-විශේෂ ලියුම්කරුවෙකු හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2024.ජන.22, ප.ව.11.00) ශ්‍රී ලාංකේය සමාජ දේශපාලන ක්ෂේත්‍රය අද (22) උදෑසන කම්පනයට පත්කරමින් "රෝයල් බීච් සමන්" ලෙසින් හැඳින්වෙන 'අපේ ජනබල පක්ෂයේ' සභාපති කුරුණෑගල ගල්ගමුව රත්ගල්ගොඩ වත්තේ පදිංචි වැලිසරගේ සමන් ප්‍රසන්න පෙරේරා හෙවත් සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙක් අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කරන ලදී. ඝාතනය වූයේ අද උදෑසන 8.00 ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත අන්තර් හුවමාරුවේදී ය. සමන් පෙරේරා සමග ඝාතනය වූයේ පහළගඟබඩ පදිංචි කුමාර විදාරණලාගේ හසිත චින්සුක රණසිංහ, පොල්වත්ත වරාහේන පදිංචි ඉලේකුට්ටිගේ සමීර මධුශංක, කුරුණෑගල ගැට්ටුවානේ පදිංචි බයියාදුරයලාගේ බුද්ධික රාජපක්ෂ සහ දෙමටගොඩ පදිංචි කන්නංගර කෝරළලාගේ නලින් චම්පික ජයතිලක යන සිව්දෙනා ය. තංගල්ල අධිකරණයේ පැවැත්වෙන නඩුවකට පෙනී සිටීම සඳහා පැමිණෙමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබිණ. සිව්දෙනෙකු එම ස්ථානයේම මිය ගොස් ඇති අතර එක් අයෙකු රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.
මෙම ගවේෂණාත්මක වාර්තාවේ අරමුණ වන්නේ "රෝයල් බීච් සමන්"ගේ ඝාතනය වටා ඇති අභිරහස් ස්ථර හෙළිදරව් කිරීම, ප්‍රහාරය මෙහෙයවූවන් කවුරුන්ද යන්න සහ මෙම සාහසික අපරාධය පිටුපස ඇති චේතනාව පිළිබඳව විමර්ශනය කිරීමයි.
සමන් පෙරේරාගේ වයිට් ඩිෆෙන්ඩර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කරන විට අධි බලැති යතුරු පැදි තුනකින් එය ඉතා සමීපව ලුහුබැඳ ගොස් තිබිණ. හදිසියේම, අතුරු මාර්ගයකින් 4x4 පිකප් රථයක් මතු විය, කිසිදු අංක තහඩුවක් නොමැති එම රථයේ කුප්‍රසිද්ධ පාතාලයෙකු සහ ඔහුගේ සන්නද්ධ සහකරුවන් දෙදෙනෙකු සිටියහ. ඉතා සූක්ෂම ලෙස සැලසුම් කළ මෙහෙයුමක් ආරම්භ විය.
සමන් පෙරේරා අනෙක් අය සමඟ එක්ව ඉක්මනින් ආහාර වේලක් ගැනීමට අදහස් කළේය. ඔහු ගමන් කළ සුදු පැහැති ඩිෆෙන්ඩර් රථය රාමසිංහ ෆුඩ් සිටි ආපන ශාලාව අසල නතර කිරීමට වේගය අඩු කෙරිණ. ඝාතකයන් පැමිණි පිකප් රථය උපක්‍රමශීලීව ඩිෆෙන්ඩර් රථය අවහිර කළ අතර සුළු මොහොතකින් වෙඩි හඬ පුපුරා ගියේ ය. එය "රෝයල් බීච් සමන්" ගේ ජීවිතය බිලිගත්තේය.
ගැටුම එතැනින් අවසන් වූයේ නැත. සමන් පෙරේරා සමඟ සිටි සිව් දෙනෙක් ඩිෆෙන්ඩර් රථයෙන් බැස පලා යාමට උත්සාහ කළ අතර, දෙවන ප්‍රහාරක කණ්ඩායමක් විසින් ඔවුන් වියරු ලෙස ලුහුබැඳ ගියහ. ලුහුබැඳීම අවසන් වූයේ කුඩා සුපිරි වෙළඳසැලකින් වන අතර එහිදී අමතර වෙඩි තැබීම් සිදු කෙරිණ. මෙම දරුණු ප්‍රහාරය වෙළඳපොළ තුළ එක් ඝාතනයකින් සහ නේවාසික ප්‍රදේශයකට යන අතුරු මගක් අසලදී අනෙක් ඝාතන සිදුකෙරිණ.
වැලිසරගේ සමන් ප්‍රසන්න පෙරේරා හෙවත් 'රෝයල් බීච් සමන්' යනු 1998,1999 වර්ෂයේ කොස්ගොඩ ඉඳුරුව වෙරළේ හිටපු සංචාරක මග පෙන්වන්නෙකි. (beach boy)
මේ අතරතුර සමන් හට ආරාබි ජාතික විදේශිකයෙකු මිතුරු වී ඇත. එම මිතුදම නිසාම එම විදේශිකයා විසින් ඉඳුරුව මුහුදු වෙරළ අයින ප්‍රදේශයෙන් ඉඩමක් ගෙන හෝටලයක් ඉදිකරවා ගැනීමට සමන් හට මිල මුදල් දී ඇත. එම සාදන ලද සංචාරක හෝටලය 'රෝයල් බීච්' නමින් නම් කරන ලදි.
එයින් පසු සමන් හට 'රෝයල් බීච් සමන්' යනුවෙන් නම් පටබැඳුනි. සමන්ට එක් සහෝදරයෙකු සිටියේය නමින් ඔහු වැලිසරගේ සුමිත් පෙරේරා ය. සංචාරක හොටලය කලක් යහමින් කරගෙන ගියේය.මේ අතරතුර දී සමන් සහ ඔහුගේ සහෝදරයා වන සුමිත් ඉඳුරුව ප්‍රදේශයේම කෝලිත සහ රෝහණ නම් බීච් බෝයිස්ලා දෙන්නෙක් සමග ආරවුලක් ඇති කර ගත්තේය.
මේ ආරවුල හේතුවෙන් ඉඳුරුව වෙරලේදී කෝලිත සහ රෝහණ වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දරා ඇත. ඒ සම්බන්ධව සමන් සහ සුමිත් අයියා මලෝ පොලිස් අත් අඩංගුවට පත්ව බන්ධනාගාර ගතව ඇත. බන්ධනාගාර ගතව සිටිය දී සමන් සහ සුමිත්ට රත්ගම විදුර මුණ ගැසුණේය. සමන් සහ විදුරගේ මිතුදම පටන් ගන්නේ එතැනින් පසුය.
සමන් සහ සුමිත් ඇප ලබා එළියට පැමිණියහ. ඒ වන විට මේ වෙඩි තැබීම සම්බන්ධයෙන් එවකට ගාල්ලේ පාතාල රජු ලෙස කිරුල පැළඳ සිටි 'දේව නඳුන් ධර්මවික්‍රම' හෙවත් කොස්ගොඩ නඳුන් ගේ කන වැටී ඔහු කෝපයෙන් සිට ඇත. ඒ නඳුන්ගේ 'බල ප්‍රදේශයේ' වෙනත් කිසිදු පාර්ශවයකින් වෙඩි පත්තු වූ නිසා ය. රෝයල් බීච් සමන් සහ සුමිත් නඳුන්ගේ අණට කීකරු ද බලන්නට නඳුන්ට උවමනා විය. කොස්ගොඩ නඳුන් ඒ සඳහා යොදාගත් උපක්‍රමය වූයේ සමන්ගෙන් ලක්ෂ 50 ක් කප්පම් මුදල් ලෙස ඉල්ලීමයි. කප්පම් මුදල ඉල්ලු පසු සමන්ගෙන් කොස්ගොඩ නඳුන්ට ලැබුනේ හිතාගන්නවත් බැරි උත්තරයකි. "උඹලට දෙන්න අපි සල්ලි හම්බකරලා නැහැ. පුලුවන්නම් අරන් පෙන්නපං" යනුවෙන් සමන් නඳුන්ගෙන් ගේම ඉල්ලුවේය. නඳුන්ට මේ වචනය උහුලන්නට බැරි විය. නඳුන් ලැජ්ජාවෙන් සහ තරහෙන් පිපිරෙන්නට වූයේ මින් පෙර කිසිදු ව්‍යාපාරිකයෙකුගෙන් නඳුන්ට මෙවැනි පිළිතුරක් ලැබී නොමැති හෙයිනි.
නඳුන් ක්ෂණිකව ක්‍රියාත්මක විය. නඳුන්ගේ ගෝලයින් T.56 ගිණි අවියක් සහ පිස්තෝලයක් අතැතිව පිටත් කර රෝයල් බීච් හෝටලයේ පුරා බිත්ති හිල් වෙනතුරු වෙඩි තැබීය. එයිනුත් සමන් සහ සුමිත් යන අයියා මලෝ දෙපල බය කරවා ගැනීමට නඳුන් අපොහොසත් විය. නඳුන්ට පිළිතුරු දිය යුත්තේ පාතාලයේ භාෂාවෙන්ම යැයි සමන්ට තේරුම් ගියේය. එතැන් සිට නඳුන්ට විරුද්ධ පාතාල කණ්ඩායමක් සැදීමට සමන් ක්‍රියා කළේ ය.
එවකට නඳුන්ගේ ප්‍රධානම ගෝලයින් දෙදෙනෙක් වන 'වත්තල ආමි මල්ලී' සහ 'හික්කඩුව මනෝජ් මැන්ඩිස්' නඳුන්ගේ කන්ඩාමෙන් වෙන්ව ගොස් තිබුනේ අහුංගල්ල රන්මැණිකා හෝටල් අධිපති ජීවක ඝාතනය සඳහා පොරොන්දු වූ මුදල් නොගෙවීමක් පදනම් කරගෙන ඇති වූ ආරවුලක් නිසාය. ආමි මල්ලී යනු නඳුන් ළඟ සිටි සුපිරිම ඝණයේ වෙඩික්කරුවෙකි. නඳුන්ගෙන් වෙන් වී ආමි මල්ලි සහ මනෝජ් මැන්ඩිස්, සමන්ගේ කණ්ඩායමට එකතු වීමත් සමග සමන් ශක්තිමත් විය. එතැනින් නැවතුනේ නැත. සමන් කණ්ඩායම මෙහෙය වීම සඳහා බාර දී තිබුනේ ඔහුගේ මල්ලී වන සුමිත් ට ය.
මේ වන විට වත්තල ආමි මල්ලී, හික්කඩුව මනෝජ් මැන්ඩිස්, කොස්ගොඩ කුකුලු නිහාල්, මාතර බත් කඩේ ජානක, බලපිටියේ විජිත් ශාන්ත, දමයන්ත, ගංගා බොක්කා ඇතුලු බලපිටිය කන්ඩායම, කැකුණදුර කුමාර, ඉඳුරුව ෂෂී ප්‍රභාත්, චාමර, කඩුවෙල SF ජගත්, තුඩාවේ රුවන් පියරත්න හෙවත් මෝල් පියා වැනි දරුණු ඝණයේ වෙඩික්කරුවන්ගෙන් සමන්විත කණ්ඩායම මෙහෙය වූයේ සමන්ගේ මල්ලි සුමිත් විසින්ය.
නඳුන්ට සමන් වෙත ළඟා වීම අපහසු කාර්යයක් විය. සුමිත් ඇතුලු කණ්ඩායම විසින් 2004 දෙසැම්බර් 22 දින නඳුන්ගේ මස්සිනා වූ 21 හැවිරිදි ටොරී ධනුෂ්ක තාබෲ ඝාතනය කරන්නේ කොස්ගොඩ මහපැලෑන ප්‍රදේශයේ ක්‍රීඩා පුහුණුව අවසන් වී ගෙදර පැමිණෙන අවස්ථාවේදී ය. කොස්ගොඩ පොඩි සුජී පාතාලයට අත්පොත් තබන්නේද මේ වකවානුවේ ය. ටොරී ඝාතනයේ වාඩුව ගැනීමට නඳුන්ට අවශ්‍ය විය. ඒ වන විට ටොරී ධනුෂ්ක යනු ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙකි.ටොරී ඝාතනය සඳහා සමන් පෙරේරා, සුමිත් පෙරේරා, ශෂි ප්‍රභාත්, ආමි මල්ලී, කැකුණදුර කුමාරට චෝදනා එල්ල විය.
තම මස්සිනා මැරූ පලිය නඳුන් ගත්තේ සමන්ගේ මස්සිනා වූ සුමිත් ද සිල්වා කොස්ගොඩ ප්‍රදේශයේ දීම ඝාතනය කිරීමෙනි. ඒ 2005 වර්ෂයේ දී ය. මේ වකවානුවේ ඉඳුරුව කොස්ගොඩ අහුංගල්ල බලපිටිය ප්‍රදේශ යුධ පිටියක් වැනිය.
නැවත සමන්ගේ කණ්ඩායම විසින් 2006 පෙබරවාරි 17 වැනිදා නඳුන්ගේ මාමන්ඩිය වු ස්ටැන්ලි තාබෲ ඝාතනය කළේ ය. ස්ටැන්ලි තාබෲ යනු කොස්ගොඩ හිටපු ප්‍රාදේශීය සභා සභාපති වරයෙකි. එම නිසාම නඳුන්ට දේශපාලන ශක්තිය හා පොලිස් සහයෝගය නොඅඩුව ලැබී තිබුණි.
එවකට වත්තල ප්‍රදේශයේ අවන්හලක සිදු වූ ත්‍රිපුද්ගල ඝාතනයක් ද සමන්ගේ කල්ලිය විසින් සිදු කරන ලද බවට චෝදනා එල්ල වී තිබුනි. මේ අතරතුර මේ ආරවුල සඳහා මුල් වූ පෙර කී රෝහිත යන අය ද ඝාතනය කර අවසන් කිරීමට සුමිත් අමතක නොකළේ ය. 'බෙන්තර පකඩයා' යන පුද්ගලයා ඝාතනය කළේ සමන්ගේ ගෝල 'මෝල් පියා' සහ 'ඌරගහ රසික' විසිනි. කොස්ගොඩ නඳුන් විසින් තම මස්සිනා මැරු පලිය ගැනීමට තරුණ ජීවිත රැසක් බිලිගත් අතර රෝයල් බීච් සමන් සහ සුමිත් ද ඝාතන රැල්ලක්ම සිදු කළෝ ය.
සමන්ගේ ඝාතන රැල්ල නවතිනුයේ නඳුන්ට හිතවත්ව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් නඳුන්ගේ කීමට සමන්ගේ සොහොයුරා වන සුමිත් සහ ආමි මල්ලි යන දෙදෙනාව ඝාතනය කිරීම රහසක් නොවේය. මේ නියෝජ්‍ය පොලිස්පති වරයාගේ හොඳම මිතුරා වූයේ කොස්ගොඩ නඳුන්ය. නඳුන්ගේ පාතාල ක්‍රියාකාරකම් නතර වූයේ අම්බලන්ගොඩ රත්තරන් වෙළඳසැලක් මංකොල්ල කෑමට යෑමේදී පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ඝාතනය කර ඉතාලි රටට පැන ගැනීමත් සමගය.
සමන්ගේ සෑම ක්‍රියා දාමයක් සඳහා රත්ගම විදුරගේ සහාය ද නොඅඩුව ලැබී ඇති බව පැවසේ. තම සොහොයුරාගේ මරණයෙන් පසු සමන් හුදකලා වීමට උත්සාහ කළ ද නඳුන්ගේ ගෝලයෙකු වූ කොස්ගොඩ සුජී, නඳුන්ගේ කල්ලියට නායකත්වය දෙමින් සමන්ගේ හෝටලය අසල දී සමන්ගේ මිතුරා වූ විදේශිකයා පැමිණි වාහනයට වෙඩි පිට වෙඩි තැබූව ද සමන්ගේ ජීවිතය බේරිණ. ඉන්පසුව සමන් තමා ළඟ සිටි සියලු ආධාර කරුවන් තම මිතුරු රත්ගම විදුරට ලබා දී ඇති බව පැවසේ. ඔවුන් අතර කොස්ගොඩ තාරක, ඌරගහ ඉන්දික, ඉඳුරුව ෂෂී, ප්‍රභාත්, චාමර, SF ජගත්, අහුංගල්ල මධුෂාන් ආබෘ මුල් තැනක් ගනී.
මෑත කාලයේදී 2022 වර්ෂයේ රත්ගම විදුර විසින් තංගල්ල ප්‍රදේශයේ ස්කිපර් වරයෙකු ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බවට සමන්ව අත් අඩංගුවට පත් වී ඇත. ඒ සඳහා වෙඩික්කරු වශයෙන් කටයුතු කර ඇත්තේ ද සමන්ගේ ගෝලයෙකු වූ SF ජගත්ය. සමන්ගේ මිනිස් ඝාතන සඳහා අංක NS.74656, 62515, 85632 යටතේ නඩු කිහිපයක් තිබු අතර දැනට තංගල්ල ස්කිපර් ඝාතනයට ද චෝදනා එල්ලව ඇත. මොහු විසින් මෙහෙයවූ අපරාධ පිළිබඳව පොතක් වුවත් ලිවිය හැක. ඒත් පුදුමයක් වන්නේ මෑත කාලයේ කොස්ගොඩ තාරක, ඌරගහ ඉන්දික විසින් සිදු කරන සෑම අපරාධයක්ම සමන්ගේ ඇඟේ නොගෑවී කරවීම ය.
සමන් පෙරේරා දේශපාලන පක්ෂයක් මිල දී ගත්තේ ය. ඒ පක්ෂය නම් 'අපේ ජන බල පක්ෂය' යි. සමන් පෙරේරා සභාපති වූ අතර ලේකම් වූයේ වේදිනියේ විමලතිස්ස හිමි යන්ය. ගලගොඩඅත්තේ ඥානසාර, අතුරලියේ රතන, හිමිවරුන් දෙදෙනා 2020 අගෝස්තු මහ මැතිවරණයට තරඟ කෙළේ එම පක්ෂයේ නමිනි. එහිදී එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් හිමි වූ අතර ඊට ගලගොඩඅත්තේ සහ රතන අතර ආරවුලක් ඇතිවිය. ලේකම් වේදිනියේ විමලතිස්සගේ අත්සන නොමැතිව විමලතිස්ස සැඟවී සිටියේ ය. පසුව මන්ත්‍රීධූරය රතනට වසර පහෙන් භාගයකට කියා ලබා දුන් නමුත් පසු භාගය සඳහා ගලගොඩඅත්තේ උනන්දුවක් නොදැක්වූයෙන් තවමත් මන්ත්‍රීධූරය දරන්නේ අතුරලියේ රතන ය. මැතිවරණය පැවැත්වෙද්දී සමන් පෙරේරා සැඟව සිටි පන්සලක් එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරය දැරූ දේශබන්දු විසින් 700 කගේ පමණ විශාල පොලිස් බල ඇණියක් යොදවා වැටලුවේ ය. නමුත් සමන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට දුන් එක දුරකථන ඇමැතුමකින් පොලිස් බල ඇණිය ඉවත් කර ගැනීමට දේශබන්දුට සිදුවිය. මෑත කාලයේ දී දේශබන්දු වැඩ බලන පොලිස්පති ධූරයෙන් ඉවත් කරවීමට රෝයල් බීච් සමන් ක්‍රියා කළා යැයි පැවසේ.
මෙදින සමන් පෙරේරා ඝාතනයෙන් පසු ශ්‍රී ලංකා පොලිසිය ඔහුගේ නිවස තුළ සාම්ප්‍රදායික නොවන වැටලීමක් සිදු කිරීම ද විශේෂය. මෙම අසාමාන්‍ය වැටලීමේ දී ඔහුගේ නිවසින් ඉවත් කරන ලද ද්‍රව්‍ය සාක්කි විනාශ කිරීමක්දැයි සැකයක් පවතී.
සිරිසේන සහ ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණයක් ගැන හඬ පට තිබෙනවා යයි කියමින් නාටකයන් රඟ පෑ කුප්‍රකට නාමල් කුමාර ද සමන් පෙරේරාගේ ගෝලයෙකි. නාමල් කුමාර අත් අඩංගුවේ සිටිය දී ඔහුගේ පවුලට වියදම් දැරුවේ සමන් පෙරේරා ය.
පාතාල නායකයන්, ආරක්ෂක අංශ සහ ලංකාවේ දේශපාලන සම්බන්ධතා සම්බන්ධයෙන් 'රෝයල් බීච් සමන්' වැදගත් චරිතයකි. සැඟවුනු චරිතයකි. "රෝයල් බීච් සමන්" ඝාතනය සංකීර්ණ සබඳතා, දේශපාලන පළිගැනීම් සහ අපරාධ සම්බන්ධකම්වල ජාලයක් එළිදක්වයි. ඔහුගේ ඝාතනය පිටුපස ඇති බහුවිධ චේතනාවන්, පාතාල පුද්ගලයින් සමඟ ගැටුම්, දේශපාලන බල අරගල සහ අපරාධ ක්‍රියාකාරකම්වල ඉතිහාසය ඇතුළත් වේ.
පාතාල නායකයෙකු කියා වුව මහ දවල් මහ මග ප්‍රසිද්ධියේ මෙලෙස මිනිසුන් ඝාතනය කළ හැකිද? එසේ කිරීමට හයිය ඇත්තේ කාට ද? 'අපේ ජනබල පක්ෂයේ' සභාපතිවරයා ලෙස ඝාතනයට ලක් වූ සමන් පෙරේරාගේ ඝාතනය සිදු කළෝ කව්ද? නියෝග දුන්නේ කව්ද? කිසිවෙකුට හසු නොවී පළා ගියේ කෙසේ ද? මැතිවරණ වර්ෂයක් වන මේ වසරේ දී සිදුකළ මෙම ඝාතනය අනෙකුත් දේශපාලන පක්ෂ වලට දෙන පුළුල් ඇඟවුම් මොනවාද? මේවා ගැන ජනතාව අවදියෙන් සිටිය යුතු ය.
---------------------------
by (2024-01-22 19:45:17)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි