~

උතුර - දකුණ එක්කළ අනුර..!

-ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය මොරගස්වැවේ විජිත හිමියෝ ලියති

(ලංකා ඊ නිව්ස් -2024.නොවැ.16, ප.ව.11.00)  මෙවර පැවැති ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන ජාතික ජන බලවේගයට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අතිශය බහුතරයක් කටයුතු කරන්නට විය. අවුරුදු 76 ක් පුරා ප්‍රධාන ධාරාවේ පැවැති ශාපලත් දේශපාලන පක‍්ෂ සහ දේශපාලන(අ)ඥයන් බොහෝ දෙනෙකු මෙවර මහා මැතිවරණයේදී පරාජයට පත්කිරීමට හැකිවීම ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයන් ලැබූ විජයග්‍රහණයකි.

ඊටත් වඩා මෙම විජයග්‍රහණය අතිශයින් වැදගත් වන්නේ බෙදී ගිය උතුරත් දකුණත් එක්කළ ඓතිහාසික මැතිවරණය ලෙසයි. එය වනාහි ජාතියක් ලෙස අප ලැබූ අතිවිශිෂ්ටතම ජයග්‍රහණය වන අතර අනාගත ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමේ සහ ජාතික සමගියේ සමාරම්භයයි. එසේම අනුර ඇතුළු ජාතික ජනබලවේගයට බෙදා වෙන්කළ උතුරත් දකුණත් එක්කිරීමට හැකිවීම ජාතිකව සහ ජාත්‍යන්තරව ශ්‍රී ලංකාව ලැබූ විජයග්‍රහණයයි.

අප රට පාලනය කළ දේශපාලන නායකයින් හුදෙක් බලය ලබාගැනීමේ පටුපරමාර්ථයෙන් මෙතෙක් සිදු කළේ රටේ ජනතාව ජාති, ආගම් සහ භාෂා වශයෙන් බෙදා වෙන්කිරීමයි. දකුණේ දේශපාලන(අ)ඥයින් උතුරු-නැගෙනහිර ජනතාව කෙරෙහි දකුණේ ජනතාව තුළ වෛරය ඇතිකරවීය. උතුරු-නැගෙනහිර දේශපාලන(අ)ඥයින් දකුණේ ජනතාව කෙරෙහි උතුරු-නැගෙනහිර ජනතාව තුළ වෛරය ඇතිකරවීය.

පසුගිය දශක කිහිපය තුළම පැවැති ජාතීන් අතර අසමගිය නිසාම අප රටක් ලෙස අන්ත දුප්පත්කමටත් ජාත්‍යන්තරව දැඩි අපකීර්තියටත් ලක්විය. නමුත් මෙසේ දශක ගණනාවක් බෙදාවෙන්කොට සිටි උතුරු-දකුණු ජනතාව එක් ජාතියක් ලෙස එකමිටකට ගැනීමට කටයුතු කිරීම මෙවර මහමැතිවරණයෙන් ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණයයි. එය කිසිසේත්ම ආපස්සට හැරවීමට කුමන්ත්‍රණකාරී දේශපාලන(අ)ඥයින්ට ඉඩ ලබා නොදීමට කටයුතු කිරීමට වගබලා ගැනීම රටේ සියළු පුරවැසියන්ගේ වගකීමයි.

දශක ගණනාවක සිට පැවැති ආණ්ඩු ගත් අදූරදර්ශී තීන්දු තීරණ නිසා රටේ ජනතාව කබලෙන් ලිපට ඇදවැටී කුසට නිසි අහරක් නැතිව ඇඳි වතත් අහිමිව සිටින යුගයක ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමට සහ ගොඩගැනීමට සියළු ජාතීන් එක්කර ගැනීමට වගබලා ගැනීම වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සහ මහජන ඡන්දයෙන් තේරීපත් වූ අභිනව ආණ්ඩුවේ මූලික වගකීමයි. එමගින් සියළු අභියෝග ජයගෙන ජනතා ශුභසිද්ධිය ක්‍රමානුකූලව ඇති කොට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රටේ ජනතාවට උදාකර දීමට කටයුතු කළ යුතුය.
 
එසේම රටේ මහජනතාව විසින් ලබාදුන් අතිවිශිෂ්ට ජනතා වරමින් උමතු නොවී සුදුස්සන්ගෙන් සුදුසු කල රාජ්‍ය පාලනයට සහ ආර්ථීක ස්ථායිකරණයට අවශ්‍ය නිවැරදි උපදෙස් ලබා ජනතා අභිලාෂයන් ක්‍රමානුකූලව ඉටුකිරීමට අනුර ජනාධිපතිවරයා අතුළු අභිනව ආණ්ඩුව සහ පාර්ලිමේන්තු නියෝජිතයන් වගබලා ගතයුතුමය.

-ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය මොරගස්වැවේ විජිත හිමි

---------------------------
by     (2024-11-16 17:48:12)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links