~

අහිංසකයන් අපරාධකරුවන් කරන පොලිසියේ සහ ජඩමාධ්‍යයේ අලුත්ම සෙල්ලම..!

-තරිඳු ජයවර්ධන ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.දෙසැ.31, ප.ව.5.00) කහවත්ත වැල්ලදුර මවක ඝාතනය කළැයි පොලිසිය විසින් ලොකු මාධ්‍ය සංදර්ශනයක් පවත්වා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කළ දියණිය ඊට සම්බන්ධ නැතැයි කියමින් නිදහස් කරමින් වෙනත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව මාධ්‍ය වාර්තා කළේය.

කහවත්තේ දී පොලිසිය-ජනමාධ්‍ය මෙවැනි නාඩගම් නැටූ පළමු අවස්ථාවද මෙය නොවීය. මීට පෙර 2015 දී ද මව මරා දැමූ බව කියමින් ඇගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ලොකු මාධ්‍ය සංදර්ශනයක් දැමීය. මාස ගණනක් රිමාන්ඩ් බාරයේ පසුවූ ඔහු නිදහස් වූයේ ⁣ඊට පසු අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් එම ඝාතනය ගැනද අනාවරණය වීමෙන් පසුවය.

කාලයක් කතා බහට ලක්වූ කහවත්තේ කාන්තා ඝාතන ගැන පොලිසිය අත්අඩංගුවට ගත් බහුතරයක් සිද්ධියට සම්බන්ධ නොවූවන් බව පසුව හෙළිදරව් විය. ⁣අධිකරණයෙන් නිදහස් කළද ජනමාධ්‍ය මගින් පොලිසියේ කීමට ඔවුන් වැරදිකරුවන් බවට තීන්දු කිරීම නිසා ඇතැම් පුද්ගලයන්ට සියදිවි නසා ගැනීමට පවා සිදු විය. ඇතැම් පුද්ගලයන්ට තම සාමාන්‍ය දිවි පෙවතට ඇතුළු වීම⁣ට තරමක් අපහසු විය.

තවම පාඩමක් උගෙන නොගත් සිද්ධිය..

මෙවැනි සිදුවීම් රැසක් තිබුණද අහිංසකයන් අපරාධකරුවන් කරන පොලිසියත් ජනමාධ්‍යත් තවම පාඩමක් උගෙන නැති බැව් ⁣පසුගිය 16 වැනිදාත් 17 වැනිදා ඉන් පසු පෙරේදාත් (29) ඊයේත් (30) පලවූ මාධ්‍ය වාර්තාවලින් පෙනේ.

කහවත්ත වැල්ලදුරේ 71 හැවිරිදි මවක ඝාතනය කිරීමක් වාර්තා වූයේ පසුගිය 13 වැනිදාය. ඊට සැකපිට ඇගේ 38 හැවිරිදි දියණිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දෙසැම්බර් 16 වැනිදා උදේ 7.45ට 1580/2023 දරණ මාධ්‍ය නිවේදනයෙන් ජනමාධ්‍ය වෙත කරුණු දැනුම් දුන්නේය.

අනතුරුව ඇතැම් ජනමාධ්‍ය එය ප්‍රධාන පුවතක් ලෙස වාර්තා කළ අතර අත්අඩංගුවට පත් සැකකාර දියණියගේ රූපය පවා පල කලේය. ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කෙරිණි. සිද්ධියේ විමර්ශන තොරතුරු යැයි කියමින් පොලිසිය උපුටා දක්වමින් ජනමාධ්‍ය විවිධ කතා වාර්තා කළේය. දියණිය සැක කිරීමට හේතු ඉදිරිපත් කළේය.

කෙසේ වෙතත් මේ වන විට එම සිද්ධියට යැයි සැක කරමින් වෙනත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ඝාතනය කිරීමට හේතුව යැයි කියන කතාවක්ද ජනමාධ්‍ය වාර්තා කළේය. පොලිසිය ඉදිරියේ කරන ලදැයි කියන සැකකරුවන්ගේ ප්‍රකාශ "පාපොච්ඡාරණ" ලෙස නොසලකන අතර අධිකරණයේ සාක්කියක් ලෙස ඒවා පිළිගන්නේ ද නැත. දැනට පවතින නීතිය අනුව අධිකරණයක් ඉදිරිපිට සාක්කියක් වශයෙන් පිළිගන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පොලිසියට දෙන ප්‍රකාශයක් පමණි. සාමාන්‍ය නීතිය යටතේ පොලිසිය ඉදිරිපිට කරන ප්‍රකාශ සාක්කියක් ලෙස පිළිගන්නේ නැත. ⁣

එසේ තිබියදී සැකකරු කළැයි කියන ප්‍රකාශයක් පොලිසිය පාපොච්ඡාරණයක් සේ පෙන්වා අදාල සැකකරු අධිකරණය මගින් වරදකරුවකු කිරීමට පෙර සමාජයෙන් ඔහු වැරදිකරුවකු යැයි ඒත්තු ගැන්වීම පිණිස ප්‍රචාරය කිරීම බොහෝ අවසථාවල සිදු කරයි.

කහවත්තේ කාන්තා ඝාතන රැල්ලේ සිද්ධිය..

එදා ⁣2015 වසරේ අප්‍රේල් මස 05 වැනිදා කහවත්තට එළිවූයේ එම ප්‍රදේශයේ තිබුණායැයි කියූ කාන්තා ඝාතන රැල්ලට තවත් එකක් එකතු කරමිනි. එදා චන්ද්‍රාණි ස්වර්ණලතා ඝාතනය වන විට 39 වැනි වියේ පසුවූවාය. තිදරු මවක වූ⁣ ඇගේ බාල පුතනුවන් ඒ වන විට යොවුන් සේනාංකයේ අධ්‍යාපනය ලබමින් සිටියේය.

චන්ද්‍රාණිට කරදරයක් වී ඇතැයි දැන ගත්තේ නිවසේ ලේ තිබීමත් චන්ද්‍රානි නිවසේ නොසිටීමත් නිසාය. ඇගේ මෘත දේහය නිවසට පහල ඇළක් අසලින් හමුවූයේ දිනක දෙකක ඇවෑමෙනි. ඇගේ අවසන් කටයුතු නිමවූවායින් පසු පොලිසිය ඇගේ බාල දරුවා වූ 18 හැවිරිදි යොවුන් සේනාංක සිසුවා අත්අඩංගුවට ගත්තේය.

එලෙස අත්අඩංගුවට ගැනීමෙන් නොනැවතී තම පෙම්වතියට තෑග්ගක් අරං දීමට මුදල් ඉල්ලා නොදුන් නිසා මව ඝාතනය කළ බවට ඔහු පාපොච්ඡාරණය කළැයි කතාවක් ගොතා ජනමාධ්‍ය හරහා ප්‍රචාරය කළේය. අවසානයේ දරුවා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණි. ඔහු ගැන ජනමාධ්‍ය පල කළේ අම්මාගේ මරණය සිදු කළේ ඔහුම යැයි සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති අකාරයටය. සිරස ප්‍රවෘත්ති පමණක් මෙම දරුවා ඇත්තටම මෙම අපරාධය කළායැයි කීම සැකසහිත බව ඇඟවෙන ආකාරයට වාර්තා කළේ. සිරස හැර ඇතැම් ජනමාධ්‍ය දරුවාගේ පින්තූර පවා පෙන්වීය.

මේ අතරතුර කහවත්තේ තවත් කාන්තා ඝාතනයක් සිදූවූ අතර එහි විමර්ශන පැවරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. කලින් සිද්ධියට අත්අඩංගුවට ගත් දරුවා සීඅයිඩී ප්‍රධානීන්ට ලිපි මගින් දැනුම් දී තිබුනේ තමන් එම සිද්ධියට සම්බන්ධ නැති බවයි. කෙසේ වෙතත් සීඅයිඩිය පසු ඝාතනය ගැන කරන විමර්ශනය අතරතුරදී හෙළිදරව් වූ⁣යේ චන්ද්‍රාණි ඝාතනය කර ඇත්තේ වෙනත් පුද්ගලයකු බවයි.

මාස ගණනත් තිස්මේ රිමාන්ඩ් බාරයේ සිටි දරුවා මුදා හැරිණි. මුල් පුවතට ලැබුණු ප්‍රමුඛත්වය මෙම පුවතට ලැබුණේ නැත. සමාජය ඉදිරියේ වැරදිකරුවකු කළ දරුවාගේ අධ්‍යාපනය අහිමි වූ අතර ඔහුට අන්තිමේ සමාජයෙන් වෙන්ව පතල්වැඩවල නිරත වීමට සිදු විය.

සේයා සදෙව්මි සිද්ධිය..

ඒ කොටකෙතනය. 2015 සැප්තැම්බර් මාසයේ දී කොටදෙනියාවේ දී සේයා සදෙව්මි නම් දැරිය අපයෝජනය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාසල් සිසුවකු සහ එක්දරු පියකු අත්අඩංගුවට ගෙන පොලිසිය ලොකු ප්‍රචාරයක් ලබා දුන්නේය. පාසල් සිසුවාගේ ලිංගය රතුවී ඇති බැවින් මෙම අපරාධය කළේ ඔහුම බවට පොලිසිය ප්‍රචාරය කළේය. වෙඩිබෙහෙත් වත්ත නම් වධකාගාරයකට රැගෙන ගොස් ඔවුන්ට දස වද දී තිබිණි. අවසානයේ දැරියගේ ලිංගාශ්‍රිතව තිබී හමුවූ ආධුනික ඩීඑන්ඒ  සිසුවාගේ සහ එක්දරු පියාගේ නොවන බවට තහවුරු වීමෙන් පසු 2015 ලෝක ළමා දිනය දා ඔවුන් නිදහස් කෙරිණි.

ඉන් පසු එම සිද්ධියට සැකපිට යැයි කියමින් තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් අතර ජනමාධ්‍ය ඔහුට කොණ්ඩයා යැයි නම් තැබීය. ඔහු නිවසේ ජනේලයෙන් බලා සිට ස්වයං වින්දනය කර දියණිය රැගෙන ගොස් අපයෝජනය කළ හැටි ජනමාධ්‍ය රස කරමින් වාර්තා කළේය. ඔහුගේ ද ඩීඑන්ඒ නොගැලපුණු අතර ඒ අනුව ඔහු ද නිදහස් කෙරිණි. අවසානයේ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන නඩු පවරා අධිකරණයෙන් වරදකරු කරනු ලැබීය.

පොලිසියට අහිංසකයන් අපරාධකරුවන් කරන ආකාරය අලුත් දෙයක් නොව නිතර සිදුවන දෙයක් බවට පෙන්වීම⁣ට ඉහත සිදුවීම් ප්‍රමාණවත්ය. ඉන් එහා ගොස් දේශබන්දු⁣ තෙන්නකෝන් ඇතුළු පිරිසකට එ⁣⁣රෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවේද  අහිංසකයන් අපරාධකරුවන් කරන ආකාරය දක්නට ලැබේ.

මානව හිමිකම් කොමිසම බුදි..

ඉහත කී උදාහරණ දෙකේදීම මානව හිමිකම් කොමිසම තම වගකීම හරිහැටි ඉටු නොකිරීමද කැපී පෙනෙන සිද්ධියකි. කොටදෙනියාවේ වධකාගාරයට තරුණයන් රැසක් ගෙනයෑම ගැන ඔවුන්ගේ දිවුරුම් පෙත්සන්ද සමග මීට වසර අටකට පෙර තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් කළ පැමිණිල්ල අද වෙනතුරු විභාග කර නැත.

නිසි විමර්ශනයක් සිදු කර සාක්කි මත සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ආකාරය ගැන අවශ්‍ය දැනුම්වත් කිරීම් කරනවා වෙනුවට පොලිස් ප්‍රධානීන්ද කරන්නේ එවැනි බලහත්කාරී අත්අඩංගුවට ගැනීම් දිරි ගන්වන ජනමාධ්‍ය රංගනයන්ය. දේශබන්දු⁣ගේ රඟපෑමද එවැන්නකි.

මෙවැනි නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් සහ බොරු නාට්‍ය නතර කිරීමට නම් සමාජයේ දැනුම්වත් බව ඉහළ නැංවිය යුතු අතර පොලිස් කොමිසම , මානව හිමිකම් කොමිසම වැනි ආයතන තවදුරටත් ස්වාධීනව කටයුතු කළ යුතුය. එසේ නැතහොත් එදා කොටදෙනියාවේ සිසුවාට, කොටකෙතන සිසුවාටත් අද කොටකෙතන දියණියටත් අත්වූ ඉරණම හෙට තව කෙනකුට අත්වනු නතර කළ නොහැකිය.

(බහුබූත මාධ්‍ය වාර්තා ඉමේජවල දැක්වේ)

-තරිඳු ජයවර්ධන විසිනි

---------------------------
by     (2023-12-31 11:32:45)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links