~

ෆැසිස්ට් ට්‍රම්ප්ලා සහ තලේබාන්ලා එකට හිටගත් මෙවර කාන්තා පාපන්දු ලෝක කුසලානය: දූෂිත FIFA ඇෆ්ගනිස්ථාන කාන්තා පාපන්දු කණ්ඩායමට දොර වසයි!

-ආනුභාවනන්ද ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.19, ප.ව‍.10.35) මේ කාන්තා පාපන්දු වසන්තයයි. කාන්තා ලෝක කුසලානයේ අවසාන තරඟය හෙට (20 වන ඉරිදා) පැවැත්වීමට නියමිතයි. මෙවර කාන්තා ලෝක කුසලානය ඇ. ඩොලර් මිලියන 900ක වාර්තා ගත ආදායමක් රැස් කර ගැනීමට සමත් තිබේ. වසර 1991 දී ආරම්භ වූ කාන්තා ලෝක කුසලානය වැඩි වාර ගණනාවක් දිනා ගත්තේ ඇමරිකාවයි. ඔවුන් සිව්වරක් ලෝක කුසලානයට හිමිකම් කීවේ ය. වසර 2015, 2019 හි දී කාන්තා පාපන්දු ලෝක කුසලානය අඛණ්ඩව දෙවරක් දිනාගත් ඇමරිකානු කණ්ඩායම මෙවර  දෙවන වටයෙන් පරාජයට පත් විය. ස්වීඩනය සමඟ පැවති තරඟයේ දී ඇමරිකානු කණ්ඩායම වැඩි දස්කම් දැක්වූ නමුත් කණ්ඩායම් දෙකටම ගෝල් ලබා ගැනීමට නොහැකි විය. අවසානයේ දඬුවම් පහර මගින් තරඟයේ ජය පරාජය විසඳුනි. බලාපොරොත්තු නොවූ පරාජයෙන් ඇමරිකානු පාපන්දු ලෝලීන්ගේ හදවත් බිඳවැටුණි.

“I’m glad they lost.” දුර්ජනයකුගේ හෘද සාක්ෂිය..

තම රටේ ජාතික කණ්ඩායම ලෝක කුසලාන තරඟයකින් පරාජය වූ විට ඒ පිළිබඳ සතුටු විය හැකි පුරවැසියෙකු සිටිය හැකි ද? තම රට සම්බන්ධයෙන් එවැනි වෙෙරයක් තිබිය හැකි ද? තම රට නියෝජනය කරන ක්‍රීඩකයන් පිළිබඳ එවැනි කෝපයක්, අප්‍රසාදයක් තිබිය හැකි ද? ඇමරිකාවේ එවැනි ප්‍රසිද්ධ පුද්ගලයෙක් සිටියේ ය. ඔහු නමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ය. ඇමරිකාව සහ ස්වීඩන තරඟය අතරේ ට්‍රම්ප් නිකුත් කළ සමාජ මාධ්‍ය ප්‍රකාශ පහත දැක්වේ.

“Let’s go Sweden!”
“I would root for Al Qaeda before I’d root for this American Women’s Soccer Team.”
Nice shot Megan, the USA is going to Hell!!! MAGA.”
“I’m glad they lost.”

සිව්වරක් ලෝක කුසලානය දිනගත් තම රටේ කණ්ඩායමේ  පරාජය ප්‍රාර්ථනය කළ එම පරාජයෙන් අමන්දානන්දයට පත්වන ජනාධිපතිවරයෙක් සිටිය හැකි ද? එවැනි දුර්ජනයෝ ඉතාම දුලබ වෙති.

ට්‍රම්ප් සහ ඔහුගේ MAGA ෆැසිස්ට් දේශපාලනය…

පාදඩ දේශපාලඥයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු කාන්තා පාපන්දු කණ්ඩායම සමඟ මෙවැනි දැඩි වෙෙරයකින්, ක්‍රෝධයකින් පසුවන්නේ මන්ද? එයට එකම හේතුව ට්‍රම්ප් සහ ඔහුගේ MAGA ෆැසිස්ට් කණ්ඩායමේ සුදු ජාතිවාදී, වර්ගවාදී, කළු ඇතුළු සුළු ජනවර්ග විරෝධී, ස්ත්‍රී විරෝධී, සමරිසි විරෝධී, ඒකාධිපති දේශපාලනය සමඟ ඇමරිකානු කාන්තා පාපන්දු කණ්ඩායමේ පෑහීමක් නොවීමයි. ඔවුන්ගේ වටිනාකම් සහ ට්‍රම්ප්ගේ ෆැසිස්ට් දේශපාලන අතර ඇත්තේ අහසට පොළොව මෙන් වෙනසකි.

සම වැටුප් සඳහා ඇමරිකානු කාන්තා පාපන්දු කණ්ඩායමේ සටන..

පිරිමි පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ අවසාන පූර්ව වටයට දක්වා යෑමට ඇමරිකානු පිරිමි පාපන්දු කණ්ඩායමට කිසි දිනෙක හැකිවී නැත. මෑත කාලයේ එවැනි හැකියාවක් ලැබේ යැයි සිතිය නොහැකිය. එහෙත් සිව්වරක් කාන්තා පාපන්දු ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමට හිමිවන්නේ පිරිමි ක්‍රීඩකයන්ට ගෙවන වැටුපෙන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයකි. මේ වැටුප් විෂමතාවයට එරෙහිව ඇමරිකානු කාන්තා පාපන්දු කණ්ඩායම දීර්ඝ සටනක් කළේ ය. අවසානයේ ජය ගත්තේ ය. කාන්තා පාපන්දු ක්ෂේත්‍රයේ තවමත් සම වැටුපක් හිමි වන්නේ ඇමරිකානු ක්‍රීඩිකාවන්ට පමණි.  එම සටනේ නායකත්වය ගත්තේ Megan Rapinoe. ඇය වසර 2018-2020 කාලයේ ඇමරිකානු කණ්ඩායමේ නායකත්වය දැරූ අතර වසර 2019 වසරේ දී විශිෂ්ටතම ෆීෆා (FIFA) කාන්තා පාපන්දු ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය. තමන්ගේ වැටුප පමණක් නොව ලොව පුරා කාන්තාවන් මුහුණ දී සිටින වැටුප් විෂමතාවයට  එරෙහිව සමාන වැටුප් ගෙවන ලෙසට වන සටන සමඟ ඇමරිකානු කාන්තා පාපන්දු කණ්ඩායම සිට ගත්තේය.

කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන්…

ඇමරිකාවේ කළු ජාතිකයන් ඇතුළු සුළුතර ප්‍රජාවට එරෙහිව සිදුවන පොලිස් ප්‍රචණ්ඩත්වය ඇතුළු ආයතනික මර්දනයට එරෙහිව ඔවුහු ප්‍රසිද්ධියේ විරෝධය දැක්වූහ. ඔවුහු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උදුරා ගැනීමට එරෙහිව හඬ නැගූහ. කාන්තාවන්ට සිය ශරීරය ගැන තීරණ ගැනීමේ අයිතිය වෙනුවෙන් ඔවුහු පෙනී සිටියහ.  විශේෂයෙන් LGBTQ ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඇමරිකානු කාන්තා පාපන්දු කණ්ඩායම පෙනී සිටියේ ය.

ට්‍රම්ප් නම් කාන්තා විරෝධියා…

ඇමරිකානු කාන්තා පාපන්දු කණ්ඩායම පෙනී සිටින සමාජ, දේශපාලන සහ ආර්ථික වටිනාකම් සහ ට්‍රම්ප්ගේ ෆැසිස්ට් MAGA දේශපාලනය එකිනෙකට පරස්පරය. ට්‍රම්ප් යනු කාන්තා විරෝධියෙකි. ප්‍රසිද්ධියේ කාන්තාවන්ට අපහාස, උපහාස කරන නරුමයෙකි. කාන්තාවන්ට ලිංගික අතවර කිරීම පිළිබඳව අධිකරණයෙන් වැරදිකරුවෙකු වූ චරිතයකි. ඔහුගේ ෆැසිස්ට් MAGA දේශපාලනය ද කාන්තා අයිතිවාසිකම් වලට එරෙහිය. විශේෂයෙන් ගබ්සාව ඇතුළු කාන්තාවන්ට තම ශරීරය ගැන තීරණ ගැනීමේ අයිතිය පිළිබඳ මාරාන්තික විරෝධයක් දක්වයි. එමෙන් සමරිසි LGBTQ ප්‍රජාවට එරෙහිව දැඩි වෙෙරයක් වපුරවති.

ගුරාගේ මග යන ෆැසිස්ට් ගෝලයෝ…

ට්‍රම්ප් සහ MAGA කණ්ඩායමේ දේශපාලන ගුරුවරයා වන ඇඩොල්ෆ් හිට්ලර් සිය නාසි පාලන කාලයේ දී ජර්මනියේ සමරිසි පිරිමි සහ කාන්තාවන් පනස් දහසකට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන සිරගත කළ අතර තවත් පහළොස් දහසකට අධික ප්‍රමාණයක් වධකාගාරවලට දැක්කුවේය. එබැවින් වර්තමාන ඇමරිකන් ෆැසිස්ට්වාදීන් ස්ථාවරය ගැන පුදුම විය යුතු නැත. එමෙන්ම ට්‍රම්ප් ඇතුළු ෆැසිස්ට් MAGA කල්ලිය ඇමරිකානු කාන්තා පාපන්දු  පාපන්දු කණ්ඩායමට දක්වන අප්‍රසාදය, වෙෙරය, සහ ක්‍රෝධය පැහැදිලිය.

ට්‍රම්ලා, අල්කයිඩාලා අත්වැල් බැඳ ගෙන…

“I would root for Al Qaeda before I’d root for this American Women’s Soccer Team.” යනුවෙන් ට්‍රම්ප් අවධාරණය කරයි.  මේ ප්‍රකාශය අපගේ පුදුමයට හේතුවක් නොවෙයි. ෆැසිස්ට්  ට්‍රම්ප්ලා, අල්කයිඩා ත්‍රස්තවාදීන් මෙන් ඇෆ්ගනිස්ථාන තලෙයිබාන්වරුන් අතර මූලධාර්මික මතවාදී පදනමේ වෙනසක් නැත. විශේෂයෙන් කාන්තා අයිතිවාසිකම් සහ නිදහස සම්බන්ධයෙන් මේ සියළු දෙනා එකට සිට ගනිති.

ඇෆ්ගන් කාන්තා නිදහසේ සංකේතය වූයේ කාන්තා පාපන්දු කණ්ඩායම..

ඇෆ්ගනිස්ථාන තලෙයිබාන් පාලනය යටතේ එරට කාන්තා පාපන්දු කණ්ඩායම මුහුණ දී තිබෙන තත්ත්වය මෙයට එක් නිදසුනකි. ඇෆ්ගනිස්ථානයේ ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම බිහිවන්නේ තලෙයිබාන් සංවිධානයට නිළ පාලන බලයක් හිමි නොවූ වසර 2007 දී ය. තලෙයිබාන් සංවිධානය වසර 2021දී බලය අත්පත්කර ගන්නා තෙක් ඔවුහු දේශීය සහ ජාත්‍යන්තර තලයේ තරඟ කළහ. ඇෆ්ගන් කාන්තා නිදහසේ සංකේතය වූයේ මේ කාන්තා පාපන්දු කණ්ඩායමයි. ඒ වනවිටත් ඇෆ්ගනිස්ථානයේ සැඟවී සටන් කරමින් සිටි තලෙයිබාන් සටන්කාමීහු කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවනට, පුහුණුකරුවන් ඇතුළු නිළධාරීන්ට ඝාතන තර්ජන එල්ල කළහ.

මරණ තර්ජන නොතකා පාපන්දු පසුපස දිව ගිය කාන්තාවෝ..

තලෙයිබාන් අන්තවාදීන්ගේ නීතියට අනුව කාන්තාවන්ට ප්‍රසිද්ධියේ ක්‍රීඩා කිරීම සපුරා තහනම්ය. අවම වශයෙන් කුඩා දැරියකට තම ගෙවත්තේ ක්‍රීඩා කිරීම ද තහනම් ය. එහෙත් තලෙයිබාන් ඝාතන තර්ජනයන්ට බිය නොවූ කාන්තා පාපන්දු කණ්ඩායම අඛණ්ඩව ක්‍රීඩා කළහ. මේ කණ්ඩායම බිහි කිරීමට මූලික වූ කලීඩා පොපල් (Khalida Popal) වසර 2011 දී මරණ තර්ජන හේතුවෙන් ඇෆ්ගනිස්ථානයෙන් රහසේ  පලා ගියාය. ඇයව සොයා ගැනීමට නොහැකි වූ තලෙයිබාන් අන්තවාදීහූ ඇගේ සොහොයුරා ඝාතනය කළහ.

වසර 2021 දී රටින් පලා ගිය ඇෆ්ගන් කාන්තා පාපන්දු කණ්ඩායම...

වසර 2021 දී තලෙයිබාන් අන්තවාදීන් බලය අත්පත් කර ගැනීමත් සමඟ ඇෆ්ගනිස්ථාන කන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකවෝ සියළු දෙනා රටින් පලා ගියහ. ආරම්භයේදී විවිධ රටවලට පලා ගිය ඔවුහු අද ඕස්ට්‍රේලියාවට පැමිණ සිටිති. ඔවුහු පාපන්දු ක්‍රීඩාව ද අත්නොහළහ. රටින් පලා ගිය ද ඔවුහු තම කණ්ඩායම නිළ ඇෆ්ගනිස්ථාන කාන්තා පාපන්දු කණ්ඩායම ලෙස පිලිගන්නා ලෙස ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් (FIFA) ඉල්ලීමක් කළහ. එහෙත් පසුගිය වසර දෙකක කාලය පුරා FIFA ඇෆ්ගනිස්ථාන කාන්තා කණ්ඩායමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය. ඔවුන් අදටත් ඕස්ට්‍රේලියාවේ පාපන්දු තරඟ වලට සම්බන්ධ වන්නේ නිළ නොවන මට්ටමෙනි.

කොඳුරුහත්පට්ටය සහ තව ටිකක් ඉල්ලන FIFA…

අවසානයේ ඔවුහු ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පැවැත්වෙන 9 වන ලෝක කාන්තා පාපන්දු කුසලානයට සහභාගීවීමට ඉඩ ලබා දෙන ලෙසට ඉල්ලීමක් කළහ. එයට ප්‍රතිචාරයක් වශයෙන් FIFA ප්‍රකාශ කළේ රටින් පිටත සිටින කාන්තා කණ්ඩායම ඇෆ්ගනිස්ථාන පාපන්දු සම්මේලනය පිලිගත යුතු බවයි. මෙය නොකරන වෙදකමට කොඳුරුහත්පට්ටය සහ තව ටිකක් වුවමනා වර්ගයේ පිළිතුරකි. අද ඇෆ්ගනිස්ථාන පාපන්දු සම්මේලනය පවතින්නේ තලෙයිබාන් ආධිපත්‍යය යටතේ බව රහසක් නොවෙයි. එවැනි ආයතනයක් කාන්තා පාපන්දු කණ්ඩායම පිලිගනීවී යැයි බලාපොරොත්තු වන්නේ කෙසේ ද?

තලෙයිබාන්ලා සමඟ එකට සිට ගන්නා FIFA…

තලේබාන් සංවිධානය අත්පත් කර ගැනීමෙන් පසු, ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට අධ්‍යාපනය සහ රැකියා සඳහා ඇති අයිතිවාසිකම් මෙන්ම ක්‍රීඩාවන්ට සහභාගීවීම තහනම් කිරීම වැනි මූලික අයිතිවාසිකම් සියල්ල ප්‍රතික්ෂේප කර ඇත. එබැවින් වසර 2021 දී  බිහි කළ තලෙයිබාන් ආණ්ඩුව නිළ වශයෙන් පිලිගැනීමට ලෝකයේ කිසිම රටක් තවම ඉදිරිපත්වී නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානය තලෙයිබාන් ආණ්ඩුව පිලිගන්නේ නැත. එවැනි තත්ත්වයක් යටතේ තලේබාන් ආණ්ඩුව යටතේ පවතින ඇෆ්ගන් පාපන්දු සම්මේලනය FIFA විසින් පිලිගැනීම පුදුම සහගතය. FIFA සභාපති Gianni Infantino ඇතුළු කණ්ඩායම කළ යුතුව ඇත්තේ තාවකාලික ඇෆ්ගන් පාපන්දු සම්මේලනයක් ස්ථාපනය කර ඒ හරහා ඇෆ්ගනිස්ථානයේ කාන්තා පාපන්දු කණ්ඩායම නිළ වශයෙන් පිලිගැනීමය. ජීවිත පරිත්‍යාගයෙන් පාපන්දු ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටීමයි. ඔවුන් ආරක්ෂා කර ගැනීමයි.

තෙලේ බලේ…

FIFA සභාපති Gianni Infantino ඇතුළු අන්ත දූෂිත කණ්ඩායමකින් එවැනි ප්‍රවේශයක් බලාපොරොත්තු විය නොහැකිය. මේ කණ්ඩායම අරාබි අන්තවාදීන්ගේ තෙල් සල්ලිවලට යටවූ අන්ත දූෂිත කල්ලියකි. ඔවුන්ට මානවහිමිකම්, කාන්තා අයිතිවාසිකම්, කම්කරු අයිතීන් පිළිබඳ කිසිදු වටිනාකමක්, ගරුකිරීමක් නැත. FIFA හි සැබෑ දූෂිත, ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වරූපය අවබෝධ කර ගැනීමට අපගේ "දහස් ගණනකගේ මලකඳන් මත රඟදෙන කටාර් රජ පවුලේ පජාත පාපන්දු ලෝක කුසලානයේ සැඟවුණු කථාව" ලිපිය කියවන්න.

"අපිට පාපන්දුව ක්‍රීඩාවට වැඩි දෙයක්" - ෆාතිමා යූසුෆි

ඇෆ්ගනිස්ථානයේ කාන්තා පාපන්දු කණ්ඩායමේ නායිකාව වන ෆාතිමා යූසුෆිට අනුව පාපන්දු යනු ඔවුනට ක්‍රීඩාවක් පමණක් නොවේ. “අපි ක්‍රීඩා කරන විට, අපි ක්‍රීඩා කරන්නේ ඇෆ්ගනිස්ථානයේ සිටින අපේ සහෝදරියන් සහ අපේ මව්වරුන් වෙනුවෙන්. අපි ඔවුන්ගේ හඬවල්” විසිඑක් හැවිරිදි කණ්ඩායමේ දැල් රකින්නිය වන ෆාතිමා පසුගිය සතියේ ජාත්‍යන්තර මාධ්‍යයන්ට පැවසූවාය.

"ඇෆ්ගනිස්ථානය දැන් කාන්තාවන් සඳහා සිරගෙයක්. එවැනි වාතාවරණයක අපිට ක්‍රීඩාව වැදගත් අංගයක්. ඇෆ්ගනිස්ථානයේ අරගල කරන අපගේ සහෝදරියන් ගැන සිතීමටත්, ඔවුන් තනිවී නොමැති බවත් අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වීමට මෙය අවස්ථාවක්" යැයි ඇය අවධාරණය කරන්නීය.

FIFA එරෙහි සටනට නොබෙල් ත්‍යාගලාභී මලාලා යූසුෆ්සායි එක්වෙයි…

ඇෆ්ගනිස්ථාන කාන්තා පාපන්දු කණ්ඩායමට ක්‍රීඩාව යනු එරට කාන්තා අයිතිවාසිකම් ලබා ගැනීමේ මූලික සහ තීරණාත්මක සටනකි. අරගලයක වැදගත් පරිචේඡදයකි. එබැවින් තලෙයිබාන් මිනීමරුවන්ගේ ඝාතන තර්ජන, ගර්ජන වලට බිය නොවූ ඔවුන් FIFA සභාපති Gianni Infantino ඇතුළු අන්ත දූෂිත කණ්ඩායමේ තීරණයට හිස නමා පරාජය භාරගැනීමට සූදානම් නැත. රටින් පිටත සිටින ඇෆ්ගනිස්ථාන කාන්තා පාපන්දු කණ්ඩායම නිළ වශයෙන් පිලිගන්නා ලෙසට FIFAට බලකරන සටනක් ඔවුන් දැන් ආරම්භ කර තිබේ. ඇෆ්ගනිස්ථාන කාන්තා පාපන්දු කණ්ඩායමේ ඉල්ලීමට සහය පලකරමින් නොබෙල් ත්‍යාගලාභී මලාලා යූසුෆ්සායි ඇතුළු මානව හිමිකම් සහ කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් රාශියක් සිය හඬ අවදි කර ඇත.

ඇෆ්ගන් කාන්තාවන්ට ශක්තියක් වෙමු!

ඇෆ්ගනිස්ථාන කාන්තා පාපන්දු කණ්ඩායම නිළ වශයෙන් පිලිගන්නා ලෙසට FIFAට බල කරන අන්තර් ජාල පෙත්සමක් දැන් ආරම්භ කර තිබේ. තලෙයිබාන් හෝ එවැනි කාන්තා විරෝධී, මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන මතවාදයන් සහිත සංවිධානයන්ට එරෙහිව ඔබේ හඬ මේ පෙත්සමට එක් කළ හැකිය. ඇෆ්ගනිස්ථාන කාන්තා අරගලයේ සංකේතයක් වූ එරට කාන්තා පාපන්දු කණ්ඩායම නිළ වශයෙන් පිළිගන්නා ලෙසට බල කරන පෙත්සමට අත්සන් කරමු. වර්තමාන තලෙයිබාන් පාලනයට එරෙහිව නිර්භීතව නැගී සිටින කාන්තාවන්ට ශක්තියක්, ධෙෙර්යක් ලබා දෙමු!

-ආනුභාවනන්ද

[email protected]

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33

---------------------------
by     (2023-08-19 17:20:47)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links