-ඝෝෂක පුත්‍ර ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.නොවැ.25, ප.ව.11.00) බොහෝ දේ ගැඹුරින් සහ ප්‍රයෝගිකව නොදැකීමට හුරුව සිටි ජනයා සිතීමට පෙළඹී ඇති බව පාර්ලිමේන්තු මැතිවරණය තුලින් පිළිබිඹු වීම ඉතා සතුටුදායක කරුණකි. ජනාධිපතිවරයා පැවසු අයුරු හරිත පරිසරයක් ගොඩ නැගීමට පිරිසිදු හා පිළිවෙලකට ඇති භෞතික පරිසරයක් ගොඩ නැගීම අත්‍යවශ්‍යම මූලික උවමනාවකි. මෙය රට ආකර්ශනීය මෙන්ම මනස්කාන්ත බවක් ඇති කරන කාර්යයක් මෙන්ම සෞඛ්‍යය සම්පන්න බව වැඩිකිරීමේ විශාල සාධකයකි. එසේම ජනතාවගේ විශ්වාසය වහාම ලබාගතහැකි මහඟු ක්‍රියාවක් මෙන්ම ලොකු කුඩා සැමට පහසුවෙන් අනුගමනය කළහැකි වටිනා ආදර්ශයකි. යහපත් පරිසර නිර්මාණය, ජපානය හෝ සිංගපුරුව වැනි රටවල් ලබා ඇති දියුණුවේ එක වැදගත් ප්‍රධාන සාධකයකි.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළයුතු බොහෝ කරුණු ඇතත් ඉන් ප්රමුඛ කරුණු දෙකකට අපේ අවධානය මෙහිදී යොමු කරන්නෙමු. මේ කාරණා දෙකටම ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඊට අදාල රාජ්‍යය ව්‍යුහයේ ඇති අකාර්යක්ෂමතාවය , නොසැලකිල්ල හා දුෂණය බව අමුතුවෙන් කිවයුතු නැත. ආරම්භයක් ලෙස පහත සඳහන් මුලික කටයුතු කළහොත් මහජනයාට දැක ගත හැකි හා දැනෙන සේවාවක් සහ එවැනි උත්සාහයකට මහජනයාට සහභාගී විය හැකි මාර්ගයක් ඉතා පහසුවෙන් නිර්මාණය කළ හැකි බව අපගේ දැඩි විශ්වාසයයි.
මාර්ග නීති පිළිනොපැදීම ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් බව රටට පැමිණෙන සෑම විදේශිකයෙක් මෙන්ම නීති ගරුක සෑම පුරවැසියෙක්ම හොඳින් දන්නා කරුණකි. අපට මේ ගැන කිසිම ලැජ්ජාවක්ද නැත.
පදිකයන්, විවිධ වර්ගයේ බයිසිකල් කරුවන්, ත්‍රීරෝද රියදුරන් , මෝටර් රථ රියදුරන් , බස් ලොරි සහ අනෙකුත් බරවාහන පදවන්නන් බොහෝ දෙනෙකු මෙහි බරපතලම වැරදිකරුවෝ වෙති. එසේම මෙම වාහන අයිතිකරුවන්ද වෙලාවට කිසිම දෙයක් කිරීමට පුරුදු වී නොමැති මහා ජනයා ද මෙහි වගඋත්තරකරුවෝ වෙති (බස් රියදුරන්ට හෝ වෑන් රියදුරන්ට ඉගිලෙන්නට බල කරන්නේත් ඔවුනට ඒ සඳහා තෑගී බෝග දෙන්නේත් ඔවුන්ය). නීතිය ක්‍රියාත්මක කිරීමට සුදානම් වු විට දේශපාලන හයියෙන් සහ බස් වර්ජන වැනි දෙයින් තග දමන බස් මුදලාලිලාද මෙහි විශාල පාර්ශවකරුවෝය.
දැනට අඩු වුවත්, ඇමති හා මන්ත්රීගොල්ලගේ පරිවාර සේනාද මෙම ඛෙදවාචකයේ මහා පාර්ශවකරුවෝය. එසේම රාජ්‍යය ලාංචන, හමුදා ලාංචන, විවිධ වෘත්තීය ලාංචන වාහනයේ ඉදිරි පස අලවාගෙන මාර්ගයේ ප්‍රමුඛත්වය බලපොරොත්තුවෙන් ඉගිලෙන අධිමානසික ලෙඩුන් ද මෙහි තවත් බරපතල පාර්ශවකරුවෝය. (මේ ලාංචන නාඩගමද වහාම අවසන් කළ යුතුය. මෙය සාධාරණ සමාජයක අධි මානසිකත්වය ගොඩනගන එක් නොහොබිනා අවලස්සනම නිදර්ශනයකි. පොදු සේවා භාවිතයේදී විශේෂ සැලකුම් ලබන කොටසක් නොසිටිය යුතුය)
අනෙක් අතට ඔවුනට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකරන ශ්‍රී ලංකා පොලිසිය මෙහි ප්‍රමුඛතම වැරදි කරුවා වන බව අපගේ මතයයි. උසාවිය පවසන්නේ පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුව හරහා නඩු පවරන්නේ නැතිනම් ඔවුනට කළ හැක්කක් නොමැති බවය. "වැටත් නියරත් ගොයම් කා නම් කාට මේ අවනඩුව කියම්ද" යන ආප්තෝපදේශය මීට කදිමට ගැලපේ.
මේ ලෙඩ සුවපත්කිරීමට අවශ්‍යය එකම එක ප්‍රතිකාරයකි. එනම් ජනාධිපති තුමා සපථ කළ පරිදි නීතිය සැමටම එකලෙස ක්‍රියාත්මක කිරීමයි.
පොලිස්පතිතුමනි, තරාතිරම නොබලා වහාම නීතිය ක්‍රියාත්මක කරන්න. එය ඔබගේ පොලිස් බලකායටද අදාළ බව ඔවුනට මතක්කර දෙන්න (සියලුම හමුදා ප්රධානීනටද එය දැනුම් දෙන්න). එසේ කළහොත් සතියක් ඇතුලත ප්‍රතිඵල අප සැම විශ්මයට පත් කරනු ඇත. නැතිව ඇති ගෞරවයද යම් ප්‍රමාණයකට පොලිසියට ලැබෙනු ඇත. (බොහෝ නීති මගහැරීමට හුරුකළ සමාජයක, මාර්ග නීති පිළිපැදීම ක්‍රියාත්මක කිරීමෙන් පමණක්ම එක්වරම මුළුමනින්ම මාර්ග නීති අනුගමනය කරනු ඇතැයි අප නොසිතමු. මූලික රාමුවක් ගොඩ නගා ඉන් එහා ගිය පාසල් ජීවිතයේ සිට දැනුම මත ගොඩනැගුනු මාර්ග නීති පිලිබඳ පරිචයක් සහිත සමාජයක් නිර්මාණ කිරීම අපගේ ඊළඟ වැදගත් පියවරක් ලෙස අප දකිමු)
රෝහල යනු පිරිසිදු බවේ සංකේතයක් විය යුතු බව අමුතුවෙන් කිවයුතු කරුණක් නොවේ. සමහරක් විට පිටතින් වර්ණවත්ව තිබුනද රජයේ රෝහල් යනු රටෙහි අපිරිසිදු බවේ ඉහළම පිළිබිඹුව බව නොදන්නා කෙනෙකු නැත.
පන්සීයකට වැඩි රෝහල්ද , තුන්සීයකට වැඩි මුලික සෞඛ්‍ය මධ්‍යස්ථානද සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලද මේ ගොනුවට අයත් වේ. එනමුදු වෛද්‍යවරුන්ගේ සහ හෙදියන් ඇතුළු සහායක සේවාවන් ඉහල ප්‍රමිතීන්ට අදාළව සිදුවන බව අපි දනිමු (කෙහෙළිය වැනි ගොබ්බයන් සමග එක්වූ කොටස මෙයට අයත් නොවේ).
එම නිසා අපිරිසුදු බව මිනිසා විසින් නිර්මාණය කරන ලද ජුගුප්සා සහගත තත්වයකි. අතිශයින් ලජ්ජාවියයුතු කරුණකි.
අපගේ නිරීක්ෂණයට අනුව අපිරිසුදු කොටස් කිහිපයකි. වැසිකිලි පිරිසුදු කිරීම , කානු පද්ධතිය පිරිසිදු කිරීම , මුළුතැන් ගෙය කළමනාකරණය , ආහාර ප්‍රවාහනය හා ඉතිරිය ඉවත ලෑම, කසල ඉවත් කිරීම මින් ප්‍රධාන තැනක් ගනී. එසේ වුනත් ඇඳ ඇතිරිලි යෙදීම වැනි පටිපාටිය ඉතා ක්‍රමානුකුලව සිදුවන බවක්ද අපට පෙනේ.
මෙයට ප්‍රධාන සාධක දෙකක් ඇති බව අපට හැඟේ.
*පළමුවැන්න ඉහල සිට පහලට සිටින සියලුම තරාතිරම්වල සෞඛ්‍ය සේවකයන් අපිරිසිදු පරිසරයක ජීවත් වීමට වන හුරු වීම සහ නේවාසික රෝගීන් හෝ අමුත්තන්ද එම පරිසරයට අනුවර්තනය වීම.
*දෙවැන්න මේ එක් එක් ක්‍රියාවන්ට අදාළ පුද්ගලයන්ට ඇති වග කීම මග හැරීම සහ ඉහල නිලධාරීන් එම ප්රමිතීන් පවත්වාගෙන යාමේ වගකීම පැහැර හැරීම සහ එසේ කිරීමට දක්වන මැලිකමයි. (නීති ක්‍රියාත්මක කිරීමට බාධාවක් වී ඇති රෝහල් වටා ගොඩ නැගී ඇති දේශපාලන ආශිර්වාදය ලබන කඩ මාෆියාව සහ කප්පම්/තර්ජන සංස්කෘතියද අප හඳුනා ගෙන ඇත. රෝහල් කළමනාකාරිත්වය පොලිසිය සමග එක්වී මෙම පරිසර උවදුරටද අවධානය යොමු කළ යුතුය. නීතියේ ආධිපත්‍යය නැවතත් සැමට සිහි ගැන්විය යුතුය
(පුදුමයක මහත!, සෑම මට්ටමකම නියෝජනය කරන වෘත්තීය සමිති විවිධ කරුණු සඳහා වෘත්තීය ක්‍රියාමාර්ග ගනු අප දැක ඇතත් තමුන් වසන අපිරිසිදු රෝහල් පරිසරයේ අහිතකර බලපෑම වෙනස්කර ගැනීමට කිසිදු සාමුහික ක්‍රියාවක් කළ බවක් අප නම් දැක නැත)
එහෙත් සියගණනක් වන පෞද්ගලික රෝහල් වල තත්වය මීට හාත්පසින්ම වෙනස්ය. එය මුදල් අය කිරීම යයි කෙනෙකුට තර්ක කළ හැක. නමුත් එබී බැලුවිට පෙනෙන සත්‍ය වෙනස එය නොවේ. එම තත්වයට ඇති ප්‍රධානතම සාධකය එම රෝහල් පිරිසුදු භාවයට ලබා දෙන ප්‍රමුඛත්වය සහ ඊට වගකිව යුතු පුද්ගලයන් ලවා ඒ කටයුතු ඉටුකරවා ගැනීමයි.
රෝහල් අධ්‍යක්ෂකවරුන්ගේ එක් ප්‍රධානතම වගකීමක් ඔවුන් සැමදා අතපසුකර ඇත. අද එය රෝහල් පද්ධතිය පුරාම පැතිර ඇති බව අමුතුවෙන් කිව යුතු කරුණක් නොවේ. එම නිසා නව සෞඛ්‍ය ඇමතිතුමා කොස්ස අතට ගතයුත්තේ වැසිකිලි පිරිසිදු කිරීමට නොව තම රාජකාරියෙහි එක මුලිකම කර්තව්‍යයක් වන පිරිසිදුභාවය පවත්වා නොගත් සෞඛ්‍ය බලධාරීන් අතුගා දැමීමටය.
ඔවුන් එසේ නොකරන්නේ නම් ඔවුන්ගේ නම ගම් සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට අප පසුබට නොවෙමු.
සෞඛ්‍ය අධ්‍යක්ෂක තුමනි, මේ ඔබගේ වගකීමයි. වහා ක්‍රියාත්මක වෙන්න. කැලේ නීතිය වෙනුවට නිවැරදි මාර්ග නීති ස්ථාපිත කිරීමට පොලිස්පතිතුමා වග වෙන ආකාරය සහ වල් වැදුණු අපිරිසිදු රෝහල් පරිසරය සෞඛ්‍යසම්පන්න වග වීමට සෞඛ්‍ය අධක්ෂකතුමා වග වෙන අයුරුත් අප උනන්දුවෙන් බලා සිටින්නෙමු.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/87
---------------------------
by (2024-11-25 22:53:02)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි