~

සෙබළෙකු ඝාතනය කර නිර්වස්ත්‍රව වළ දැමු හමුදා මේජර් තුෂාර අධිකාරිට CID දැල එළයි..!

-සොල්දාදු උන්නැහේ හෙළි කරයි

(ලංකා ඊ නිව්ස් -2025.මැයි.09, ප.ව.11.00) ශ්‍රී ලංකා යුද හමුදාවේ පොදු සේවා බලකායේ  රෙජිමේන්තු මධ්‍යස්ථානය තුළ එහි විධායක අධිකාරී ලෙස කටයුතු කරමින් කෑම පැය දඩයම් හෝරාව කරගත් සුනඛයෙකු හමුදා අධිකාරියට පත්ව  එම රෙජිමේන්තුවේ නර්තන හා රංග කලා අංශයේ කාන්තා සෙබළියන් දිගින් දිගටම දූෂණය කළ පුවත අප එදවස සේනාධිනායකයාට සහ රජයට හික්ගෑවෙන්නටම හෙළිදරව් කළ ද විශේෂයෙන් කාන්තාවන් සබැඳිව ඇල්මක් නොදැක්වූ ඔවුහු එය හමස්පෙට්ටියට දැමුවෝය.

මාස හයක සේවා කාලයක්  සම්පූර්ණ වීමටද මත්තෙන් සාමාන්‍ය සෙබළියක් වූ  ජයසේකර සහ තවත් සාජන් මේජර් නිලයේ  වීරකෝන් නමැති  කාන්තා සෙබලියන් දෙදෙනෙකු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අමුත්තන්ගේ කාමරය තුළ සහ සුනඛ අධිකාරිගේ කාර්යාලය තුළ අමු අමුවේ දූෂණය වීම එම සෙබලියන් දෙදෙනාගේ පාපොච්චාරණය තුළින්  සමාජගත විය.

අහස පොළොව නුහුලන එම අපරාධ තුළින් ඇතිවූ උණුසුම් තත්ත්වය සමනය කිරීම වස්  පරීක්ෂණ මණ්ඩලයක් පත්කර උණුසුම පහව ගොස්  සෙබලියන්ගේ අඳෝනාවේ දෝංකාරය නැවතුනු පසු  ඒ සියල්ල යටගැසුවෝය.

එම බලකායේ කුට්ටිගල වෘත්තීය පාසල  කඳවුර විනෝද තොටුපළක් කරගත් එකී බලකායේ නම ගිය  සලෙලුන්ට අල්පොන්සූලාගේ අඳෝනාව  නෑසෙන  මායිමේ  පිහිටි නිවාඩු නිකේතනය  තුළ රහස් රැක පහන ඇල්ලීම වස්  පලපුරුදු සට්ටැඹියෙකු වන මේජර් සුනඛ අධිකාරි කඳවුර භාරව පත්කළෝය.

කඳවුරේ අරක්කැමියෙකු ලෙස සේවයකළ හෙට්ටිආරච්චි ඝාතනය

නමුදු නව හමුදාපති සහ යුද ලේකම් වරයාගේ මැදිහත් වීමෙන්  මේ පිළිබඳව නැවත සොයා බැලීම ඇරඹුණේ  එම කඳවුරේ අරක්කැමියෙකු ලෙස සේවය කරමින් සිටි  හෙට්ටිආරච්චි නමැති සාමාන්‍ය සෙබළෙකු ඝාතනයට ලක්ව දින හතකට පසු ඔහුගේ ප්‍රාණ නිරුද්ධ සිරුර  නිලධාරී නිවාසයේ කාමරයක් තුළ සඟවා තබා ගනිමින් මිනී මැරුමේ සාක්ෂි වසන්වන තෙක්  කුණු වීමට සලස්වා කඳවුරේ  එම සෙබලා රැඳී සිටි භට නිවාසය අසල තිබී හමු වූ පසුවය.

පසුව අනාවරණය වූ පරිදි මෙම බේබදු  සුනඛ මේජර්වරයා සෙබළුන්ගේ ආහාර සඳහා රජය විසින් ලබා දී තිබූ කුකුල් මස්  කිලෝ ග්‍රෑම් එකහමාරක් සිය කට ගැස්ම සඳහා පිළියෙල කරදෙන ලෙසට මෙම සෙබළා හට අණ කර තිබිණ.  එසේ ලබා දුනහොත් සහෝදර සෙබළුන්ගේ රාත්‍රී ආහාරය සඳහා කුකුළු මස් ප්‍රමාණවත් නොවන බව  කාරුණිකව පැවසූ හෙට්ටිආරච්චි දුරකථනය ද ක්‍රියා විරහිතකර කඳවුරේ සෙබළුන් හට ආහාර පිස අවසන්ව, උදෑසන පහට සෙබළුන් සඳහා වූ උදෑසන තේ එක සකස් කිරීමට තමා පැමිණෙන බවට එතැන රැඳී සිටි සිවිල් සේවක අරක්කැමියාට පවසා සිය භට නිවාසය වෙත  පිටත්ව ගොස් ඇත.

එසේ රාජකාරී අවසන් කර යන අතරතුර මෙම මෘග සුනඛයාගේ  නිලධාරී නිවාසයේ කාමරයට පැමිණ ඔහු මූණ ගැසෙන ලෙසට ලද පණිවිඩයකට අනුව සෙබළ හෙට්ටිආරච්චි  නැවත හැරී නිලධාරී නිවසේ අධිකාරිගේ කාමරය දෙසට යනු දුටු බොහෝ  සෙබළුන් මරණ බියටම අදටත්  මුනිවත රකිති.

ඉන්පසු කාමරයේ දොර වසා වියරුවෙන් මෙම මෘග සුනඛයා හෙට්ටිආරච්චි නම් සෙබලාට පහර දී ඇත. පහර දීම කෙතරම් මෘග වීද යත් තම සගයන්ගේ ආහාර සුරක්ෂිතතාවය සැලසීම හේතුකොට සෙබළ හෙට්ටිආරච්චි අවසන් හුස්ම හෙළුවේ ය.

මෙසේ මරා දැමූ සෙබළා නිලධාරි නිවස්නේ කාමරයක් තුළම සඟවා කුණු වීමට හැර  ඔහු කඳවුරෙන් පැන ගිය බවට එදිනම උසස් මූලස්ථාන දැනුවත් කළේ ය. පසුව  සෙබළ හෙට්ටිආරච්චිගේ බිරිඳ සහ දරු දෙදෙනා ඇඹිලිපිටිය පොලිසියට  පැමිණිලි කිරීමෙන් අනතුරුව  ඔහු  පැන ගිය බවට  නිකුත් කළ පෙර ලිපිය සඟවා අතුරුදහන් වූ බවට ද ඊට දින කීපයකට පසුව තවත් ලිපියක් නිකුත් කරමින් සෙබළ හෙට්ටිආරච්චි  භට නිවාසය අසල මියගොස් සිටි බවත්, මෘත දේහය හඳුනා ගැනීමටද නොහැකි අයුරින් කුණු වී ඇති බව ද පවසා  යුද හමුදා මූලස්ථානය දැනුවත් කර තිබේ. ඒ ලිපි සියල්ල ලංකා ඊ  නිවුස් අපි පහතින් ඔබගේ පරිශීලනයට ලක් කරන්නෙමු.

අරක්කැමි සෙබලාගේ මෘත දේහයේ කලිසම් සාක්කුවට අයිස් මත්ද්‍රව්‍ය ස්වල්පයක් සහ හෙරොයින් පාවිච්චි කරන්නෙකු පරිහරණය කරන බටයක් දමා තිබීම කිසිසේත් නොගැලපෙන අසාර්ථක උත්සාහය තුළින් පරීක්ෂණ නොමග යැවීමට ක්‍රියා කිරීමක් බව අනාවරණය වී ඇත.

තවද පොල්තෙල්  බූලියක් සිරුර අසල තබා තිබුණු අතර මිනියට හෝ බූලියට යටව තිබූ තණකොළ කිසිවක් කහ පැහැ  නොවී තිබීම නිසා  සතියකට උඩදී මිය ගියා යැයි කීව ද,  හමුවීමට දවසකට පෙර සෙබළාගේ සිරුර ඉතා සූක්ෂම එතනට ගෙන දමන ලද්දක් බව පරීක්ෂන වලින් අනාවරණය වෙමින් තිබේ.

සෙබළාගේ සිරුර නිර්වස්ත්‍රව වල දැම්මා..

තවද මෙම මෘග  අධිකාරි විසින් තවදුරටත්  සාක්ෂි වසන් කරමින් සිරුර දිරාපත් වීම  වේගවත් කිරීමට මෙම සෙබළාගේ නිසල දේහය නිර්වස්ත්‍රව වල දැමීමට කටයුතු කිරීම රටක් සංවේදී කළ අතර මානුෂීය හමුදාවක් ලෙස නම්  දැරූ ශ්‍රී ලංකා යුද හමුදාව මහත් අපහසුතාවයට අපකීර්තියට පත්කිරීමක් පමණක්ම නොව සේනාධි නායකයාටද කළු පැල්ලමක්  එක් කළ සක්කිලි ක්‍රියාවකි.

මෙම සැකකටයුතු මරණය පිලිබඳව  එම සෙබලාගේ  බිරිදගේ හඩ පට ඉදිරිපත්  කරන ලද අතර  පසුගිය දින එක්සත් රණවිරු සංවිධානයේ කැඳුම්කරු විශ්‍රාමික කපිතාන් අසේල ධර්මසිරි විසින් සියලු සාක්ෂි සටහන් සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  මේ සබැඳිව සිදු කරන ලද පැමිණිල්ලෙහි පිටපතක් සහ පැමිණිලි අංකය සහිත ලියවිලිද පළමු වරට  ලංකා ඊ නිවුස්  අප ඔබට පහතින් ඉදිරිපත් කරනෙමු.

සෙබල පද්මසිරිටත් පහර දුන්නා..

තවද මේ අයුරින්ම අධිකාරිගේ කාමරය තුළ දැනට ශ්‍රී ලංකා යුද හමුදා වැටුප්  හා ලේඛන අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවය කරන  නි/72346 ලුතිනන් කේ.පී.ඩබ්ලීව්.ඩී.කේ. පද්මසිරි ට ද  දරුණු ලෙස පහර දී ඔහුගේ කාමරය තුළ වූ නාන  කාමරයෙහි දොර කඩාගෙන වැටී ටයිල් බිත්තියේ ඔළුව වැදී සිහිසුන්ව රෝහල් ගත කර ඇත. නමුදු මෙය  ලිස්සා වැටීමක් ලෙස වාර්තා කර ඇත.

සෙබල ජයසිංහටත් පහර දුන්නා..

එලෙසම කුට්ටිගල කඳවුරෙහි සෙබල ජයසිංහගේ යතුරුපැදියෙන් දහවතාවක් තෙල් ඉවතට ගෙන තමාගේ  හොර අඹුව ගෙන්වා නැවත පිටත් කර හැරීම සඳහා එම ඉන්ධන ඇගේ මෝටර් රථයට දැමූ අවස්ථාවේ මේ පිළිබඳ කිසිවෙකුටත් නොකියා සිටින ලෙසට සෙබල ජයසිංහ හට  පවසන විට දූෂිත නිලධාරියාගේ  එම නීති විරෝධී ක්‍රියාව අනුමත නොකළ සෙබළා  නක්කලයට  සිනහසුණු බැවින් සෙබල ජයසිංහට ද  දරුණු ලෙස පහර දීමෙන් ඔහුගේ වම්පස මුහුණ ඉදිමී තිබිණ.  එවක එම කඳවුරේ සේනා විධායක කර්නල්  තිලක් දිසානායක හට සෙබලාගේ මුහුණ නිරීක්ෂණය වීමෙන් අනතුරුව පහරදීම සහ යුද හමුදාවට අයත් ඉන්ධන වංචා කිරීම සබැඳිව පරීක්ෂණ මණ්ඩලයක්  යුද හමුදා මූලස්ථානයෙන්  පත් කිරීමට ඉල්ලා සිටි ලිපිය ද මේ සමග අපි ඉදිරිපත් කරමු.

මෙම මෘග මේජර් අධිකාරි ගේ පියා පොලිස් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික කොස්තාපල්වරයෙකු වන අතර දෙපාර්තමේන්තුවට බැඳීම සහ විශ්‍රාම යෑම දෙකම කොස්තාපල්  නිලයෙන්ම වීම මෙම මෘගයා කොස්තාපල් අධිකාරිගේම පුත්‍රයා බව මොනවට කියාපාන්නේද ?

මෘගයාට පොලිස් සහාය..  

තවද ඉහත කී හෙට්ටිආරච්චි නමැති සෙබලාගේ බිරිඳ තම සැමියාගේ මරණය සැක සහිත බවට පැමිණිලි කිරීමට හෙට්ටිපොළ පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේ එම පැමිණිල්ල බාර නොගෙන කළු ගලේ ඔළුව ගසා මේ දරුවන් දෙදෙනාගේ ජීවිතද අවදානමට ලක් නොකරන ලෙසට පොලිස් ස්ථානාධිපති විසින් ප්‍රකාශ කිරීම කොස්තාපල් අධිකාරිගේ අදෘශමාන හස්තය කොපමණ දුරට උඩුදුවා ඇත්ද යන්න  පිළිබඳ සාක්ෂි දරයි.

නොපමාව යුද හමුදා පොලිස් භාරයේ රඳවන්න..

අපරාධයන් සිදුකිරීම සහ අපරාධ යට ගැසීමට කප් ගැසූ මේ මෘග පුත්‍රයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නුදුරේදීම නීතිය රැහැනට කොටු කර ගැනීමට පෙර තවදුරටත් සාක්ෂි විනාශ කිරීමට ඉඩ නොතබන ලෙස නව යුද හමුදාපති සහ යුද හමුදා පොලිස් ප්‍රධානි යුද ලේකම්වරයා ගෙන් ඉල්ලා සිටිමු.  මෙම සැකකරු එම කඳවුරේ තවදුරටත් සිටීම වළක්වාලමින් සියලු වගකීම් වලින් ඔහු ඉවත් කර සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කළ නොහැකි ලෙස  නොපමාව යුද හමුදා පොලිස් භාරයේ රඳවනු ඇතැයි අපේක්ෂා  කරමු.

තවද මෙම මෘගයා විසින් දූෂණයට ලක් කළ සෙබළියන් වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කිරීමට ඒ පිළිබඳ පැමිණිලි කළ සෙබළියන් දෙදෙනාගේ සාක්ෂි පදනම්ව  යටගැසූ එම පරීක්ෂණය සහ යුද හමුදා ඉන්ධන  අපහරණයට ලක් කිරීම පිළිබඳව යුධ අධිකරණයක් ඉදිරියට මොහු පමුණුවා කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

-සොල්දාදු උන්නැහේ

---------------------------
by     (2025-05-09 22:16:41)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links