~

ඩෑන් ප්‍රියසාද් ‘සයිලන්ස් ‘ කළේ කට්-බන්දුගේ කන්ජිපානි ඉම්රාන් ද? දේශ-බන්දුගේ රහස් හඬපට ද?

Captain-10 ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.මැයි.07, ප.ව.11.50)

දිලිත් ගේ නයි මාධ්‍ය ජාලයට ලැබුණු ‘Exclusive’ රහස් තොරතුර...

සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට ඩුබායි හි සිටින පාතාල නායකයෙකු යයි කියන කන්ජිපානි ඉම්රාන් නමැත්තාගෙන් මරණ තර්ජන එල්ලවී ඇති බව පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් තවමත් රාජපක්ෂලාට කඩේ යන රුපවාහිනි නාලිකාවක්  ප්‍රවෘත්තියක්  විකාශය කළේය. එම පුවතම පාදක කර එම නාලිකාවේ සහෝදර පුවත්පත ද දේශබන්දු හට මරණ තර්ජන ඇතැයි පුවතක් පල කළේය.

මරණ තර්ජනයට හේතු වී ඇත්තේ පොලිස්පති ලෙස ඔහු විසින් මත්ද්‍රව්‍ය හා පාතාලයට එරෙහිව දියත් කඝ  'යුක්තියේ මෙහෙයුම' බවත්, මේ හේතුව නිසා කන්ජිපානි ඉම්රාන් ශ්‍රී ලංකාවේ සිටින තම සගයන්ට දේශබන්දුව ඝාතනය කරන ලෙස උපදෙස් දී ඇති බවත්, දේශබන්දු ට හිතවත් උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඔහුගේ හෝකන්දර නිවසට පැමිණ දැනුම් දී ඇති බව එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් විය. මෙම ප්‍රවෘත්තිය නයි මාධ්‍ය ජාලයට පමණක් පොලිසිය විසින් ලබා දීම විශේෂත්වයකි.

මේ නිසාම ඔහුට පෙර පැවති පරිදි පොලිස් ආරක්ෂාවක් ලබා දිය යුතු බවට මතයක් ගොඩ නැගීම මේ ප්‍රවෘත්තියේ සැබෑ අරමුණ බව ඕනෑම මෝඩයෙකු හට වැටහේ.

බන්දු හමුවෙන්න හෝකන්දර නිවසට ආ උසස් පොලිස් නිලධාරීන් කව්ද?

එම ප්‍රවෘතියෙන් පසු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, මාධ්‍ය කළ විමසුමක දී පවසා තිබුනේ දේශබන්දු තෙන්නකෝන් හට එවැනි තර්ජනයක් තිබේ දැයි බුද්ධි අංශ හරහා ඇගයීමක් සිදුකර අවශ්‍යනම් ආරක්ෂාවක් ලබා දෙන බවයි. එහෙත් කිසිදු බයක් සැකක් නොමැතිව දේශබන්දු ගේ නිවසට ගොස් මෙවැනි තොරතුරක් දුන් උසස් පොලිස් නිලධාරීන් කව්රුන්දැයි සොයා බැලීමට තරම්වත් උනන්දුවක් CID යට තිබී නැත. එසේ නැතහොත් පොලිසිය භාර අමාත්‍යංශයේද පුර්ණ ආශීර්වාදයෙන් මෙම නාට්‍ය පිටපත එළි දක්වන්නේද යන්න පිළිබඳව ආණ්ඩුව පිළිතුරක් ලබා දිය යුතුය.

බන්දු වෙනුවෙන් ආණ්ඩුවේ හා පොලිසියේ 'සප්' එක...

බන්දුගේ හිටපු පොලිස් ඇමැති ටිරාන් අලස්ද දේශබන්දු හට නැවත ආරක්ෂාව ලබා දෙන ලෙස ආණ්ඩුවේ ඉහල තැන්වලින් ඉල්ලීමක් කර ඇතැයිද දැනගන්නට ඇත. මේ නිසාම හෙට අනිද්දා වනවිට බන්දුගේ ආරක්ෂාවට ටිරාන් අලස්ට මෙන් විශේෂ කාර්ය බලකාය ලබා දීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය කටයුතු කරනු ඇත. යුක්තියේ මෙහෙයුම නිසා ටිරාන් අලස් හටද ජීවිත තර්ජන ඇති බව කියමින්  NPP ආණ්ඩුවෙන් STF ආරක්ෂාව ලබා දී ඇත.

කෙසේ වෙතත් මේවා නාට්‍ය පිටපත් බව දේශබන්දු, ටිරාන් අලස් හා පොලීසිය ගැන දන්නා ඕනෑම අයෙකුට වැටහෙන නමුත්, පොලීසිය අයත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ඉහල බලධාරීන්ට අනුව මේවා දේශපාලකයන් අත නොගැසිය යුතු  ආරක්ෂක අංශ විසින් ඉටු කළ යුතු කාරණාය.

දේශබන්දු හා අලස්ගේ (අ)යුක්තියේ මෙහෙයුම...

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් පන්නා දැමීමෙන් පසු රාජපක්ෂලාට විරුද්ධව ඇති චෝදනා විමර්ශනය නොකිරීමට වගබලා ගැනීමත්, ඔවුන්ට විරුද්ධව ඇති සාක්ෂි අතුරුදන් කිරීමටත්, සුදුසුම පුද්ගලයා වන දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහට උපදෙස් දුන්නේ ටිරාන් අලස් විසිනි.

ඊට පසු ටිරාන් අලස් හා දේශබන්දු එක්වී 'පාතාලය හා මත්ද්‍රව්‍ය' තුරන් කිරීමට 'යුක්තිය' නම් සංදර්ශනයක් පටන් ගත් අතර එහිදී බොහෝ දෙනා චෝදනා කළේ දේශබන්දුගේ පොලිසිය විසින් ඔහුට හිතවත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඉතිරිකොට, ඔවුන්ගේ විරුද්ධවාදීන් ඝාතනය කළ බවයි. යුක්තියේ මෙහෙයුම ඉදිරියට දමා තමන්ට විරුද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් මරා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම ඔහුට හිතවත් පාතාලය අතට පත්කිරීමට දේශබන්දු-ටිරාන් යුගලය පොලිසිය මෙහෙයවූ බවට සාක්ෂි ඕනෑ තරම් ඇති බව ඔවුන්ගේ (අ)යුක්තියේ මෙහෙයුමේ ඉතිහාසය දෙස බලන විට පෙනී යනු ඇත. 

ඩෑන්-දේශබන්දු රහස් හඬපට ඩෑන් සතුව තිබ්බාද ?

මීට සති දෙකකට පමණ පෙර ඝාතනය වූ ඩෑන් ප්‍රියසාද්, දේශබන්දුගේ අති විශ්වාසවන්ත ගෝලයෙකි. යුක්තියේ මෙහෙයුමට පක්ෂපාතව, පාතාලය හා මත්ද්‍රව්‍ය වලට විරුද්ධව කොළඹදී ටිරාන්-දේශබන්දු ගේ උපදෙස් මත උද්ඝෝෂණ සංවිධානය කර මාධ්‍ය වලට 'වොයිස් කට්' දුන්නේ ඩෑන් ප්‍රියසාද් විසිනි. මෙහිදී ඔහු දේශබන්දු - ටිරාන් (අ)යුක්තිය මෙහෙයුමේදී නිතර මාධ්‍ය හරහා කියවුනු පාතාල හා කුඩු ජාවාරම් කරුවන් යයි කියන ‘ගනේමුල්ල සංජීව, කන්ජිපානි ඉම්රාන්, කුඩු අන්ජු, ලොකු පැටී, රොටුඹ අමිල, අහුන්ගල්ලේ සංජීව’ වැන්නවුන්ට ප්‍රසිද්ධියේ අභියෝග කළේය. ඔවුන් ඩුබායි සිට මෙරටට රැගෙන ආ යුතු යැයි පැවසුවේය.

ඊට පසු දේශබන්දු ගේ පොලිසිය ඔවුන්ගේ ලැයිස්තුවේ සිටි පාතාලයන් හා කුඩු ජාවරමුන් එලොව යැව්වේය. දේශබන්දු හා ටිරාන් විසින් ඩෑන් මුදල් වලට හෝ වෙනත් පොරොන්දු දී ඔවුන්ගේ කාර්ය සඳහා පාවිච්චියට ගත් අතර තමන් ඉටුකරන්නේ කුමන වර්ගයේ කොන්ත්‍රාත්තුවක්ද යන්න ‘සටකපටි’ ඩෑන් ද හොඳින් දැන සිටියේය. ඒ සඳහා තමන්ගේ මිල ඔවුන්ගෙන් අය කරගැනීමට ඔහු නොපසුබට වූ අතර එම සාකච්ඡා වල හඬපට තබා ගැනීමටද අමතක කර නැත.

දේශබන්දු අත්අඩංගුවට පත්වී ඇප ලබා පැමිනි පසු CID ය ඔහුගේ ක්‍රියාකාරකම් ගැන විමර්ෂණ ආරම්භ කරත්දී, ඩෑන් ප්‍රියසාද් නාඳුනන අය විසින් ඝාතනය කරනු ලබයි. මෙම ඝාතනය කන්ජිපානී විසින් ඩුබායි සිට මෙහෙයවූ බව සුපුරුදු මාධ්‍ය සංදර්ශන ආරම්භ වෙත්දී ඝාතනය සිදුකළේ යැයි පොලිසිය සැක පිට ගත් ඩෑන්ගේ බිරිඳගේ නැගණියගේ මාමණ්ඩිය එළිපිටම පොලිසියට අභියෝග කළේ තමන් මෙම ඝාතනය කෙළ බවට කරන චෝදනාව අසත්‍ය බවයි.

ඩෑන්-නාමල් කල්ලිය හා ‘’පාස්කු මහ මොළකරුවන්’’ දියත් කල DIG නාලක සිල්වා මහ උළුගෙදර යැවීමේ මෙහෙයුම…

ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහ උළුගෙදරට දක්කන්නට නාමල් කුමාර, අමිත් වීරසිංහ, ඩෑන් ප්‍රියසාද් හා දේශබන්දු-ටිරාන්ලා එක්ව ගැසූ ගැටය දේශබන්දු තෙන්නකෝන් හට හොඳින් මතකයේ තිබෙන්නට ඇත.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා DIG නාලක සිල්වා විසින් සැළසුමක් දියත්කර ඇතැයි ව්‍යාජ හඬපට ඉදිරිපත් කරමින් නාමල් කුමාර කල්ලිය මාධ්‍ය හමු පැවැත්වීමෙන් පසු නාලක සිල්වා අත්අඩංගුවට ගන්නට සිරිසේන ආණ්ඩුව ක්‍රියා කළේය.

DIG නාලක සිල්වා එවකට ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක වශයෙන්, පාස්කු ප්‍රහාරය දියත් කළ ''සහරාන්'' ඇතුළු කල්ලිය අත්අඩංගුවට ගැනීමට සුදානම් වෙත්දී, ’පාස්කු මහ මොළකරුවන්ගේ’ උපදෙස් පිට නාලක සිල්වා උගුලකට හසුකිරීමේ මෙහෙයුම දියත් වූ බව දැන් පාස්කු විමර්ෂණ වලින් හෙළිවෙමින් පවතී.     

පාස්කු ප්‍රහාරයේ ඩෑන්ගේ භූමිකාව…

ගෝඨාභය බලයට ගෙන ඒමේ මහා කුමන්ත්‍රණය වූ ‘පාස්කු ප්‍රහාරය’ සැළසුම් කල වුන්ගේ මුලික සැළසුමක් වූ රටතුල මුස්ලිම් විරෝධයක් ඇතිකිරීමේ මෙහෙයුම දියත් කිරීමේ ක්‍රියාන්විතය කරට ගෙන ක්‍රියාත්මක කරනු ලැබුවේ ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල, දැඩි ගෝඨා වාදියෙකු වූ සරත් වීරසේකර, සිංහලේ සංවිධානයේ ඩෑන් ප්‍රියසාද්, බොදු බල සේනා චීවරධාරී ඥානසාර, මහසෝන් බලකායේ අමිත් වීරසිංහ, දුෂණ විරෝධී බලකායේ නාමල් කුමාර, අපේ ජන බල පක්ෂයේ සමන් පෙරේරා වැනි ජාතිවාදීන් පිරිසකි. මෙම ලැයිස්තුවෙන් අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා හෙවත් ‘’රෝයල් බීච් සමන්’’ නාඳුනන පිරිසක් විසින් මුලින්ම ඝාතනය කරනු ලැබුවේය.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේදී පාස්කු මහමොල කරුවන් විසින් ඔවුන් සියලු දෙනාට විවිධ මුස්ලිම් විරෝධී ක්‍රියාවන් සංවිධානය කරන ලෙස උපදෙස්, ආධාර අනුබල, මුදල් හා වෙනත් වරප්‍රසාද ලබා දුන් අතර ඔවුන් ඒ අනුව සිංහල මව්වරුන් වඳ කිරීමේ ශාෆි කුමන්ත්‍රණය, වඳ කොත්තු හා වඳ යට ඇඳුම් කතාවන්, අම්පාර, දිගන හා අලුත්ගම වැනි ප්‍රදේශ වල මුස්ලිම් විරෝධී ප්‍රහාරයන්, හලාල් වර්ජනය, මුස්ලිම් වෙළඳසැල් වර්ජනය කිරීම වැනි කුමන්ත්‍රණ කටයුතු රාශියක් දියත් කළේය. මෙම කාරණා පසුගිය කාලයේ විවිධ කටයුතු, විමර්ශන හරහා හෙළිවූ බව අමුතුවෙන් කිවයුතු නොවේ.

මේ අනුව පාස්කු මහ මොළකරුවන් හා ඩෑන් ප්‍රියසාද් වැනි පාස්කු ප්‍රහාරයේ දේශපාලන භූමිකාවන් ඉටුකළ සියළු දෙනා අතර තිබු ගනු දෙනු පිළිබඳව තොරතුරු පිල්ලෙයාන් අත්අඩංගුවට පත්වීමත් සමග එකින් එක දිග හැරෙන්නට පටන් ගෙන තිබේ. 

ඩෑන් ප්‍රියසාද් මැරුවේ කව්ද කියා සොයන්න CID යට නොදෙන්නේ ඇයි ?

ඩෑන් ප්‍රියසාද් විසින් පසුගිය කාලයේ හිටිහැටියේම ඇතිකරගෙන තිබූ දැඩි පාතාල හා මත්ද්‍රව්‍ය විරෝධී උමතුවට හේතුවද දේශබන්දු-ටිරාන් යුගලය එක්වී රාජපක්ෂවරුන් නැවත බලයට ගෙන ඒමේ අසාර්ථක උත්සාහයේ එක් පියවරකි. ඒ නිසාම පාතාලයන්ගේ ඝාතන ලැයිස්තුවට ඩෑන් ගේ නම ලෙහෙසියෙන් ඇතුල් කරන්නට මෙම නාට්‍යයේ තිරකතාව ලියු පාස්කු මහ මොළකරුවන්ට හැකිවූ අතර ඔහු නාදුනන පිස්තෝලකරුවන්ගේ ගොදුරක් බවට පත්වුයේ ඔහු හා සම්බන්ධ දේශපාලන රහස් රැසක්ද වළ දමමින් බව මොහුගේ ඝාතනය ගැන පුර්ණ විමර්ශනයක් සිදු කලහොත් අනාවරණය වනු නිසැකය.

එමෙන්ම මත්ද්‍රව්‍ය-පාතාල විරෝධී උද්ඝෝෂණ සඳහා ඔහුට අරමුදල් හා වෙනත් දේ සැපයු අය පිලිබඳ පැහැදිළි විස්තර හා සාක්ෂි ඔහු සතුව තිබී ඇත.

ඩෑන් ප්‍රියසාද් ගේ ඝාතනය සම්බන්ධයෙන් 52 හැවිරිදි බන්දුල පියල් හෙවත් කට් බන්දු නම් ඔහුගේ බිරිඳගේ, නැගණියගේ මාමා අත්අඩංගුවට ගෙන ඇති අතර කොළඹ දකුණ පොලිස් කොට්ඨාශය පවසන්නේ ‘’කට් බන්දු’’ හෙවත් බන්දුල පියල් ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනය පිළිගත් බවයි. එහෙත් කට් බන්දු අත්අඩංගුවට පත්වීමට පෙර පුවත්පතකට පවසා තිබුනේ ඔහු මරා දැමුවේ වෙනත් පිරිසක් බවයි.

මේවා පිලිබඳ CIDය විසින් පුර්ණ විමර්ශනයක් සිදු කළ යුතුව තිබියදී මොහුගේ ඝාතනය සාමාන්‍ය පාතාල මිනීමැරුමක් ලෙසට ලඝු කර පොලිස් පරීක්ෂණ බස්නාහිර දකුණ පොලිස් කොට්ඨාශය යටතේ පැවැත්වීම පිළිබඳවද පොලිසියේ ඉහල බලධාරීන් නැවත සලකා බැලීමක් සිදුකල යුතුය.

පාස්කු ප්‍රහාරයේ දේශබන්දුගේ භූමිකාව…

2019 අප්‍රේල් 21 දා පාස්කු ප්‍රහාරය සිදුවන විටදී දේශබන්දු බස්නාහිර පළාත භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති වරයා වූ අතර, ප්‍රහාරය ගැන කලින් දැණුවත්ව සිටියදී කටුවාපිටිය පල්ලියට සිදුවූ ප්‍රහාරය වලක්වා ගැනීමට ඔහු ක්‍රියා නොකිරීම ගැන පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේදී චෝදනාවට ලක්විය. එහිදී ඔහුට විරුද්ධව විනයානුකූලව කටයුතු කළ යුතුබව නිර්දේශ වී තිබේ. පාස්කු ප්‍රහාරය වූ දින දේශබන්දු හා පවුලේ අය පාසිකුඩා හි ‘’මාළු මාළු’’ හෝටලයේ නිවාඩුවක් ගත කරමින් සිට ඇත.

එහෙත් ගෝඨාභය ජනාධිපති වීමෙන් පසු ඔහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස උසස් කර, පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලවා පොලිස්පති ධුරයට පත් කලේය .

පාස්කු ප්‍රහාරය ක්‍රියාත්මක කල සහරාන් හෂීම් කල්ලිය යයි සැක කරන පිරිසක් විසින් බෝම්බ සෑදීමට ගෙනා අමු ද්‍රව්‍ය සහිත කුඩා ලොරියක් 2019 අප්‍රේල් 04 වන දින පාන්දර 3.00 ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනි ගම පිවිසුමේදී පොලිසිය විසින් පරීක්ෂා කරන්නට සුදානම් වෙත්දී, ලොරිය සමග පැමිණි අය දේශබන්දු තෙන්නකෝන් හට කථා කර එතැනින් ලොරිය නිදහස් කරගෙන පානදුර ඔවුන්ගේ ආරක්‍ෂිත නිවහන කරා නිරුපද්‍රිතව පැමින තිබේ. මෙම ලොරිය පරීක්ෂා කිරීමට හේතුවී තිබුනේ එම ලොරිය ඉදිරිපසින් හා පසුපසින් ආරක්ෂාව සපයමින් තවත් සිවිල් වාහන දෙකක් පැමිනීමයි.

දේශබන්දු ගේ මෙම නීති විරෝධී නියෝගය පිලිබඳ එම අවස්ථාවේ ගැලනිගම පිවිසුමේ රාජකාරී කළ පොලිස් සැරයන් රත්නකුමාර (37973) රාජකාරී සටහනක් යොදා තිබුනි . 2019 අප්‍රේල් 21 වනදා සහරාන් හෂීම් ඇතුළු පිරිස බෝම්බ පුපුරුවා ගැනීමේ අවසන් කටයුතු ක්‍රියාත්මක කර තිබුනේ මෙම පානදුර නිවසේ සිටය.      

ටිරාන් අලස් අනෝමා ෆොන්සේකාට පැවසු දේ …

ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමේ මෙහෙයුමේ ප්‍රධාන මෙහෙයුම් කරුවෙකු වන්නේ ටිරාන් අලස්ය. ඔහු වරෙක සරත් ෆොන්සේකාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මියට පවසා තිබුනේ ''මම කවදාහරි ගෝඨාභයව මේ රටේ ඉහලම පුටුවට ගේනවා'' යනුවෙනි.

2015 දී මහින්ද රාජපක්ෂ පරාජය කර මෛත්‍රීපාල සිරිසේන බලයට පත්වීමෙන් පසු ඊළඟ ජනාධිපතිවරණය ඉලක්ක කර ගෝඨා බලයට ගෙන ඒමේ මෙහෙයුම් ක්‍රියාත්මක විය. මෙම මෙහෙයුමේ ප්‍රධාන සැළසුම් කරුවන් වන්නේ රාජපක්ෂ පවුල, ටිරාන් අලස් ,උදය ගම්මන්පිල ,විමල් වීරවංශ, සරත් වීරසේකර හා හමුදා බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ යන අයයි. පාස්කු ප්‍රහාරයෙන් පසු ටිරාන් අලස් මහජන ආරක්ෂක ඇමති ලෙස පත්වන්නේ රාජපක්ෂ පවුලේ වුවමනාව මතයි.

අලස් මහජන ආරක්ෂක අමාත්‍යධුරයට පත්වීමෙන් පසු දේශබන්දු පොලිස්පති ලෙස පත්කර ගත්තේ රාජපක්ෂ පවුලට එරෙහිව ඇති සියළු විමර්ශන හා පාස්කු විමර්ශනය අඩපන කර දැමීම සඳහාය. පාස්කු විමර්ශන වලදී සාක්කි වසන් කර දැමීමට ටිරාන්-දේශබන්දු යුගලය ක්‍රියා කළ අයුරු දැන් අපූරුවට හෙළිවමින් පවතී.

ප්‍රංශයේ සිට ඩුබායි ආ කන්ජිපානි…  

වර්තමානයේ දේශබන්දුටත් මරණ තර්ජන කරන බව කියන කන්ජිපානි ඉම්රාන් නැමැත්තා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු බව මාධ්‍ය විසින් ප්‍රචාරය කළත්, ඔහු මුහුදු මාර්ගය හරහා ඉන්දියාවට ගොස් ඩුබායි රාජ්‍ය වෙත මෙරටින් පලා ගොස් තිබුනේ පුද්ගලයෙකු ඝාතනයට තැත් කිරීම,ඊට ආධාර අනුබල දීම හා පොලිස් නිලධාරියෙකුට බැන තර්ජනය කිරීමේ චෝදනාවකට ඇප ලබා දීමෙන් පසුවය.

ඉම්රාන් කොතරම් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් යයි පොලිසිය පැවසුවත් ඔහුට මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා අධිකරණය ඉදිරියේ නොමැති අතර ඔහු තවත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් යැයි පොලිසිය කියන ‘’මාකඳුරේ මදුෂ්’’ නමැත්තාගේ ලඟම මිතුරෙකු යැයි දේශබන්දු ගේ පොලිසිය චෝදනා කරයි. මදුෂ් කොළඹ අපරාධ කොට්ඨාශය යටතේ සිටියදී වෙඩි තබා මරා දැම්මේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිසියේ ඉහළම පිරිසකගේ තොරතුරු හෙළිකරන්නට සුදානමින් සිටිත්දී බව ප්‍රසිද්ධ රහසකි.

පලායාමෙන් පසු කන්ජිපානි ඉම්රාන් ප්‍රංශයේ දේශපාලන රැකවරණ ලබා සිටින්නේ යයි මුලින්ම පොලිසිය ප්‍රචාරය කළත්, මෙරට ප්‍රසිද්ධ පාතාල මිනී මැරුම් වලදී ඔහු ඩුබායි රාජ්‍යයේ සිට මෙම මිනී මැරුම් මෙහෙයවන බව පොලිසිය පවසයි. නමුත් මෙතෙක් කන්ජිපානි ඉම්රාන්ගේ යයි කිවහැකි කිසිදු පිළිගත හැකි සාක්කියක් පොලිසිය මාධ්‍ය වලට ඉදිරිපත්කර නැත.

සියලු ඝාතන ලොවෙත් නැති කන්ජිපානි ගේ ගිණුමට…

එහෙත් මෙරට ආන්දෝලනාත්මක ඝාතන සිදුවෙත්දී ඒවා සියල්ල ඩුබායි රාජ්‍යයේ සිටිනවා යයි කියන කන්ජිපානි ඇතුළු පාතාල සාමාජිකයන්ගේ ගිණුම් වලට  බැර කිරීම ශ්‍රී ලංකා පොලිසියේ පුරුද්දක් වී ඇති බව පෙනෙන්නට තිබේ.  එනිසා ඩෑන් ප්‍රියසාද් ඝාතනය හා දේශබන්දු ට මරණ තර්ජන එල්ලවීම් ගැන පුර්ණ විමර්ශනයක් සිදු නොවීමෙන් හෙළිවන්නට තිබු බරපතල කාරණා කිසිදිනක මතු නොවී සදාකාලිකවම වැලලී යනු නිසැකය.

ගෝඨාභය බලයට ගෙන ඒම සඳහා අහිංසක ජීවිත 274ක් බිලිගෙන තවත් 500කට අධික පිරිසක් සදාකාලික ආබාධිතයන් බවට පත් කළවුන්ට මෙම කුමන්ත්‍රණය හෙළිවීම වැලැක්වීමට තව ඕනෑතරම් මිනී මැරීම සුළු දෙයක් විය හැක. එහෙත් ඊට පෙර අනුර දිසානායකගේ ආණ්ඩුව දේශබන්දුට කත් අදින පොලිස්කාරයන් හා වෙනත් අය කව්රුන්ද යන්න හෙළිකර ගත යුතුය. එසේ නැතහොත් කන්ජිපානී විසින් ජනාධිපති අනුර ඝාතනය කළේ යැයි ප්‍රවෘත්තියක් දෙන්නට දේශබන්දු ඇතුළු පාස්කු මහ මොළකරුවන් නුදුරේම ක්‍රියා නොකරනු ඇතැයි විශ්වාස කළ හැක්කේ කාටද ?

-Captain - 10 විසිනි

---------------------------
by     (2025-05-07 21:25:34)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links