~

රනිල් මඩු සිද්ධස්ථානයට කඩා වැදීම සහ කතෝලික රදගුරු මණ්ඩලයේ 'බොරු නින්ද'

-සමන් කපිල විජේසූරිය ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.28, ප.ව‍.10.45) පාස්කු ඉරිදා  ප්‍රහාරයේ මහ මිනීමරුවන් ආරක්ෂා කරමින්, යුක්තිය යට ගැසීමේ ප්‍රධානියා ලෙස ක්‍රියා කරන, ජනවරමකින් තොර ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 15 වැනිදා මඩු සිද්ධස්ථානයට කඩා වැදී නටපු නාඩගමට එරෙහිව නැගුනු විරෝධය දැන් නිහඬ වී තිබේ.  

කතෝලිකයන් සම්බන්ධ සංවිධාන රැසක් ඊට දැඩි විරෝධය පල කළේය. සංවිධාන ගණනාවක්ම ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලයට සිය ලිඛිත විරෝධතා ඉදිරිපත් කළේය. සතියක් ඇතුළත සියල්ල නිහඬ ය. මේ නිහඬතාව මෙවැනි තවත් බලවත් වරදකට දැවැන්ත අවකාශයක් නිර්මාණය කරයි. එය වැලැක්වීම සඳහා මේ “බොරු නින්දෙන්” සියල්ලන් අවදි කළ යුතු ය.

රදගුරු හිමිවරුන් ගේ රැස්වීම ගැන ප්‍රශ්න..

ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලයේ රදගුරු හිමිවරුන් ගේ රැස්වීමක් ඉකුත් සතියේ පවත්වන ලදී.

එහෙත් එහිදී මේ ගැන කතා වූයේ ද ? එසේ නම් ඒ ගැන ගන්නා ලද තීරණය කුමක් ද? පොදු එකඟතාවකට ආවාද? නැති නම් ඒ මන්ද ? වැනි ප්‍රශ්නවලට  මේ දක්වා පිළිතුරු නැත. ඒ ගැන තොරතුරු දැන  ගන්නට කතා කල බොහෝ දෙනෙකු කියා සිටියේ රදගුරු මණ්ඩලය රැස් වූ නමුත් කතා කළේ කවරක් ද යන්න ගැන  නොදන්නා  බවය. තවත් කිහිප දෙනෙකුටම ඇමතුම් දුන්න ද ඔවුන් ඇමැතුම් භාර ගත්තේ නැත.

එහෙත් සමහර කාරණා දැන් තහවුරු වී තිබේ.

පැහැදිලිවම රනිල් වික්‍රමසිංහ කළේ මඩු සිද්ධස්ථානයට “කඩා වැදීමකි”. මන්ද ඔහු එහි  පැමිණියේ මන්නාරම රදගුරු අති උතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන් ගේ ආරාධනයෙන් නොවේ. එවැනි ආරාධනයක් රදගුරු තුමා ඔහුට  ලබා දී තිබුනේ නැත.

එසේ වුව ද, ජනාධිපති නොව වෙනත් කවර හෝ තැනැත්තකු කතෝලික දේවස්ථානයකට එන්නේ නම් ඔවුන්ගේ පැමිණීම නැවත්වීමට කිතුනු නායකයන් හෝ ජනතාව  ක්‍රියා කරන්නේ නැත. කිතුනු දෙව්මැදුරු සියල්ලනට විවෘතය.  

එහෙත් මෙයින් පැනනගින ප්‍රශ්න කිහිපයක් තිබේ.

⋆ ආරාධනයකින් තොරව රනිල් වික්‍රමසිහ මඩු පල්ලියට කඩා වදින්නට තීරණය කළේ ඇයි ?
⋆ එසේ පැමිණි ඔහුට දෙව්මැදුරේ ශුද්ධ මණ්ඩපය තුළ විශේෂ ආසනයක් පැනවීමට මන්නාරම පදවිය පියවර ගත්තේ මන්ද?
⋆ පාස්කු ප්‍රහාරයේ යුක්තිය පවා ඉටු නොකරන, කපටි, මානව දයාර්ද්‍රබවකින් තොර ඔහුට මඩු ශුද්ධ මණ්ඩපය දේශපාලන රැළියක් කරගැනීමට රදගුරු තුමන් ඉඩ දුන්නේ ඇයි ?
⋆ අවම වශයෙන් මේ සිද්ධියෙන් පසුව හෝ රදගුරු තුමන් ජනාධිපතිවරයාට එම ක්‍රියාව ගැන අප්‍රසාදය පල කළේද?

ආරාධනයකින් තොරව රනිල් වික්‍රමසිංහ මඩු පල්ලියට යන්නට තීරණය කළේ ඇයි ?

කෙක්කෙන් හෝ හබකෙන්  ‘ජනවරමක්  පෙන්වන්නට’

මේ මංගල්‍යයට කොළඹ අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් හිමියන් සහභාගී වූයේ නැත. ඊට හේතුව එතුමා සැත්මකකින් පසුව සුවය ලබමින් සිටීමයි. එම මංගල්‍යයේ දිව්‍ය පූජාව පැවැත්වීමට ආරාධනා ලබා සිටියේ ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උඩයිග්වේ අගරදගුරු හිමි ය. වතිකාන තානාපති තුමන් ඊට සහභාගී වන බව කාදිනල් හිමි දැනගෙන  සිටියේ ය.  එහෙත් රනිල් වික්‍රමසිංහ ඊට සහභාගී වන බවක් එතුමා දැනගෙන සිටියේ නැත. එවැන්නක් එතුමාට වාර්තා වී හෝ තිබුනේ නැත.  

අනෙක් අතින් මඩු සිද්ධස්ථානයේ අගෝස්තු මහ මංගල්‍යය දශ ලක්ෂ සංඛ්‍යාත සෙනගක් රැස්වෙන අවස්ථාවකි.

මේ අනුව කෙක්කෙන් හෝ හබකෙන්  ‘ජනවරමක්  පෙන්වන්නට’ උත්සාහ කරමින් සිටින ජනවරමක්  නැති රනිල් වික්‍රමසිංහට  එක ගලෙන් කුරුල්ලන් රාශියක්  මරා ගන්නට පොටක් පෑදී තිබෙන බව අවබෝධ විය.

මුලින් ම, හරියට දේශපාලන රැළියක්වත් තබා ගත නොහැකිව අනාථ වී සිටින රනිල් වික්‍රමසිංහට මේ සිද්ධස්ථානය දේශපාලන රැළියක් කරගන්නට අවශ්‍යව තිබිණි. එහි රැස්වන දශලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් ඔහු දැක්කේ වන්දනාකරුවන් ලෙස නොවේ. “සිංහල-දෙමළ ඡන්ද” ලෙසය. ඒ ඡන්ද වලට ආමන්ත්‍රණය  කිරීමට ඔහුට අවශ්‍ය  විය. ඔහු ඉතා සාර්ථක ලෙස එය කරගත්තේ ය.

එහෙත් එය දැන් බූමරංගයක් සේ ආපසු කරකැවෙමින් තිබේ. කතෝලිකයන් ඉතා අතලොස්සක් හැර දැන් රනිල් වික්‍රමසිංහ ගේ කඳවුර හැරගොස් තිබේ. හරීන්  ප්‍රනාන්දු වැනි බොරුකාර පාවාදෙන්නන්, ජනමතයක් දිනා ගත නොහැකි රවී කරුනානයකලා වැන්නන්ට රැවටෙන හෘද සාක්ෂිය පාවා දී ඇති අතලොස්ස හැරෙන්නට රනිල්ට මේ සිද්ධියෙන් එක දු කිතුනු ඡන්දයක් වත් දිනා ගත නොහැකි විය. තිබුණු ඡන්දත් අහිමි විය.

රදගුරු මණ්ඩලය අතර භේද ඇති කිරීමට...

දෙවැන්න කාදිනල් හිමියන් සහභාගී නොවන මොහොතේ රදගුරු හිමිවරුන් සහ පූජකවරුන් සිටින ස්ථානයක් වෙත ගොස් රදගුරු මණ්ඩලය අතර භේද ඇති බව පෙන්වීමට හෝ භේද කිරීමට ඔහුට අවශ්‍ය විය.

“කාදිනල් මට appointment නොදුන්නට අනෙක්  බිෂොප්වරු දෙනවා. මට කතා කරන්නටත් ඉඩ දෙනවා.” ඔහු පෙන්නුවේ එයයි.

පුදුමය ඔහුට එසේ කරන්නට එම්මානුවෙල් ප්‍රනාන්දු රදගුරු තුමා ඉඩ දීමය.  යාපනයේ උපන්නත් එතුමා පූජක  අධ්‍යාපනය ලැබුවේද, උසස් අධ්‍යාපනය ලැබුවේද, රෝමයේ උසස් උපාධි  ලබාගත්තේ ද , මහනුවර පූජක සරසවියේ අධිනේතෘ වරයා වුයේ ද, රදගුරු නමක් ලෙස රදගුරුවරය (Episcopal Ordination)  ලැබුවේ ද කොළඹ අගරදගුරු පදවි කලාපයෙනි. එසේ වූ එතුමන්ට රනිල් ගේ පැමිණීමෙන් කොළඹ ජනතාව ගේ තුවාල වූ  හදවත් පෑරෙන බව නොදැනුනේ මන්ද? අනෙක් අතින් කොළඹ එක් සහයක රදගුරු නමක් වන මැක්ස්වෙල් සිල්වා රදගුරු හිමි ද මංගල්ලයට  සහභාගී වී සිටියේ ය. එතුමා වූ කලී පාස්කු ඉරිදා ප්‍රහාරයේ යුක්තිය පමණක් නොව ජනතාව විසින්  පලවා හරින ලද ජනාධිපති ගෝඨාභය ගේ  සමයේ සිට සිදු කරන ලද විවිධ පාරිසරික සහ සමාජ උපද්‍රවයන්ට එරෙහිව ක්‍රියා කිරීමට එක්රැස් වූ ගිහි පාදක ව්‍යාපාරයට නායකත්වය දීම සඳහා කාදිනල් හිමියන් විසින් පත් කරන ලද තැනැත්තා ය. රනිල් ගේ පෙනී සිටීමෙන් සහ කතාවෙන් එතුමා මවිතයට පත් නොවූයේ ද?

ඊට අමතරව, පාස්කු ඉරිදා ජන ඝාතනයට යුක්තිය ඉටු කරන තෙක් කිසිදු දේශපාලන නායකයකු  මුණ නොගැසීමට කාදිනල් හිමියන් ක්‍රියා කරමින් සිටින අතර වෙනත් රදගුරු හිමිවරුන් කිහිප දෙනෙකු රනිල් වික්‍රමසිංහ උණුසුම්ව පිළිගෙන සාකච්ඡා කර ඇති බව නොරහසකි. කුරුණෑගල රදගුරු හැරල්ඩ් ඇන්තනි  සහ වත්මන් මහනුවර (හලාවත හිටපු සහ දැන් බාගයක්) රදගුරු වැලන්ස් මෙන්ඩිස් හිමිවරු ඒ අතර ප්‍රමුඛ ය. (එම රදගුරු හිමිවරුන් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන රනිල්ගෙන් විමසුවේද යන්න ගැන වාර්තා වී නැත.) කොළඹ පදවියේ පූජක වරුන්  සහ ජනතාව ක්‍රම වෙනසක් සඳහා වූ ජනතා අරගලයට සහභාගී වෙද්දී ඊට කාදිනල් හිමියන් ගේ දිරිගැන්වීම ලැබිණි. එහෙත්  කුරුනෑගල, මහනුවර සහ හලාවත නායකත්වයෙන් ජන අරගලයට දිරිගැන්වීමක් ලැබුනේ නැත. අවම වශයෙන් නිශ්ශබ්ද විරෝධතාවක් හෝ නොදක්වන ලෙස කුරුනෑගල පූජක වරුන්ට උපදෙස් ලැබී තිබිණි.

මේ තත්වය නිසා දැනටමත් බෙදීමක් ඇත්නම් එය විශාල කිරීමට හැකි බව බෙදා පාලනය කිරීමේ ශුරයකු වන රනිල් දැන සිටියේ ය.  ඔහු අනාරාධනයෙන් මඩු සිද්ධස්ථානයට  කඩා වැදුනේ ඒ නිසා ය.

රනිල්ට ලොකුම හිසරදයක් වන් කාදිනල් හිමියන් අපහාසයට ලක් කිරීමට...

එසේම, මේ වන විට රනිල් තමාගේ ලොකුම ‘හිසරදයත්’  ඔහුගේ  ප්‍රධාන අභියෝගය (ඇතැම් විට ප්‍රධාන ප්‍රතිවාදියා  හෝ සතුරාත්) ලෙස දකින කාදිනල් හිමියන් අපහාසයට ලක් කිරීම, එතුමන් තනිකරවීම , සහ මේ මගින් විශේෂයෙන් ම  පාස්කු ප්‍රහාරයට යුක්තිය හඹා යාමේ ව්‍යාපාරය කඩා  කප්පල් කිරීම රනිල් වික්‍රමසිංහ ගේ තවත් අරමුණ වූ බව පැහැදිලිය.

මේ නිසා මේ  සිද්ධියෙන් අනතුරුව කතෝලික රදගුරු මණ්ඩලයේ දැඩි නිහඬතාව ප්‍රහේලිකාවකි.  ඇත්තටම රදගුරු හිමිවරුන් අතර භේදයක් ඇති කිරීමට හෝ භේදයක් ඇත්නම් එය වඩාත් පුළුල් කිරීමට හෝ මේ ජනතා දුකට අසංවේදී පාලකයා  සමත් වුනා ද? එසේ වුවා නම් උන්වහන්සේලා ගේ හෘදය සාක්ෂියට කුමක් වී ද? (කිතුනු ඉගැන්වීම අනුව හෘදය සාක්ෂිය යනු “දෙවියන් වහන්සේ මිනිසා තුළ තැන්පත් කළ උන්වහන්සේ ගේ හඬ ශබ්දයයි”. යහපත-අයහපත, වැරැද්ද නිවැරැද්ද පහදා දෙන්නේ එම ‘හඬ ශබ්දය’යි. අයුක්තියට, අධර්මයට, අවනීතියට අසංවේදීව, නිද්‍රාශීලීව සිටින්නේ එම “හඬ ශබ්දය” නිහඬ කළ මිනිස්සු ය.)  

මේ නිසා ජනතාව රදගුරු හිමිවරුන් ගේ ප්‍රතිචාරය දෙස බලා සිටිති. නිහඬව සිටීම මීටත් වඩා බරපතල වැරැද්දකට අවකාශ සැලසීමකි.

අපි ඊළඟ ප්‍රශ්න දෙස බලමු:

වතිකානයේවත් සිදුනොකරන, ශුද්ධ මණ්ඩපය තුළ රනිල්ට විශේෂ ආසනයක් පැනවූයේ කොහොමද? ඒ ඇයි?

එසේ පැමිණි රනිල්ට දෙව්මැදුරේ ශුද්ධ මණ්ඩපය තුළ විශේෂ ආසනයක් පැනවීමට මන්නාරම පදවිය පියවර ගත්තේ මන්ද? පාස්කු ප්‍රහාරයේ යුක්තිය පවා ඉටු නොකරන, කපටි, මානව දයාර්ද්‍රබවකින් තොර ඔහුට  මඩු ශුද්ධ මණ්ඩපය දේශපාලන රැළියක් කරගැනීමට රදගුරු තුමන් ඉඩ දුන්නේ ඇයි ? අවම වශයෙන් මේ සිද්ධියෙන් පසුව හෝ රදගුරු තුමන් ජනාධිපතිවරයාට එම ක්‍රියාව ගැන අප්‍රසාදය පළ කළේද?

කතෝලික ජනවන්දනා මෙහෙයක දී ශුද්ධ මණ්ඩපය (Sanctuary) තුළ  සිටිය හැක්කේ දිව්‍ය පූජාවේ සම-ඔප්පුකරන්නන් (co-celebrants) වන රදගුරු හිමිවරුන් සහ/හෝ පියතුමන්ලාට, තේවාචාරීන්ට සහ එම මෙහෙයට සහය වන විවිධ ගිහි සේවකයනට පමණ ය. අනෙක් සියල්ලන් අසුන් ගත යුත්තේ සාමාන්‍ය ජනතාව අසුන් ගන්නා ආසන වලය.

වතිකානයේ ශාන්ත පීතර  බැසිලිකාවට එරට අගමැති  හෝ ජනපති පැමිණියත් ඔවුන් අසුන් ගන්නේ එහි ශුද්ධ මණ්ඩපයෙන් පිටත අසුන් ගෙන සිටින කාදිනල් හිමිවරුන් සහ රදගුරු හිමිවරුනට ද පසු පසින් ඇති සාමාන්‍ය ජනතාව අසුන් ගන්නා  ආසන වලයි.

එසේ තිබිය දී රනිල් වික්‍රමසිංහ ශුද්ධ මණ්ඩපයට ගියේ කොහොම ද?

විවිධ අරමුණු ඇතිව සිද්ධස්ථානයට  කඩා වැදුණු රනිල් වික්‍රමසිංහට  පාඩුවේ ඉන්නට හැර ආපසු යවන්නට තිබිණි. එසේ නොකර ඒ ශුද්ධ මණ්ඩපය දේශපාලන රැළියක් කරන්නට ඔහුට  ඉඩ දුන්නේ මන්ද?

මේ ආකාරයෙන් සිද්ධස්ථානය කෙළෙසීම රනිල් වික්‍රමසිංහගේ ජනපීඩක ක්‍රියාකාරීත්වයට අන්ධව තවමත් ඔහු පසුපස යන යුඇන්පී කාර කිතුනුවන්ට  පවා වේදනාවක් වනු නිසැක ය.

මේ නිසා මේ ගැටලුවට රදගුරු හිමිවරුන්  ගේ ප්‍රතිචාරය නොපමාව  ලැබිය යුතුව තිබේ.

තවත් කරුණක් සිහිපත් කළ යුතු ය...

එනම්, රදගුරු හිමිවරුන් හෝ පියතුමන්ලා ගේ ආරාධනයෙන් හෝ බලහත්කාරයෙන් පැමිණි  ජනපීඩක, චෞර, මිනීමරු දේශපාලකයන් අතින් කතෝලික සිද්ධස්ථාන කෙළෙසනු ලැබූ පළමු  වතාව මෙය නොවන බවයි.

මීට කලින් අවස්ථා කිහිපයක මෙය සිදු වී තිබේ. මේ නිසා මේ සිද්ධිය ගැන හුදෙක් මන්නාරම වත්මන් රදගුරු හිමිපාණන්ට ඇඟිල්ල දිගු කිරීම යුක්ති  සහගත නොවේ. එතුමා හසු වූයේ සාවද්‍ය  සිද්ධි මාලාවක එක් ස්ථානයකට ය.

වෙනස, අරගලය විසින් තියුණු කරන ලද සමාජයේ නෙත්වලට මෙය හසුවීමය. එසේම තියුණු කරන ලද සමාජ  හෘදය සාක්ෂියට එය අවබෝධ වී අරගලයේ හඬ ඊට මුසු වීමය.

ඒ ගැන මී ළඟ ලිපියෙන් සාකච්ඡා කරමු.

-සමන් කපිල විජේසූරිය

පසුව ලියමි:

ජනවරමක් රහිත ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් මඩු සිද්ධස්ථානය කෙළෙසනු ලැබීම සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් ගේ ස්ථාවරය එතුමා ඉකුත් ඉරිදා (අගෝස්තු 27) ප්‍රකාශ කළේය. එතුමා ඒ ගැන කතා කළේ රාගම, තේවත්ත බැසිලිකා සිද්ධස්ථානයේ දී පවත්වන ලද වාර්ෂික රෝගීන් ගේ දින මෙහෙයේ ධර්ම දේශනාවේදී ය. ඒ සිද්ධිය පමණක් නොව රට වර්තමානය මුහුණ දෙන දරුණු ගැටළු කිහිපයක් ගැනම එතුමා ඉතා ප්‍රබලව සිය මතය ප්‍රකාශ කළේය. මේ ලිපිය ලියන ලද්දේ කාදිනල් හිමියන් ගේ එම ප්‍රකාශයට  පෙර ය.

දැන් ඉතින්,  ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය මේ ගැන කියන්නේ කුමක්ද? එහි සභාපතිවරයා කුරුණෑගල රදගුරු හැරල්ඩ් ඇන්තනි රදගුරු හිමි ය. අරගල කාලයේ අවම වශයෙන් නිශ්ශබ්ද විරෝධතාවක් හෝ පවත්වන්නට එම පදවියේ පියතුමන්ලාට හෝ ගිහියන්ට අවසර ලැබුනේ නැත. තවත් එතුමා නිහඬව සිටීවිද ?
අපි බලා සිටිමු.

ස. ක. වි.

---------------------------
by     (2023-08-28 17:18:53)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links