-ආනුභාවනන්ද ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.අප්‍රේල්.07, ප.ව. 4.00)
දිනය: වසර 2007 නොවැම්බර් 12
ස්ථානය: මීගමුව මහ රෝහල
එදින දහවල් දොළහ පසුවී විනාඩි තිහක් පමණ ඉක්මගිය තැන තරුණියක් රෝහලේ හය වන තට්ටුවේ සිට බිමට වැටුණි. බොහෝ දෙනෙක් ඒ තරුණිය දිවි නසා ගත්තේ යැයි එම මොහොතේ අනුමාන කළහ. එහෙත් පසුව හෙළි වූයේ සායනකට පැමිණි ලාබාල තරුණියක් දූෂණය කර ඉන් පසුව හයවන තට්ටුවෙන් බිමට ඇද දමා ඇති බවයි. එම සිද්ධියට සම්බන්ධ වූයේ මීගමුව මහ රෝහලේ වෛද්‍යවරයකි. එදින දූෂණය කර ඝාතනය කරනු ලැබූවේ මොණරාගල, දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වූ චමිලා දිසානායක නම් විසිදෙහැවිරිදි රූමත් වෙළඳ කලාප සේවිකාවකි. දැඩි ආර්ථික අහේනීන්ගෙන් පෙලුණු අටදෙනෙකු යුතු පවුලක වැඩිමහල් දරුවා වූ චමිලා, කටුනායක වෙළඳ කලාප සේවයට පැමිණ සිටියේ පාසැල් යන තම සොහොයුරු, සොයුරියන්ට ආර්ථික සරණක් වීම සඳහාය.
අවාසනාවකට පසුගිය සතියේ මේ ආකාරයේ ම්ලේච්ඡ සිදුවීමක් මීගමුව මහ රෝහලෙන් යළි වාර්තාවිය. පසුගිය මාර්තු 31 වන දා එම රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි දහනම හැවිරිදි තරුණියක්ව, එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයෙක් විසින් ලිංගික අපයෝජනය කර තිබේ. එදින ඇය රෝහලට පැමිණ සිටියේ සිය මව සමඟය. අදාළ සිද්ධියේ වින්දිත තරුණිය මේ පිළිබඳව මීගමුව මහ රෝහලේ අධ්‍යක්‍ෂක හරහා පොලීසියට පැමිණිලි කර ඇති බව වාර්තාවෙයි. මීගමුව මහ රෝහල යනු ප්‍රතිකාර ලබා ගැනීමට තරුණියන් දූෂණය කිරීමට පමණක් නොව දූෂණය කළ තරුණියන් ඝාතනය කිරීම පිළිබඳ චිරප්‍රසිද්ධ ස්ථානයකි.
හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කීවා සේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් අදාළ සැකකාර වෛද්‍යවරයා තම සංගමයේ සාමාජිකයෙක් නොවන බව අවධාරණය කළේ ය. මෙය සම්පූර්ණයෙන්ම තම ඇඟ බේරාගැනීමට කළ නින්දිත උත්සාහයකි. තමා ලඟට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි තරුණිය ලිංගික අපයෝජනයට ලක් කළ සැකකරු රජයේ රෝහලක සේවය කරන "අභිමානවත්" වෛද්‍යවරයෙකි. සමස්ත වෛද්‍ය ප්‍රජාව නියෝජනය කරන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයට මේ සිද්ධියේ පොදු වගකීමෙන් පලායෑමට නොහැකිය. අනුරාධපුර රෝහලේ සිද්ධිය අවස්ථාවේ මිලියන විසිදෙකක ජනතාවක් ප්‍රාණ ඇපයට ගනිමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ආණ්ඩුවට බල කළේ සේවා ස්ථාන සුරක්ෂිතාවය තහවුරු කරන ලෙසටය. එහෙත් මීගමුව සිද්ධියෙන් මතුව ඇත්තේ සේවාදායකයන් වන රෝගීන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටළුවයි. රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන අසරණ රෝගියෙකු වෛද්‍යවරයෙකු අතින් ලිංගික අපයෝජනයකට ලක්වේ නම් එය ඉතා භයානක තත්ත්වයකි.
රෝගියාට රෝහල තුළ ආරක්ෂාවක් නොමැති නම් ඒ සේවාවේ ඵලය කුමක් ද? එබැවින් අදාළ සැකකාර වෛද්‍යවරයා තම සාමාජිකයෙකු නොවන බව ප්‍රකාශ කිරීමෙන් මේ සිද්ධියේ සදාචාරාත්මක වගකීමෙන් පලා යෑමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයට නොහැකිය. දෙවනුව ඔවුන් සිය ප්‍රකාශයෙන් අවධාරණය කරන්නේ අදාළ ලිංගික අපචාර සැකකරු තම සාමාජිකයෙකු නොවන බව මෙන්ම ඔහුට එරෙහිව පරීක්ෂණවලට තම සහයෝගය ලබාදෙන බවයි. එයින් ගම්‍යවන්නේ ඔහු තම සංගමයේ සාමාජිකයෙකු නම් ඒ සහයෝගය නොලැබෙන බව ද? ඔවුන්ගේ ඉතිහාසය අනුව නම් සිදුව ඇත්තේ එයයි.
තමා ලඟට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගියකු වෛද්‍යවරයෙකු අතින් ලිංගික අපයෝජනයකට ලක් වූ පළමු සහ අවස්ථාව මෙය නොවෙයි. මෙය රජයේ රෝහල්වල මෙන්ම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයන්හි කාලයක් පුරා සිදුවන නින්දා සහගත තත්ත්වයකි. එහෙත් බොහෝවිට ලිංගික අපයෝජනයන්ට ලක්වන කාන්තාවෝ ඒ පිළිබඳ පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවෙති. මේ සිද්ධීන්ට සම්බන්ධ වෛද්‍යවරුන්ට එරෙහිව පැමිණිලි කිරීම හරහා තමන් පලිගැනීමට ලක්විය හැකි බවට ඔවුහු විශ්වාස කරති.
වසර 2007 නොවැම්බර් 12 දින මීගමුව රෝහලේ දී චමිලා දිසානායක නම් කලාපයේ සේවිකාවක දූෂණය කර ඉන්පසුව ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ එම රෝහලේ සීමාවාසික වෛද්‍යවරයෙකු වූ සුදර්ශන බාලගේට මරණ දඬුවම නියම විය. මීගමුව මහාධිකරණ අදාළ වෛද්‍යවරයාට ඝාතන චෝදනාව සම්බන්ධයෙන් මරණ දඬුවම ද, තරුණිය දුෂණය කිරීමේ චෝදනාවට වසර පහළොවක සිර දඬුවමක් ද නියම කළේ ය. මේ සිද්ධියේදී රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හැසිරුණේ කෙසේ ද? ඔවුන් කටයුතු කළේ මේ සිද්ධිය යට ගැසීමට සහ අදාළ සැකකාර වෛද්‍යවරයා ආරක්ෂා කර ගැනීමටය.
ඔවුහු සිද්ධියට අදාළ සාක්ෂි විනාශ කිරීමට උත්සාහ කළහ. ස්ත්‍රී දූෂණ සහ ඝාතන සිද්ධියක ප්‍රධාන සැකකරු වූ වෛද්‍ය සුදර්ශන බාලගේව රජයේ සේවයෙන් ඉවත් කරනු ලැබීය. ඒ අවස්ථාවේ ඔහුගේ ආරක්ෂාවට පැමිණියේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවයි. ඒ වකවානුවේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විධායක සභිකයකු මෙන්ම මීගමුව බන්ධනාගාර රෝහලේ වෛද්‍ය සමන්ත ඉන්ද්‍රජිත්ගේ මැදිහත්වීම යටතේ සුදර්ශන බාලගේට මීගමුව කුරණ අංක හත, ස්ථානයේ පිහිටි “ආරෝගයා මෙඩිකල් සෙන්ටර්” පෞද්ගලික රෝහලේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කිරීමට ඉඩ ලැබිණි. වසර 2014 අග දී ඔහුට මරණ දඬුවම හිමිවන තුරු ඔහු මේ රෝහලේ සේවය කළේ ය. ස්ත්‍රී දූෂණ සහ ඝාතන සිද්ධියක ප්‍රධාන සැකකරුවෙකු නැවත රෝගීන් පරීක්ෂාවට අවසර දීම යනු තවත් තරුණියන්ගේ ජීවිත අවධානමට ලක් කිරීමකි.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධානියෙකුගේ මැදිහත්වීම යටතේ ඔහුට එම භයානක අවස්ථාව වසර හයකට අධික කාලයක් ලබාදීම හරහා පිලිඹිබු වන්නේ ඔවුන්ට රෝගීන්ගේ ආරක්ෂාව පිළිබඳ කිසිදු හැඟීමක් නොමැති බවය. තමාට එරෙහිව ස්ත්‍රී දූෂණ සහ ඝාතන චෝදනා එල්ලවීමෙන් පසුව වෛද්‍ය සුදර්ශන බාලගේ ව්‍යාජ නමක් යටතේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූයේ ය. ඒ සඳහා වෛද්‍ය සභාවේ වෛද්‍ය නිළධාරීන්ගේ සහය ඔහුට හිමි වූ අතර ඒ සඳහා අනුමැති අත්සන යොදා තිබුණේ විශේෂඥ ශල්‍යවෛද්‍ය ධම්මික වික්‍රමසිංහය. ඔහුගේ ව්‍යාජ නම ඉන්දික එස්. බාලසූරිය නම් වූ අතර ඔහුගේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය 22692 විය.
සුදර්ශන බාලගේ අතින් ඝාතනයට ලක් වූ එම තරුණිය සිහිනැති කොට ඝන කාඩ්බෝඩ් එකක් මත තබා හය වන මහලේ කොරිඩෝරයේ ඇදගෙන යනු දුටු බවට එම රෝහලේ පවිත‍්‍රතා අංශයේ සේවිකාවක් වන එල්. එම්. බියට්‍රිස් මහත්මිය පොලීසියට ප්‍රකාශ කළාය. මෙය තරුණිය ඝාතනය කර උඩු මහලින් තල්ලු කර දැමූ බවට තිබූ ප්‍රබලම සාක්ෂියයි. ඇය පෞද්ගලික මෑන්පවර් ආයතනයක් මගින් සේවයට යොදවා සිටි කම්කරු අංශ සේවිකාවකි. ඇගේ සාක්ෂියට බලපෑම් කිරීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කටයුතු කළේ ය. පළමුව ඇයට විශාල මූල්‍ය අල්ලසක් ලබාදී ඇයව නිහඬ කිරීමට ඔවුහු උත්සාහ කළහ.
දැඩි ආර්ථික අපහසුතා මත පසුවුව ද ඇයව මිලදී ගැනීමට ඔවුන්ට නොහැකි විය. ඉන් පසුව ඔවුහු ඇයට විවිධ තර්ජන ගර්ජන කළහ. එහෙත් බියට්‍රිස් මහත්මිය ඒ තර්ජන ගර්ජන හමුවේ බිය නොවූවාය. අවසානයේ, මීගමුව මහරෝහලේ වෛද්‍ය පරිපාලනයේ බලපෑම හේතුවෙන් ඇගේ රැකියාව ද අහිමි විය. වසර 2013 දී අදාළ සිද්ධිය සිදුවී වසර හයකට පසුව සුදර්ශන බාලගේ නඩු විභාගය ආරම්භ වන තෙක් බියට්‍රිස් මහත්මිය නොසැලී සිටියාය. දූෂණය කර ඝාතනය කළ ඒ අසරණ තරුණිය වෙනුවෙන් සාධාරණ ඉටු කිරීම සඳහා දායකවීම ඇයගේ එකම අරමුණ විය. ඇය වෛද්‍ය මාෆියාවේ බලපෑමට නතු නොවී නිර්භීතව මීගමුව මහාධිකරණයේ සාක්ෂි දුන්නාය. ඇගේ සාක්ෂිය අධිකරණයේ දී ඔප්පු විය. ඒ හේතුවෙන් වෛද්‍ය සුදර්ශන බාලගේට මරණ දඬුවම හිමිවිය. ඇගේ සාක්ෂිය නොවන්නට මේ සිද්ධිය බොහෝ විට සිය දිවි නසා ගැනීමක් වීමට ඉඩ තිබුණි.
යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් බියට්‍රිස් මහත්මිය දැක් වූ කැපවීම සහ නිර්භීතභාවය විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල්ගේ පවා ඇගයීමට ලක්විය. අනුරාධපුර රෝහලේ ලිංගික අතවර සිද්ධියේ සැකකරු පැය විසිහතරක් යෑමට පෙර අත්අඩංගුවට ගෙන තිබියදී පවා මිලියන විසිදෙකක ජනතාවක් දින දෙකක් ප්‍රාණඇපයට තබාගත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය එදා කටයුතු කළේ ස්ත්‍රී දූෂිත ඝාතක වෛද්‍යවරයා වන බාලගේ ආරක්ෂාකර ගැනීමටය. ඔවුන්ගේ මේ නින්දිත ඉතිහාසය අපට අමතක නැත.
මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි තරුණියක් ලිංගිකව අපයෝජනය කළ බවට චෝදනා ලැබූ වෛද්‍යවරයා සම්බන්ධයෙන් පොලීසිය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? අපේ පොලීසියේ වේගවත් අපරාධ පරීක්ෂණ ක්‍රියාමාර්ග අනුව මේ වන විට අදාළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ගුද මාර්ගයට විකට් පොලු බස්සවා තිබිය යුතුය. එහෙත් එවැන්නක් සිදුවී නැත. පසුගිය බදාදා (2) වින්දිත තරුණියව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ. සුපුරුදු පරිදි අධිකරණ වෛද්‍යවරයා සිය සගයාව බේරා ගැනීම සඳහා අපූරු වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තාවෙයි. ඔහු තරුණිය පරීක්ෂා කිරීමෙන් පසුව යෝනි ප්‍රවේශයක් සහ තුවාල කිසිවක් නොමැති බවට වාර්තාවක් ලබා දී ඇත. ලිංගික අපයෝජනයක් සිදුවන්නේ යෝනි ප්‍රවේශයක් මතම පමණක් නොවන බව අවබෝධ කර ගැනීමට එම්.බී.බී.එස් උපාධියක් අවශ්‍ය නැත.
වින්දිත තරුණියට සාධාරණයක් ඉටුවේද?
වින්දිත තරුණිය සහ ඇයගේ පවුලේ සාමාජිකයෝ අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාව තරයේ ප්‍රතික්ෂේප කළහ. ඒ සඳහා එම පවුලට තිබූ නිර්භීතභාවය පැසසුම් කටයුතුය. අවසානයේ අකමැත්තෙන් වුවද විශේෂ වෛද්‍ය මණ්ඩලයක් යටතේ වින්දිත තරුණිය යළිත් පරීක්ෂා එකඟතාවයකට පැමිණ ඇත. එහෙත් ඒ මගින් ද වින්දිත තරුණියට සාධාරණයක් සිදුවේ යැයි සිතිය නොහැක. එයට හේතුව වින්දිත තරුණියට සමාජ බලයක් නොමැති වීමය. ඇය වෙනුවෙන් වර්ජන කිරීමට, මිලියන විසිදෙකක ජනතාවක් ප්‍රාණඇපයට තබා ගැනීමට කිසිවෙකු නැත. ලිංගික අපයෝජන සිද්ධියේ සැකකරු “අභිමානවත්” වෛද්‍යවරයෙකි. එබැවින් වැඩි ඉඩක් ඇත්තේ මේ සිද්ධිය යටපත් කර දැමීමටය. මේ අවස්ථාවේ මිලියන විසිදෙකක් වන පුරවැසියන් වින්දිත තරුණිය වෙනුවෙන් පෙනී සිටිය යුතුය. එය එම තරුණිය වෙනුවෙන් කරන යුතුකමකට වඩා රෝහලේ දී තම ආරක්ෂාව, අභිමානය වෙනුවෙන් කරන සටනකි.
රජයේ වෛද්‍යවරුන් ගැන ජනතාව ඉදිරිපත් කරන ඕනෑම විවේචනයකදී ඔවුන්ගේ පිළිතුර වන්නේ විවේචනයන්ට වෛද්‍යවරුන් සමඟ “ඇරියස්” ඇති බවයි. මෙය තමන්ව රවටා ගැනීමට දිය හැකි සරළ පිළිතුරකි. එහෙත් යථාර්ථය එයට වෙනස්ය. අනුරාධපුර වෛද්‍යවරියක් ලිංගික අතවරයට ලක් වූ සිද්ධිය සම්බන්ධ සමාජ මාධ්‍ය ප්‍රතිචාර අධ්‍යයනය කළහොත් යථාර්ථය යම් තරමකින් තේරුම් ගත හැකිය. තරුණ, තරුණියන් සහ මැදිවියේ පසු වන්නන් රජයේ රෝහල්වලදී වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලින් තමන්ට සහ තම පවුලේ සාමාජිකයන්ට විඳින්නට සිදුවූ ඉතා අප්‍රසන්න අත්දැකීම් රාශියක් සමාජ මාධ්‍යයන්හි සටහන් කර තිබිණි. ඔවුහු වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්ට සාප කරති. ඔවුන් පිළිබඳ දැඩි කෝපයන් පසුවෙති. නින්දාසහගත බැණවැදීම්, නොසළකා හැරීම්, රෝගීන් පිළිබඳ විමසීම්වලට පිළිතුරු නොදීම් ඇතුළු සිද්ධි රාශියක් ඔවුහු එහිදී ගෙනහැර දක්වූහ.
ඉදිරියේ දී රෝගීන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන් මෙවැනි නින්දාසහගත හැසිරීම් ප්‍රදර්ශනය කරන සෞඛ්‍ය සේවකයන් ගුටිකෑමට නියමිත බවට අනතුරු අඟවීමක් කළ හැකිය. ජනතාවගේ ඉවසීමට ද සීමාවක් තිබේ. වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්හි පොදු මානසිකත්වය වන්නේ තමන් රෝගීන්ට නොමිලේ සේවය කරන බවයි. එබැවින් රෝගීන්ට තම අතපල්ලෙන් වැටුණු පිරිසක් මෙන් සැළකීමට තමන්ට පරම අයිතියක් ඇති බව ඔවුහු සලකති. ඔවුන් පළමුව තමන් රජයේ වැටුප් ලබන සේවකයන් බව මතක තබා ගැනීම වැදගත්ය. රෝහල් නඩත්තු වන්නේ රජයේ මුදලිනි. එබැවින් එහි සේවය ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට ගෞරවනීය සහ උසස් ප්‍රමිතියෙන් යුතු සේවයක් ලබා ගැනීමේ මූලික අයිතිවාසිකමක් තිබේ. එමෙන්ම වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනිවාර්ය සේවාවේ යොදවා නැත. රජයේ රෝහල්වල සේවය කිරීමට අකමැති නම්, පහසුකම් නොමැති නම්, ඔවුන්ට රජයේ සේවයෙන් ඉල්ලා අස්වී පෞද්ගලික අංශයට හෝ විදේශ ගත විය හැකිය.
රජයේ රෝහල්වල වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සැමදෙනා රෝගී ජනතාව අපහසුතායට පත් කිරීමට කටයුතු නොකරන බව ඔවුන්ගේ ගෞරවය පිණිස සඳහන් කරමු. එහෙත් සැලකිය යුතු පිරිසකගේ උද්දච්ච, නින්දාසහගත හැසිරීම් සමස්ත නිදහස් සෞඛ්‍ය පද්ධතියම අනතුරකට යොමු කර තිබෙන බව අපගේ තක්සේරුවයි. ඔවුන් පිළිබඳ ජනතාව අතර වර්ධනය වෙමින් පවතින කෝපය සහ අප්‍රසාදය නිදහස් සෞඛ්‍ය සේවයේ පැවැත්මට විශාල තර්ජනයකි. නිදහස් සෞඛ්‍ය විනාශ කිරීමට බාහිර කුමන්ත්‍රණ අවශ්‍ය නැත. ඒ වෙනුවෙන් ඇතැම් වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සිදු කරන නින්දාසහගත මැදිහත්වීම් ප්‍රමාණවත්ය.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33
---------------------------
by (2025-04-07 10:42:23)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි