~

ලංකාවේ වෙන්ඩරවින්දලා සහ සනත් ගුණතිලකගේ වැලන්ටයින් වැඩ..!

-අජිත් ගලප්පත්ති ලියයි

(ලංකා  ඊ නිව්ස් -2023.පෙබ.16, ප.ව. 11.15) පසුගියදා පැවැත්වූ ප්‍රසිද්ධ නළු සනත් ගුණතිලකගේ වැලන්ටයින් වැඩක් දෙස ප්‍රේක්ෂාවෙන් බැලීමේදී වැලේ වැල් නැති ශ්‍රී ලංකාවේ ඔඩු දුවා තිබෙන බරපතල මෙගලොමේනියා (මානෝන්මාදය) ලෙඩක්  හඳුනාගැනීම පහසු වෙයි. සනත් ගැන කතා කරලා වැඩක් නැතැයි කෙනෙකුට සිතුණත් එකී ලාංකික ලෙඩේ තේරුම් ගැනීම නම් අද ජීවතුන් අතර සිටින හුුදී ජනයාට ප්‍රයෝජනවත් වනු ඇත.

ලංකාවටම වැළ‍ඳී ඇති අසනීපයක්..

හැට හත් වියැති මේ ජ්‍යෙෂ්ඨ නළුවා මේ පෙම්වතුන්ගේ දවසේ එළිදක්වන සිය 'හදවිල පිපි අරවින්දය' යනු  පොතකට එහා ගිය විශාල යමකි. 2023 ජීවත් වන නළුවකු මීට අවුරුදු 35කට පෙර කළ වැඩක් ගැන පුන පුනා ආඩම්බර වෙමින් ඒ මතම යැපීම වෙනුවෙන් එන සති අන්ත පුවත්පත් කතුවරු උනන්දු වන අන්දම නිරීක්ෂණය කළ හැකිය. එයද අප සඳහන් කළ ලංකාවේ මෙගලොමේනියා රෝගී තත්වය පෙන්නුම් කරන අවස්ථාවකි.  දකුණු ආසියාවේ විශිෂ්ට චිත්‍රපටිය උපදවමින් සම්මානනීය වූ නවක අධ්‍යක්ෂ ජගත් මනුවර්ණ වෙනුවෙන් ඉඩ වෙන් නොකරන ලංකාවේ කර්තෘවරු සහ කලා පිටු සංස්කාරකවරු වසර 35ක් ඉපැරණි චිත්‍රපටියක චරිතයක් ගැන නළුවෙක් සිහින දකින පොතකට දක්වන සැලකිල්ල දෙස බලා සිටි විට අපට මෙරට මාධ්‍යයේ පුද්ගලාරෝපන හැසිරීම වටහා ගත හැකියි.

මෙගලොමේනියාව යනු තමාගේ වටිනාකම් ගැන වුවමනාවට වඩා සිතීමේ දුක්ඛිත තත්වයයි. එහි අතුරු රෝග ලක්ෂණයක් ලෙස අප සිතන්නේ පුද්ගලත්වාරෝපනයයි. මෙය ලංකාවටම වැළ‍ඳී ඇති අසනීපයක් මිස සනත් ගුණතිලක පමණක් පීඩා විඳින තත්ත්වයක් නොවන බව ඔහුගේ අනුගාමිකයින්ට පළමුව අවධාරණය කළ යුත්තකි.

බොරු, ප්‍රබන්ධ චරිතයකට වශී වීම..

පුද්ගලයකුගේ ගතිගුණ වෙනත් මනංකල්පිත අරමුණකට ආරෝපනය කිරීම හැඳින්වෙන්නේ පුද්ගලත්වාරෝපනය යනුවෙනි. ලංකාවේ දේශපාලනය තුළ ද, මාධ්‍ය තුළ ද සිද්ධ වෙන්නේද එයයි. පුද්ගලයා වෙනුවෙන් තැණුනු පිළිරුවකට හෝ ප්‍රබන්ධ චරිතයකට  පුද්ගල ගති ආරෝපනය කිරීමෙන් තෘප්තිමත් වීමට නුතන ලාංකික පුරවැසියන්ට සිදුව ඇත. personification යනුවෙන් දැක්වෙන්නේ මේ පුද්ගලත්වාරෝපන තත්වයයි.  මේ බරසාර වචනයට තිබෙන තවත් ශබ්ද කෝෂ අර්ථයක් තිබේ. එයද ලංකාවේ මේ මොහොත අවබෝධ කරගැනීම සදහා අවශ්‍ය නම් කෑමට පෙර සහ පසු භාවිතයට ගත හැකිය. එනම්, personification යනු කෙනෙකුගේ බලාපොරොත්තු කඩවීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ පුද්ගලයාගේ මනෝඥ සහ අමනෝඥ ගති ගුණ වෙනත් පුද්ගලයකුට ආරෝපනය කිරීමයි. නූතන ලාංකික පුරවැසියා බොරු, ප්‍රබන්ධ චරිතයකට වශී වීම හා කිසියම් මායාකාර චරිතයක් අරෝපනය කර ගැනීම බරපතල තත්වයකි. අප අද මුහුණ දී සිටින අපහසුතා සියල්ල මෙකී අසනීපයට අප ගොදුරු වූ තරම කියා පායි.

තිස්ස ලෙස්ටර්ට ලියූ විරාගයේ විශිෂ්ඨ තිරරචනය තම විරාගයේ දී විසි කෙළේ ඇයි..?

වැලන්ටයින් දිනය සමරමින් සනත් ගුණතිලක  'හදවිල මත පිපි අරවින්දය' යන මැයෙන් පොතක් එළිදැක්වීය. 'අරවින්දට පණදුන් සනත්ගේ කතාව' කියා ඔහු එය නම් කරයි. මින් පෙනෙන්නේ සනත් තවමත් 1987 දී තිරයට ආ අරවින්ද ගෙන් ඔබ්බට ගොස් නැති බවයි. සනත් 'විරාගයේ' හොඳටම රඟපෑ බව ප්‍රකටය. සම්මාන ද හමු විය. කොච්චර හොඳට රගපෑවාද කියා කිවහොත් අතිමහත් වෙහෙස මහන්සියකින්, ඇඟට වද දෙමින් නොකා නොබී කෙට්ටු වෙමින් ඉතාම ආයාසයෙන් සනත් රඟපෑවේය.  නොකා නොබී ඇඟට වද දුන්නාට එය විශිෂ්ට රගපෑමක් වන්නේ නැතැයි ටෝනි රණසිංහ වැනි විශිෂ්ට නළුවෙක් එකල මාධ්‍යයට කියා තිබිණි. (බලන්න 'ආරාධනා', 1989-01-30, 11 පිටුව ) තිස්සට කලින් ලෙස්ටර් හදන්න උත්සාහ කළ 'විරාගයේ' අරවින්ද වන්නට හිටියේ ටෝනි රණසිංහයි. තිස්ස අබේසේකර ඒ ලෙස්ටර් කරන්න ගිය 'විරාගයේ' තිරරචනය ලිව්වේය. පැය දෙකක චිත්‍රපටියක් විදියට තිස්ස අතින් ලෙස්ටර්ට අවශ්‍ය විදියට ලියවුණු ඒ තිරරචනය තිස්ස අතින් ලියැවුණු තවත් විශිෂ්ට තිරරචනයක් බව එය කියවා ඇති අයගේ අදහසයි. එතරම් වූ එම තිරරචනය ඔහු පැත්තකට විසි කළේ ඇයි.?

තිස්ස "වල ඉහගෙන කෑවාද?"

තිස්සගේ 'විරාගයට' වියදම් කරන්නට ඉදිරිපත් වූ චන්ද්‍රා මල්ලවාරච්චිට මුලින්ම තිස්ස දෙන්නේ ඒ විශිෂ්ට තිරරචනයයි. ඇය මුලින්ම තිස්සට කැමැත්ත දෙන්නේ එම තිරරචනය චිත්‍රපට ගත කරන්නටයි. නමුත් තිස්ස තීන්දු කළේ අලුත් තිරපිටපතක් ලිවිය යුතු බවටයි. අධ්‍යක්ෂවරයා අද්විතීය දක්ෂයෙක් උනත් එය නම් එම අවස්ථාවේදී එක්තරා ආකාරයක 'වල ඉහගෙන කෑමක්' නොවේදැයි කෙනෙකුට සිතිය හැකියි. නිෂ්පාදිකාව හූරාගෙන කෑමක් සිදුව ඇතැයි අනුමාන කළ හැක්කේ. අවසානයේදී ඇයට තමන්ගේ ගේදොර ඉඩකඩම් පවා අහිමි වන තරමටම 'විරාගයේ' වියදම් කලින් සැලසුම් කළ තරමට වඩා ඉහළ ගිය බව නිෂ්පාදිකාවම පවසන නිසයි. 'විරාගය' වැනි චිත්‍රපටි තව කිහිපයක් නිපදවීමට සිතා සිටි එම ආයෝජිකාව අපේ සිනමාවට සහ මුළු රටටම අහිමි වෙන්නේ කාගේ වරදින්ද.? ( ඒ කතාව ඇත්තක්ද කියා  ඇගෙන්ම අසා දැන ගත හැකියි. ලංකාවේ නැති උනත් fb එකේ ඇය සිටින්නීය.)

'වෙන්ඩරවින්ද'

ඇය වියදම් කරන 'විරාගයේ' අරවින්දට සනත්ව ගන්න ඕනෑ කියලා තිස්සට යෝජනා කරන්නේ පවා ඇයයි. තිස්ස ඒ වන විට අරවින්දගේ චරිතයට හිතාගෙන හිටියේ ලක්ෂ්මන් විජේසේකර බව කියැවේ. ලක්ෂ්මන් සමග කතා බහ කොට සිය කැමැත්ත පවා ගෙන තිබිණි. ඒ කතාව ඇත්තක්ද කියා එකල මම ලක්ෂ්මන්ගෙන්ම විමසා සහතික කරගත්තෙමි. නිෂ්පාදිකාව ද එය සහතික කරයි. තිස්සගේ ඒ තේරීම හරියටම හරි බව ලක්ෂ්මන් විජේසේකරගේ ස්වරූපය දන්නා අය ද අනුමත කරති. එය තිස්සගේ විශිෂ්ඨ තේරීමකි. ලක්ෂ්මන් විජේසේකර පත්තරවලින් 'වෙන්ඩරවින්ද' කෙනෙක් වන්නට කිසිදා මහන්සි නොවුණේ ඇත්තටම ඔහු අරවින්ද වැනිම වූ නිවුණු නිශ්ශබ්ද හා ශික්ෂිත චරිතයක් වූ නිසයි. චන්ද්‍රිකාගේ උපදේශක ව සිටි සමයේ සනත්ට එල්ල වූ විවිධාකාර චෝදනාවලින් දශමෙකවත් චෝදනාවක් ලක්ෂ්මන් විජේසේකරට එල්ල නොවුණු නිසා තිස්සගේ ඒ විශිෂ්ට තේරීම තව දුරටත් නිවැරදියැයි සිතේ.  වික්ටර් අයිවන් 'රාවය' පත්තරෙන් සහ 'චෞර රැජින' පොතෙන් අද අරවින්ද වෙත ආරෝපනය වන සනත්ට එල්ල කළ අති දරුණු චෝදනා වලට සනත් නිශ්ශබ්දව සිටීමෙන් අප තේරුම් ගත යුත්තේ ඔහුද අරවින්ද මෙන් සියල්ල උපේක්ෂාවෙන් ඉවසා දරා ගන්නා නිහඬ අහිංසක චරිතයක් ලෙසද.? අරවින්දගේ චරිතයට පුද්ගලත්වාරෝපනය වන්නේ එවන් වූ සනත් ගුණතිලකද.? අද ආදරවන්තයන්ගේ දවසේදී දැනුවත් ආදරවන්තයින්ට සිතන්නට යමක් මේ පොත හරහා සනත් තිළිණ කරයි.

සනත් අරවින්දගෙන් එහාට රඟපා නැත..

අරවින්දගේ චරිතයට ලක්ෂ්මන් විජේසේකරව තෝරාගෙන සිටි අධ්‍යක්ෂවරයා ඒ වන විට මල්ගස් වටේ දුවන විසිතුරු නළුවෙක් ලෙස ප්‍රසිද්ධ ව සිටි සනත්ට කැමති නොවූ බව නිෂ්පාදිකාව කියයි. එසේ වූ සනත් ගුණතිලක අරවින්දගේ චරිතයට ගන්නවාට සිය බිරිඳ පවා විරුද්ධ වු බව තිස්ස එකල මාධ්‍යයට කීවා මතකය. නමුත් නිෂ්පාදිකාවගේ ඉල්ලීමට ඉඩ දෙන්නට තිස්සට සිද්ධ වෙයි. සනත් ඉතා වෙහෙස වී රඟපෑ පසුව තිස්ස තම අදහස වෙනස් කර ගන්නට ඇත. තමුන්ව තෝරා ගත්තේ තිස්ස අබේසේකර බවට දශක ගණනාවක් තිස්සේ පුන පුනා පත්තරවලට කීමෙන් ඉන් පසු එවැනි චරිත නිරූපනයක් කිරීමට අසමත්වූ සනත්ට ලොකු ආලෝකයක් ලැබෙන බවක් ඔහු හිතනවා වන්නට පුළුවන. තිස්ස සනත්ව දක්ෂ විදියට මෙහෙයවයි. ඒ නිසා සනත්ව ගත්තේ නිෂ්පාදිකාව කියා කියන්නට නිහතමානි නොවීම ද අසාධාරණ නැත. සනත් ඇඟට වද දෙමින් හොඳට රගපෑවාට පසුව තිස්ස ඒ ගෞරවය තමන්ගේ පැත්තට හරවා ගන්නට සිතීමද වැරදි නැත. සමහර විට සනත් ඔය කතාව නොදන්නවා වන්නට ද පුළුවන. එහෙම නම් සනත් ගැන වරදවා සිතීම ද සාධාරණ නැත. නමුත් සනත් දශක ගණනාවක් අරවින්දගේ ඇඟේ එල්ලිලා ඉන්න එකෙන් ඔප්පු වෙන්නේ එතැනින් එහාට ඔහු රඟපා නැති බවයි. ගාමිණී, මාලිනී, විජය, ජෝ, ටෝනි, අනෝජා, නීටා වැනි ජාතික හා ලෝක සම්මානිත නළු නිළියන් කිසිවකු තමන්ගේ පුරාතන චරිත මත යැපෙමින් ජීවත්වුණේ නැත. තිස්සගෙන් පසුව ඔහුටත් වඩා ලෝකය දිනපු විශිෂ්ට තරුණ අධ්‍යක්ෂවරු සනත්ව නොගැනීමෙන් ඔප්පු වෙන්නේ සනත්ට රඟපාන්නට බැරි බව ද.?  එසේත් නැතිනම් 'මං අරවින්ද වගේ' කියමින් පත්තර හිතවතුන් ලවා ලෝකෙට හඬ ගා කියන සනත්ගේ ඇතුලේ අරවින්ද කෙනෙක් ගෑවිලාවත් නැති බවද.? තරුණ කාලේ කීප දෙනෙකුටම ආදරේ කොට මැදිවියට යද්දි තනිකඩව ඉන්න එක අරවින්ද කෙනෙක් වන්නට සුදුසුකමක් කියා කිසිවකුට හිතෙනවද.?

ඒ මන්ද?

ආදරවන්තයින්ගේ දවසේ තමුන් ආදරණීයයි කියලා ප්‍රසිද්ධීයේ පෙන්වනවාට වඩා අප වඩාත් කැමති වන්නේ සනත් එවැනි ප්‍රවීන නළුවෙක් තවත් හොඳ එක චරිතයක් හෝ රඟපා පෙන්වනවා නම්ය. ඒ ස‍ඳහා අප කළ යුත්තේ තිස්ස අබේසේකර වැනි විශිෂ්ට සිනමාකරුවන්ට චිත්‍රපට සාදන්නට තමා ඉපැයූ ධනය පූජා කළ නිෂ්පාදකවරු යළි ඔහුට හෝ අන් කිසිවකුට චිත්‍රපටි හදන්නට උදව් නොකළේ මන්ද? කියා සෙවීමයි.

මා විසින් මෙම සටහන අරභයාම සාදනු ලබන 'වෙන්ඩරවින්ද' කියන වචනය ශාස්ත්‍රීයව පැහැදිලි කිරීමට ඉදිරියේදී (හිටියොත්) යොදාගන්නා බර වචන දෙකක් විය හැක්කේ megalomania (මානෝන්මාදය) සහ personification (පුද්ගලත්වාරෝපනය)යි.

-අජිත් ගලප්පත්ති

[email protected]

---------------------------
by     (2023-02-16 18:29:43)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links