(ලංකා ඊ නිව්ස් -2023.මැයි.16, ප.ව.9.40) එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වන්දි ලබා ගැනීම වළක්වා ගැනීම සඳහා ඩොලර් මිලියන 250 ක අල්ලසක් ගත්තා කියන චාමර ගුණසේකර කව්ද යන්න දැන් නූල් බෝලයක් සේ පැටලී ඇත.
මෙය පළමුවරට හෙළි කළ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මුලින් කීවේ චාමර ගුණසේකර නමැත්තාගේ එංගලන්තයේ තිබෙන නැට්වෙස්ට් බැංකුවේ ගිණුමකට මේ මුදල් කන්ද ගිය බවයි. හේ ගිණුම් අංකයක් ද කීවේ ය. පසුව විජේදාස කීවේ තමන්ට මේ තොරතුර දුන්නේ අජිත් මාන්නප්පෙරුම විපක්ෂ මන්ත්‍රීවරයා බවයි.
ඊට පිළිතුරු දෙමින් අජිත් මාන්නප්පෙරුම පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කෙළේ තමන්, චාමර ගුණසේකර එංගලන්තයේ පදිංචි කරුවකු බව කී නමුත් ඔහු කීවේ බහමාස් දූපතේ බැංකුවකට මේ මුදල ගිය බවයි.
ඊට පසු විජේදාස රාජපක්ෂ යළිත් කීවේ ඉහත කී චාමර ගුණසේකර යනු මේ නැවේ නඩුව ගැන කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගේ ඥාතියෙකු බවයි. නඩුව අල කිරීම සඳහා ඒ මුදල් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර බෙදී ගිය බවද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.
මේ අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව චාමර ගුණසේකර ගැන හෝ අල්ලස් සිද්ධිය ගැන කිසිදු තොරතුරක් මේ දක්වා නිල වශයෙන් හෙළි කර නැත.
මේ සිදුවීම් අනුව පෙනී යන්නේ ලංකා ඊ නිව්ස් මුලින්ම චාමර ගුණසේකර කව්ද යන්න ගැන සැකයේ ඇඟිල්ල දිගුකළ මංජු නිශ්ශංක සහ නාලක ගොඩහේවා නිර්දෝෂී බවයි. එබැවින් ලංකා ඊ නිව්ස් අප්‍රේල් 26 දා පළ කළ "එක්ස්ප්‍රස් පර්ල් ඩොලර් කෝටි 25 ක් ගිල්ල රටම සොයන "චාමර ගුණසේකර" ගැන සීඅයිඩියට ඔත්තුවක්..!" නම් පුවතින් මංජු නිශ්ශංකට සහ නාලක ගොඩහේවාට යම් සිත් රිදවීමක්, අපහසුතාවයක් වූයේ නම් ලංකා ඊ නිව්ස් ඒ පිළිබඳව ඔවුන් දෙදෙනාට කණගාටුව ප්‍රකාශ කර සිටිමු.
මාධ්‍ය භාවිතයේ දී සත්‍ය යනු නිරපේක්ෂ දෙයක් නොවේ. එය සත්‍ය සොයා යන ක්‍රියාවලියකි. ලෝකය ගෝලාකාරය යන සත්‍යයට පෙර මිනිසුන් සිතා සිටියේ ලෝකය පැතැලි තැටියක් වැනි දෙයක් කියා ය.
කෙසේ වෙතත් වන්දි නඩුව නොදා සිටීමට හෝ පමා කිරීමට මේ අල්ලස් මුදල යම් කිසිවෙකු අතට ගියේ නම් එය ද දැන් අසාර්ථක වී තිබේ. මන්ද යත් ඒ පිලිබඳ නඩු දෙකක්ම දැන් දමා තිබෙන බැවිනි. ආණ්ඩුව සිංගප්පූරුවේ ද විපක්ෂයේ සජබ ශ්‍රී ලංකාවේ ද වන්දි ඉල්ලා නඩු දෙකක්ම දමා ඇත.
-LeN
---------------------------
by (2023-05-16 16:21:27)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි