-විශේෂ ලියුම්කරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.13, ප.ව.10.20) ත්‍රස්තවාදීන්ට කෝටි ගණන් මුදල් දුන් බවට පිළිගත් අපරාධකරුවකු වන වර්තමාන මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පාර්ලිමේන්තුවට ගෙනැවිත් පාරම් බා සම්මත කරගත් මාර්ගගත ක්‍රමවල ආරක්ෂණ පනත හෙවත් 'ඔන් ලයින් කට වහන පනත' බකල් වී ඇති බව අද ගන්නා ලද අමාත්‍ය මණ්ඩල තීන්දුවකින් සනාථ වේ.
ටිරාන් අලස් සහ රනිල් රාජපක්ෂගේ තදියමට එම පනත නීති විරෝධී ලෙස සම්මත කරන ලද්දේ පසුගිය ජනවාරි 23 වන දාය. අඩුම වශයෙන් පාර්ලිමේන්තු විවාදයට පෙර හෝ විවාදය අවස්ථාවෙහි දී සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මංත්‍රීවරුනට ලබා දී තිබුණේ නැත. එහෙත් රාජපක්ෂ දේශපාලන වහල්ලු රනිල් රාජපක්ෂගේ පනතට පක්ෂව ඡන්දය දුන්නේ පනතේ ඇත්තේ කුමක්දැයි දන්නේවත් නැතිවය. කතානායකයා ද එවැනිම ය.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති එල්. ටී. බී. දෙහිදෙණියගේ අත්සනින් කතානායකයා ඇතුළු අදාළ පාර්ශව වෙත, එම පනත සම්මත කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ නොසළකා බව ලිඛිතව දැන්වීමෙන් පසු ඔවුන්ට තක්කු මුක්කු විය.
ලංකා ඊ නිව්ස් මෙයට පෙර දක්වන ලද පරිදි මෙම අනීතික ක්‍රියාව සම්බන්ධයෙන් නීතිය හමුවේ කතානායක මහින්ද යාපා වැරදිකරුවකු කළ හැකිව තිබුණි.
ඒ මෙසේ ය: ශ්‍රේෂ්ඨාධිකරණය සිය නිර්දේශ ලබා දෙන්නේ පෙත්සම් කරුවන්ට නොව නිල වශයෙන් කතානායකවරයාට ය. කතානායකවරයා එකී නිර්දේශ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123 වැනි වගන්තිය අනුව ය. 123(4) වගන්තියේ පැහැදිලිව මෙසේ සඳහන් වේ.
"යම් පනත් කෙටුම්පතක් හෝ පනත් කෙටුම්පතක විධි විධාන හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල යැයි තීරණය කර ඇත්තා වූ හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල යැයි තීරණය කරන ලද සේ සැලකෙන්නා වූ අවස්ථාවක ඒ පනත් කෙටුම්පත හෝ විධි විධාන හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයේ ප්‍රකාශ කර ඇති ආකාරයට හැර සම්මත නොකළ යුත්තේ ය."
මෙම පනත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පිටුපා සම්මත කිරීමට විරුද්ධව අධිකරණයට යෑමට නීතිවේදීන් පිරිසක් සූදානම් වන බව ද අපි වාර්තා කළෙමු.
තවද මෙම නීති විරෝධී පනත යටතේ කිසිවකුට දඬුවම් කිරීමට නොහැකි වන බවද නීති අංශ පෙන්වා දී තිබේ. මන්ද යත් නීතිය සම්මත කර ඇත්තේම නීති විරෝධී ආකාරයට නිසා ය.
එක්සත් ජාතීන් මොනවා කිව්වත්, මානව හිමිකම් සංවිධාන මොනවා කිව්වත් “මං කෙළවනවා” යැයි උම්බෑ ගෑ ටිරාන් අලස්ගේ ද දෙකොන දැන් රත්වන්නට ඇත. එබැවින් අද අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අපූරු තීරණයක් ගෙන තිබේ.
ඒ මෙසේය: "මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ ව පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදුව මේ වන විට එම පනතේ විධි විධාන ක්‍රියාත්මකව පවතී. එකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් කරන ලද සංශෝධනයන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුගතව සිදු කළ යුතුව තිබූ බැවින් ක්ෂේත්‍රයේ විශේෂඥයන් විසින් ඉදිරිපත් කර තිබූ සංශෝධන යෝජනා එකී පනත් කෙටුම්පතට හඳුන්වා දීමට හැකිවී නොමැත. එබැවින් අදාළ සංශෝධන යෝජනා ඉදිරිපත් කර තිබූ ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමඟ තවදුරටත් සාකච්ඡා කර හඳුනා ගෙන ලැබ ඇති සංශෝධන මත පදනම්ව මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකයන්ට උපදෙස් දීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී”
මේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ද කාගේවත් යෝජනා බාර ගන්නේ නැති බවට උඩුබුරු ලෑ අර ටිරාන් අලස්ම ය. ටිරාන් අලස්ට සිදුව ඇත්තේ ගලේ පැහැරූ බළලාට සිදු වූ දේය. දැන් මේ කියන විශේෂඥයින්ගේ යෝජනා තියෙන්නේ කොහිද? එම යෝජනා සියල්ලම වාගේ පෙත්සම්කරුවන් 52 ක් වෙනුවෙන් පෙනී සිටි විද්වත් නීතිඥයින් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකයාට සංශෝධිත නිර්දේශ නිකුත් කළේ ඒ අනුව ය. පාර්ලිමේන්තුව එම පනත සම්මත කළේ සංශෝධන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ එකී යෝජනා නැතිවය.
මෙම අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව, පනත සම්මත කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයන්ට අනුවය. එය ගල් පැලෙන බොරුවකි. එවැනි වංචාකාරී යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම ද ඉන්පසු එය සම්මත කිරීම ද පිළිගත හැකි නිසි ක්‍රියාදාමය නොවේ.
කෙසේ වෙතත් මෙම තීරණය අනුව දැන් අලුත් පනත් කෙටුම්පතක් සකස් කළ යුතුය. ඉන්පසු එය ගැසට් කළ යුතුය. අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය හමූයේ එය විමසීමට කාලය දිය යුතුය. යළි මුද්‍රණය කළ යුතුය.
මේ සියල්ලම අධික මුදල් වැය වන ක්‍රියාවලියකි. ඉන් සතයක්වත් ටිරාන් අලස් එල්ටීටීඊයට දුන් මුදලින් හෝ රනිල් රාජපක්ෂගේ කවර හෝ පුද්ගලික මුදලකින් ගෙවන්නේ නැත. වැයවන්නේ මහජන මුදල්ය.
ඊටත් වඩා මේ ක්‍රියාවලිය කරන්නට යන්නේ ඇස්බැන්දුමක් හරහාය. නීච දේශපාලනයක පිරිහෙන ළකුණු මිස මේ අන් කුමක්ද?
මේ සියලු සෙල්ලම්වලට ඇත්තේ තව පෝය හයකි. ඉන් පසු බැල් පෝයක්වත් රනිල් රාජපක්ෂ -ටිරාන් අලස් කල්ලියට ඉතිරි වන්නේ නැත.
මේ සම්බන්ධයෙන් නීතිඥ මනෝජ් නානායක්කාර කරන විග්‍රහයක් පහත වීඩියෝවේ දැක්වේ
---------------------------
by (2024-02-13 16:52:58)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි