~

දුබල නෛතික ප්‍රතිපාදන මැතිවරණ කොමිෂන් සභාව අවදානමේ හෙළනු ඇත..!

-මංජුල ගජනායක ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.අප්‍රේල්.11, ප.ව.6.30) ඉතිහාසයේ විසූ ඉතා ප්‍රකට ඉන්දීය අර්ථ ශාස්ත්‍රාචාර්යවරයෙක් වූ කෞටිල්‍ය හෙවත් චානක්‍ය ලියූ ලෝකයේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ විස්මිත උපදේශන ග්‍රන්ථයේ තැනක මෙසේ ලියා ඇත.

''සෑම විටම අහසේ තරු ගැන පරීක්‍ෂාවෙන් සිටින අණුවන මිනිසා අතින් ධනය ගිලිහී යයි. මඟ පෙන්වන එකම තරුව ධනයයි. අහසේ තිබෙන තරුවලට කළ හැකි වන්නේ කිම?"

මැතිවරණ යනු මුදල්ය...

තවත් බොහෝ විස්තර සාකච්ජා නොකෙළේ වුවද ධනය බොහෝ කරුණු වලදී මුලට එන බව සියවස් ගණනාවකට පෙර විසූ අර්ථ ශාස්ත්‍රාචාර්යවරුන් කියා ඇත්තේ එලෙසය. මැතිවරණ විෂයෙහිද මෙහි වෙනසක් නැත්තේය. දකුණු අර්ධ ගෝලයේ හෝ උතුරේ වේවා ලොව කවර ප්‍රජාතන්ත්‍රීය රාජ්‍යයක වුව මැතිවරණ යනු මුදල්ය.

මැතිවරණ ප්‍රචාරය, අදාළ නීති ප්‍රකාරව සිදුවන්නේ යැයි උපකල්පනය කිරීම ඉතා දුෂ්කරය. ඊට යම් අතීත සිදුවීමකින් ද අවශ්‍ය නම් නිදසුනක් ගෙන ආ හැකිය. ඒ ඇමෙරිකානු ජාතියේ නිර්මාතෘ මෙන්ම පළමු ජනාධිපතිවරයා වූ ජෝර්ජ් වොෂිංටන්ගෙනි. ප්‍රකට චරිත කථා ලියන්නෙකු වූ   Dennis Pogue, වොෂිංටන් ගැන කදිම සඳහනක් කරයි.

ඔහු වසර 1755 පමණ තමන්ගේ පළමු ඡන්දය වූ  The  House of Burgesses සඳහා තරඟ වැදුනි. එනමුත් ඔහුට සිදුවූයේ පරාජය වැළඳ ගැනීමටය. එහිදී ඔහු ලත් ඡන්ද ප්‍රමාණය 40 ක් වූ අතර ජයග්‍රාහකයා, ඡන්දදායකයන් ඇතිපදම් බියර්, විස්කි, රම්, වඩි  මඟින්  සංතර්පණය කරමින් ඡන්ද 271 ක් ලබාගෙන තිබුණි. ඒ අනුව ඡන්දදායකයන්  වැඩිවැඩියෙන් සුරා ලෝලිත්වයට පත්කළ ප්‍රතිවාදී අපේක්ෂකයා ජයගත්තේය.

එහෙත් ඩෙනිස් ලියන ලෙස වොෂිංටන් යනු ඉක්මනින් ඉගෙන ගන්නෙකි. එබැවින් ඔහු දෙවැනි ඡන්දයට ඉදිරිපත් වීමේදී පෙර වැරදි බොහෝ ප්‍රමාණයක් නිවැරදි කරගෙන තිබුණි. එහිදී ඔහු ඡන්ද 331 ක් ලබාගැනීමට සමත් වී තිබුණි. එනම් පෙර ඡන්දයේදී තම ප්‍රතිවාදී අපේක්‍ෂකයා ලබාදුන්නාට වඩා වැඩි ප්‍රමාණයක් ඇල්කොහොල් මිශ්‍රිත පාන ලබාදෙන්නට ඔහු සමත් වී තිබුණි.

සාමාන්‍යයෙන් ඕනෑම මැතිවරණයකදී , මැතිවරණ ප්‍රචාරය සිදුකිරීමට මුදල් අවශ්‍ය වන්නේය. එය බොහෝ දුරට දෙයාකාරය. ශ්‍රී ලංකාවේ සිදුවන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ දළ ඇස්තමේන්තුව පරිදි වාර්ෂික අයවැය ලේඛනය මඟින් ප්‍රමාණවත් මුදලක් වෙන් කිරීමයි. ඊට පාර්ලිමේන්තු අනුමැතිය ද ලබාගත යුතුය. අනතුරුව මහා භාණ්ඩාගාරය අවශ්‍ය මුදල කොටස් ලෙස නිදහස් කරනු ලැබේ. මෙලෙස පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වෙන් කරන ලද මුදල රුපියල් බිලියන 11 ක් විය. එහෙත් සැබෑවටම වැය වූයේ කෙතරම් මුදල් ප්‍රමාණයක් දැයි බැලීමට ඒ ගැන මැතිවරණ කොමිසම ලියමින් තිබෙන අවසන් වාර්තාව කියැවිය යුතුය. මේ පැවසුවේ නිල වියදම් ප්‍රමාණයයි.

ඊට  නිදසුන් ලෙස වසර 2019 දී මැතිවරණ ප්‍රචාරක වියදම් නියාමන නීතියක් නොමැති අවස්ථාවේදී පැවැත්වූ ජනාධිපතිවරණය සඳහා අපගේ, මැතිවරණ කොමිෂන් සභාව මහා භාණ්ඩාගාරය මඟින් ලැබුණු මුදලින් වැය කොට තිබූ සමස්ත මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 4,566,224,424,69 ක් විය.

සඳ තරණයට පමණක් නොදෙවැනි මුදල් වියදමක්..

ඉන් ඔබ්බේ අපගේ අසල්වැසි රාජ්‍යයේ සහ බොහෝ ඈත ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල මැතිවරණ වියදම් ද මෙහිදී සළකා බලමු. එමඟින් මැතිවරණ ප්‍රචාරය සහ මැතිවරණ පැවැත්වීම යනු සඳ තරණයට හෝ අස්වාන් වේල්ල ඉදිකිරීමට පමණක් නොදෙවෙනි මූල්‍යමය මෙහෙයුමක් බව වටහා ගත හැකිය. ඇමෙරිකාව, පසුගිය වසරේ ජනාධිපතිවරණය සහ කොංග්‍රස් මැතිවරණ සඳහා පමණක් වැය කොට ඇති නිල මුදල් ප්‍රමාණය කොපමණ දැයි සළකා බැලිය හැකිය. එය දළ වශයෙන්  ඩොලර් බිලියන 16 කි. ඉන්දියාව වසර 2024 දී පමණක් මැතිවරණ 05 ක් සඳහා නිල වශයෙන්  වැය කොට ඇති මුදල ඉන්දියන් රුපියල් කෝටි 3861 කි.

අනෙක් වියදම් මාදිලිය වන්නේ වක්‍ර වියදම්ය. මැතිවරණ ප්‍රචාරයක් සඳහා වැය කරනු ලබන වක්‍ර වියදම් පිළිබඳව නිවැරදි චිත්‍රයක් මවා ගැනීම ඉතාමත් අපහසු කරුණකි. එය සිංහල සංස්කෘතියේ ස්ථාපිතව ඇති ප්‍රස්තාව පිරුළකින් දක්වන්නේ නම් ''ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීම'' හා සමාන කරුණකි. එහෙත් යම් ප්‍රමාණයකට හෝ එකී වක්‍ර වියදම් පිළිබඳව යම් අදහසක් ලබාගත හැකි එකම මාර්ගය වන්නේ එක්කෝ මැතිවරණ ප්‍රචාරක වියදම් නියාමනය කිරීමයි. එසේ නැත්නම් අපේක්ෂකයන් සහ දේශපාලන පක්‍ෂ ස්වයං අනාවරණයක් කරන තෙක් බලා සිටීමයි.

සිරිතුංග, රන්ජා, ගම්මන්පිල..

ශ්‍රී ලංකාවේ එවැනි ස්වයං අනාවරණයක් මෙතෙක් සිදුකොට ඇත්තේ අපේක්‍ෂකයන් අතලොස්සක් පමණි. මෙරටේ වයෝවෘද්ධ දේශපාලන පක්‍ෂ නායකයෙක් වන සිරිතුංග ජයසූරිය වැඩිම ජනාධිපතිවරණ ප්‍රමාණයකට මුහුණදුන් මෙරටේ අපේක්‍ෂකයාය. ඔහු සෑම ඡන්දයක් අවසානයේදීම තම ආදායම් වියදම් වාර්තාව ජනගත කිරීමේ සම්ප්‍රදායක් පවත්වා ගෙන ආවේය. පසුව වසර 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන් කෙතරම් වියදම් ප්‍රමාණයක් දරන ලද්දේ දැයි රන්ජන් රාමනායක අනාවරණය කළේය. ඔහු එවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉහළ ජනප්‍රසාදයක් දිනා පාර්ලිමේන්තුවට තේරීපත්විය. එහෙත් එකී අනාවරණයේ දුබලතාවක් ද විය. එනම් ඔහු තම වියදම් ගැන අනාවරණය කළ ද , මුදල් සහ වෙනත් ආධාර (Inkind Donations) ලැබුනේ කුමන මුලාශ්‍ර මත දැයි හෙළි නොකිරීමට තරම් පරෙස්සම් විය.

එවකට ප්‍රබල දේශපාලන පක්‍ෂ නායකයෙක් වූ, උදය ප්‍රභාත් ගම්මන්පිලද වරක් අපූරු උපක්‍රමයක් භාවිත කළේය. දේශප්‍රේමයේ සිට මවුවරුන්ගේ සිසේරියන් සැත්කම් දක්වා වූ කවර හෝ අතට හසුවන ඕනෑම අයිතමයක් තම මැතිවරණ ප්‍රචාරය සඳහා යොදා ගැනීමේ බුහුටි හැකියාවෙන් සපිරි ඔහු එවර සෑම ඡන්දහිමියෙක් හට ම තමන් හට රුපියල් 100 ක පමණ ඉතා සුළු මුදලක ආධාරයක් පමණක් දෙන ලෙසට ආයාචනා කළේය. එම උපක්‍රමය සාර්ථක වී ඔහු අවසානයේදී රුපියල් මිලියන 9.9 ක් පමණ උපයා ගත්තේය. එහෙත් බලාපොරොත්තු වූ පරිදිම ඔහු එම මුදල් වැය කළේ කවර කාර්යයකටදැයි අනාවරණය නොකිරීමට තරම් ශූර විය.

මැතිවරණ ප්‍රචාරක වියදම් නියාමන නීතිය ආ හැටි..

මෙම පසුබිම තුළ මෙරටේ මැතිවරණ ප්‍රචාරක වියදම් නියාමනය විය යුතුය යන ඉල්ලීමට ජන සමාජය තුළ වැඩි අනුබලයක් ලැබිණි. එය වසර 1977 ට පෙර මෙරටේ පැවති මට්ටමට එහා යන නියාමනයක් බවට පත්විය යුතුය යනු සිවිල් සමාජයේ ඉල්ලීම විය. පසුව වසර 2015 බලයට පත්වූ යහපාලන ආණ්ඩුව එවැනි මැතිවරණ ප්‍රතිසංස්කරණ සඳහා යහපත් පෙරබිමක් නිර්මාණය කරන ආකාරයක්ද දිස්විය. එබැවින් රෝහණ හෙට්ටිආරච්චි වැනි ප්‍රවීන මැතිවරණ නිරීක්ෂකයන් ඒ සඳහා මෙරටේ පෙරමුණ ගත් අතර නීතිඥ  ජගත් ලියනාරච්චි සහ මෙම  ලියුම්කරුද ඔහුගේ එම වෑයමට සහය විය. එය ඓතිහාසික මැදිහත්වීමක් විය. එලෙස සකස් කළ පළමු කෙටුම්පත එවකට පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා වූ නීතිඥ ෆයිසර් මුස්තාෆා වෙත භාරදුන් අතර පසුව රෝහණ හෙට්ටිආරච්චි එහි පිටපතක් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙතද පිරිනැමීය. එම හමුව සඳහා මෙම ලියුම්කරුද එක්විය. ඊට සමාන්තරව එවකට ක්‍රියාත්මක කැබිනට් මණ්ඩලය වෙතද අදාළ කෙටුම්පතේ පිටපත් බෙදාහැරියේය. ඊට මැදිහත්වූයේ එහි නීති නිලධාරිනී නීතිඥ ගයනි ප්‍රේමතිලකයි.  වෙනත් දේශපාලන අධිකාරියේ හමුවීම් වලට සමගාමීව එම හමුව ඉතා භාවාතිෂය එකක් විය. තමන් පළමු ඡන්දයට ඉදිරිපත් වූයේ කෙළෙසදැයි විස්තර කළ ඔහු එම ඡන්දය අතරතුර මවක් ඡන්දයට ගන්න යැයි කියා ලබාදුන් දහදිය වැකුණු රුපියල් 20 නෝට්ටුවක් ගැන ද අපට විස්තර කළේය. එමඟින් ඔහු කියන්නට උත්සහ කළේ 'සම බිමක්' සෑදීම කෙතරම් වැදගත් ද යන්නයි. එහෙත් වියහැකි පරිදිම හිටපු ජනාධිපතිවරයාගේ සියලු යහපත් සිතුවිලි අතුරුදහන් වන්නට වැඩි කලක් ඉක්මුනේ නැත.

ඒ මැතිවරණ වියදම් නියාමනය සඳහා වූ පළමු කෙටුම්පත නිර්මාණය කරන ලද සමයයි. ඊට සමාන්තරව  මෙරටේ මැතිවරණ කොමිෂන් සභාව හෙබවූ   මහින්ද දේශප්‍රිය මහතා ඊට අදාළ පළමු පියවර තැබූ අතර පසුකාලීනව එම කොමිෂන් සභාව හෙබවූ නිමල් පුංචිහේවා මහතා සහ එකී කොමිෂන් සභා සාමාජිකයන් 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනයට අදාළ නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් සිදුකළේය. මෙකී පනත කෙසේහෝ අනුමත කරගන්නෙමැයි සිතමින් අනේකවිධ උපක්‍රම භාවිත කළ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ඒ වෙනුවෙන් එවකට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ සමඟ සිදුකළ උපක්‍රමික ගනුදෙනුව මුලසිට අග දක්වා නිරීක්ෂණය කිරීමට මේ ලියුම්කරුට හැකිවිය. ඒ එකී කාල සීමාවේ මැතිවරණ කොමිෂන් සභාව, දිවයිනේ සිව්දිග මැතිවරණ නියාමනයේ හැඩතල හා සුබවාදිත්වය පිළිබඳව ජනයා දැනුම්වත් කරමින් සිටි කාලය බැවිනි. එම පරිශ්‍රමය වෙනුවෙන් ඔහු වෙත අපගේ ගෞරවය නිති ලැබෙනු ඇත. ඒ අතීත කතාවයි.

වර්තමාන සමය...

වර්තමානය වන විට මැතිවරණ ප්‍රචාරක වියදම් යනු සැබවින්ම අලුත් අත්දැකීමක් නොවේ. දැනටමත් එම නව නීතිය යටතේ මැතිවරණ තුනක් පමණ ශ්‍රී ලංකාව අත්හදා බලා ඇත්තේය. දැන් මේ උදාවී ඇත්තේ එම නීතියේ ප්‍රායෝගිකත්වය කෙතරම් දැයි පරීක්ෂාවට ලක්කරන සමයයි. මෙවැනි නීතියක් ලංකාවේ පැවතියද මුදල් ඇත්නම් එය තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් වැය කළ යුතු බවත් , ඒ වෙනුවෙන් නීති සම්පාදනය කරන්නේ කුමන කරුණක් නිසා දැයි ප්‍රශ්න කරන්නෝ මෙරටේ බහුලය. එබැවින් මෙම නීතිය වඩාත් ඵලදායි එකක් කිරීම යනු මැතිවරණ සංස්කෘතිය නව ඉසව්වක් කරා මෙහෙයවීමකි.

මෙවැනි නීතියක් තිබුනේ වුවද සැබවින්ම මෙහි සැබෑ අර්ථය අපේක්ෂකයන් නීතිය හමුවට කුදලාගෙන ගොස් සිරගත කිරීම නොවේ. මෙම නීතියේ  වඩාත් තීරණාත්මක අරමුණ විය යුත්තේ යම්තාක් ඒ ඒ අපේක්ෂකයන් තෝරා ගැනීමේදී ඔවුන් ගැන වැඩි දැනුමක් ඡන්දදායකයන් හට ලබාදීමයි. 'Informed Choice' ලෙස අප නිරන්තරයෙන් වරනගන්නේ මෙයයි.

ඉන්දියාවේ තත්ත්වය..

ඡන්දයකට ඉදිරිපත්ව ජයගැනීමට අසහාය පිරිස් බලයක් , මූල්‍ය ශක්තියක් මෙන්ම වාසනා ගුණයක් ද අවැසි වන්නේය. පසුගිය ඉන්දියානු ලෝක් සභා මැතිවරණය සඳහා 8,360 දෙනෙක් ඉදිරිපත්ව තිබු අතර ඉන් 7,190 දෙනෙකුගේ පමණ ඇප ද අවලංගු වී තිබීම මෙහිදී සැළකිල්ලට ගත හැකිය. එහිදී අඩුම වැයබරක් දරා තිබු අපේක්ෂකයා වූයේ ශෂී තරූර් ය. ඔහු කෙතරම් ජනාදරයට පත් ප්‍රබුද්ධ මට්ටමේ අපේක්ෂකයෙක් වුවද ඔහුට ද මුදල් නොමැතිව ඉන්දියානුවන්ගේ ජනහද දිනාගැනීමට නොහැකි බවට මෙය කදිම නිදසුනකි. ඔහුගේ වියදමේ පරිමාව ₹94.89 ක් විය. වැඩිම වියදමක් දරා ඇති අපේක්ෂකයා වූ ප්‍රතිමා මොන්ඩල්  ₹12,500 වියදම් කොට තිබුණි.

මෙලෙස ඉන්දියානු සංඛ්‍යා ලේඛන පිළිබඳව පැවසීමේදී ඔබ සමහර විට පුදුමයට පත්වනු ඇත. එනම් ලංකාවේ 2024 වසරේ පමණක් මැතිවරණ 03 ක් පවත්වා තිබියදී එහි නිල සංඛ්‍යා ලේඛන ඉදිරිපත් නොකොට අසල්වැසි රාජ්‍යයේ දත්ත සහ සංඛ්‍යා ඉදිරිපත් කරන්නේ මන්ද යන්නයි.

ලංකාවේ නීතියක් තිබුනත්..

ඔබගේ පුදුමය සාධාරණය. ශ්‍රී ලංකාවේ එවැනි නීතියක් තිබුනද අපේක්ෂකයන් තමන්ගේ වියදම් වාර්තා ලබාදෙනතෙක් ඒ පිළිබඳව අපිට නිශ්චිතව යමක් සඳහන් කළ නොහැක්කේය. හේතුව නම් මෙම නීතියට සමගාමීව යම් ස්වාධීන පාර්ශවයක් එකී වියදම් පිළිබඳව ක්‍රමවත් අධ්‍යයනක් සිදු නොකිරීමයි. ඇමෙරිකාව හෝ වෙනත් බොහෝ රටවල මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ඉදිරියට ගමන් කරන විටම එක් එක් අපේක්ෂකයන් කවරතරම් මුදල් ප්‍රමාණයක් වැය කරනු ලබන්නේ දැයි ඊට අදාළ වෙබ් අඩවි ඔස්සේ දැනගත හැකිය. ඇමෙරිකාවේ 'Opensecrets' යනු එවැනි වෙබ් අඩවියකි. ඒ නැතත් බොහෝ රටවල මැතිවරණ කළමනාකරණ ආයතන (Election Management Bodies -EMBs) විසින්ම අදාළ දත්ත යාවත්කාලීන කරන්නේය. ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව අදාළ මැතිවරණය පවත්වා දින 21 ක් තුළ අපේක්‍ෂකයන් සහ දේශපාලන පක්‍ෂ මඟින් ලබාදෙන වියදම් සහ ලැබීම පිළිබඳ වාර්තා ඉමහත් ප්‍රහර්ෂයෙන් ලබා ගන්නේ වුවද , කවුරුන් හෝ පැමිණිල්ලක් නොකළේ නම් කිසිවක් ඊට පසුව සිදු නොවන්නේය. අදාළ එක් එක් අපේක්‍ෂකයන් සහ දේශපාලන පක්‍ෂ ලබාදුන් තොරතුරු මතම යැපීමට ඔවුන්ට සිදුවන්නේය.

එහෙත් එමඟින් අදහස් වන්නේ ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව අදාළ කාර්යයන් කිරීමට අසමත් ආයතනයක් ය යන්න නොවේ. ඔවුන්ට  එවැනි දේ කිරීමට නම් වඩාත්  නෛතිකව බලාත්මක නීතියක් පැවතිය  යුතුය. කොමිසමක් ස්ථාපිත කළ විගස ෆීනික්ස් පක්ෂීන් සේ කොමිෂන් සභා සාමාජිකයන් අසිරිමත් ප්‍රෝත්සාහී බවකින් නීතිය තමන්ගේ ජනහිතකාමී පරමාර්ථ සාධනය සඳහා උපයෝගී කරගනු ඇතැයි අපි සිතුවෙමු. එහෙත් දැන් දැන් අපට වැටහෙන්නේ කළයුතු දේ එලෙසින්ම නීතිය මඟින් විග්‍රහ කරන තෙක් කොමිෂන් සභා සාමාජිකයන් බලා සිටින බවයි.

පවත්නා නීතිය මඳක් වෙනස් කිරීමෙන්..

කෙසේවෙතත් මැතිවරණ වියදම් නියාමනයට අදාලව වර්තමානයේ පවත්නා නීතිය මඳක් වෙනස් කිරීමෙන් ඔවුන් හට තමන්ගේ සිතේ ඇති දේ ක්‍රියාවට නැගිය හැකිය. එමෙන්ම අප වැනි සිවිල්  සමාජ සාමාජිකයන් කියන දේටද වැඩිවැඩියෙන් සවන් දිය හැකිය. දැනටමත් ඔවුන් එම ප්‍රවේශයට ලඟා වී ඇත. හේතුව වර්තමාන මැතිවරණ කොමිෂන් සභාව සතුව කදිම සංකලනයක් තිබීමයි. එහි සිටින දෙදෙනෙක් මැතිවරණ දෙපාර්තමේන්තුවේ සෑම අස්සක් මුල්ලක් ම දැනගත් අයයි. සභාපතිවරයා සැබවින්ම නිහතමානිත්වයේ ප්‍රතිමූර්තියකි. ඔහු සඳළුතල මතින් පහළට නොබසින විධායක/මාණ්ඩලික නිළධරයන් හට කදිම ආදර්ශයක් සම්පාදනය කරන්නෙකි. එහි සිටින තවත් කෙනෙක් දේශපාලන පක්‍ෂ චර්යාවන් සහ සිවිල් සමාජය හා නිරන්තර ගනුදෙනුවක් ඇත්තෙකි. එකම කාන්තා නියෝජනය නීතිපති දෙපාර්තමේතුව හා නීති කෙටුම්පත් සම්පාදනය කාර්යයෙහි අත්දැකීම් ලද තැනැත්තියකි. සරසවිබද ශාස්ත්‍රාලීය දැනුමද එක්කරන සාමාජිකයෙක් අවසානයේදී කොමිසමට එක්ව ඇත. එහි කොමසාරිස් ජෙනරාල්වරයා ද කිසිදු සමාජ වගකීමක් අතනොහරින නිර්භය විධායක නිළධරයෙකි.  එබැවින් අප නිරීක්ෂණය කරමින් සිටින්නේ  මැතිවරණ වියදම් නියාමනය විෂයේදී ඔවුන්ද අලුතෙන් ඉගෙන ගන්නා බව සහ ඔවුන් සතුව විශේෂ කාර්යභාරයක් සිදුකිරීමේ විභවතාව මනාව පවතින බවයි .

උපරිම වියදම් සීමාව තීරණය කිරීමේ සුත්‍රයක්..

නිදසුනක් ලෙස වර්තමාන කොමිෂන් සභාවේ සාමාජිකයෙක් වන මහාචාර්ය ලක්‍ෂමන් දිසානායක මැතිවරණ වියදම් නියාමනයට අදාලව අපේක්ෂකයෙකුට සහ දේශපාලන  පක්ෂයකට දැරිය හැකි උපරිම වියදම් සීමාව තීරණය කිරීමේ සුත්‍රයක් නිර්මාණය කොට ඇත. එය තවත් කාලීන වර්ධනයන් ඇසුරෙන් වඩාත් ක්‍රමවත් කරගත හැකිය. එහෙත් කලාපයේ අලුතෙන්ම මැතිවරණ වියදම් නීති හඳුන්වා දුන් රටක් ලෙස කොමිසමේ අනෙක් සාමාජිකයන්ගේ ද සහයෙන් මහාචාර්ය දිසානායක හඳුන්වා දී ඇති මෙම සූත්‍රය ඉතා ප්‍රශස්ත එකක් බව සඳහන් කළ යුතුමය.

නීතිය පුළුල් සමාලෝචනයකට හා සංශෝධනයකට ලක් කළ යුතුයි..

දැනටමත් අවසන්ව ඇති මැතිවරණ තුනේ ශේෂ පත්‍ර විමසා බැලීමේදී තහවුරු වන්නේ මෙම නීතිය පුළුල් සමාලෝචනයකට හා සංශෝධනයකට ලක්නොකොට ඉදිරියට යාම අවදානම් බවයි. එසේ වුවහොත් දැනටමත් අපේක්ෂකයන් සතුව ඒ කෙරෙහි ඇති බිය නැතිවිය හැකිය. වඩාත් ගැඹුරින් සළකා බැලිය යුතු වන්නේ මෙමඟින් සැළකිය යුතු මට්ටමේ යමක් සිදු නොවුනහොත් මෙරටේ පුරවැසියන් මෙවැනි නීති කෙරෙහි දැක්විය හැකි අඩු අවධානයයි. මැතිවරණ යනු ජනතා කැමැත්ත වන අතර ඔවුන්ගේ මැතිවරණ සහභාගිත්වය යනු මාළුන් හට ජලය අවශ්‍යය යන්න හා සමාන සාධකයකි.

නිදසුනක් ලෙස දැනටමත් මෙතෙක් පැවති මැතිවරණ තුනේදී සැළකිය යුතු ප්‍රමාණයක අපේක්ෂකයන් ප්‍රමාණයක් තමන්ගේ වියදම් වාර්තා ලබාදී නැත. එය ජනාධිපතිවරණයේදී 13 ක් වන අතර (අපේක්ෂකයන් 38 ක් අතරින්) ඇල්පිටියේදී 150කි (එහි අපේක්ෂකයන් බහුතරය මුළුමනින්ම තමන්ගේ කාර්යය අමතක කොට ඇත) . පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේක්‍ෂකයන්  1300 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා ලබාදී නැත. ලබාදී ඇති වාර්තා වුවද මැතිවරණ කොමිෂන් සභාව ලබාදී ඇති නිශ්චිත ෆෝරමයට අනුගත නැත. මෑතදී මෙම ලේඛකයා උතුරේදී ජයගත් දේශපාලන නායකයෙක් හමුවිය. ඔහු පැවසුවේ තමන්ගේ වියදම කොමිසම ලබාදුන් සීමාවට වඩා තුන්ගුණයක් වූ බවයි. එහෙත් වාර්තාවට අවශ්‍ය පරිදි කපා කොටා අඩුකොට එය ලබාදීමට ඔහු සමත් වූ බවයි. පසුබිම මෙසේය. එහෙත් තවමත් අපිට ඇහුන්කම් දෙන කොමිෂන් සභාවක් සහ ක්‍රියාකාරී මැතිවරණ නිරීක්ෂක ප්‍රජාවක් සිටී. මාධ්‍ය ද මේ නීතිය ගැන බොහෝ උනන්දුවක් දක්වයි. මෙම නීතිය බලාත්මක කිරීමේ අදියුරුවරයා ලෙස පත්කොට සිටින අතිරේක කොමසාරිස් චින්තක කුලරත්න සතුවද දිනෙන්දින වර්ධනය වන ප්‍රගතිශීලි දැක්මක් ඇත්තේය. එයද මෙහිදී සළකා බැලිය  කළ හැකි සුබ දැක්මකි. දැන් ඇත්තේ ප්‍රතිසංස්කරණ සඳහා පෙළ ගැසීමයි.

ඊට අමතර වශයෙන් එක් එක් දේශපාලන පක්‍ෂ සහ අපේක්ෂකයන් පසුගිය මැතිවරණවලදී වෙන්වෙන්ව කවර තරම් මුදල් ප්‍රමාණයක් වැය කොට ඇතිදැයි ලබන සතියේදී මෙම කොලම තුළින් අනාවරණය කරනු ඇත. එතෙක් ඔබට මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් මැද්දේ උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්දට උණුසුම් සුභාසිංශන එක්කරන්නෙමු!!  

-මංජුල ගජනායක

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/52

---------------------------
by     (2025-04-11 13:26:30)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links