~

සැප්තැම්බර් ජනතා විප්ලවයට රටම සූදානම්..! ආගම්වාදී මඩ ගොහොරුවේ ගිලුණු සජිත් ගමනක අවසානයට..!

-ආනුභාවනන්ද ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.සැප්.19, ප.ව. 11.30) වසර 1946 සැප්තැම්බර් 6 වන දා එක්සත් ජාතික පක්ෂය පිහිටුවා ගනු ලැබූවේ සිංහල, දෙමළ හා මුස්ලිම් ප‍්‍රජාවන්ගේ දක්ෂිණාංශික ප‍්‍රභූන්ගේ එකතුවක් වශයෙනි. නව පක්ෂ පිහිටුවීමට මූලිකත්වය ගනු ලැබූවේ ඒ වන විට ලංකා ජාතික සංගමයෙන් ඉවත්ව සිටි දොන් ස්ටීවන් සේනානායකය. ඉදිරියේ ලැබීමට නියමිතව තිබූ නිදහසින් පසුව රටේ දේශපාලන බලය තම ප්‍රභූ පංතියට ලබා ගැනීම සඳහා සංවිධානයවීම මේ නව පක්ෂයේ මූලික අරමුණ විය.

වමට එරෙහිව එජාපය බිහිවෙයි..

සිංහල, දෙමළ හා මුස්ලිම් දක්ෂිණාංශික ප‍්‍රභූන්ට පැවති ප්‍රධාන දේශපාලන තර්ජනය වූයේ රටේ ගොවි, කම්කරු ඇතුළු ප‍්‍රභූන්ගේ ආර්ථික සාමාජීය ආධිපත්‍යයට යටවී දුක්විඳින දිළිඳු ජනතාව නියෝජනය කළ වාමාංශික පක්ෂයි. ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එදා පැවති ප්‍රධාන වාමාංශික බලවේග දෙක විය. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වූ ඩී. එස් සේනානායකගේ ප්‍රධාන ඉලක්කය වූයේ මේ පක්ෂ දෙක පරාජය කර වසර 1947 අගෝස්තු - සැප්තැම්බර් මහ මැතිවරණය ජය ගැනීමය.

පොදු ජනතාවගේ ආකර්ෂණය දිනාගත් සමසමාජ පක්ෂය…

එජාපය නියෝජනය කළ ප‍්‍රභූන්ගේ ආර්ථික සාමාජීය ආධිපත්‍යයට යටවී දුක්විඳින දිළිඳු ජනතාවගේ අයිතිවාසිකම්,  සුබසාධනය සහ නිදහස වෙනුවෙන් ල.ස.ස.ප, කොමියුනිස්ට් පක්ෂය දිගු කාලයක් පුරා පෙනී සිටි බැවින් ඔවුන් කෙරෙහි සැළකිය යුතු ජනතා ආකර්ෂණයක් විය. එබැවින් නිදහස් ශ්‍රී ලංකාවේ පළමු ආණ්ඩුව පිහිටුවීමේ සැබෑ අවස්ථාවක් ල.ස.ස.ප, කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ ප්‍රගතිශීලී බලවේගයන්ට විවෘතව පැවතුනි. ඩී. එස් සේනානායකට  තම ප්‍රභූ පංතියට මුහුණදීමට සිදුවන අභියෝග පිළිබඳ නිසි අවබෝධයක් පැවතියේ ය. ඔහු පොදු ජනතාවට ඉතා සංවේදී විෂයක් දේශපාලන වේදිකාවට ගෙන ආවේ ය.

ඩී. එස් සහ ඩී. ආර්ගේ ආගම් විරෝධය ….

එවකට මෙරට පැවති එකම පුවත්පත් ආයතනය වන “ලේක්හවුස්”හි හිමිකරුවා වූ   ඩී. ආර්. විජයවර්ධන සමඟ එක් වූ ඩී. එස් සේනානායක, ල.ස.ස.ප, කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ ප්‍රගතිශීලී බලවේග ආගම් විරෝධීන් වශයෙන් දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියේ ය. වමේ පක්ෂ රටේ බලය ලබාගතහොත් බෞද්ධ , හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් ඇදහීම තහනම් කරන බව ඔවුහු කිසිදු පදනමකින් තොරව කියා සිටියහ.

“සමසමාජ ගින්නෙන් බුද්ධ ශාසනය බේරාගනිව්”

“සමසමාජ ගින්නෙන් බුද්ධ ශාසනය බේරාගනිව්” යන්න එජාපයේ  ප්‍රධාන මැතිවරණ සටන් පාඨය විය. රුවන්වැලිසෑය ඇතුළු ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථාන ගිනි ගෙන දැවෙන අයුරු චිත්‍රයට නැගූ පෝස්ටර් රටේ ගම් නියම්ගම් ගානේ අලවමින් පොදු ජනතාව තුළ විශාල භීතියක් නිර්මාණය කිරීමට ඩී. එස් සේනානායක ප්‍රමුඛ එජාප නායකයෝ කටයුතු කළහ. ඔවුහු බෞද්ධ භික්ෂූන් වහසේලා ද නොමඟ යවමින් ඔවුන්ව තම වාමාංශික විරෝධී ප්‍රචාරක ව්‍යාපෘතියේ ඉත්තන් බවට පත් කරගත්හ.

ඩී. එස්ගේ කොන්ත්‍රාත්තුව හේන්පිටගෙදර ඥානසීහ නාහිමියන්ට…

ලසසප ඇතුළු වාමාංශික පක්ෂ බුදු දහම විනාශ කරන්නේය යන භීතියක් මවාපාමින් එජාපය දිනවීමට බොහෝ භික්ෂූහු ප්‍රමුඛත්වය ගත්හ. එහි කැපී පෙනෙන චරිතයක් වූයේ රත්නපුරයේ සිටි හේන්පිටගෙදර ඥානසීහ නායක ස්වාමීන් වහන්සේය. ඩී එස් සේනානායක  මුණගැසුණු උන්වහන්සේ බුදුදහම රාජ්‍ය ආගම බවට පත් කර සිංහල භාෂාවට සහ සංස්කෘතියට ප්‍රමුඛත්වය ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඔහුට ඉදිරිපත් කළේය. මහ මැතිවරණයෙන් ජයගත් පසුව එම ඉල්ලීම් ඉටුකරන බවට ඔහු සහතිකවීමත් සමඟ හේන්පිටගෙදර ඥානසීහ හිමියෝ එජාප දිනවීමේ වැඩ පිලිවෙලට හෙවත් වාමාංශික පක්ෂවලට අවලාද නැගීමට  එක් වූහ.

මහ මැතිවරණයෙන් සමසමාජය ඉදිරියට…

වසර 1947 අගෝස්තු 23 වන ද, පළමු වටයේ ආසන දහයක් සඳහා ඡන්ද විමසීම පැවැත්විණි. එහිදී ලසසප ආසන හතරක් සහ කොමියුනිස්ට් පක්ෂය එක් ආසනයක් දිනා ගත්තේ ය. එජාපයට දිනා ගැනීමට හැකි වූයේ ආසන දෙකක් පමණි. ඉතිරි ආසන තුන ස්වාධීන අපේක්ෂකයෝ දිනාගත්හ. මෙයින් කලබලයට පත් එජාප නායකයා සහ ඩී. ආර්. විජයවර්ධන “සමසමාජ ගින්නෙන් බුද්ධ ශාසනය බේරාගනිව්” යන ආගම්වාදී භීතිය, භීෂණය තීව්ර කළහ.

වමට එරෙහි මඩ පොත් ගෙයින් ගෙට බෙදයි….

හේන්පිටගෙදර ඥානසීහ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ප්‍රධාන භික්ෂූන් වහන්සේලාගේ ප්‍රකාශ සහ ලිපි දිනපතා “දිනමිණ” සහ සතිඅන්ත “සිළුමිණ”  පුවත්පත්හි පල කළේ  ය. ඉන්පසු එම ලිපි පොත් වශයෙන් මුද්‍රණය කර රටපුරා ගෙන් ගෙට බෙදා හැරීමට ඔවුහු කටයුතු කළහ.

ලසසපයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළක්…

එහෙත් ලසසප වසර 1947 පළමු මැතිවරණ සඳහා ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශයේ ආගම් පිළිබඳ කිසිදු සඳහනක් නොවීය. ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශය සමන්විත වූයේ ගොවි, කම්කරු ඇතුළු දිළිඳු ජනතාවට සුබසාධනය සලසන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළකිනි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ගෙන් සම්පූර්ණ නිදහස ලබාගැනීම; දවසකට පැය අටක් සහ සතියකට පැය හතළිහක වැඩ; වයස හැට සම්පූර්ණ වූ විට විශ්‍රාම වැටුප්; ගර්භනීය මව්වරුන්ට ප්‍රසූතියට ප්‍රථම සහ පසුව සති හය බැගින් වැටුප් සහිත නිවාඩු; ගොවීන්ට රජයේ ඉඩම්, වගාවට සහතික මිලක්; සෑම දරුවෙකුටම ආහාර, ඇඳුම්, පොත් පත් සහිතව විශ්වවිද්‍යාල දක්වා නිදහස් අධ්‍යාපනය; ජනතා මර්දන අණ පනත් අහෝසි කිරීම ඇතුළු පොදු ජනතාවගේ සුබසිද්ධියට බලපාන යෝජනා රැසක් ලසසප ඉදිරිපත් කර තිබිණි.

ජනතා සුබසාධනට එරෙහිව ආගම්වාදය…

මෙවැනි ජනතා ආකර්ෂණය දිනා ගන්නා වැඩ පිළිවෙලක් ඉදිරියේ එජාපයට එදා බුද්ධාගම වාමාංශිකයන්ගෙන් බේරා ගැනීමේ ආගම්වාදී ව්‍යාජ භීතියක් මැවීම හැර විකල්පයක් නොවීය. සැබවින්ම බුදු දහමට විශාලම අපහාසය කරනු ලැබූවේ තමන් බලය ලබා ගැනීමට ආගම යොදා ගත් එජාප නායක  ඩී. එස් සේනානායක, ඩී ආර් විජේවර්ධන ඇතුළු එජාප නායකයෝ ය.

වල්පොල රාහුල හිමියන්ට ජේ. ආර් ගෙන් මැර ප්‍රහාර…

ඔවුහු  ආගමික භීතියට අමතරව තමන්ට එරෙහි බෞද්ධ භික්ෂූන්ට මැර ප්‍රහාර ද එල්ල කළහ. රනිල් වික්‍රමසිංහගේ මාමා වන ජේ. ආර් ජයවර්ධනගේ මැරයෝ කැළණියේදී  ආචාර්ය වල්පොල රාහුල සහ රේවත යන හිමිවරුන්ට ප්‍රසිද්ධියේ පහර දුන්හ. එම හිමිවරුන්ට පහර දුන්නේ කැළණියෙන් තරඟ කළ ලසසප අපේක්ෂක  බෝධිපාල වෛද්‍යසේකරට සහයෝගය ලබාදීමේ වරදටය.  

එදා ලසසප මුහුණ දුන් ඉරණම අද අනුරලාට…

අපේ පළමු මැතිවරණයෙන් වසර හැත්තෑහතකට පසුව ද  දක්ෂිණාංශික ප‍්‍රභූ දේශපාලන උපක්‍රමය වී ඇත්තේ ආගමික භීතියක් ඡන්දදායකයන් අතර නිර්මාණය කිරීමය. එදා එජාප දක්ෂිණාංශික ප‍්‍රභූ දේශපාලනයේ ප්‍රධාන සතුරා වූයේ ආචාර්ය එන්. එම් පෙරේරාගේ නායකත්වයෙන් යුතු ලසසපය. අද එවැනිම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළක්  ඉදිරිපත් කරන්නේ  අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේගයයි. එදා ලසසපට වඩා දැවැන්ත අභියෝගයක් ජාතික ජන බලවේගය අද මේ ප්‍රභූ පංතියට එරෙහිව ගොනුකර තිබේ. අනුර ප්‍රමුඛ ජාතික ජන බලවේගය පළමු වටය ජයග්‍රහණයකර අවසන්ය. ඔවුහු දැන් දක්ෂිණාංශික නව ලිබරල්වාදීන්ට (එජාප, සජබ) එරෙහි ප්‍රධාන විපක්ෂයයි.

සජිත් සහ ඔහුගේ චීවරධාරීන් ඇති කරන ආගමික භීතිය..

සමගි ජන බලවේගයේ නායකයා සහ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඇතුළු දක්ෂිණාංශික ප්‍රභූ  නායකයෝ අද සිංහල ජාතිය සහ බෞද්ධ ආගම අනතුරේ යැයි භීතියක් මවති. දළදා පෙරහැර තහනම් කිරීම; බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදෙන නම වන ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව සංශෝධනය කිරීම; රට නිරාගමික කිරීම; භික්ෂූන්ට දානය නොදීම වැනි අභූත ව්‍යාජ චෝදනා සජිත් ප්‍රේමදාස ඇතුළු සජබ නායකයෝ ජාතික ජන බලවේගයට දමා ගසති. මේ චෝදනා මැතිවරණ වේදිකාවේ සිට එල්ල කිරීමට වලවාහැංගුණවැවේ ධම්මරතන, පාහියන්ගල ආනන්ද සාගර ඇතුළු චීවරධාරීන් කිහිපදෙනෙකු මිලදී ගෙන තිබේ. ඔවුහු බුදුදහමට කළ හැකි උපරිම අපහාසය කරති.

බොරු විදින සජිත්….

ඔවුහු සජබ වේදිකාවේ සිට ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශ පෙන්වමින් එහි රට නිරාගමික කිරීම,  බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදෙන නම වන ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව සංශෝධනය කිරීම වැනි යෝජනා ඇතැයි කියමින් බොරු විදිති. ඒ බොරු සජිත් ප්‍රේමදාස යළි පුනරුච්චාරණය කරයි. ඒවා සජබ සමාජ මාධ්‍ය කණ්ඩායම් මේ මොහොතේ ද ජනගත කිරීමට උත්සාහ දරයි.

වලවාහැංගුණවැවේ ධම්මරතන, පාහියන්ගල ආනන්ද සාගර ඇතුළු චීවරධාරීන් …

වලවාහැංගුණවැවේ ධම්මරතන, පාහියන්ගල ආනන්ද සාගර ඇතුළු චීවරධාරීන් කිහිපදෙනෙකු නිතර ජප කරන නිරාගමික කථාව ඇත්තේ යහපාලන ආණ්ඩුව සමයේ නව ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමට සිදු වූ මහජන අදහස් විමසීම් තුළය. නව ව්‍යවස්ථාවක් පිළිබඳව මහජන අදහස් ලබා ගැනීම සඳහා කීර්තිමත් නීතිඥ ලාල් විජේනායකගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ස්ථාපිත කරනු ලැබීය. එම කමිටුව රටේ ස්ථාන කිහිපයක රැස්වී නව ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ලබා ගත්තේ ය. එහිදී ඇතැම් පුද්ගලයෝ සහ සංවිධාන නව ව්‍යවස්ථාව හරහා රට බෞද්ධ රාජ්‍යයක් කළ යුතු බවට යෝජනා ඉදිරිපත් කළහ. තවත් පිරිසක් රට නිරාගමික කළ යුතු බව පෙන්වා දුන්හ. වෙනත් යෝජනා රැසක් ද ඉදිරිපත් විය. මේවා ජාතික ජන බලවේගයේ යෝජනා නොවන බව ඉතා පැහැදිලිය. මේ යෝජනා සියල්ල මහජන කොමිසම සිය වාර්තාවේ අන්තර්ගත කර තිබේ. මහජන කොමිසමක් ක්‍රියාත්මක වන්නේ ඒ අන්දමටය.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්නගේ නිහඬ බව…

මේ පිළිබඳ සජිත් ප්‍රේමදාස හෝ ඔහු විසින් මිලදී ගෙන තිබෙන චීවරධාරීන් නොදන්නේ නම් ඒ සම්බන්ධයෙන් සජිත්ගේ ව්‍යවස්ථාව කටයුතු නීති උපදේශක ලෙස කටයුතු කරන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ගෙන් අසා දැන ගත හැකිය. ආචාර්ය වික්‍රමරත්න යනු යහපාලන ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු මෙන්ම නව ව්‍යවස්ථාව සම්පාදන ක්‍රියාවලියේ ප්‍රධානියෙකි. ලසසප දේශපාලන සම්ප්‍රදාය උරුම කරගත් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න වැනි චරිත පවා මේ ආගම්වාදී අසත්‍ය අවලාද ඉදිරියේ නිහඬව සිටීම කණගාටුවට කරුණකි.

බෞද්ධ භික්ෂූන් දහස් ගණනින් අනුර වටා…

එදා ලසසප ඇතුළු වාමාංශික කඳවුරට සහයට සිටියේ ආචාර්ය වල්පොල රාහුල, උඩුකැන්දවල සිරි සරණංකර ඇතුළු භික්ෂූන් වහන්සේ කිහිපනමක් පමණි. එහෙත් අද ඒ තත්ත්වය උඩුයටිකුරු වී ගොසිනි. අද දස දහස් ගණනක් බෞද්ධ භික්ෂූන් වහන්සේලා  අනුර කුමාර දිසානායකගේ සහ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයට ආශීර්වාද කරති. මෙයට අස්ගිරි, මල්වතු ඇතුළු  මහානායක නාහිමිවරු ද ඇතුළත්වීම සුවිශේෂී තත්ත්වයකි.

අනුර මේ මොහොතේ රටේ එකම බලාපොරොත්තුව..

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක  සිය මැතිවරණ ප්‍රකාශය පිරිනැමීමට මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝ බැහැ දුටු අවස්ථාවේ උන්වහන්සේ  අනුර කුමාරට ආශීර්වාද කරමින් කුඩා බුදු පිලිමයක් ද තෑගි කළහ. ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂූන් පිරිසක් මල්වතු පාර්ශවයේ මහානායක නාහිමියන් මුණගැසුනු අවස්ථාවේ උන්වහන්සේ අනුර කුමාර දිසානායක යනු මේ මොහොතේ රටේ එකම බලාපොරොත්තුව බව ප්‍රකාශ කළහ.

ජාතික ජන බලවේගය අඩුපාඩු නිවැරදි කර ගනිමින් ඉදිරියට ගියා…

සමගි ජන බලවේග වේදිකාවෙන් එල්ල වන සිංහල බෞද්ධ භීතිකාවන් පිළිබඳ පැහැදිලි කිරීම සඳහා ජාතික ජන බලවේගයේ කේ. ඩී ලාල් කාන්ත ඇතුළු නියෝජිත පිරිසක් පසුගිය අඟහරුවාදා (17) මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝ හමු වූහ. ජාතික ජන බලවේගයේ නායකයන්ගේ කථා ඇසීමට රැලි වලට පැමිණි වැඩි පිරිසක් පසුගිය මැතිවරණවල දී ඔවුන්ට ඡන්දය නොදුන් නමුත් මෙවර එම තත්ත්වය වෙනසක් පෙනෙන්නට ඇතැයි අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝ ඒ අවස්ථාවේ දී පැවසූහ. අතීතය සැලකීමේදී කොයි කා අතිනුත් වැරදි අඩුපාඩු සිදුව තිබෙන බවත් ජාතික ජන බලවේගය එම අඩුපාඩු නිවැරදි කර ගනිමින් මේ දක්වා පැමිණීම අගය කළ යුතු බවත් උන් වහන්සේ ප්‍රකාශ කළහ.

මල්වතු, අස්ගිරියත් අනුරට…

සජිත් ප්‍රේමදාස සහ ඔහු විසින් මිලදී ගෙන තිබෙන චීවරධාරීන් කිහිපදෙනා එල්ල කරන අසත්‍ය, අභූත චෝදනා පිළිබඳව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝ කිසිදු අවධානයක් යොමු නොකළහ. එහිදී මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික පූජ්‍ය ඇතිපොළ බුද්ධරක්ඛිත හිමියන් “අපි නිදහස ලැබුණායින් පස්සේ දෙගොල්ලකට තට්ටුමාරු ක්‍රමයකට දුන්නා නේ. වැඩක් වුණේ නැහැ. ඒ නිසා මේ සැරේ වෙනසක් වෙන්නත් එක්ක ඔබතුමන්ලාට දීලා බලමු. අපට ලොකු විශ්වාසයක් තිබෙනවා. අපට සන්තෝෂයි. අපේ ආශීර්වාදය තියෙනවා” යැයි පැවසූවේ සජිත්ගේ මඩ ප්‍රහාර තඹ පයිසෙකට නොසළකා හරිමිනි.  

සජිත්ගේ “රට, ජාතිය ආගම අනතුරේ”...

මෙවර ජනාධිපතිවරණ වේදිකාවේ “රට, ජාතිය ආගම අනතුරේ” යන කුප්‍රකට භීතිකාව සමාජගත කිරීමට උත්සාහ කරන  ප්‍රධාන දේශපාලන බලවේගය නියෝජනය කරන්නේ සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයයි.  සිංහල බෞද්ධ ජනතාව ඉලක්ක කර ගනිමින් නිරාගමික, බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදෙන නම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම වැනි අවලාද නඟන විට මුස්ලිම් ජනතාව ඉලක්ක කරගනිමින් ඔවුන්ගේ  ආගමික උත්සව, ඇදහීම් නවතා දැමීමට ජාතික ජන බලවේගය කටයුතු කරන බවට වන ව්‍යාජ ප්‍රචාර ගෙන යයි.

නූතන අන්දරේ හෙවත් සජිත් පජාත වූයේ ඇයි?

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වූ පසු ද මේ නින්දා සහගත ජාතිවාදී ආගම්වාදී ප්‍රචාරක ව්‍යාපාරය සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ  සමගි ජන බලවේගය සිදු කරමින් සිටියි. ඔවුන් මෙවැනි පජාත තත්ත්වයට පත් වූයේ ඇයි? එයට ප්‍රධාන හේතුව ඔවුන්ට ජනතාව ආකර්ෂණය කර ගතහැකි කිසිදු වැඩපිළිවෙළක්, ප්‍රතිපත්තියක් නොමැතිවීමය. එවැනි වැඩපිළිවෙලක් තිබේ නම් සජිත්ට සජීවී රූපවාහිනී සංවාදයන් ගෙන් පලායෑමට සිදු වන්නේ නැත. සජිත් යනු නූතන අන්දරේය. ඔහු සමඟ අද එකට සිට ගෙන සිටින පාඨලී චම්පික රණවක මෙයට මාස කිහිපයකට පෙර සජිත්ව අර්ථ දැක්වූයේ “ලාමක ටිං ටිං” නායකයෙක් ලෙසිනි. ඔහු ජනතා ප්‍රශ්න වලට ලබා දෙන්නේ  ළදරු විසඳුම්ය. අලි මන්තර, ලෝකයේ දානපතියන්ගෙන් ආධාර ලබා ගෙන ජනතාවට සුබසාධනය සැළසීම,  පාසැල් දියුණු කිරීමට වෙනත් රටවලින් කෝටිපතියන් සම්බන්ධ කිරීම , පලාත් ආයතන දියුණු කිරීමට ලෝකයේ වෙනත් රටවල් සමඟ සම්බන්ධ කිරීම සජිත්ගේ “ලාමක ටිං ටිං” බවට නිදසුන්ය.

සජිත්ගේ විශ්මිත ආර්ථික ප්‍රතිපත්තිය කුමක් ද?

සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ  සමගි ජන බලවේගය නිරන්තරයෙන් කියා සිටින්නේ ආර්ථික ගොඩගැනීමේ “විශ්මිත” වැඩපිළිවෙළ තිබෙන්නේ තමන් ලඟ බවයි. ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වන්නේ  Social market economy නමිනි. එහෙත් සජබයේ කිසිම ආර්ථික පකීර් කෙනෙකු මේ ආර්ථික සංකල්පය තවම විග්‍රහ කර නැත. සජිත්ගේ ආර්ථික පකීර්ලා තිදෙනා වන ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් නියෝජනය කරන්නේ නව ලිබරල් ආර්ථික වැඩපිළිවෙලයි. ඔවුහු උදේ, හවස IMF සරණං ගච්ඡාමි කියති.

සජිත් සහ ඔහුගේ ආර්ථික පකීර්ලාගේ පරස්පර ප්‍රතිපත්ති…  

සජිත් ප්‍රේමදාස පෙනී සිටින්නේ උපරිම මට්ටමේ සුබසාධන රාජ්‍යයක්  වෙනුවෙනි.  සජිත් සහ ඔහුගේ  ආර්ථික පකීර්ලා අතර ඇත්තේ විශාල පරස්පරයකි. මේ අතර ඔවුන්ගේ Social market economy ගැන දන්නේ උඩ සිටින දෙවියන් පමණි. මෙවැනි පජාත පක්ෂයක නායකයෙකු සජීවී දේශපාලන සංවාද මඟ හැරයෑම පිළිබඳ පුදුම විය යුතු නැත.

සජිත් ගමනක අවසානයට..

පොහොට්ටුවේ දූෂිතයන් සමඟ අත්වැල් බැඳ ගෙන සිටින සජිත්ට මේ තත්ත්වය යටතේ  ඕනෑම දේශපාලන තක්කඩියෙකු අවසානයේ සැඟවෙන “රට, ජාතිය ආගම”ට මුවාවීමට සිදුවිය. සජිත් මේ ආගම්වාදී, මෝඩ චූන් දේශපාලනය විසින් ඔහුගේ දේශපාලන අවසානය ඉදිරියේ දී සටහන් කරනු ඇත.

එක්සත් ශ්‍රී ලාංකික ජාතියක් වෙනුවෙන් අනුර…

සජිත්ලා ජාතිවාදී, ආගම්වාදී මඩ ගොහොරුවේ එරෙන විට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක එක්සත් ශ්‍රී ලාංකික ජාතියක් නියෝජනය කරන ජනාධිපති අපේක්ෂකයා බවට පත්ව සිටියි.  අනුරගේ ජාතික ජන බලවේග වේදිකාව කිසිදු ආකාරයක ජාතිවාදයකට, ආගම්වාදයකට විවෘත නොවුණි. අනුර කුමාර දිසානායක උතුර, නැගෙනහිර, බස්නාහිර සහ දකුණට ලබා දුන්නේ එකම පණිවිඩයකි. උතුරට සඟවන දෙයක් දකුණට කීවේ නැත. දකුණට සඟවන දෙයක් උතුරට කීවේ ද නැත.

දේශපාලන කිහිලිකරු අත්හැර සුළු ජාතීන්ට අමතයි..

දෙමළ, වතු දෙමළ  සහ මුස්ලිම් ජනතාව ආමන්ත්‍රණය කිරීම සඳහා ඔහු සුමන්දිරන්, හකිම්, අතාවුල්ලා, දිගම්බරන්, තොණ්ඩමන් වැනි සම්ප්‍රදායික ප්‍රභූ කිහිලිකරු භාවිතා කළේ  නැත.  අනුර සෘජුවම සුළු ජාතිකයන් ආමන්ත්‍රණය කළේ ය. වසර හැත්තෑවකට අධික කාලයක් මේ රට විනාශ කළ සිංහල, දෙමළ, මුස්ලිම්  ප්‍රභූ දේශපාලන පංතියේ ක්‍රියාකාරීත්වය දීර්ඝ වශයෙන්  සුළු ජාතිකයන්ට පැහැදිලි කළේ ය. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති , වැඩපිළිවෙළ  සහ යෝජනා එම ජනතාව හමුවේ තැබූවේය. ඔහුගේ හඬ එක්සත් රටක් සහ ශ්‍රී ලාංකික අන්‍යෙන්‍යතාවය වෙනුවෙනි.

1956 පසුව සිදුවන ප්‍රජාතන්ත්‍රවාදී  දේශපාලන විප්ලවය…

නිදහසින් පසු දශක හතකට අධික කාලයක් අප පාලනය කළ ප්‍රභූ දේශපාලන පංතිය පරාජය කර මෙරට පොදු ජනතාවට බලය ලබා ගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබේ. ඒ සඳහා තඹුත්තේගම ගොවි පුතෙකු සූදානමින් සිටියි. මේ රටේ සෑම ජනවර්ගයකට ආමන්ත්‍රණය කරන රට එක්සත් කිරීමට විභවයක් සහිත නායකයා ඔහුය. අද දස ලක්ෂ ගණන් ජනතාව ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ජනාධිපති බවට පත් කිරීමට සැප්තැම්බර් 21 වදා තෙක් ඇඟිලි ගනිමින් සිටිති. මේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කළ අවස්ථාවේ සිට ජනතාව තුළ තිබූ උද්යෝගය, ආශ්වාදය සහ අධිෂ්ඨානය එයට සාක්ෂි සපයයි. අනුර කුමාර දිසානායක ආශ්චර්ය කරනු ඇතැයි අපි බලාපොරොත්තු නොවෙමු. එහෙත් වර්තමාන ප්‍රභූ පංතිය පරාජය කිරීම පවා පොදුජන දේශපාලනයේ දැවැන්ත ඉදිරි පිම්මකි. එය නිර්ප්‍රභූ පොදු ජනතාවට නව දේශපාලන බලාපොරොත්තුවක්, ශක්තියක් ලබාදෙනු ඇති බව අපගේ විශ්වාසයයි. මෙය වසර 1956 පසුව මෙරට දේශපාලනයේ සිදුවන දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී  දේශපාලන විප්ලවයයි. එබැවින් මේ ඵෙතිහාසික අවස්ථාව මග නොහැර එයට එක් වන ලෙසට අපි ඔබට ආරාධනා කරමු.

පහන් තරුව පායා එන නවෝදයට දොර අරින්න!

-ආනුභාවනන්ද

[email protected]

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33

---------------------------
by     (2024-09-19 21:27:43)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links