~

බෙන්තොට, වල්ලන්ගේ පට්ටා පොලීසිය..!

-පවන් මාතරආරච්චි ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.ජුනි.27, ප.ව.8.30) බෙන්තොට ප්‍රදේශයේ නීතිය හා සාමය රැකීමට තිබෙන පොලීසියේ සියලුම නිලධාරින් පාහේ හොරකම ,දූෂණය හා  අල්ලස පෙරදැරි කරගෙන රාජකාරි කිරීමෙන් ප්‍රදේශයේ ජනතාවට කිසිදු සේවයක් නොකරන පොට්ට මලකඩ පොලීසියක් බවට පත්ව ඇතැයි ජනතාව ,සංඝරත්නය මෙන්ම විවිධ සංවිධාන පවසති.

ඒ අතර පසුගියදා පොලීසියේ තිබූ නඩු භාණ්ඩයක් වූ වටිනා වල්ල පට්ට ගසක් හිටි හැටියේ අතුරුදන් වීමත් සමග  මේ පොලීසියට 'වල්ලන්ගේ පට්ටා පොලීසිය' යයි ප්‍රදේශවාසීහු නමක් ද පටබැඳ ඇත.

මේ පොලීසියට පොලිස් ස්ථානය ඉදිරිපිට නිරන්තරයෙන්ම නිලධාරීන්ට පෙනෙන සේ තිබූ නඩු භාණ්ඩයක් වූ වටිනා වල්ලා පට්ටා ලී කඳක්ද පරිස්සම් කර ගැනීමට නොහැකි වී නම්  ප්‍රදේශයේ ජනයාගේ දේපොළ හොරුන්ගෙන්  ආරක්ෂාකර දී ජනතාවගේ ආරක්ෂාව  සලසන්නේ කෙසේදැයි   ප්‍රදේශයේ ජනයා ප්‍රශ්න නගති.

බෙන්තොට පොලීසියේ හොරුන්ටත් වඩා කම්බ හොරු

බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කිරීම සඳහා   බෙන්තොට පොලිසිය භාරයේ තිබූ තම  වල්ලා පට්ට ලී කඳ  අතුරුදහන් වී ඇතැයි එම නඩුවේ පාර්ශවකරු වන එලියාදුරගේ සිරියලතා මහත්මියගේ දුව වූ බෙන්තොට කහගල්ලේ පදිංචි ආර්. වී. පී. දිනූෂා මහත්මිය අම්බලන්ගොඩ පොලිස් අධිකාරීට, ඇල්පිටිය පොලිස් අධිකාරිට පමණක් නොව පොලිස්පතිවරයා වෙත ද පැමිණිලි කොට ඇත. එවුන්ද මේ පිළිබඳව කිසිදු විමර්ශනයක් නොකර  මුනිවත රකින්නේ ඇයි දැයි ප්‍රදේශවාසීන්ට බලවත් ගැටලුවක් වී ඇත්තේ උන්ද මේ බෙන්තොට පොලීසියේ හොරුන්ටත් වඩා කම්බ හොරු නිසා යැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

අඩි හතරහමාරක වට ප්‍රමාණයෙන් යුත් අඩි පහළොවක් දිග මෙම වල්ලා පට්ටා ගස වසරකට අධික කාලයක් පොලිසියේ තිබුණු බවත්  පසුගිය සතියේ සිට එම ගස අතුරුදහන් වී ඇති බව ගසේ අයිතිකාරිය වූ සිරියලතා හා ඇයගේ දුව  දිනූශා පවසති.

බෙන්තොට රන්දාගොඩ දේවප්‍රියාරාම විහාරයේ මායිමේ පිහිටා තිබූ වල්ලා පට්ටා ගස සිරියලතා නමැත්තියට අයිති එකකි. ඉකුත් වසරේ පෙබරවාරි මාසයේ දෙවන දා  දිනූශා ඇතුලු පවුලේ අය එක්වී  නිවසට අනතුරුදායක ලෙස තිබූ   මේ ගස කපා දැමූ පසු දේවප්‍රියාරාමයේ විහාරාධිකාරි ඔක්කම්පිටියේ ධම්මරතන  හිමි නම විසින් එය පන්සලට අයිති බව පවසා  බෙන්තොට පොලිසියේ පැමිණිල්ලක් දැමීමෙන් පසු පොලීසියේ ස්ථානාධිපති තුශාර කාරියවසම් ඇතුළු නිලධාරීන් රොත්තක් පැමිණ නිවැසියන්ට තග දමා එය බලහත්කාරයෙන් රැගෙන ගොස් පොලිස් ස්ථානය ඉදිරිපිට දමා තිබිණි.

පැහැදිලිවම පොලීසිය එම හිමියන්ගේ පැත්ත ගෙන එම හිමියන්ට ගස ලබාදීම සඳහා එම හිමියන් විසින්ම ගෙනා ලොරියකින් ගස පොලීසියට ගෙන ගිය බව ගසේ අයිතිකරුවෝ පැවසූහ. මෙයට හේතුව වී ඇත්තේ පොලීසියේ කට්ටියට නිරන්තරයෙන්ම හිමිනම 'දානමානාදියෙන් සංග්‍රහ' කිරීම බව ගසේ අයිතිකරුවෝ පෙන්වා දුන්හ.

මිනිසුන්ට වැදිබණ කියන්නෙකු වූ පොලිස් පරීක්ෂකයෙකු බව කියන උපුල් කුමාර විසින් මේ ගසේ අයිතිය ගැන පරීක්ෂණ පවත්වා එය සිරියලතාට අයත් බව දැන දැනම  නඩු අංක AR 473/23 යටතේ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට මේ ගසේ ආරවුල  යොමු කළ අතර ඒ අනුව ගස පොලීසියේ නඩු භාණ්ඩ ලේඛනයේ අංක පී.ආර්. 89/2023 යටතේ සටහන් නඩු භාණ්ඩයක් බවට පත්විය.

මහේස්ත්‍රාත් නියෝගයෙන් පසු ගස අතුරුදහන්..

නඩුව විභාග කල බලපිටිය මහේස්ත්‍රාත් වරයා තීරණය කළේ  මෙම නඩු භාණ්ඩය කුමන පාර්ශවයකට අයත් ද යන්න නියෝග කිරීමට එම  අධිකරණයට බලයක් නැති බවයි. ඒ අනුව ඉඩමේ අයිතිය තහවුරු කර ගැනීම සඳහා දිසා අධිකරනයේ නඩුවක් ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා සිය තීන්දුවෙන් ප්‍රකාශ කර තිබේ. දිනූශා විසින් සිය ඉඩමේ ඔප්පු ඉදිරිපත් කර වසරකුත්  මාස හතරක් අවසන් වූ පසු මෙම ගස තමන්ට දෙන ලෙස ඉල්ලා තිබුණි. එහෙත් හිටි හැටියේ මෙම   ජුනි මස මුලදී  පොලිසියේ තිබූ වල්ලපට්ට ගස අතුරුදන් විය.

මේ ගසට වූ දේ ගැන පොලීසිය කිසිවක් නොකීව ද පොලීසියේ අභ්‍යන්තර මාර්ග සඳහන් කරන්නේ  ඉතා සැලසුම් සහගතව ස්ථානාධිපති නිවාඩුවක් ගෙන  පොලීසියේ අපරාධ විමර්ශන ස්තානාධිපති වූ ධනංජය රාජපක්ෂ පොලීසියේ  ස්ථානාධිපතිවරයාගේ අනු දැනුම ඇතුව තවත් නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහායෙන් මේ ගස පොලීසියෙන් පන්නාගෙන ගොස් ඇති බවයි.

හැම ලබ්බකටම සී.සී.ටී.වී. පරීක්ෂා කරන පොලීසිය මේ ගසට වූ දේ සෙවීමට එය කළේ නැත. පොලීසිය අවට හැම ආයතනයකම පාහේ එම කැමරා සවිකර ඇත. පොලීසිය පවසන්නේ ඒවා අක්‍රීය වී ඇති බවයි.

හොරාගෙන් පේන අහනවා වැනිය...

තවද ගසේ පාර්ශවයන් ගස ගැන විමසීමේදී ස්ථානාධිපති ඒ ගැන පැහැදිලි පිළිතුරක් නොදෙන බවත් පොලීසිය ඒ ගැන පරීක්ෂණයක් කරන බවට බොළඳ කතා  කියා සිටින බවත් ගසේ අයිතිකරුවෝ කියති. පොලීසියේ තිබූ ගස නැතිවීම ගැන ගස අයිතිකරුවන්ගේ පැමිණිලි සලකා ඉහල මට්ටමේ පරීක්ෂණයක් කරනවා වෙනුවට ගස ආරක්ෂාකර ගැනීමට නොහැකිවූ පොලිස් හොරුන්ටම අභ්‍යන්තර පරීක්ෂණයක් කිරීමට ඉඩ දීම හොරාගෙන් පේන අහනවා වැනිය.

එමෙන්ම මේ හොරකම සිදුවී සති තුනක් ගතවී තිබුනත් තවමත් එය අභිරහසක්ව පවතී. එයට හේතුව මේ චුදිත පොලීසිය විසින් ඉහල පොලිස් ලොක්කන්ට බෙන්තොට හෝටල් හිමියන්ගේ පිහිටෙන් රසමසවුලු හා  මත්පැන් වලින් සැලකීමත් තවත් දොලපිදේනි ලබා දීමත් නිසා බව කියති

කෙසේ හෝ මේ ගස අතුරුදන් කිරීමේ සිද්ධියට  ස්ථානාධිපති තුශාර හා කලින් සඳහන් කළ පරිදි ගස අතුරුදන් කළ දා රාත්‍රියේ වැඩ බලන ස්ථානාධිපති ලෙස කටයුතු කළ රාජපක්ෂ කාරයා සෘජුවම වග කිව යුතුවේ. මොහු ප්‍රදේශයේ සංචාරක හෝටලවලින් කා බී ෆන් ගන්නා අයෙකි. මීට පෙර බෙන්තොට පැවති සංගීත සංදර්ශනයකදී ප්‍රදේශයේ තරුණයින් කිහිප දෙනෙකුට බීමතින්  නිකරුනේ පහරදී තුවාල කළ අයෙකි. එහෙත් එහිදීද ඉහල නිලධාරීන්ට ඔහු ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගේ අනුග්‍රහයෙන් සපයන දොල පිදේනි හේතුවෙන් තවමත් යෙහෙන් වැජඹීමේ වාසනාව ලබා ගත්තේය.

ගස අතුරුදන් කිරීමේ මහ මොලකරුවා..

පොලිසිය මිදුලේ වැටටත් ඇතුළත ඉතා ආරක්ෂිතව තිබූ  පිටස්තර කිසිවෙකුට කිසිසේත්ම රැගෙන යා නොහැකිව තිබූ මේ ගස ස්ථානාධිපතිගේ අනු දැනුමෙන්  අතුරුදන් කිරීමේ මහ මොලකරුවා රාජපක්ෂ නැමති ජරාපක්ෂ පොලිස් කාරයාම බව පොලීසිය ඇතුලේම අය තැන තැන හෝටලවල මත්පැන් සාදවලදී පවසන්නේ අහක සිටි ඔවුන්ටද ඉදිරියේදී  මේ සම්බන්ධයෙන් බැට කෑමට සිදුවෙන බැවිනි.

මෙයින් බේරීම සඳහා ගස අයිතිකරුවන් ගේ දෙපාමුල වැටී මෙය සමථයකට පත්කර ගැනීමට පොලීසිය නොගන්නා උත්සාහයක් නැත.මේ හේතුවෙන් ගස හිමිකරුවන්ගේ ජීවිතවලට ද තර්ජනයක් ඇතැයි පැවසේ. ඔවුන් පවසන්නේ මේ දක්වා තමන්ගේ පැමිණිලි ගැන පොලිස්පති ,පොලිස් අධිකාරී ඇතුළු ඉහල නිලධාරීන් කිසිම පියවරක් ගෙන නොමැති බවයි.
 
ස්ථානාධිපතිවරයා ඇතුළු  මොවුන් බොහොමයක් දෙනා රෑට සොයාගැනීමට නම් ප්‍රදේශයේ අවන්හල්වලට යා යුතුය. යම් අපරාධයක් සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දුන්නොත් ඔවුන්  එන්නේ අපරාධකරුවන් පලායාමෙන් පසුව බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

පොලීසියේ කම්කරුවෙකුගේ අභිරහස් මරණයක්..

පසුගියදා පොලීසියේ කම්කරුවෙකු ලෙස සේවය කරමින් සිටි  තරුණයෙකු අභිරහස් ලෙස  හිටි හැටියේ මියගොස් ඇත. උදේ සේවයට පැමිණ රාජකාරි කරමින් සිටි ඔහුගේ මළ සිරුර පොලීසියට නුදුරින් මුහුදු වෙරළේ තිබී සොයා ගත් බව ප්‍රදේශවාසීහු කියති. ඔහුගේ මරණයද  තවමත් අභිරහසකි.

කොල්ලෙක් කෙල්ලෙක් බලන්න ගියත් සී.සී.ටී.වී.බලා මාධ්‍ය සංදර්ශන පවත්වන පොලිස්පති මේ පොලීසියේ සේවකයාගේ මරණය ගැන කිසිවක් සොයා නැත.
ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගෙන් ,සංචාරක හෝටල්වලින් යැපෙමින්  ඔවුන්ටම  සේවය කරන , ප්‍රදේශයේ පොදු ජනයාට  නිසි සේවයක් සිදු නොකරන මේ පොලීසියේ අසමත්ජාති පොලිස් නඩය  බෙන්තොට ප්‍රදේශයටම ඉමහත් පිළිලයක් වී ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දුන්හ.

විශේෂයෙන් වල්ල පට්ටා ගසට අතුරුදන් කිරීම  මෙන්ම පොලීසියේ සේවය කළ කම්කරුවාගේ මරණය වැනි නවතම  අභිරහස් සිදුවීම්  ගැන ඇල්පිටිය පොලිස් අධිකාරී  සහ ගාල්ල දිසා බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා  සහ පොලිස්පතිවරයා   ගන්නා පියවර කුමක්දැයි බලමින්  අවදියෙන් සිටින බව ප්‍රදේශවාසීහු සඳහන් කළහ.

සෙස්ස පස්සට.

-පවන් මාතර ආරච්චි විසිනි

(වල්ලා පට්ටා ලී කොටය සහ පොලීසිය පින්තූර වලින් දැක්වේ)

---------------------------
by     (2024-06-27 19:05:33)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links