-සම්පත් දිල්ලිමුණි ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.මැයි.15, ප.ව.11.00) බ්‍රිතාන්‍ය රජය විසින් නිකුත් කළ නව විදේශගත ප්‍රතිපත්තියකට අනුව, දැන් සිටින විදේශිකයන්ට පවා ස්ථිර පදිංචිය (Indefinite Leave to Remain) ලබා ගැනීම සඳහා අවශ්‍ය කාලය වසර 5කින් වසර 10ක් දක්වා දිගු කිරීමට සැලසුම් කර ඇති බව ඊයේ විදේශ මාධ්‍ය විසින් වාර්තා කර තිබිණ.
මෙම යෝජනාව හරහා දැනට බ්‍රිතාන්‍ය තුළ සිටින විදේශීය සේවකයන්ටද අදාළ වන බවට රජය පවසා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත. මෙය තහවුරු වීමත් සමඟම, බ්‍රිතාන්‍යය තුළ විශාල සංඛ්‍යාවක් වන විදේශික ශ්‍රමිකයන් අතරින් ගැඹුරු විවේචන බ්‍රිතාන්‍ය පුරා මතුව තිබේ.
අගමැති කියර් ස්ටාර්මර් මහතා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ “ස්ථිර පදිංචිය යනු අයිතියක් නොව, උපයා ගන්නා වරප්‍රසාදයකි” යනුවෙන් පැවසීමත් සමග අගමැතිවරයාට පක්ෂව සහ විපක්ෂව අදහස් විශාල ප්‍රමාණයක් ගලා ආ අතර ඔහුව දැඩිව විවේචනය කරමින් විදේශ ශ්‍රමිකයන් විසින් ද අදහස් පළ කර ඇත. බොහෝ අය විසින් මේ වෙනස වංචාවක්, විශ්වාස භංගයක්, සහ නීතිමය අසාධාරණතාවයක් ලෙස සඳහන් කරමින් වැඩිදුරටත් අදහස් යොමු කර ඇත.
බ්‍රිතාන්‍ය අගමැතිගේ සමාජ මාධ්‍ය ගිණුමට අදහසක් පළකරමින් අයෙකු මෙවන් අදහසක් පළ කර තිබුණි
''සතියක් වැනි කාලයක් විදේශගත ශ්‍රමිකයන් රැකියාවට නොගොස් නිවසේ රැඳී සිටියහොත් එහි බලපෑම කුමක් විය හැකි දැයි ඔබ කල්පනා කර තිබේද?එහෙම වුනොත් එක්සත් රාජධානියේ ක්‍රියාකාරීත්වයට දැඩි ලෙස බලපෑ හැකි බවත් එය මනසේ තබාගෙන සෑම කෙනෙකුටම අනවශ්‍ය ලෙස පීඩනය දීමට වඩා සාධාරණව හා ගෞරවයෙන් කටයුතු කිරීමේ වැදගත්කම අප සැමට මෙනෙහි කළ හැකි යැයි මම බලාපොරත්තු වෙමි''
කෙසේ වෙතත් මෙම යෝජිත නව නීති පාර්ලිමේන්තුව තුල සම්මත කරනු ලැබුවහොත් බ්‍රිතාන්‍ය රජයේ නව පදිංචි නීතිය අනුව දැනට සිටින විදේශික ශ්‍රමිකයින්ට පවා තාවකාලික වීසා යටතේ වසර 10 ක් ජීවත්විය යුතු වීම, සෘජු ලෙස ඔවුන්ගේ ආර්ථිකය හා සමාජ ජීවිතය මත බලපාන බව විදේශ නිරීක්ෂයන් විසින් පෙන්වා දී ඇත. නීතිමය ස්ථාවරභාවයක් නැතිව දිගු කාලයක් ජීවත්වීමෙන් මානසික පීඩනයක් මතු වන අතර, එය දැඩි ආර්ථික බරකට මුහුණ දීමට ශ්‍රමිකයන්ට සිදු වේ.
දැනට යෝජිත නීති රීති මහජන අදහස් වලට යොමු කිරීමට රජය කටයුතු කරමින් පවතින මොහොතක Joint Council for the Welfare of Immigrants ආයතනයේ නීති අධ්‍යක්ෂ Enny Choudhury මෙය "කෲරත්වයෙන් පිරුණු විශ්වාස භංගයක්" ලෙස පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් රට තුළ සිටින විදේශීය සේවකයන්ට ද ස්ථිර පදිංචිය (Indefinite Leave to Remain) ලබා ගැනීම සඳහා අවශ්‍ය කාලය වසර 5කින් වසර 10ක් දක්වා දිගු කිරීමට අදාළ නීති යෝජනා ක්‍රියාත්මක කිරීමට නම් අත්තනෝමතික ලෙස නීති සම්මත කළ යුතු අතර ජාතික සෞඛ්‍යය සේවාව, NHS සතුව ඇති ඉතා තදබල වෘත්තීය සමිති මෙම යෝජනාවට දැඩි විරෝධයක් එල්ල කරනු ඇති බවට විශ්ලේෂකයෝ පෙන්වා දෙති. NHS සතුව වැඩිම විදේශ ශ්‍රමිකයන් පිරිසක් ඇති අතර ඔවුන්ටද මෙමගින් දැඩි බලපෑම් එල්ලවනු ඇත.
කෙසේ හෝ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නීති සම්මත කරනු ලැබුවහොත් එයට එරෙහිවද දැනට සිටින විදේශ ශ්‍රමිකයන් ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි අතර තමන්ට ඉහල අධිකරණයට ගොස් සම්මත කරනු ලැබූ නීතියට විරුද්ධව නීති සහන ගැනීමටද හැකි වනු ඇත.
බ්‍රිතාන්‍යයේ ආගමන නීතිය තුළ, නීතිවිරෝධී ලෙස අතීතයට බලපාන පනත් හා ප්‍රතිපත්ති පිළිබඳව අධිකරණය සෑමවිටම විමසිල්ලෙන් කටයුතු කර ඇති අතර, විශේෂයෙන්ම පුද්ගලයන්ගේ අයිතිවාසිකම්, නීතිමය අපේක්ෂාවන් සහ විශ්වාසය ආරක්ෂා කිරීමට උත්සාහ කර ඇත. එයට උදාහරණ වශයෙන්
01. R (on the application of Bhatt Murphy & Others) v Independent Assessor [2008] EWCA Civ 755 නඩුව
02. R (on the application of Lumba) v Secretary of State for the Home Department [2011] UKSC 12 නඩුව
03. R (on the application of HS) v Secretary of State for the Home Department [2020] EWCA Civ 464 නඩුව
04. R (on the application of Odelola) v Secretary of State for the Home Department (2009) නඩුව පෙන්වා දිය හැකිය
එම නිසා බ්‍රිතාන්‍යට පැමිණ සිටින ශ්‍රමිකයින් වඩාත් කලබල නොවී නීතිමය උපදෙස් ගැනීම සිදු කළ යුතු බව අප පෙන්වා දිය යුතුය
අපේ රටේ සිට බ්‍රිතාන්‍යයට සත්කාරක සේවයේ නියුතු වීම සඳහා පැමිණෙන ශ්‍රී ලාංකිකයන් විශාල අභියෝග රැසක් මැදින් ඒ මග යති. ඔවුන් සියලු නීතිමය සහ තාක්ෂණික අවශ්‍යතා ඉටු කරමින්, IELTS භාෂා පරීක්ෂනය සමත් වීම, සත්කාර පාඨමාලා සහතික ලබා ගැනීම, පසු පරීක්ෂණ, සෞඛ්‍ය සහ ආචාරධාර්මික පරීක්ෂණ සම්පූර්ණ කිරීම මගින් ඉතා කාර්යශූරත්වයෙන් එම දිවිය ඇරඹේ.
එහෙත්, බ්‍රිතාන්‍යයේ සිටින ඇතැම් නීතිඥයන් විසින් YouTube නාලිකා ඔස්සේ පවා "මෙම care workers ලා IELTS සහ care course certificate හොරට ඉදිරිපත් කරයි" වැනි අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම මහත් වගකීමකින් තොර ක්‍රියාවකි.
මෙවැනි ප්‍රකාශ:
* සත්කාරක සේවය සඳහා නීත්‍යානුකූලව සහ මහන්සියෙන් විදේශගත වූ සියලුම ශ්‍රී ලාංකිකයන්ට අපහාසයකි
* බ්‍රිතාන්‍ය රජයට සහ එහි ජනතාවට ශ්‍රී ලාංකිකයන් ගැන වැරදි හැඟීමක් ඇති කිරීමට බලපායි
* සහ අවසානයේ අපේ ශ්‍රී ලාංකික ජාතියම ලැජ්ජා සහ නින්දා වලට ලක්වීමේ තත්ත්වයකට යටත් කරවයි
කවුරුන් හෝ නීතිඥයෙකු ලෙස තමන්ගේ මෙන්ම ජාතියේත් ගෞරවය ආරක්ෂා කළ යුතුය. එයට විරුද්ධව, අසත්‍ය චෝදනා මගින් විදේශගත වූ අයගේ කැපවීම හා ජීවිත ගොඩනඟා ගැනීමේ සත්‍ය සටන අවහිර කිරීම නොකළ යුතුය .
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හට IELTS හෝ care course certification හොරට ලබා ගත නොහැක. සත්කාරක සේවා නොදන්නා අයෙකුට මෙරටට පැමිණීමට හැකියාවක් නොමැත. ලක්ෂයකින් එකක් එවැනි දේ කරනු ලැබුවත් ඒ ගැන සොයා බැලීම බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය කළ යුතු දෙයකි. අපේම රටේ ශ්‍රමිකයින්ගේ වැරදි පෙන්වා දී අමාරුවෙන් ගොඩ නගා ගත් ජීවිත වලට පවා එල්ල කරනු ලබන චෝදනා නිසා බොහෝ දෙනෙකු නොසතුටට සහ දැඩි කනස්සල්ලට පත් වී ඇත,
ඒ නිසා, වංචාකාර මංපෙත් ගැන කියමින් අසත්‍ය කතාවන් පතුරවන්නෙකු වුවත්, අපේ සත්කාර සේවකයන්ගේ මහන්සිය, නීතියට අනුගත වීම සහ එමගින් ජීවිතය ගොඩනගන ආකාරය සහ ශක්තිය අමතක නොවිය යුතුය.
2024 වර්ෂයේ දී එක්සත් රාජධානිය (UK) සහ ඉන්දියාව අතර අලුතින් අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම (Free Trade Agreement - FTA) යටතේ දෙරට අතර භාණ්ඩ, සේවා සහ මිනිස් බලශක්තිය සම්බන්ධයෙන් විශාල විවෘත කිරීමක් සිදුවිය. මෙහිදී විශේෂයෙන්ම ඉන්දියාවේ තොරතුරු තාක්ෂණය (IT), මූල්‍ය, ඉංජිනේරු, නීතිය වැනි ක්ෂේත්‍රවල උසස් කුසලතා ඇති වෘත්තිය සමූහයන්ට UK වෙත විශේෂිත පහසුකම් යටතේ ඇතුල්වීමේ හැකියාව උදා විය.
අනෙක් අතින්, ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ නයිජීරියාව වැනි රටවල්වල පුරවැසියන් සඳහා නව සීමා පනවන ආගමන ප්‍රතිපත්ති බ්‍රිතාන්‍යය විසින් මෑතකදී හඳුන්වා දී ඇත. විශේෂයෙන්ම අධ්‍යයන හා සේවා වීසා මත බ්‍රිතාන්‍යයට පැමිණෙන පුරවැසියන් අතරින් සරණාගතභාවය අයදුම් කරනු ඇතැයි සැකයක් මත මෙම පියවර ගත් බව ආරංචි වාර්තා පෙන්වා දේ.
මෙම සැකය බහුතරයෙන්ම ඉන්දියාවට අදාළ නොවන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඉන්දියාවෙන් බ්‍රිතාන්‍යයට පැමිණ සරණාගතභාවය ඉල්ලා සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාවද නොසලකති. තවද, ඉන්දියාවේ ආර්ථික ශක්තිය සහ බ්‍රිතාන්‍යය වෙත ඉන්දියාවෙන් ලැබෙන භූ-දේශපාලනික වාසි සැලකිල්ලට ගත් විට, ඉන්දියානු පුරවැසියන්ට වඩාත් සහන සහිත සහ යහපත් ආගමන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනු ලබයි.
නයිජීරියාව බ්‍රිතාන්‍යයට වැඩිම සෞඛ්‍ය හා රැකවරණ සේවකයන් යවන රටවල් අතර ප්‍රමුඛ ස්ථානයක් දැරීය. පසුගිය වසරේදී බ්‍රිතාන්‍යයට පැමිණි සෞඛ්‍ය සේවකයන් සංඛ්‍යාව අනුව නයිජීරියාව දෙවැනි ස්ථානයෙහි පසුවුණි. එමෙන්ම පකිස්ථානයද උසස් කුසලතා සහිත සේවකයන් බ්‍රිතාන්‍යයට යවන ප්‍රධාන රටවල් අතරට අයත්ය. ශ්‍රී ලංකාවද මෙම කාණ්ඩයට අයත් රටක් වන අතර, බ්‍රිතාන්‍යයට උසස් කුසලතා ඇති සේවකයන් යවන රටවල් 10න් එකකි.
කෙසේ වෙතත් බංගලාදේශය, නේපාලය, භූතානය, පිලිපීනය වැනි රටවල්වල පුරවැසියන් බොහෝවිට පහල මට්ටමේ කුසලතා ඇති සේවකයන් වශයෙන් care work, hospitality හා agriculture වැනි ක්ෂේත්‍රවලට අදාලව බ්‍රිතාන්‍යයේ සේවයේ යෙදෙති. මෙය ඉන්දියාවට පැහැදිලිවම ආර්ථික තර්ජනයක් නොවන බැවින්, එවැනි සංක්‍රමණය ගැන බ්‍රිතාන්‍යය භූ-දේශපාලනික කණ්ඩායම් අවධානයක් නොදෙන අතරම ඉන්දියාවට සෑම විටම සහාය ලබා දෙති.
මේ අනුව, බ්‍රිතාන්‍යයේ ආගමන ප්‍රතිපත්ති තුළ ඇති මෙම විෂමතාවයන් පිළිබඳව විචාරකයෝ විශේෂ අවධානයක් යොමුකර ඇත . ඉන්දියාව සමඟ ඇති ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි වර්ධනය කිරීමේ අරමුණින් එරට සේවකයන්ට විශේෂ වාසි ලබාදීම සහ සීමා රහිත සංක්‍රමණය සඳහා බ්‍රිතාන්‍යය නීති ලිහිල් කරද්දී නව ආගමන නීති දැඩි කරමින් ශ්‍රී ලංකාව, පකිස්තානය, නයිජීරියාව වැනි රටවල් තුනකට සංක්‍රමණය සඳහා බලපෑම් එල්ල කරමින්, එම රටවල් වලින් පැමිණෙන අය සරණාගතභාවය ඉල්ලනවායැයි කීම තුලින් බ්‍රිතාන්‍යයේ ආගමන ප්‍රතිපත්තිය සහ වෙළඳ ගිවිසුම් මගින් ඇති වන භූ-දේශපාලනික සන්ධානවල බලය කොතරම් ද කියා පැහැදිලිව දැකිය හැකිය. ඇත්ත වශයෙන්ම ඉහත රටවල් තුනට දැඩි වීසා කොන්දේසි දැමීම තුලින් බලාපොරත්තු වන්නේ සරණාගතභාවය ඉල්ලීම වැලැක්වීම නොව ඉන්දියාවට රිසි සේ තමන්ගේ රටින් අවශ්‍ය සේවකයන්ට බ්‍රිතාන්‍යයට ඒමට රැකියා පුරප්පාඩු ඉතිරි කර ගැනීමකි
බ්‍රිතාන්‍යයේ වර්තමාන සමාජය තුළ ශ්‍රම බලකාය ඉතා අල්පය. විශේෂයෙන්ම වැඩිහිටියන්ගේ වියපත් ජනගහණය වර්ධනය වෙමින් පවතින බැවින්, කාර්යශූර වයස් කාණ්ඩයට අයත් පුද්ගලයන්ගෙන් ඇති අවශ්‍යතාවය දැඩිව පවතී. මෙම පසුබැසීම පිරවීම සඳහා සරණාගත අයදුම්කරුවන් වැදගත් භූමිකාවක් ඉටු කරති.
ඔවුන් බොහෝවිට සෞඛ්‍ය සේවා, නේවාසික සේවා, නිෂ්පාදන ක්ෂේත්‍ර සහ තාක්ෂණය වැනි පුරප්පාඩු ඇති ක්ෂේත්‍රවල රැකියාවල යෙදෙමින් ශ්‍රම බලකාය ශක්තිමත් කරයි. මෙය ආර්ථික වර්ධනයට සහ සමාජය තුළ සේවා පද්ධතියක් ගොඩනඟා තබා ගැනීමට උපකාරී වේ.
සමහර අවස්ථාවලදී අප්‍රිකානු රටවල් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වන පවුල් විසින් දරුවන් හය හත්දෙනා බිහි කරමින් බ්‍රිතාන්‍යයේ ආධාර අරමුදල් අවභාවිතා කරන බවට බොහෝ දෙන මැසිවිලි නගති, නමුත් අවසානයේ මෙම ආධාර ලබා දුන් නමුත් දරුවන් වැඩිවියට පත් වුනු පසු එම දරුවන් බ්‍රිතාන්‍ය ආර්ථිකයට මිල කළ නොහැකි ශ්‍රම දායකත්වයක් සපයන බව නොරහසකි. එය බ්‍රිතාන්‍ය රජයද දැනගෙන සිටී. බ්‍රිතාන්‍ය රජය විසින් ක්‍රියාත්මක කරන විගණන සහ ක්‍රියාදාම පද්ධති ඔස්සේ මෙම තොරතුරු පරීක්ෂා කෙරෙයි. තවද, යොවුන් වියෙහි දරුවන් වැඩිවීමෙන් පසුව ඔවුන් විසින් බ්‍රිතාන්‍ය ආර්ථිකයට සහ සමාජයට කරන දායකත්වය අගනා බව ඉතිහාසයම සහතික කරයි.
ඇමරිකාව විසින් සහ යුරෝපා රටවල් විසින් යුක්රේන යුද්දයට ලබා දුන් මුදල් ප්‍රමාණය කොපමණදැයි කිවහොත් සංවර්ධනය වෙමින් පවතින රටවල් 10ක් මධ්‍යම පාන්තික රටවල් ලෙස පරිවර්තනය කිරීමට තරම් හැකි මුදලක් නාස්තිකාර යුද්ධයක් වෙනුවෙන් වියදම් කරද්දී එම රටවල් විසින් ම නිර්මාණය කර ඇති දුප්පත් රටවල් වල මිනිසුන් මෙකී රටවලට පැමිණ සරණාගතභාවය පැතීම වැරැද්දක් නොවන බව තේරුම් ගත යුතුය. පැහැදිලි සත්‍ය එයයි
ශ්‍රී ලංකාවෙන් බ්‍රිතාන්‍යය වෙත Law- skill worker යටතේ පිවිසෙන බොහෝ සේවකයන් අද මුහුණ දෙන්නේ වංචා සහ පීඩාවන්ගෙන් පිරි සහිත තත්ත්වයකටය. බ්‍රිතාන්‍යයේ සත්කාර සේවයේ අවශ්‍යතාවය ඉහළ යෑමත්, එයට පිවිසීමට Skilled Worker Visa යටතේ ලැබෙන අවස්ථාවත් පසුගිය කාලයේ බොහෝ අය හට විදේශගත වීමේ ආශාවන් දැල්වූවද, එය බොහෝ විට ඔවුන්ගේ ජීවිතය විනාශයට පත් කරන මගක් බවට පත්වී ඇත.
බ්‍රිතාන්‍යයේ සිටින සමහර තක්කඩියන් recruitment agency සමග මැදිහත් වී බොහෝ ශ්‍රී ලාංකිකයන්ගෙන් රැකියාවක් ලබාදීමේ පොරොන්දුවක් ඔස්සේ ලක්ෂ ගණනින් මුදල් ඉල්ලීම් කරනු ලබයි. සමහරුන් ඒ මුදල් රැගෙන පළා යති. අනෙක් කොටසකට COS (Certificate of Sponsorship) ලබා දුන්න ද, ඒවා බොහෝවිට forged හෝ fake documents වන අතර බ්‍රිතාන්‍යයට පැමිණි පසු ඔවුන් වින්දිතයන් බවට පත්වී ඇති බව පෙන්වා දිය යුතුය.
සමහර සේවකයන් කෙටි කලකට පසු, රැකියාව ලබා දී ඇති අය හට රැකියා ගිවිසුමේ සඳහන් සේවා කාලය පැය 40 ක් වෙනුවට සතියකට පැය 10-15ක් පමණක් ලබා දී ඔවුන්ගේ ජීවිතය ආර්ථිකව විනාශ කරයි. නිවාඩු නොදීම, රජයේ නිවාඩු දිනයන්හි අතිකාල නොගෙවීම, සහ accommodation සඳහා අධික මුදල් ඉල්ලීමද සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වී ඇත. සමහරුන් visa documents මඟින් බියට පත් කර වැඩ කරවා ගැනීම මගින් නූතන වහල් සේවයේ තත්ත්වයකට ආසන්න දුරකට රැගෙන ගොස් ඇත.
මෙවැනි අනියම් තත්ත්වයන් වළක්වා ගැනීමට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ විදේශ රැකියා අමාත්‍යංශය මෙතෙක් කිසිදු ගැඹුරු සහ ක්‍රියාත්මක වශයෙන් බලපාන ක්‍රියාවලියක් හඳුන්වා දී නැත. අඩුම තරමින් තමන්ට ලැබෙන අනුග්‍රාහක සහතිකය (COS letter) එක සත්‍යද? sponsor license එකට අදාලව බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි වී ඇති ආයතනයක් ඇත්ද? යන්න පිළිබඳව තහවුරු කරගැනීමට (verification) ක්‍රමයක් නොමැතිව ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ ජීවිතය සහ මුදල් අනියම් අයගේ අතට භාර දීමට සිදුවී ඇත.
විශේෂයෙන්ම, මේ වංචා high-skill visa වලින් පැමිණෙන වෛද්‍යවරුන්, IT විශේෂඥයන්, ඉංජිනේරුවන් සඳහා ද බලපා ඇත. බොහෝවිට ඔවුන්ට ද උසස් වැටුප් සහ පළපුරුදු රැකියා ලෙස පෙන්වා මුදල් ගෙවූ පසුව low-skill care work contract එකක් යටතේ සේවය කිරීමට සිදුවන අවස්ථාවන්ද මෙම ක්‍රියාදාමයන් තුල දක්නට ලැබේ.
මෙවැනි තත්ත්වයන්ට පත් වීම වළක්වා ගැනීම සඳහා සේවකයන්ට අවශ්‍යයම ක්‍රියාවලියක් වන්නේ රැකියා දෙන මැදිහත් කරුවන්ට මුදල් ගෙවීමට පෙර COS letter එක සත්‍යදැයි පරීක්ෂා කිරීම, Sponsor company එක UKVI-approved දැයි දැනගැනීම සඳහා අඩුම තරමින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මැදිහත් විය යුතුය.
ඉන්දියාව ඇතුළු වෙනත් රටවල් බ්‍රිතාන්‍ය සමග භාණ්ඩ හා සේවා වෙළඳ ගිවිසුම් වලට එක් වෙමින් තම රටේ සේවකයන්ට නිදහසේ බ්‍රිතාන්‍ය වැනි රටවල් වලට සංක්‍රමණ පහසුකම් සපයා දෙද්දී අපේ විදේශ සේවයේ මුලික කාර්යය ලෙස උප්පැන්න සහතික, මරණ සහතික නිකුත් කිරීම් වැනි කාර්යයන් වලට මුල් තැන දී කටයුතු කරයි. නැවත විදේශ සේවය මොන්ටිසෝරි යවා තානාපති සේවය යනු කුමක්දැයි අධ්‍යාපනයක් දීමෙන් අනතුරුව තානාපති සේවයට ස්ථානගත කිරීම සුදුසු බව අපගේ හැඟීමයි
අපගේ රටේ නව පරපුරක් ජීවිතයක් සෙවීමට පිටව යද්දී, ඔවුන්ගේ අනාගතය කවරෙකුගේ වංචාවකට විඳවන්න නොදිය යුතුය. ඒ සඳහා රජය දැඩිව මැදිහත් වනු ඇතැයි ජනතාව බලාපොරත්තු වේ .
YOUTUBE මගින් කටමැත දොඩවමින් බ්‍රිතාන්‍යට පැමිණි ශ්‍රමිකයින්ගේ සත්කාර සහතික පත්‍ර හොර ඒවා යැයි කියන ගමන්ම ඉංග්‍රීසි භාෂාව බැරියැයි අවමන් කරන ඉතාම අතලොස්සක් පිරිසක් සිටින රටේ බ්‍රිතාන්‍යයේ පදිංචි හදවත සොඳුරු ශ්‍රී ලාංකික නීතිවේදීන්ට දැන් ඉතා වැදගත්, මානුෂීය සහ නීතිමය වගකීමක් තම කර මත වැටී ඇත. ඔවුන්ගේ භූමිකාව සීමාවක් නොවී, ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ අනාගතය සුරැකීම වෙනුවෙන් කටයුතු කළ යුතුය. මේ සඳහා නීතිමය උපදෙස් සපයමින් පවතින නීති යටතේ ILR සඳහා සුදුසුකම් සෙවීමේ ක්‍රමවේද පැහැදිලි කර දිය යුතු අතර, ඒ සඳහා සටන් කළ යුතුය. නව යෝජනා සම්මත වුවහොත් එම ප්‍රතිඵල පිළිබඳව ද නීතිමය මඟපෙන්වීමක් ලබා දිය යුතුය. නීති පසුගාමීව ක්‍රියාත්මක වීමකට මුහුණ දීමට සිදු වූ විට Judicial Review හෝ Human Rights Grounds මත අභියෝග කිරීම සඳහා නියෝජනය කිරීම ද මෙයට අයත්ය. තවද, ශ්‍රමිකයන් නීතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා webinars, Q&A sessions, community meetings ආදී ක්‍රියාකාරකම් සංවිධානය කරමින් අවශ්‍ය මග පෙන්වීම කළ යුතුය.
මෙම නව නීති යෝජනාව මත, බ්‍රිතාන්‍යයේ සේවය කරමින් තම දරුවන්ට උගන්වමින් රැකියාවේ නොයෙකුත් පීඩා මැද රෝගීන්ට ප්‍රතිකාර කරමින්, සමාජය සඳහා දායකව සිටින ශ්‍රී ලාංකිකයන්ට අවතැන්වීමක් විය නොහැක.
නීතිය වෙනස් විය හැක, නමුත් මනුෂ්‍යත්වය නොවෙනස් විය යුතුය.
ලංකා ඊ නිව්ස් අවධාරණය කර සිටිමු
---------------------------
by (2025-05-15 20:15:23)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි