~

ලංකා ඊ නිව්ස් ලංකාව තුල අවහිර කිරීමේ නීති විරෝධී ක්‍රියාව අත්හිටුවන්න..! තරුණ ජනමාධ්‍යවේදියෝ කොමිසමෙන් ඉල්ලති..!

(ලංකා ඊ නිව්ස් -2024.ඔක්.08, ප.ව.9.45) ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට පිවිසීම ශ්‍රී ලංකාව තුල අවහිර කිරීමේ නීති විරෝධී ක්‍රියාව අත්හිටුවන්නැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලිපියක් යවා තිබේ. කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල හේරත් වෙත යවා ඇති එම ලිපියේ පිටපත් විෂය බාර ඇමැති ජනාධිපති අනුර දිසානායක සහ ජනමාධ්‍ය ඇමැති විජිත හේරත් ඇතුළු පිරිසකට ද යවා ඇත. එකී ලිපිය සම්පූර්ණයෙන් පහත දැක්වේ.  

බන්දුල හේරත් මහතා,
අධ්‍යක්ෂ ජනරාල්,
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව.

අධ්‍යක්ෂ ජනරාල්තුමනි,

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට පිවිසීම නීති විරෝධී ලෙස සීමා කිරීම සම්බන්ධයෙනි

ශ්‍රී ලංකාවේ පුරවැසියන් හට ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය වෙත පිවිසීම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නීති විරෝධී ලෙස වසර ගණනාවක සිට අවහිර කර තිබේ.

මෙම අවහිරය තාවකාලිකව 2015 වසරේදී ඉවත් කළ ද යළිත් වරක් එය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් පාඨකයන්ගේ මෙන්ම එම වෙබ් අඩවියේ කර්තෘ මණ්ඩලයේ මූලික අයිතිවාසිකම් ද කඩවෙන බව අපගේ අදහසයි.

මෙම වෙබ් අඩවිය නීති විරෝධී ලෙස අවහිර කිරීමට මූලිකම හේතුව ලෙස අප විශ්වාස කරනුයේ පැවැති ආණ්ඩුවලට එරෙහිව ඔවුන් විසින් ඉදිරිපත් කළ විවේචන වේ. විවේචන හමුවේ නීති විරෝධී ලෙස වෙබ් අඩවිය අවහිර කිරීම යනු පැහැදිලි ලෙසම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙස අපි සලකමු.

මෙම නීති විරෝධී අවහිරය වූ අවස්ථාවේ දී තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රශ්න කරද්දී රජයේ පාර්ශ්වයෙන් ප්‍රකාශ කළේ මෙම වෙබ් අඩවියේ ආචාරධාර්මික හැසිරීම ගැන ගැටලු ඇති බැවින් මෙලෙස පිවිසීම සීමා කර ඇති බවයි.

ආචාරධාර්මික හැසිරීම සම්බන්ධයෙන් ගැටලුවකට වෙබ් අඩවියක් වෙත පිවිසීම නීති විරෝධී ලෙස සීමා කිරීම බරපතල තත්ත්වයක් බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙම සීමා කිරීම් පැනවූ අවස්ථාවේද දැනුම් දුන්නේය.

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්යාලය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ දී ගිනි තැබූ අතර එම වෙබ් අඩවියේ සේවය කරමින් සිටි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කරනු ලැබීය. එම වෙබ් අඩවියේ එවකට ප්‍රවෘත්ති කර්තෘ ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගැනීම සිදුවිය. ඊ නිව්ස් කාර්යාලය ගිනි තැබීම ගැන මේ වන තෙක් කිසිම විමර්ශනයක් සිදුවී නැත.

රජයෙන් දිගින් දිගටම එල්ල වූ මර්දනය හමුවේ ඊනිව්ස් කර්තෘවරයාට රටින් පිටවී යාමට සිදුවිය. එවැනි වාතාවරණයක ආචාරධාර්මික වාර්තාකරණයක් බලාපොරොත්තු වීමද ගැටලු සහගත වේ.

ඒ අනුව පසුගිය රජයන් යටතේ සිදුවූ මර්දන ක්‍රියාවලට අදාලව යුක්තිය ඉෂ්ඨ කිරීමේ පළමු පියවර ලෙස වහාම මෙම නීති විරෝධී තහනම ඉවත් කළ යුතු බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ අදහසයි.

එසේ හෙයින් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට පිවිසීම අවහිර කිරීමේ නීති විරෝධී ක්‍රියාව අත්හිටුවන ලෙස ඉල්ලා සිටිමු.

ස්තුතියි.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

පිටපත්
1)    අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති සහ විෂය භාර අමාත්‍ය
2)    විජිත හේරත් මහතා, ජනමාධ්‍ය අමාත්‍ය.
3)    සම්පත් තුයියකොන්තා මහතා, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති.
4)    විනිසුරු (විශ්‍රාමික) එල්.ටී.බී දෙහිදෙණිය මහතා, සභාපති, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.

---------------------------
by     (2024-10-08 16:10:55)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links