~

තමන්ගේ බැරිකම වහගන්න 2023 උසස් පෙළ සිසුන්ගේ මානව අයිතිය අමු අමුවේ වළලා දාන්න එපා,.! 2022 විභාගයට මුහුණ දුන් සිසුන්ටත් අසාධාරණයක්..!

-විපක්ෂ නායකගෙන් විශේෂ නිවේදනයක්

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.03, ප.ව‍.7.15) 2023 අධ්‍යයන වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීමෙහිලා විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යංශය විසින් සිසුන්ගේ අයිතිවාසිකම් සහ ප්‍රායෝගික තත්වයන් නොසලකා හරිමින්, ඉතා අසාධාරණ ලෙස සිසු දරුවන්ගේ අනාගත ජීවිතයට ඉතා අහිතකර බලපෑම් එල්ලවන අයුරින් කෙසේ හෝ තම පරිපාලන කාලසටහන් සාර්ථක කරගැනීමේ ම්ලේච්ඡ අරමුණක නිරතව සිටින බව විපක්ෂනායකවරයා මෙන්ම, සුවහසක් වූ සිසුදරුවන්ට යහපත් අනාගතයක් අපේක්ෂාකරන නායකයෙකු ලෙස මගේ අවධානය යොමු වී ඇත.

උසස් පෙළ සිසුන්ගේ මානව අයිතිය අමු අමුවේ වළලා දැමීමක්...

ආර්ථික අර්බුධය හමුවේ රට අස්ථාවර තත්වයන්ට මුහුණ දෙන යුගයක සිය ජීවිතයේ වැදගත්ම කඩඉම ආරම්භ කිරීමට සිදුවීම එම දරුදැරියන්ගේ අවාසනාව නොව පාලකපක්ෂයේ අසමත්භාවය බව පාලකයන් සිහි තබාගත යුතුය. එම අසීරු තත්වයට රට ඇද දැමූ පාලකයන් නිසා එම දරුවන්ට සිය වැදගත්ම අධ්‍යයනවර්ෂයේ පාසල් යාමට තිබූ දින ගණන සීමාවීම නිසා විෂය නිර්දේශය ආවරණය නොවී, නියමිත වාර විභාග 6න් 4ක් පමණක් පවත්වා ඇති පසුබිමක විභාගය නියමිත කාලයට කලින් පැවැත්වීම යනු සිසු දරුවන්ට සාධාරණ අවස්ථාවක් ලබාගැනීමට ඇති මානව හිමිකම අමු අමුවේ වළලා දැමීමක් ලෙස හැඳින්විය හැකිය. මේ හේතුවෙන් සිසුන් විශාල පිරිසක් දැඩි මානසික පීඩනයකට ලක් වී ඇත.

2022 වසරේ උසස් පෙළ විභාගයට මුහුණදුන් දරුවන්ටත් සිදුවන අසාධාරණය..

එසේම මෙවැනිම අන්ධකාර යුගයක සිය ජීවිත ගැටගසා ගැනීමේ දුෂ්කර අරගලයක නිරත වූ 2022 වසරේ උසස් පෙළ විභාගයට මුහුණදුන් දරුවන්ටද මේ තුළින් සිදුවනුයේ බලවත් අසාධාරණයකි.

මේ වන විටත් 2022 ප්‍රතිඵල නිකුත් නොකර ඇති පසුබිමක බලධාරීන් විසින් 2023 විභාගයට නියමිත දිනයට වඩා මාස පහකට අධික කාලයක් කපා දමා 2023 නොවැම්බර් මාසයට විභාග දින නියම කිරීම මගින් දෙවන වර විභාගයට සූදානම් වීමට එම දරුවන්ට ඉතුරු කරන්නේ මාස දෙකකටත් අඩු කාලසීමාවකි. එසේම විශය වෙනස් කර විභාගයට පෙනී සිටින දරුවන්ට මෙය කිසිසේත් ප්‍රමාණවත් නොවන කාලයකි. ඒ සඳහා අවම මාස 6 ක පමණ කාලයක්වත් ප්‍රතිඵල ලැබීමේ සිට ලබා දීම සාමාන්‍යයෙන් සිදු වූ ක්‍රමයයි. එසේම මේ වන විටත් 2023 විභාගය සඳහා අයදුම්පත් කැඳවා අවසාන කර ඇති බැවින් 2022 ප්‍රතිඵල මත නැවත අයදුම් කිරීමට එම දරුවන්ට ඇති ඉඩකඩ අහුරා දමන බලධාරීන්ට සහාය දක්වමින් ඇමතිවරයා පවසන්නේ නැවත අයදුම්කිරීමට මීළඟ වසර දක්වා බලා සිටින ලෙසයි. මෙලෙස එම දරුවන්ගේ සරසවි සිහින බොඳ කරලමින් කාලය කා දැමීම කිසිසේත් අනුමත කළ නොහැක.

නියමිත වසර 2.5 ක අධ්‍යයන කාලය දරුවන්ට දෙන්න...

මෙසේ තම ආණ්ඩුකරණයේ අසමත් අදූරදර්ශී ක්‍රියා පිළිවෙතේ විනාශකාරී ප්‍රතිඵල රටේ අනාගතය වන අහිංසක සිසු දරුදැරියන් පිට දමා ඔවුන්ගේ අනාගතය තවදුරටත් වළපල්ලට නොදමා, ප්‍රමාණවත් පරිදි කාලය ලබා දෙමින්, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය භුක්තිවිඳීමේ අයිතිය එම දරුවන්ට ලබා දෙමින් නියමිත කාල වකවානු, එනම් අධ්‍යාපන දෙපාර්තමේන්තුවම පිළිගෙන ඇති පරිදි විභාගය සඳහා වන වසර 2.5 ක අධ්‍යයන කාලය එම දරුවන්ට ලබා දෙමින් විභාගය පැවැත්වීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට අවධාරණය කර සිටිමි.

සජිත් ප්‍රේමදාස

විපක්ෂ නායක

---------------------------
by     (2023-09-03 13:47:18)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links