේ රටට අවශ්‍ය ඉන්ධන හා ගල් අඟුරු ගේන්න රජය අනුගමනය කරන ටෙන්ඩර් ක්‍රියාවලිය පිටිපස්සේ මහා පරිමාණ ජාවාරම් සිදු වෙන බවයි පාර්ලිමේන්තුවේ අහුමුළුවල මේ දවස්වල කතාව.

පාර්ලිමේන්තුවේ කිව්වට විපක්ෂයේ මන්ත්‍රීවරු නම් නෙවෙයි, ආණ්ඩුවේම බලවත් ඇමැතිවරු පවා මේ පිළිබඳව කනස්සල්ලෙන් ඉන්නෙ.

ගල් අඟුරු හා ඉන්ධන ගෙන්වීම වෙන වෙනම ක්ෂේත්‍ර දෙකකට අයත් රාජ්‍ය ආයතන දෙකක විෂයයන් දෙකක් වුණත් එකම ඇමතිවරයෙක් යටතේ මේ දෙකේ ඒකාධිකාරිය කොරල් එනර්ජි coral energy නමින් සුප්‍රකට, ඩුබායිහි සමාගමකට පවරන්න කූට උපායක් ක්‍රියාත්මක වන බවත් ඒත් එක්කම කියැවෙනවා. එම සමාගමට මේ රටේ හිටපු ජනාධිපතිවරයෙකුගේ පුතුන් දෙදෙනකු සෘජුවම සම්බන්ධ බවයි කියන්නේ.

ඔය කතාබහ පාර්ලිමේන්තුවේ තැන්තැන්වල ඇමතිවරු අතර පැතිර යන්න හේතුවත් මෙන්න මෙහෙමයි.

නැව් 33 ක් ඕනෑ..

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට මෙගා වොට් පැය 900ක් නිපදවන්න අවුරුද්දකට උවමනා ගල්අඟුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 60,000 බැගින් එන නැව් 33 ක්.

2023 වසරේ නොරොච්චෝලේ හරියට දුවාගන්න නම් ඔය නැව් 33 ම අප්‍රේල් මාසේ ඉවර වෙන්න කලින් ගෙන්න ගන්න උවමනයි. ඒ මොකද අප්‍රේල් පැන්නට පස්සේ නොවැම්බර් වෙනතුරු නොරොච්චෝලේ පැත්තෙ මූදු කලාපයට වාරකන්. ඒ හින්දා ඒ පැත්තට නැව් කිට්ටු වෙනවා බොරු.

ඒ හින්දා තමයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පහුගිය දවස්වල ගල් අඟුරු මෙට්‍රික් ටොන් 2.5 ගේන්න ටෙන්ඩර් කැඳවීමක් කළේ.

සුවිස් සිංගප්පූර් සමාගම..

මේ ටෙන්ඩර් කැඳවීමට අනුව පළමු තැනට තේරුණේ සුවිස් සිංගප්පූර් swiss singapore කියලා සමාගමක්. මේ සමාගමට රජය ටෙන්ඩරය භාරදුන්නේ මෙට්‍රික් ටොන් 60,000 බැගින් වන නැව් වාර 19 ක් ලංකාවට ගෙනැවිත් බාර දෙන්න.

ස්වීස් සමාගම ආරම්භයේ දී ඉතා පිරිසුදුව වැඩ පටන් ගත්තා. ජනවාරි මාසේ ම ඔවුන් නැව් 6 ක් ගෙන්වා බාරදුන්නා. ඒ නැව් හයම පිරෙන්න ආවේ දකුණු අප්‍රිකාවේ උසස් තත්ත්වයේ ගල්අඟුරු බව ඇත්ත.

සාමාන්‍යයෙන් ගල් අඟුරු දහනයේදී එහි අළු ප්‍රතිශතය 16% වඩා අඩු නම් තමයි ප්‍රමිතියෙන් ඉහලයි කියලා පිළිගන්නෙ.

දකුණු අප්‍රිකාවෙන් ගෙන්වන ගල් අඟුරු ප්‍රමිතියෙන් ඉහළයි වගේම මිලෙනුත් පහළ නෑ. මෙට්‍රික් ටොන් එකට ඩොලර් 200ත් 220 ත් අතර මුදලක් වැය වෙනවා. එතකොට හිතන්න නැවක එන ගල්අඟුරු තොගයක වටිනාකම එක ටොන් එකක් ඩොලර් 200 ගානෙ ගත්තත් (60000×200 =12, 000,000) මිලියන දොළහක්.

දකුණු අප්‍රිකානු ගල් අඟුරු වෙනුවට මොසැම්බික් ගල් අඟුරු..

නමුත් මේ සමාගම 7 වන වතාවට ගල්අඟුරු නැව ගෙනාවේ සුපුරුදු පරිදි දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් වරායේ ඉඳලා නෙවෙයි. ඊට යාබද රටක් වන මොසැම්බික්වල මපුටෝ කියන වරායේ ඉඳලා.

ඒකට හේතුව විදියට සමාගම කිව්වේ කේප්ටවුන් වරායට ගල් අඟුරු අදින දුම්රිය සේවාවෙ කම්කරුවන්ගේ වැඩවර්ජනයක්.   ඒක නිසා දකුණු අප්‍රිකාවෙ ගල් අඟුරු ආකර වල ඉඳලා බර වාහන මගින් මොසැම්බික්වලට ගෙනත් මපුටෝ වරායෙන් නැවට පැටෙව්වා කියලයි ඔවුන් කිව්වේ.  

හැබැයි මේ කතාව විස්වාස කරන්න බැරි වුණා. වර්ජනය තියෙන්නෙ දුම්රියේ නම් බර වාහන මගින් ගල් අඟුරු කේප් ටවුන් වරායට ගෙන යන්න බාධාවක් තිබුණේ නෑ. ඒ ගමන බර වාහන මගින් යන්න වැය වෙන්නේ පැයයි. නමුත් මොසැම්බික් වලට එන්න බර වාහනයකට ගතවන කාලය පැය හතකටත් වඩා වැඩි වුණා.

හොයාගෙන ගියාම හත්වෙනි නැවෙන් ලංකාවට ගෙනත් ගෙනත් තියෙන්නේ උසස් තත්වයේ දකුණු අප්‍රිකානු ගල්අඟුරු නෙවෙයි. ඒ වෙනුවට නැව පිරෙන්න පැමිණිලා තිබුණේ අලු ප්‍රතිශතය  26% ටත් වඩා වැඩි ප්‍රමිතියෙන් බාල මොසැම්බික් ගල්අඟුරු.

ගල් අඟුරු බාල වුණත් ටෙන්ඩරයට අනුව ටොන් එකකට ඩොලර් 200 ඉක්මවූ මිලක් ලක් රජය අදාළ සමාගම වෙත ගෙවිය යුතු වුණා. නමුත් මොසැම්බික් ගල් අඟුරු ප්‍රමිතියෙන් බාල නිසා ටොන් එකක නියම මිල ඩොලර් 100 ක් තමයි වෙන්නෙ.

මෙන්න මේ නොමනා ගනුදෙනුව මුල්කරගෙන ස්විස් සිංගප්පූර් සමාගමට ඉදිරියේදී ගල් අඟුරු ගෙන්වීමේ ටෙන්ඩරය නොලැබෙන බවයි ආරංචිය.

ජනාධිපති පුතුන්ගෙ කොරල් එනර්ජි..

ඒක සතුටුදායක ආරංචියක් උනාට ඊට පස්සේ සිදුවන්න යන දේ නම් සතුටු විය හැකි දෙයක් නෙවෙයි. ආරංචියේ හැටියට ස්විස් සිංගප්පූර් සමාගමෙන් ආපසු අරගත්ත කොන්ත්‍රාත්තුව ඊට පස්සේ දෙන්න තීන්දු කළේ කොරල් එනර්ජි coral energy සමාගමට.

කොරල් එනර්ජි සමාගම කියන්නේ ඩුබායිහි පවතින ඉහළ පෙළේ ඉන්ධන සැපයුම් සමාගමක්. ලංකාවට අවශ්‍ය ඉන්ධන ගෙන්වීමේ ක්‍රියාන්විතයේ ලොකු කොටසක් දරන්නෙත් මේ සමාගම තමයි. ලංකාවෙ හිටපු ජනාධිපතිවරයෙකුගේ පුතුන් දෙදෙනෙකුත් මේ සමාගමේ සැලකිය යුතු කොටස්කාරයෝ දෙන්නෙක් කියලයි ආණ්ඩුවේම තතුදත් අය කියන්නේ.

මොකෝ මේ කොරල් එනර්ජිම..

කොහොම උනත් මේ සමාගමට දීපු ඉන්ධන ගෙන්වීමේ ටෙන්ඩරය ගැන වුණත් ඇමති මණ්ඩලයේ වැඩි දෙනෙකුගේ ප්‍රසාදයක් නම් තිබිලා නෑ. ඒකටත් හේතුවක් තිබිලා.

පහුගිය වතාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඉන්ධන සපයන්න ටෙන්ඩර් කැඳව්වාම සමාගම් පහක් ඊට ඉදිරිපත් වෙලා තිබුණා. අඩුම මිල දීපු සමාගම් තුනක් ම විවිධ හේතූන් මත ප්‍රතික්ෂේප කළ ඇමැතිවරයා ටෙන්ඩරය සඳහා තෝරා ගත්තේ හතරවන ගජමිතුරු සමාගම. ඒ තමයි මේ කොරල් එනර්ජි.

නුදුරු දිනක අප්‍රේල් මාසයට පෙර රටට අවශ්‍ය ගල් අඟුරු කඩිනමින් ගෙන්වීමේ අවශ්‍යතාවය ඉදිරියේ තබලා හදිසි තීන්දුවක් ලෙස ගල් අඟුරු ගෙන්වීමේ මුළු කොන්ත්‍රාත්තුව ම කොරල් එනර්ජි සමාගමට දෙනු ඇති කියලයි තතු දත් ආරංචි මාර්ග කියන්නේ.

ඇමතිවරු තැති ගන්වා..

පහුගිය කාලය පුරාම ඉන්ධන හෝ ගල් අඟුරු ගේන්න ටෙන්ඩර් යෝජනා ඇමති මණ්ඩලයට ගෙනාපු ක්‍රමය ගැන ඇමැති මන්ඩලයේ වැඩි දෙනෙක් ඉන්නේ ප්‍රසාදයකින් නෙවෙයි. ඒ ටෙන්ඩර් පත් කිසිම දවසක අධ්‍යයනය කරන්න ඇමතිවරුන්ට කල්තියා ලබා දීලා තිබුණෙත් නෑ. ඇමතිවරු පැමිණ අසුන් ගත්තාටත් පසු කැබිනට් එකට ගෙනෙන ටෙන්ඩර් පත් යෝජනා කඩිනමින් කියවා සම්මත කර ගන්නා බවයි ආරංචිය.

"මේ බිල් එක මේ සතියේ පාස්කලේ නැත්නම් ලබන සතියේ ලයිට් කපන්න වෙයි. ලබන සතියේ තෙල් හිඟයක් ඇති වෙයි. ආයෙත් පෝලිම් ඇතිවෙයි" යනාදී වශයෙන් පවසා ඇමතිවරු තැති ගන්වා බලපෑම් කර විෂය භාර ඇමතිවරයා අදාළ යෝජනා සම්මත කරගන්නා කර ගන්නා බවයි කියන්නේ.

නෙළුම් මාවතේ රිමෝට් කන්ට්‍රෝලර් එක..

තෙල් විෂය පථයත් විදුලිබල විෂය පථයත් වැඩි කලක් තිබී ඇත්තේ අමාත්‍යංශ දෙකක ඇමතිවරු දෙදෙනෙක් යටතේ. කංචන විජේසේකර ඇමති යටතේ මේ බරපතළ විෂය පථ දෙකම එක අමාත්‍යංශයක රඳවලා. එමඟින් අද වන විට මේ විෂය පථ දෙකම කැබිනට් එකට පිටස්තර තැනකින් පාලනය වන බවයි ඇමතිවරුන්ගේ කසුකුසුව.

රටේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් අපනයනය සඳහා වැය කරන ඩොලර් ප්‍රමාණයෙන් 75% වියදම් වන්නේ ගල් අඟුරු හා ඉන්ධන ගේන්න බවයි ඇත්ත. ඒ අති විශාල මුදල් සම්භාරය විෂය භාර අමාත්‍යවරයා විසින්  එකම සමාගමකට හැරවීමට ක්‍රියා කිරීම බරපතළ ගනයේ මහජන මුදල් ගසා කෑමක් නොවන්නේ ද?

කංචන විජේසේකර කියන්නේ නෙළුම් මාවතට කීකරු, අත්දැකීම් අඩු තරුණ ඇමතිවරයෙක්. ඔහුව දිගින් දිගටම මේ බරපතළ විෂය පථයේ රඳවා ගැනීම ඔස්සේ නෙළුම් මාවතේ තිබෙන දුරස්ථපාලකයකින් මේ සියලු ගනුදෙනු මෙහෙයවන බවයි ඇමතිවරු කියන්නේ.

ඇමතිවරු කියන විදිහට මේ ගණුදෙනුව හමුවේ  ජනාධිපතිවරයාත් නිහඬයි. කියන්න කෙනෙකුත් නැති අහන්න කෙනෙකුත් නැති මේ ගනුදෙනුව හමුවේ ඇමතිවරුත් නිහඬව ඉන්නේ වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා කියලයි ආරංචි.

-අර්ජුන්

---------------------------
by     (2023-01-28 10:53:42)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links