~

එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) නව ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් රාජකාරී අරඹයි

(ලංකා ඊ නිව්ස් -2024.සැප්.23, ප.ව. 11.00)  ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) WWV, RWP and 2 bars, RSP and bar, USP, MMSc (Strat Stu- China), MSc (Def Stu) in Mgt, MSc (Def & Strat Stu), fndu (China), psc ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කොට ඇත.

එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී අද (සැප්තැම්බර් 23) දින සන්ධ්‍යාවේ සිය නව පත්වීමට අදාළ රාජකාරින්හි නිල වශයෙන් වැඩ භාර ගන්නා ලදි.

නව ධූරයේ පත්වීම් ලැබීමෙන් අනතුරුව ආරක්‍ෂක ලේකම්වරයා ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ජාතික බුද්ධි ප්‍රධානී ඇතුළු ආරක්‍ෂක අංශ ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක නිරත විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කීර්තිමත් නිලධාරියෙකු වන එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා, වසර 33කට අධික කීර්තිමත් හමුදා සේවා කාලයක් නිම කොට 2021 වසරේ නොවැම්බර් මාසයේ දී විශ්‍රාම ලැබීය. විශ්‍රාම යන විට ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්‍ෂ පුහුණු තනතුර දැරීය.

1966 නොවැම්බර් 26 වන දින කොළඹ දී උපත ලැබූ එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා කීර්තිමත් තර්ස්ටන් විද්‍යාලයෙන් සිය අධ්‍යාපනය හැදෑරීය. ඔහු සිය පාසල් ජීවිතයේදී අධ්‍යාපන කටයුතුවලට මෙන්ම රග්බි ක්‍රීඩාවට ද මහත් ඇල්මක් දැක්වීය. තර්ස්ටන් විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කළ ඔහු 1986 වසරේදී කොළඹ පාසල් රග්බි කණ්ඩායම නියෝජනය කිරීමට ද තේරී පත් විය.

1988 වසරේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ආධුනික කැඩෙට් නිලධාරී පාඨමාලාවට පුහුණු නිලධාරි කැඩෙට් නිලධාරියෙකු ලෙස සේවයට එක් වූ ඔහු 1990 වසරේදී නියමු පොදු රාජකාරී ශාඛාවේ ගුවන් නියමුවෙකු වශයෙන් අධිකාරී ලත් නිලධාරියෙකු ලෙස සිය ගුවන් හමුදා සේවයේ අරඹනු ලැබීය. ඔහු සිය පුහුණු කාල සීමාව තුළදී කැඩෙට් නිලධාරීන්ගේ මූලික සටන් පුහුණු පාඨමාලාව සහ අංක 1 පියාසර පුහුණු පක්ෂාංගයේ මූලික පියාසර පුහුණුව මෙන්ම අංක 7 හෙලිකොප්ටර් බලඝනයේ මූලික සහ උසස් හෙලිකොප්ටර් පුහුණු පාඨමාලා ද සාර්ථකව නිම කොට ඇත.

පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් පසු 1990 වසරේදී ගුවන් නියමුවෙකු වශයෙන් බෙල් 212 සහ බෙල් 412 හෙලිකොප්ටර් යානා වල පියාසර මෙහෙයුම් රාජකාරි සිදුකොට ඇති ඔහු 2001 වසරේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ මූලික කඳවුරේ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝනයේ නිලධාරී අණ දෙන මෙහෙයුම් ලෙස පත් කරන ලදි. අනතුරුව 2005 වසරේදී එම බලඝනයේ අණදෙන නිලධාරියා ලෙස සේවය කරන ලදි. මානුෂීය මෙහෙයුම්වලදී භූමියේ සටන් වලට මෙන්ම නාවික යාත්‍රාවන්ට ගුවනේ සිට අවශ්‍ය වෙඩි බලය සහ ආරක්‍ෂාව සැපයීම සඳහා මෙම බලඝනය යටතේ ක්‍රියාත්මක වූ එම් අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා මගින් අතිවිශාල කාර්‍යභාරයක් සිදුකරනු ලැබීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්‍ෂ පුහුණු තනතුරට පත්වීමට ප්‍රථමයෙන් එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා, ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර මූලික කඳවුරේ අණදෙන නිලධාරී ලෙස ද චීනවරාය විද්‍යාපීඨයේ පීඨාධිපති ලෙස ද කටුනායක මූලික කඳවුරේ අණදෙන නිලධාරී ලෙස ද කටයුතු කොට ඇත. කටුනායක මූලික කඳවුරේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කල කාල සීමාව අතරතුර ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදා බටහිර විධානයේ පළමු අණදෙන නිලධාරීවරයා ලෙසද කටයුතු කලේය.

තම සේවා කාලය තුළ අවසන් මානුෂීය මෙහෙයුම ඇතුළු සියලුම ප්‍රධාන මෙහෙයුම් සඳහා සක්‍රීයව සම්බන්ධ වී ඇති එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් ගුවන් මෙහෙයුම් සහ ප්‍රභූ ප්‍රවාහන රාජකාරි වලට අමතරව විශේෂයෙන්ම ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවෙකු වශයෙන් පියාසර පැය 7000 කට අධික කාලයක් වාර්තා කරමින් මාතෘභූමිය වෙනුවෙන් සිය දායකත්වය ලබා දී ඇත.

පාකිස්ථානයේ ඉස්ලාමාබාද් හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරයා ලෙස ද වසර දෙකක කාලයක් සේවය කොට ඇති ඔහු 2014 වසරේ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධාන උපදේශක - ගුවන්, ලෙස ද කටයුතු කර ඇත. පාකිස්ථානයේ ඉස්ලාමාබාද් හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරයා ලෙස ද වසර දෙකක කාලයක් සේවය කොට ඇති එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා, 2014 වසරේ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධාන උපදේශක - ගුවන්, ලෙස ද කටයුතු කර ඇත.

මානුෂීය මෙහෙයුම් වලදී සිය දිවි පරදුවට තබමින් සතුරාට එරෙහිව සිදුකල නිර්භීත ක්‍රියාවන් වෙනුවෙන් එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා අවස්ථා කිහිපයකදී වීර වික්‍රම විභූෂණය, රණ වික්‍රම පදක්කම සහ රණ ශූර පදක්කම යන පදක්කම් වලින්ද ගෞරවයට පාත්‍ර වී ඇත.

---------------------------
by     (2024-09-23 22:07:05)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links