(ලංකා ඊ නිව්ස් -2025.පෙබ.01, ප.ව.10.45) එවකට ශ්‍රී ලංකාවේ පිහිටා තිබූ ලංකා ඊ නිව්ස් හි කාර්යාලය ගිනි තබා පසුගිය 2025 ජනවාරි 30 දා වන විට පුරා වසර 14 ක් ගත වී තිබේ. මාළඹේ, දහම් මාවතෙහි එවකට පවත්වා ගෙන ගිය කාර්යාලය සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කරන ලද්දේ 2011 ජනවාරි 30 වනදා අලුයම දී ය.
එම ගින්නෙන් අප ආයතනය සතුව තිබූ පරිඝනක, කැමරා, ස්කෑනර් යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර, ෆොටෝ කොපි යන්ත්‍ර, ෆැක්ස් යන්ත්‍ර, රූපවාහිනී, ඩිජිටල් සංස්කරණ උපාංග, පුටු, මේස, ශීතකරණ, වායු සමීකරණ ආදී රුපියල් කෝටි ගණනක් වටිනා සියලු දෑ දැවී හළු වී ගියේය.
වඩාත් වටිනාම දේ අප සතුව තිබූ වටිනා පුස්තකාලය ගිනි ගෙන විනාශ වීමයි. එහි අප සතුව තුන් දහසකට ආසන්න පොත් පත්, සඟරා, පුවත්පත්, ඩීවීඩී, මෘදුකාංග සීඩී, එකතුවක් විය. අවුරුදු සිය ගණන් වටිනා දුර්ලභ පොත් පත් ද තිබිණ. අනෙක් සියල්ල මිල කළ හැකි වුව ද පුස්තකාලය තුල තිබූ පොත්පත් වල වටිනාකම මිල කළ නොහැකි ය.
2011 ජනවාරි 30 වනදා ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිණි තැබීමෙන් පසු, එවකට ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ බෙනට් රූපසිංහ මාධ්‍ය හමුවක් කැඳවා මෙසේ කියා තිබිණ.
"අපේ ආයතනය ආරම්භ කරලා අවුරුදු 05 ක් වෙනවා. අපි ලොකු තර්ජන මැදින් තමයි මේ ආයතනය පවත්වාගෙන ගියේ. ඊයේ රාත්‍රියෙ 1.30ට පමණ කිසියම් පිරිසක් බලහත්කාරයෙන් ඇතුල්වෙලා අපේ සියළුම උපකරණ පරිගණක යන්ත්‍ර, පොටෝ කොපි මැෂින්, ෆැක්ස් මැෂින්, කැමරා ඒ සියල්ල විනාශ කරලා තියෙනවා. කිසිම දෙයක් ඉතුරු කරලා නැහැ. අපේ පොත් එකතුවක් තිබුණා අවුරුදු 100 ක් 200ක් විතර පරණ පොත් සමහර පොත් පුස්තකාලවලවත් හොයා ගන්න බැහැ. ඒ සියළුම දේවල් විනාශවෙලා තියෙනවා. ඒවයෙ වටිනාකම අපිට තක්සේරු කරන්න පුළුවන් කමක් නැහැ.’’ (උපුටා ගැනීම විකල්ප වෙබ් අඩවිය)
එදා බලයේ සිටි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අපරාධය පිළිබඳ කිසිදු පරීක්ෂනයක් සිදු කෙළේ නැත. සත්‍ය වශයෙන්ම ගිනි තැබූ උන් පරීක්ෂන පවත්වාවි යැයි සිතීම ම විහිළුවකි.
ලංකා ඊ නිව්ස් ඉන්පසු අද දක්වාම ක්‍රියාත්මක වූයේ ලන්ඩනය පදනම් කරගෙන විදෙස්ගතව ය.
පසු කලෙක, යහපාලන ආණ්ඩු කාලයේ දී වරක් ලන්ඩනයේ සිටි ලංකා ඊ නිව්ස් කතුවරයා ඇමැතූ, එවක එනම් ගිනි තැබූ අවස්ථාවේ දී ඒ කලාපය බාරව සිටි සහකාර පොලිස් අධිකාරී වත්මන් ජ්‍යෙ.නි.පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපූරු හෙළිදරව්වක් කෙළේ ය.
ගිනි තැබූ අවස්ථාවේ දී පරීක්ෂන සිදු නොකෙළේ ඇයිදැයි කතුවරයා දේශබන්ධුගෙන් විමසීය. ඔහු කියා සිටියේ ඔහුට ඉහලින් සිටි එනම් එවකට බස්නාහිර පළාත බාර ජ්‍යෙ.නි. පොලිස්පති අනුර සේනානායක පරීක්ෂන සිදුකිරීම වැළැක්වූ බවයි.
අනුර සේනානායක එසේ කළේ ඇයි දැයි විමසූ විට කියා සිටියේ වරක් අනුර සේනානායක ලංකා ඊ නිව්ස් කාර්යාලයට පැමිණි අවස්ථාවක දී එහි සිටි ගැහැණු ලමයින් ඔහුව පාච්චල් කළ බවකි. එය අමූලික අසත්‍යයකි. ඔහු වරක් කිසියම් පුවතක් පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණි නමුත් ඒ අවස්ථාවේදී එවැන්නක් සිදුවූයේ ද නැත. එවක ප්‍රවෘත්ති කර්තෘ බෙනට් රූපසිංහ සහ ප්‍රධාන කර්තෘ සඳරුවන් සේනාධීර සමග සාකච්ඡා කර කූල් ඩ්‍රින්ක් එකක් ද බී ගියේ ය. ප්‍රධාන කතුවරයාට මතක අන්දමට ඒ වන විට අප ආයතනයේ සේවය කෙළේ එකම එක තරුණියකි.
කෙසේ වෙතත් දේශබන්ධු එම ප්‍රකාශය කරද්දීත් අනුර සේනානායක මියගොස් සිටියේ ය. නමුත් දේශබන්ධු තවම ජීවතුන් අතර සිටී.
දැනට වසර 14 ක් වන ඒ අපරාධය පිළිබඳ කිසිදු ආණ්ඩුවක් පරීක්ෂන පවත්වා නැත. පූජිත ජයසුන්දර පොලිස්පති වූ පසු ලංකා ඊ නිව්ස් කතුවරයා කළ පුද්ගලික ඉල්ලීමක් අනුව මිරිහානේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයෙකු යටතේ කිසියම් පරීක්ෂනයක් ආරම්භ කළ බව කීව ද ඉන් එහාට ඒ පිළිබඳ සිදුවූ දෙයක් නොමැත.
වසර දෙදහස් පන්සියයකට පසුව දැන් මහජනතාවගේ ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බිහිවී තිබේ. ඔවුන් හෝ ලංකා ඊ නිව්ස් ගිනි තැබීමේ අපරාධය ගැන පරීක්ෂනයක් පවත්වා අපරාධකරුවන්, අපරාධයේ මහමොළකරුවන් සහ අපරාධ සහායකයන් අධිකරණය ඉදිරියට පමුණුවා වින්දිත අපට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සිටිමු. එදින ගිනි තැබූ බව ආරංචි වී එහි පැමිණි දේශපාලනඥයන් අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද විය. ඔහුගේ ජනාධිපතිධූර කාලයේ දී කිසිදු පරීක්ෂනයක් සිදුකළේ නැත. වත්මන් විදේශ ඇමැති විජිත හේරත් ද විය. අපි මේ සම්බන්ධයෙන් එන්පීපී ආණ්ඩුවෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙමු.
අපරාධයට පසු ඊට එරෙහිව මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් 2011 පෙබරවාරි 01 දා කොළඹ පැවැත්වූ විරෝධතාවයේ වීඩියෝවක් පහත දැක්වේ
---------------------------
by (2025-02-01 17:56:26)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි