~

බටලන්දේ රනිල්, කළුතර රාජිත, බිබිලේ බංඩා සහ වෙන්නපුවේ ෆෙස්ටස්..!

-ශාන්ත ජයරත්න ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.මාර්තු.15, ප.ව.4.20) ගනේමුල්ලේ සංජීව, කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සමිදු සහ බටලන්දේ රනිල් ඇතුළු අනෙකුත් අය අතර එතරම්ම වෙනසක් නොපෙනේ. මොවුන් සියල්ලෝම මිනීමරුවන් ය. නැතහොත් කුලියට මිනී මරන්නන්‍ ය. 87/89 ක්‍රියාත්මක වූ PRRA, කහ බලල්ලු, කළු බලල්ලු සහ තවත් මිනීමරු කල්ලි රාශියක් තිබුණි. වයඹ පළාත කොටස් දෙකකට බෙදා වෙන්නප්පුවේ ෆෙස්ටස් පෙරේරාගේ කල්ලියත්, කුරුණෑගල ගාමිණී ජයවික්‍රමගේ කල්ලියත් තරගෙට කොල්ලන් කෙල්ලන් තොග පිටින් මැරුවෝය. බිබිලේ බංඩාගේ කල්ලියේ හින්නි,  එස් අයි සෝමේ, පීරිස් වැන්නන් යොදාගෙන බංඩාගේ මැදගම නිවසේ වධකාගාරයක් පවත්වාගෙන ගියේය. PRRA කල්ලියට නායකත්වය දුන්නේ පසුගිය දා කළුතර එජාප දිස්ත්‍රික් සංවිධායක ලෙස රනිල් පත්කල රාජිතය. රනිල් බටලන්ද වධකාගාරයට නායකත්වය දුන්නේ ඩග්ලස් පීරිස්, මෙරිල් ගුණරත්න, නලීන් දෙල්ගොඩ වැනි පොලිස් නිළධාරීන් මිනී මරුවන් ලෙස යොදාගෙනය.

මෙය ලියන මම 87/89 ජීවිතය බේරාගත්තේ ඉංග්‍රීසි භාෂාව තරමක් දැන සිටීම නිසාය. මා එවකට පේරාදෙනිය, ගම්පොල, නාවලපිටිය වැනි ප්‍රදේශ වල දේශපාලන කටයුතු කරමින් සිටියෙමි. මාගේ වැඩිමහල් සහෝදරියගේ නිවුන් දරුවන් (ධම්මික සහ කමල්) ඒ වන විටත් දේශපාලන කටයුතු සඳහා නිවසින් බැහැරව සිටිය බව දනිමි. මොවුන් භාර දෙන ලෙස බිබිලෙ හෙවෙල්වෙල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගොවිපලේ රඳවා සිටි කැප්ටන් ජයමහ ගේ හමුදා අනුඛණ්ඩය වරින් වර මාගේ සහෝදරියට බලපෑම් කළ බව පසුව දැන ගත්තෙමි. පොලීසිය වරින් වර රාත්‍රි මුර සංචාර අතර තුර ගෙවල් විවෘත කරවා දරුවන් දෙදෙනා සැඟවී සිටිනවාද කියා සෝදිසි කළ බව මාගේ සහෝදරිය සහ මව වරින් වර මට ප්‍රකාශ කළ බව මතකය.

නිවස ගිනි බත් කර..

සහෝදරියගේ දරුවන් දෙදෙනාම ඉතා දක්ෂ කථිකයන් වූ අතර නිර්මාණශීලී තරුණයන් විය උසස් පෙළ හමාර කොට විශ්ව විද්‍යාලයට යාමට බලාපොරොතුවෙන් සිටි බව සහෝදරිය මිය යෑමට පෙර ප්‍රකාශ කොට තිබුණි. දරුවන් දෙදෙනා සොයාගැණීමට නොහැකි වූ තැන අදටත් සජබ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි රංජිත්, ඔහුගේ ඥාති පීරිස්, එස් අයි සෝමේ වැන්නන් මගේ සහෝදරියගේ රදලියද්දේ නිවස ගිනිබත් කොට නිවසේ තිබුණු ගම්මිරිස්, වී සහ අනෙකුත් භෝග බහා තිබූ ගෝනි වාහන වල පටවාගෙන ගිය බව අසල නිවසක සිටි ඥාතියෙක් ගසක් උඩ නැග ගෙන බලා සිටි බව පසුව කියා තිබුණි.

ඇස් දෙකම උගුල්ලා..

ධම්මි හමුදා අත් අඩංගුවට පත්වන්නේ ලුනුගල උඩකිරුව කියන ප්‍රදේශයේදී බව දැන ගත්තේ මරා දමා වසර කිහිපයකට පසුවය. කැප්ටන් ජයමහ විසින් බිබිලේ බංඩාගේ (මොහු කවුද කියා වෙල්ලස්සේ අය දනී) මිනීමරුවන්ට ධම්මිව භාර දෙන්නේ බාගෙට මරා බව පසුව දැන ගත්තෙමි. බංඩාගේ මැරයන් ධම්මිව මරා මහියංගන පාරේ දමා තිබුනේ ඇස් දෙකම ගලවා පපු ප්‍රදේශයට උල් ආයුධයකින් 13 වතාවක් ඇන බව ඇසින් දුටු අය පසුව ප්‍රකාශ කොට තිබුණි. බංඩාගේ මැදගම නිවසේ ඉදිරිපස ඇති වෙල අයිනේ කොට්ටම්බා ගස (මතක හැටියට කොටටම්බා හෝ කැන්ද) යට ඇති මිනී වල ගොඩ දැමුවහොත් අදටත් මිනී ඔළු 100 කට වඩා සොයාගත හැකි වනු ඇත. කමල් අල්ලාගත්තේ කොහේදීදැයි පැහැදිලි නොවුනද, වසර කිහිපයකට පසු බූස්සේ රඳවා සිටින බවට ලද ආරංච්යක් මත මා එහි ගොස් ඔහු සොයා ගැනීමට සමත් විය. රැඳවුම්භාරයෙන් නිදහස් වූ පසු ඔහුට කොළඹ ප්‍රදේශයේ රැකියාවක් සොයා දීමට මට හැකි වුවත් හඳුනා නොගත් රෝගී තත්වයකින් ඉතා කෙටි කලක් තුල කමල් පුතා මිය ගිය බව මා විදේශ ගතව සිටින විට දැන ගත්තෙමි.

ඉංග්‍රීසි අවිය...

රැකියාවෙන් තාවකාලිකව ඉවත් වී දේශපාලනය කරමින් සිටි මා අවුරුදු කිහිපයකින් මව නොදැක සිටීමේ අමාරුව නිසා එක්තරා රාත්‍රියක බිබිල රදලියද්ද ප්‍රදේශයට යන්නේ කිසිවෙකුට නොදැනෙන්නටය. මාගේ මව සහ පියා පමනක් ජීවත්ව සිටි නිවසේ මවගේ කාමරයේ කොහු මෙට්ටයක් මත රාත්‍රී නිදා සිටි මට ඇසුනේ නිවසේ ඉදිරිපස දොරට ගහන ශබ්දයකි. “අපි පොලිසියෙන්. දොර අරිනවා” කියා කෑ ගසන ශබ්දය ඇසී මව කලබල වී හඬන්නට වූයේ තම දරුවා අද දින පැහැරගෙන යන බවට ඇති වූ බිය නිසාවෙනි. පියා එතරම් කලබලයක් නොදැක්වුවද ඔහුගේ ඉරියව් වලින් පැහැදිලි වූයේ එන ඕනෑම දෙයකට මුහුණ දීමට සූදානම් බවකි. දොර කඩන බව ප්‍රකාශ කළ නිසා මම මවට කියන්නේ දොර විවෘත කරන ලෙසයි. පියා විසින් දොර විවෘත කරත්ම නිළ ඇඳුම් හැඳගත් STF සෙබලුන් කිහිප දෙනෙක් ගෙට ඇතුළු වුයේ ක්ෂනයකිනි. ඒ වන විට අත් අඩංගුවට පත් නොවී සිටි කමල් සහ ධම්මි ගැන STF  භටයන් විමසන්නට වූ අතර ඔවුන් මෙහි නොමැති බව ප්‍රකාශ කිරීමත් සමග මා දෙසට හැරුණි. මා කව්ද කියා ප්‍රකාශ කොට මා අත තිබු එකම අවිය වු ඉංග්‍රීසි භාෂාවෙන් විමසන්නේ “කව්ද ඔබලාගේ ප්‍රධානියා? මට ඔහුට කතා කිරීමට අවශ්‍යයි” යනුවෙනි. එහිදී ASP නිළයේ තරුණ පහේ නිළධාරියෙක් ඉදිරිපත් වූ අතර ඔහුට ඉතා කාරුණිකව විනාඩි කිහිපයක් තරමක් ගැඹුරු ඉංග්‍රීසි භාෂාවෙන් මම කව්ද කියා කීවෙමි. මාගේ වෘත්තීය පසුබිම පිළිබඳ සෑහීමකට පත් වූ ඔහු මාගෙන් සමාව අයැද “අපි වැරැදි information එකකට ආවේ” යැයි ප්‍රකාශ කරමින් ඔහුගේ නිළධාරීන්ට වාහනයට යන ලෙස නියෝග කෙරිනි. පාන්දර තුන පසු වී තිබූ හෙයින් ඉතිරි පැය කිහිපය නොනිදා සිට පියා සමග පාන්දරින් නගරයට පැමිණ ලංගම බස් රථයකින් මහියංගනයට විත් එතැන් සිට නුවරට පැමිණ මා නැවතී සිටි ගම්පොළ සිංහයාපිටියේ නියෝජ්‍ය විදුහල්පති සහෝදරයාගේ නිවසට පැමිණියෙමි. කෙසේ වෙතත්, STF පැමිණියේ හරි Information එකට බව දැන සිටියේ මා පමණි.

ඊයේ මට ඉතා සතුටු දවසකි..  

ඊයේ මට ඉතා සතුටු දවසකි. බිමල් රත්නායක, පාර්ලිමේන්තුවේ සභා නායකවරයා, විසින් අවුරුදු 27 කට පසු බටලන්ද කොමිෂන් සභා වාර්ථාව සභා ගත කරන ලදී. එය ඓතිහාසික අවස්ථාවක් වන්නේ දස දහස් ගණනක් ජීවිත පරිත්‍යාගයෙන් එදා කළ ප්‍රාර්ථනය මල්පල ගැන්වුන මොහොතක ඔවුන්ට සාධාරණය ඉටුවන ලකුණු පේන්නට තිබෙන නිසාය. ඉතා සාධාරණ පරීක්ෂන මණ්ඩලයක් පත්කොට වාර්ථාවේ අන්තර්ගතය හොඳින් විමසා චූදිතයන්ට විරුද්ධව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග ජනාධිපතිවරයාට නිර්දේශ කිරීමත්, ඒ මත පදනම්ව අවශ්‍ය නීතිමය කටයුතු ආරම්භ කිරීමට නීතිපති වරයාට නියෝග කිරීමත් වින්දිත අපගේ බලාපොරොත්තුවයි. "Justice must not only be done but must also be seen to be done" යුක්තිය ඉෂ්ඨ වූවා පමණක් නොව එය ඉෂ්ඨ වූ බව පෙනිය යුතුයි.

-ශාන්ත ජයරත්න

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/102

---------------------------
by     (2025-03-15 11:04:46)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links