~

හෙගල්ගේ සර්පිලය, අනුරගේ මාලිමාව සහ විපක්ෂයේ ටොම් පචයා..!

-චන්ද්‍රප්‍රදීප් ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.අප්‍රේල්.30, ප.ව.6.10) "ඓතිහාසික සංවර්ධනය සරල රේඛාවකින් නොව වර්ධනය හා ප්‍රගතිය කරා ඉහළට යොමු කරන සර්පිලාකාරව ඉදිරියට යයි. ප්‍රතික්‍රියාව අනුගමනය කරන්නේ ක්‍රියාවයි; ක්‍රියාව හා ප්‍රතික්‍රියාව අතර විරුද්ධත්වයෙන් සමගිය හෝ සංරචක සංයෝජනයෙන් වඩාත් සම්පූර්ණ දැක්මක් සහිත පද්ධතියක් ඇති වේ." -හෙගල්

ගෝඨා පළා ගියදා ට පසුදා අනුර..

2022 ජූලි 09 වැනිදා ජනතා උද්ඝෝෂන හමුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකම හැරදා පළා ගිය දිනට පසුදා එනම් ජූලි 10 වැනිදා මෙම ලියුම්කරු ඒ වන විට රටේ ප්‍රමුඛ වමේ ව්‍යාපාරය වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ඇමතුවේ විශ්වාස කළ නොහැකි නමුත් ඒ වන විට සිදුව තිබූ දේශපාලන පෙරැළිය පිළිබඳ වමේ නායකයාගේ අදහස් දැන ගැනීමට ය. ඔහු ද ඒ වන විට  සිටියේ සිද්ධිය පිළිබඳ නිශ්චිත විග්‍රහයක නොවේ.  

ජූලි 09 දා කොළඹට මිලියන 2 ක පමණ ජනතාවක් ඇතුළු වූ බව පොලිසිය විසින් මේ ලියුම්කරු වෙත ඒ වන විට පවසා තිබිණ.

"සහෝදරයා ඔයගොල්ලන්නේ ජේවීපී අය කොපමණක් පමණ ඊයේ කොළඹට යෙදෙව්වා ද?" යි ලියුම්කරු අනුරගෙන් විමසීය.

"අපේ අය එතරම් සිටියේ නෑ. වසන්ත සහෝදරයාගේ පිරිසයි, මහින්ද ජයසිංහ සහෝදරයාගේ පිරිසයි විතරයි හිටියේ. එතැන ඕනෑනම් අපේ අය දෙදහසක් පමණ ඉන්න ඇති." අනුර සහෝදරයා පැවසීය.

පෙර දින කොළඹට මිලියන 2 ක පමණ පිරිසක් ඇතුළු වී ඇතැයි පොලිසිය කී බව මේ ලියුම්කරු පැවසූ පසු  වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර සහෝදරයා "ඒක තමයි, අපිත් බලාපොරොත්තු වුනේ ඕනෑ නම් පාලොස්දාහක් විසිදාහක් පමණ ජනතාවක් එයි කියලා මිසක් මේ තරම් විශාල සෙනගක් ඒවි යැයි අපිත් හිතුවේ නෑ" යි කීවේ ය.

"මේක වෙනම හිතන්න ඕනෑ" යි අනුර සහෝදරයා පැවසීය.

අනුර එදා සිට වෙනම සිතුවේ ය. වෙනම ක්‍රියා කෙළේ ය. වෙහෙස නොබලා වෙනම සංවිධානය කෙළේ ය. වසර එක හමාරකට පමණ පසු ප්‍රථමයෙන්ම මුළු ලොවේම ඇස් අරවමින් "ගැහැණු අපි එක මිටට" කියාගෙන කෙදිනකවත් වෙනම බලවේගයක් ලෙස සංවිධාන නොකළ කාන්තාවන් දස දහස් ගණනින් කැඳවමින් දැවැන්ත ජනරැලි මාලාවක් සහිතව කළ එළි බැස්සේ ය. දේශපාලනය ගැන උනන්දුවක් දක්වන ලංකාවේ අය පමණක් නොව ලෝකයේ අය ද විස්මයට පත් වූහ.  

හිසක් නොතිබූ අරගලයට වසර දෙකක් තුල ඉතාමත් ගැලපෙන බුද්ධිමත් හිසක් අනුර සවි කෙළේ ය. එය නමින් ජාතික ජන බලවේගය හෙවත් මාලිමාව විය.

එය 2024 සැප්තැම්බර් 21 වැනිදා ජයග්‍රහණය කෙළේ ය. ජයග්‍රහණයෙන් නොනැවතුනු අනුර වෙහෙස නොබලා දිනකට ජන රැළි 3-4 අමතමින් 2024 නොවැම්බර් 14 වැනි දා ජයග්‍රහණය විජයග්‍රහණයක් දක්වා ගෙන ගියේ, උතුර දකුණ නැගෙනහිර බටහිර යා කරමින්, එදා මෙදා තුර තනි පක්ෂයකට මන්ත්‍රීධූර 259 ක් සහිත එකම පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමිනි.

දැන් අනුර යළි වෙහෙස නොබලා දිනකට දැවැන්ත ජන රැළි 3-4 අමතමින් ඊ ලඟ රිටි පිම්ම පැනීමට, පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට නායකත්වය දෙමින් සිටී.

හෙගල්ගේ සර්පිලය සහ අනුරගේ එන්පීපී ගමන් මග..

අපි යළි හෙගල් දෙසට හැරෙමු. එක්දහස් අටසිය ගණන් වල විසූ දාර්ශනිකයෙකු වූ හෙගල් කීවේ, "ඓතිහාසික සංවර්ධනය සරල රේඛාවකින් නොව වර්ධනය හා ප්‍රගතිය කරා ඉහළට යොමු කරන සර්පිලාකාරව ඉදිරියට යන" බවයි. එනම් ඉතිහාසයේ පරණ සිදුවීම් ඒ අනුවම වර්තමානයේ ද සිදුනොවී ඒ තත්ත්වයන් ඊට වඩා ඉහළින් පසුකරමින් ඉහළම ප්‍රගතිය කරා ගමන් කරන බවයි.

අනුරගේ එන්පීපී ගමන් මග ද එසේ මය. ප්‍රථමයෙන්ම කිව යුත්තක් තිබේ. එනම් වත්මන් එන්පීපී ය යනු රෝහණ විජේවීරගේ ජවිපෙ ය හෝ සෝමවංශ අමරසිංහ ගේ ජවිපෙ ය හෝ නොව එය අනුරගේ එන්පීපී ය බවයි. එබැවින් පරණ ජවිපෙ කතා ඇදගෙන අනුරගේ එන්පීපී ය විවේචනය කිරීම කිසිසේත්ම අදාල නොවන බව පසුගිය මැතිවරණ දෙකකින්ම ජනතාව ඔප්පු කර තිබේ.

අරගලයට හිසක් සවිකළ අනුරගේ කතාව දේශපාලනිකව කියවා ගනිමු. එයද හෙගල්ගේ තියරිය සරි කරන්නකි.

එහි ආරම්භය 2015 දී රාජපක්ෂ පවුල් ජුන්ටාව පළවා හැර ජනතාව ජයග්‍රහණය කරවූ යහපාලන පෙරැළිය යි. එයද එවක දී කිසිසේත් ඇදහිය නොහැකි පෙරැළියකි. ජනතාව වෙනසක් බලාපොරොත්තු විය. නමුත් සිරිසේන-රනිල් යුගලයට එය සාක්ෂාත් කළ නොහැකි විය.

අවස්ථාව බලා දින 52 ක කුමන්ත්‍රණයක් දියත් කළ රාජපක්ෂ ජුන්ටාව එය පරාජය වුව ද යලි පාස්කු බෝම්බයක් හරහා ජනතාව ගිණිකන වට්ටවමින් බලය ඩැහැගත්තේ ය. ජනතාවට ඇස් ඇරවෙන්නට වැඩි කලක් ගියේ නැත. 2022 ජූලි 09 වන විට ජනතාව යළි පෙළගැසී රාජපක්ෂ ජුන්ටාව යළි පළවා හැරියේ අමතක නොවන පාඩමක් රාජපක්ෂලාට උගන්වමිනි. මල්ලී රටින් පළා යද්දී අයියාට සැඟවෙන්නට වූයේ දූපතක ය. නමුත් ජනතාව ද ඇස් රතුවන පාඩමක් උගෙන ගෙන තිබිණ. එනම් උන් විසින් රටම බංකොලොත් කිරීමේ ආදීනව යයි.

බලයෙන් විසි වූ රාජපක්ෂලා යළි රනිල් වික්‍රමසිංහට මුවා වී බලය රැක ගැනීමට හැකිවුව ද ජනතාවට උන් ඉගැන්වූයේ නියම ම පාඩමකි. එනම් මෙතෙක් කල් එකිනෙකාට එරෙහිව සිටි දෙපාර්ශවයම එකක් බවයි.

ජනතාව අලුත් වෙනසක් සොයද්දී අනුර දිසානායක අවස්ථාව අත නොහැර එකී ජනයාට හිසක් සහිත බලවේගයක් ගොඩ නගා අහවර වී තිබිණ. සජිත් ලා, චම්පික ලා, ගුණරත්නම් ලා හැරෙන්නටත් පෙර අනුර දිසානායක සිය කටයුත්ත නිම කර තිබිණ. 2024 සැප්තැම්බර් 21 වැනිදා ජයග්‍රහණය කෙළේ එයයි.

එය නිකම්ම මාලිමාවේ ජයග්‍රහණයක් නොවේ. 2015 යහපාලනයේ, 2022 අරගලයේ, රනිල්-රාජපක්ෂ හවුල් විප්‍රකාරයේ දේශපාලන දිගුවයි. ඓතිහාසික නිශ්චිත ගමනයි. එනම් හෙගල් කී පරිදිම සර්පිලාකාර වර්ධනය යි. සර්පිලාකාරී වර්ධනය ඉහළටම යනවා විනා එය යළි ආපසු හැරෙන්නේ නැත. න්‍යායික සත්‍යය එයයි

හෙගල්ගේ සර්පිලය සහ විපක්ෂයේ ටොම් පචයා..

මේ දේශපාලනය කියවා ගන්නට අසීරු වී ඇති සහ දැවැන්ත පරාජයන් දෙකකින් අන්ද මන්ද වී සිටින විපක්ෂය අද පළාත් පාලන මැතිවරණයේ දී කියන්නේ, කරන්නේ කුමක්ද යන්න ගැන පවා නිනව්වක් නැතිව සිටී. එළිමහනක රැස්වීමක් සඳහා හෝ ජනතාව කැන්දා ගැනීමට නොහැකි ඔවුන් ගයන්නේ එකම ශෝක ගීයකි. එනම් මාලිමා ආණ්ඩුව 'ටොම් පච' කියන ආණ්ඩුවක් බවත් ජනතාව ඔවුන්ට රැවටුනු බවත් ය.

මේ කතාව ද හෙගල්ගේ න්‍යායෙන්ම කියවා ගත හැකි ය. මේ 'පච ආණ්ඩු' ගායනය ද පරණ තැටියකි. 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී ඇයගේ ජයග්‍රහණය නලලේ කොටා තිබිණ. එම ජනාධිපතිවරණයට ජවිපෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරද්දී ජවිපෙට ද චන්ද්‍රිකාගේ ජයග්‍රහණය ගැන අමුතුවෙන් කියවා ගන්නට දෙයක් තිබුනේ නැත. එහිදී ජවිපෙ කළේ චන්ද්‍රිකා සමග සම්මුතියකින් ජවිපෙන් අපකේෂකයෙකු ඉදිරිපත් නොකර සිටීම ය. සම්මුතිය වූයේ ද දේශපාලනික සම්මුතියකි. එනම් චන්ද්‍රිකා ජනාධිපති වී වසරක් තුල දී විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට චන්ද්‍රිකාගෙන් ලිඛිත පොරොන්දුවක් ලබා ගැනීමයි. එවක දී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සියළුම විපක්ෂ වල ප්‍රමුඛ පෙළේ සටන් පාඨයක්ව තිබිණ. චන්ද්‍රිකා ඒ වගට පොරොන්දු වෙමින් ජවිපෙට ලිඛිත පොරොන්දුවක් දුන්නා ය. 1995 දී චන්ද්‍රිකාගේ ජනාධිපතිධූරයට වසරක් පිරෙද්දී සුපුරුදු පරිදි ම චන්ද්‍රිකා පොරොන්දුව කැඩුවා ය. ඇය විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා නොව එහි රස තලුමරමින් සනත් ලා සමග භුක්ති විඳිමින් සිටියා ය. චන්ද්‍රිකාගේ කඩවුනු පොරොන්දුවට වසරක් පිරෙද්දී ජවිපෙ රට පුරා දැවැන්ත කැම්පේන් එකක් කෙළේ "පච මල්ල ගෙදර යවමු" යන සටන් පාඨයෙනි. ආණ්ඩුවක් 'පච' කියන බව ජනතාව අතරට ගෙන ආ පළමු අවස්ථාව එයයි.

ඒ අනුව ආණ්ඩුවකට එරෙහි යම් මතයක් ජනතාව අතරට සාර්ථකව ගෙන යෑමට නම් ඊට ද අවස්ථාවක් සහ කාලයක් තිබිය යුතු ය. එහි කුඩා හෝ සත්‍යතාවයක් තිබිය යුතු ය. එනම් හෙගල්ගේ න්‍යාය අනුව එය ද සර්පිලාකාර විය යුතු ය. නොඑසේව එවැන්නක් මහ පොළොවේ පැල කළ නොහැකි ය. විපක්ෂයේ ටොම් පච කතාවෙන් සිදුවන්නේ ජනතාවට ඔවුන් පසුගිය කාලයේ මාලිමාව ගැන කී ටොම් පච මතක් කර දීමකි. 'ඇඩ්වර්ටයිසින්' කලාවේ 'නෙගටිව් කැම්පේන්' කියා දෙයක් තිබේ. එනම් යම් ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන් ප්‍රචාරක කටයුතු කළ ද ජනතාව ඉන් ඩැහැගන්නේ එහි ඊට හාත්පසින්ම විරුද්ධය බවයි.  මෙම සත්‍යතාවය ලබන මැයි 7 වැනිදා ට විපක්ෂයට තිත්ත රසකින් අත්දකින්නට සිදුවනු ඇත.

අවසානයටත් හෙගල්..

අනුර ප්‍රසිද්ධියේ කියන්නේ විපක්ෂයට කවදා හෝ බලයක් ලබා ගැනීමට නම් එය එන්පීපීයට වඩා හොඳ විය යුතු බවයි. එය ද හෙගල්ගේ න්‍යාය සරලව පැවසීමකි. හෙගල්ගේ න්‍යාය අනුව මේ ලියුම්කරුගේ අනාගත කියැවීම නම් එන්පීපීයට වඩා හොඳ එකක් බිහිවන්නේ පිටත විපක්ෂයකින් නොවේ. බිහිවනවා නම් එය ද බිහිවන්නේ එන්පීපී ය තුලින්ම ය.

-චන්ද්‍රප්‍රදීප්

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/54

---------------------------
by     (2025-04-30 17:01:55)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links