-මාණ්ඩලික වාර්තාකරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.28, ප.ව.3.45) ඡන්දයකට මුහුණ දුන හොත් සහමුලින් වඳ වී යන බව දන්නා රනිල්-රාජපක්ෂ ජුන්ටාව දැනටමත් පළාත් පාලන ඡන්දය අතුරුදහන් කර ඇති අතර එය තවදුරටත් නීත්‍යාණුකූල කිරීම සඳහා ලොවෙත් නැති ලොවි ගහෙත් නැති නීතියක් ගෙන ඒමට යයි.
ඉන් සිදුකරන්නට යන්නේ කල් පිරීම අනුව නීත්‍යානුකූලව විසිරී ඇති පළාත් පාලන ආයතන ඡන්දයක් තැබීමට වාතාවරණයක් නැතැයි කියා වසරකට පසුව නමුත් අදාල ඇමැතිවරයාට යළි කැඳවීමට බලය ලැබීමයි.
මේ පණත් කෙටුම්පත මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා ආඥා පණත සංශෝධනය සඳහා ගෙන ඒමට නියමිතය. ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාගේ පුද්ගලික යෝජනාවක් ලෙස ගෙන ඒමට නියමිත අතර පසුගිය 26 වැනිදා ඊට අදාල ගැසට්ටුව නිකුත් කර තිබේ. එහි මෙසේ සඳහන් ය.
"පළාත් පාලන ආයතන ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක දී රටේ ඇතිවී ඇති යම්කිසි අර්බුදකාරී තත්ත්වයක් නිසා ප්‍රකාශිත පරිදි අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වන තත්ත්වයක් පැන නැගී ඇති අවස්ථාවක ඉහත 10(2)(ආ) විධානය පරිදි අමාත්‍යවරයා විසින් ධුර කාලය දීර්ඝ කරන ලද කාලසීමාව මාස 12 ක් ඉක්ම වී තිබුණේ වී නමුත් අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන තවත් යම් කාලසීමාවක් සඳහා අදාළ විසිරුණු සභාව නැවත කැඳවීමට හැකි විය යුත්තේ ය."
මේ අනුව ඡන්දයක් නැතිව පරණ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යලිත් ක්‍රියාත්මක කළ හැකි වනු ඇත. මේ අනුවම යමින් අවශ්‍ය නම් ජනාධිපතිගේ ධූර කාලය අහවර වී නමුත් ජනාධිපතිවරණයක් නොමැතිවම සිටින ජනාධිපතිවරයාටම තව දුරටත් බලයේ සිටිය හැකි වනු ඇත. අවශ්‍ය වන්නේ පණතකට සංශෝධනයක් ගෙන ඒම පමණි. මොවුන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අදාල වන බවක් පෙනෙන්නට නැත.
මෙයට සරිලන කතා පසුගිය කාලයේ රනිල් හිතවාදීන් විසින් තැන තැන දෙසා බානු අසන්නට ලැබිණ. ඔවුන්ගේ තර්කය නම් ජනාධිපතිවරයෙකුට අදාල ධූර කාලය වන වසර 5 ක කාලය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ද උරුම විය යුතු බවයි. ඉහත කී පළාත් පාලන පණත් සංශෝධනය එහි පෙර නිමිති පෙන්වන සංශෝධයක් වනු ඇත.
අතුරුදහන් කර ඇති පළාත් පාලන ඡන්දය ලබා ගැනීම සඳහා එක්සත් ක්‍රියාමාර්ගයක් ගත නොහැකි විපක්ෂයේ පක්ෂ වලට රනිල් රාජපක්ෂ ජුන්ටාව ජනාධිපතිවරණය ද අතුරුදහන් කළහොත් ගත හැකි ක්‍රියාමාර්ගයක් නැත. බෙදී වෙන් වී තම තමන්ගේ පුරාජේරු බයිලා ගසමින් හිඳිනු දක්නට හැකි වනු ඇත.
මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා ආඥා පණත සංශෝධනය සඳහා 26 දා නිකුත් කර ඇති ගැසට්ටු පහත දිගු වලින් කියැවිය හැකිය
http://documents.gov.lk/files/bill/2023/6/346-2023_S.pdf
http://documents.gov.lk/files/bill/2023/6/347-2023_S.pdf
http://documents.gov.lk/files/bill/2023/6/348-2023_S.pdf
---------------------------
by (2023-06-28 10:32:33)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි