-සොල්දාදු උන්නැහේ හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.12, ප.ව.11.10) ශ්‍රී ලංකා යුද හමුදාවේම විනයාරක්ෂකයා වන්නේ මිලිටරි පොලිස් විමර්ශන ඒකකයේ අණදෙන නිලධාරී මේජර් ජනරාල් ක්ලිෆර්ඩ් සොයිසා (A.C,A De Soysa 0/61548 intake 32) පට්ට දූෂිතයෙකි. ඔහුගේ රජයේ වාහන අවභාවිතාව යුද හමුදාපතිවරයාවත් නොකරයි.
ඔහු වෙන් කරගෙන ඇති වාහන අතර,
යු.හ. 17046 මොන්ටෙරෝ ජීප් රථය සඳහා, මාසිකව ඉන්ධන ලීටර් 625 ක් ලබා ගනී.
යු.හ 51375 සුදු කයිරෝන් ජීප් රථය සඳහා මාසිකව ඉන්ධන ලීටර් 525 ක් ලබා ගනී.
යු.හ 50018 කයිරෝන් ජීප් රථය සඳහා මාසිකව ඉන්ධන ලීටර් 525 ක් ලබා ගනී.
යු.හ 51278 KDH වෑන් රථය සඳහා ඉන්ධන සීමාවකින් තොරව ලබා ගනී.
යු.හ 10281 ටොයෝටා කාර් රථය සඳහා ඉන්ධන ලීටර් 625 ක් ලබා ගනී.
යු.හ 16154 සුසුකි කාර් රථය සඳහා ඉන්ධන සීමාවකින් තොරව ලබා ගනී.
බංකොලොත් රටක මේ තරම් වාහන තොගයක් එක නිලධාරියෙකුට..? පිස්සුද? හැටිද?
එපමණක් නොව ඔහු තම කඳවුර සහ නිල බලය යුද හමුදාවේ නිලධාරීන් හා සෙබළුන්ගෙන් දේශපාලන පලිගැනීම් වලට මෙන්ම පුද්ගලික පලිගැනීම් වලට ලක් කරමින් සිටී. පොල්හේන්ගොඩ පිහිටි මිලිටරි පොලිස් යුද හමුදා පොලිස් විශේෂ විමර්ශන ඒකකය හිරිකිතයකින් තොරව මිහිපිට අපායක් වන වධකාගාරයක් බවට පත් කර තිබේ.
යුධ හමුදා විනය ආරක්ෂාධිපති මේජර් ජනරාල් ක්ලිෆර්ඩ් සොයිසා යුද හමුදාපතිවරයාගේ නියෝගයන්ද අභිබවනය කරමින් සිටී.
යුධ හමුදා සාමාජිකයන්ගේ මානව හිමිකම් අමු අමුවේ මහ දවල් උල්ලංඝණය කරමින් දේශපාලන සහ පෞද්ගලික පලිගැනීම් වලට ලක් කරමින් හිතුමනාපෙට අනීතික අත්අඩංගුවට ගැනීම් දිගින් දිගටම සිදු කරනු ලබන මේජර් ජනරාල් ක්ලිෆර්ඩ් සොයිසා ප්‍රමුඛ නඩය අත් අඩංගුවට ගන්නා යුද හමුදා සාමාජිකයන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට රැගෙන එනු ලබන්නේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් විසින් පුද්ගලයන් දෙදෙනකු පමණක් ගමන් කළ හැකි බවට නම් කර ඇති බොලරෝ වර්ගයේ ලොරි රථ තුල ය.
දෙදෙනෙකුට පමනක් ගමන් කිරීමට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නීතිය මගින් උපදෙස්දී තිබුණද එකවර මෙම ලොරි රථයක පරීක්ෂණ කණ්ඩායම් සහ අත්අඩංගුවට ගනු ලැබූ සෙබළුන් දහයකට අධික ප්‍රමාණයක් රැගෙන යාම අනීතිකය.
පසුගිය මස 20 දින එසේ ගමන් කළ යුද හමුදාව විශේෂ විමර්ශන ඒකකයට අයත් මෝටර් රථයක් නිට්ටඹුව ප්‍රදේශයේ දී මාරාන්තික අනතුරකට ලක්වීමෙන් හමුදා සාමාජිකයන් කිහිප දෙනෙක් අදටත් සිහිසුන්ව කොළඹ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙති.
මේ මොහොත වන විට පොල්හේන්ගොඩ යුද හමුදා පොලිස් විශේෂ විමර්ශන ඒකකය තුළ ඇති සිර අඩස්සියේ පසුවන නිර්දෝෂී හමුදා සාමාජිකයන් විස්සකට අධික ප්‍රමාණයක් පළිගැනීම්වලට ලක් වමින් පසුවන අතර සිර මැදිරි තුළද හමුදා සාමාජිකයන්ගේ මානව හිමිකම් බල්ලාට දමා ඇත.
මෙසේ අනීතික අත්අඩංගුවට ගැනීම්වලින් මොවුන් බලාපොරොත්තු වනුයේ මෙම හමුදා සාමාජිකයන් දැඩි මානසික පීඩනයකට ලක් කරමින් ඔවුන් දෙනු ලබන සාක්ෂි බලපෑම් මත වෙනස් කරමින් හමුදාව තුළ දේශපාලනික සහ පෞද්ගලික පලිගැනීම් වලට ලක් කරනු ලබන නිලධාරීන්ට විරුද්ධව පදනම් විරහිත අසත්‍ය සාක්ෂි ගොඩනඟා ඔවුනගේ පටු අරමුණු ඉෂ්ට කර ගැනීමය.
1948 අංක 17 දරණ පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත යුද්ධ හමුදා පනත සුවිශේෂී වන්නේ එය මහජන ආරක්ෂාව මෙන්ම ජාතික ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත බලාධිකාරියක් බැවිනි.
යුද්ධ හමුදාවට බැඳෙන සියලුම දෙනා රාජකාරියේදී මෙම පනතට අනුව තම රාජකාරිය ඉටුකළ යුතුය. එම පනතට අනුව කටයුතු කිරීමේදී රටේ පවතින පොදු නීතියට ද යටත්ව කටයුතු කිරීමට ඔවුන්ට සිදු වේ. පොදු නීතිය යනු, ශ්‍රී ලංකා ආණ්ඩු ව්‍යවස්ථාව, අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සහ සිවිල් නඩු විධාන සංග්‍රහ පනතද සුරැකිය යුතු වීමයි.
එසේම යම් යුද්ධ හමුදා කඳවුරක් තුල සිදුකරන සියලු කටයුතුවලදී ද ඒ ඒ කටයුතු වෙනුවෙන් පනවා තිබෙන අණපනත් වලට අනුව කටයුතු කළ යුතුය. උදාහරණයක් ලෙස යම් හමුදා කඳවුරක් තුල ගස් කපන්නේ නම් ඒ වෙනුවෙන් පනවා තිබෙන පනත්ද, ඇල මාර්ග ඉදිකරන්නේ නම් ඒ සඳහාද රට තුල පනවා තිබෙන පනත් වලට අනුව ක්‍රියා කළ යුතුය.
එසේම රථ වාහන වල ගමන් කිරීම සඳහා පනවා තිබෙන නීතීන් වලටද අනුව කටයුතු කිරීම මහා මාර්ගය තුල පමණක් නොව හමුදා කඳවුරු තුලදී වුවද සිදු කළ යුතුය.
තවද යම් හමුදා නිලධාරියෙක්, භටයෙක් අත්අඩංගුවට ගැනීම කළ හැකි නමුත් නඩු විභාගයකින් තොරව සිර අඩස්සියට පත්කළ නොහැක. නමුත් විවෘත සිර අඩස්සියේ තබා පරීක්ෂණ කළ හැකිය. පරීක්ෂණ කිරිමේදී එය කළ යුතු ආකාරයද පැහැදිලිව පෙන්වා දී තිබේ.
යම් උසස් නිලධාරියෙක් තමන්ට පහළින් සිටින නිලධාරියාගෙන් පලි ගැනීම උදෙසා තම බලය භාවිතා නොකළ යුතුය. එසේම රජය මගින් ලබා දී තිබෙන වරප්‍රසාද කිසිවක් කප්පාදු කිරීමට ද උසස් නිලධාරීන්ට බලයක් නැත.
ඒ අනුව ගත්විට සහ නීතිය එය වන විට ඒ ආකාරයෙන්ම යුද්ධ හමුදාව තුළ සිදු වන්නේද යන්න අප සොයා බැලුවේ අපට ලැබී තිබෙන විශාල ලිපි ගොනු නිසාය. යුද්ධ හමුදා උසස් නිලධාරීන්ගෙන් පහළ නිලධාරීන්ටද, සමහර නිලධාරීන්ගෙන් භටයන්ටද සිදුව තිබෙන සහ සිදුවන පලිගැනීම්, නීති විරෝධී නොසලකා හැරීම්, අනාගත උසස්වීම් ලබා ගැනීමට නොහැකිවන ලෙස විවිධ පරීක්ෂණ පවත්වා අවවාද කිරීම් ආදිය ද අපට වාර්තා වී තිබේ.
මේ වන විටද පොල්හේන්ගොඩ යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය තුල භටයන් විශාල ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස රඳවාගෙන තිබෙන බවටද තොරතුරු ලැබී තිබේ.
එසේම බොහෝ භටයන් මානසික හිංසනයන්ට ලක් කරමින් විවිධ ප්‍රකාශ වලට අත්සන් ලබා ගන්නා බවද, ඒවා පලිගැනීම් උදෙසා භාවිතා කරන බවටද තොරතුරු රාශියක් ලැබී තිබේ.
මේ ආකාරයෙන් පලිගැනීම්, අකටයුතුකම් සිදුවීමෙන් ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් සිදු වේ. ඒ ඔවුන් හමුදා නිලධාරීන් සහ භටයන් වන බැවිනි. තමන්ට හමුදාවන් වලදී සිදුවන අකටයුතුකම් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග හතරක් ගත හැකිය.
එසේ කෲර ලෙස සලකන උසස් නිලධාරීන්ට එරෙහිව පොදු නීතිය යටතේ කටයුතු කළ හැකිය. එහිදී එම නිලධාරීන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට පැමිණිලි කර අපරාධ නඩු පැවරීම, තමන්ට සිදුවන නින්දා සහ අපහාසයට එරෙහිව වන්දි නඩු පැවරීම, මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම සහ මුලික අයිතිවාසිකම් නඩු පැවරීම, බලධාරීන්ට එරෙහිව රිට් ආකාරයෙන් නියෝග ලබා ගැනීම ආදියයි.
ඉන් වඩාත්ම ප්‍රතිඑලදායක වන්නේ පොලිසියට ගොස් පැමිණිලි කිරීම සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමය. ඒ සඳහා කිසිදු මුදලක් වැය නොවන අතර එය තමන්ට ඇති නීතිමය අයිතිවාසිකමකි.
සේනාධිනායක ජනාධිපති තුමනි, ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතාණෙනි, මානව හිමිකම් කොමිසමේ සභාපති තුමනි ඔබතුමන්ලාගේ නියෝජිත කණ්ඩායමක් මේ මොහොතේ මේ මිහිපිට අපායට යැව්වොත් මෙම කුමන්ත්‍රණය ස්වභාවය ගැන සහ මානව හිමිකම් උල්ලංඝනය වෙමින් අනීතිකව සිදුවන අත්අඩංගුවට ගැනීම් වලින් දුක් විඳින හමුදා සාමාජිකයන් ඇසින් දැක ඔවුන්ගේ දුක කෙලින්ම අසාගත හැකිය.
---------------------------
by (2023-07-12 17:39:29)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි