~

සරත් ෆොන්සේකාගේ සල්ලි බිලියන ගාණකට විද්ද ටිරාන් අලස්ට හරක් කටාගේ කෝටි 30 කජ්ජක්ද ?

-Captain-10 ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.මැයි.25, පෙ.ව.6.55) සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු යයි කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ''හරක් කටා'' කොළඹ මහාධිකරණ භූමියේදී පසුගියදා කළ ප්‍රකාශය මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.

කොළඹ මහාධිකරණයේ තිබූ නඩුවකට පෙනී සිටීම සඳහා STF, පොලිස් හා බන්ධනාගාර නිලධාරීන්ගේ අති විශේෂ ආරක්ෂාවක් යටතේ පෙනී සිටි ඔහු නැවත බන්ධනාගාරයට රැගෙන යන විට, මාධ්‍ය ඉදිරියේදී ප්‍රකාශ කළේ රුපියල් කෝටියකට වඩා වියදම් කරමින් තමන්ව තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින්නේ ටිරාන් අලස්ට හා දේශබන්දු තෙන්නකෝන් හට රුපියල් කෝටි 30ක් නොදීම නිසා බවයි.

හරක් කටා හෙවත් නදුන් චින්තකගේ මෙම ප්‍රකාශය ලැව් ගින්නක් සේ මාධ්‍ය වල විකාශය වූ අතර ඔහු කළ චෝදනාව පිලිබඳව වහාම විමර්ශනයක් කළ යුතු බව බොහෝ මාධ්‍ය හරහා NPP ආණ්ඩුවට බලකර සිටියහ.

හොරාගේ අම්මාගෙන් පේන ඇසීම හෙවත් ආනන්ද විජේපාලගේ විමර්ශනය..

මෙම බල කිරීමත් සමග නෑසූකන්ව සිටීමට නොහැකිවූ තැන හරක් කටාගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව වහාම විමර්ශනයක් කරන ලෙස මහජන ආරක්ෂක ආමාත්‍ය ආනන්ද විජේපාල වැඩ ආවරණය කරන පොලිස්පතිවරයාට නියෝග කළ බවත්, ඒ සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ නිලධාරීන් කණ්ඩායමක් පත්කළ බවත්, පොලිසිය නිවේදනය කළේ ය.

අප්‍රිකා මහද්වීපයට ආසන්න රාජ්‍යයක් වන මැඩගස්කරයේ සිටියදී එරට පොලිසිය විසින් අහම්බෙන් අත්අඩංගුවට ගෙන මෙරට පොලිස් බලධාරීන් හට භාර දුන් නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘’හරක් කටා’’  හා සලිඳු මල්ෂික ගුණරත්න හෙවත් "කුඩු සලිඳු" යන දෙදෙනා 2023 මාර්තු 15 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙරටට රැගෙන එනු ලැබීය.

ඔවුන් දෙදෙනා දිගු කාලයක් අත්අඩංගුවේ රඳවා තබා ගැනීම සඳහා එවකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් ගේ නිර්දේශ මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සැකකරුවන් දෙදෙනාට රඳවා තබා ගැනීමේ නියෝගයකට (Detention Order) අත්සන් කලේය.

එතැන් පටන් මේ වනතෙක් ඔවුන් රඳවා සිටියේ ත්‍රස්ත විමර්ශන ඒකකය යටතේ නිසා හරක් කටාගේ මෙම චෝදනාව ගැන ස්වාධීන විමර්ශනයක් කිරීම සඳහා CID යට හෝ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට නොපවරා, විමර්ශනය මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල විසින් ත්‍රස්ත විමර්ශන ඒකකය වෙතම පැවරුවේය. මෙම ක්‍රියාව හරියට ''හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්'' බඳුය.

තමන් භාරව සිටින පොලිස් ඒකකය වන ත්‍රස්ත විමර්ශන ඒකකයට, පොලිසියේ හිටපු ප්‍රධානියාට හා පොලිසිය භාරව සිටි ඇමතිවරයාට විරුද්ධව හරක් කටා කළ චෝදනාවක් පිළිබඳව විමර්ශනය නැවත පොලිසිය වෙතම භාර දීම යනු හොරාගේ අම්මගෙන් පේන ඇසීමකි.

හරක් කටා කිව්වේ බොරු- ටිරාන් දේශබන්දු අහිංසකයි ...

ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් දියත් කරනු ලබන මෙම විමර්ශනයේදී හරක් කටා හෙවත් නදුන් චින්තක කිව්වේ ''බොරු'' බවත්, ටිරාන් හා දේශබන්දු ඔහු නිදහස් කිරීම සඳහා සත පහක් වත් ඉල්ලා නැති බවත්, හෙට අනිද්දා මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇත.

එවන් ප්‍රතිඵලයක් නොමැතිව දේශබන්දු - ටිරාන් යුගලය පිලිබඳ වැඩිදුරටත් විමර්ශනයක් දියත් වීම මේ කපේදී මෙම ආණ්ඩුව යටතේ සිදු නොවන බව කැට තබා කිව හැකිය. එයට හේතුව වන්නේ හරක් කටා නොව මහා සක්‍රයා පහලවී ටිරාන් අලස් හට කුමන මට්ටමේ දරුණු චෝදනා කළත්, ඔහුට විරුද්ධව විමර්ශනයක් කරන්නට හොරුන් අල්ලනවා කියා බලයට පැමිණි අනුරගේ ආණ්ඩුව තබා, ජාතියේ යුධ වීරයා වන සරත් ෆොන්සේකා ජනාධිපති වුවත්, ටිරාන් හිරගෙට යවන්නට සමත් ජගතෙකුගේ ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ මේ කපේදී බිහි නොවනු ඇත.

සරත් ෆොන්සේකාගේ ලිස්සා යාම...

LTTE යට විරුද්ධ යුද්ධයේදී හමුදාවට නායකත්වය දුන් ශ්‍රී ලංකාවේ සැබෑ යුධ වීරයා වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් හරක් කටා ටිරාන් අලස් ගැන කියූ දේ පිළිබඳව මාධ්‍යවේදියෙකු මෙම සිදුවීමෙන් පසු විමසු විටදී, ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා ටිරාන් අලස් ගේ නම නොකියා හෙමින් ලිස්සා ගොස් ප්‍රශ්ණය මග හැරියේය. ප්‍රභාකරන්ටත් බිය නොවූ ෆොන්සේකා ටිරාන් අලස්ට බය පක්ෂපාත බව මෙහිදී මනාව ඔප්පු කර සිටියේය.

Double Agent ටිරාන් අලස් ෆොන්සේකාගේ ගැලවුම්කරුවා වීම…

වර්ෂ 2009 මැයි 19 දින 30 වසරක යුද්ධය නිම කර ජනාධිපති මහින්ද රාජපක්ෂට විරුද්ධව දේශපාලන යුද්ධයට පිවිසි ජෙනරාල් සරත් ෆොන්සේකා වටකර ගත්තේ එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසකි. එහිදී මහින්දට එරෙහි ෆොන්සේකාට සහය දුන් දේශපාලන සන්ධානය වූ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ( Democratic National Alliance - හංසයා ලකුණ) මහලේකම් වුයේ ටිරාන් අලස් ය.

ටිරාන් අලස් ෆොන්සේකාගේ සන්ධානයේ මහලේකම් වුවත් ඔහු යටින් වැඩ කළේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුලට ය. එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ අති විශ්වාසවන්ත පුද්ගලයා වුයේ වෙන කවරෙකුටත් වඩා ටිරාන් අලස් බව අදටත් ඔහු ඔප්පු කරමින් සිටින්නේ, NPP ආණ්ඩුව යටතේත් ගෝඨාභයට විරුද්ධව කතරගම නිවස පිළිබඳ නඩුවට වඩා වෙන යමක් සිදු නොවන බවට සැක මතු කරමිනි.

ගෝඨාභය සම්බන්ධ මාතලේ සමූහ මිනීවල පිලිබඳ පරීක්ෂණය, පාස්කු ප්‍රහාරය පිලිබඳ පරීක්ෂණය, සීනි බදු වංචාව මෙන්ම ටිරාන් අලස්ගේ නම ගෑවී ඇති W 15 නඩුව, හදිසි පාස්පෝර්ට් මිලදී ගැනීම් පිලිබඳ චෝදනාව, VFS ගනුදෙනුව, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් කප්පම් ගැනීම් වැනි චෝදනා කිසිවක් අධිකරණයක් ඉදිරියට  නොඑනු ඇතැයි සැක සිතේ.

ෆොන්සේකා සිරගත කරන්නට ටිරාන් ගැසූ ගේම…

මහින්ද රාජපක්ෂට එරෙහිව 2010 ජනාධිපතිවරණයේදී ප්‍රතිවාදී අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා, ජනාධිපතිවරණයෙන් පරාජය වූ පසු ගෝඨාභයගේ නියෝගය පිට අත්අඩංගුවට ගෙන කොළඹ නාවික හමුදා මුලස්ථානයේ සිරකළ අතර, එතැන් පටන් ෆොන්සේකා පවුලේ විශ්වාසවන්තයා ලෙස හැසිරුනේ කපටි ටිරාන් අලස් ය.

ජෙනරාල් ෆොන්සේකා වැලිකඩට යැවූ පසු කිසි දිනක සිරබත් කෑවේද නැත. ඒ වෙනුවට ෆොන්සේකා මහත්මිය විසින් පිලියෙළ කළ ජෙනරාල් ෆොන්සේකාගේ ආහාර වේල ටිරාන් අලස් විසින් වැලිකඩ සිරදඬුවම් විඳිමින් සිටි ෆොන්සේකා වෙත යැව්වේ ගෝඨාභයගේ අනුදැනුම මතය. ඒ බවක් ෆොන්සේකා හා ඔහුගේ බිරිඳ දැන සිටින්නට ද ඇත.

ෆොන්සේකාගේ 2010 ජනාධිපතිවරණයට ලැබුණු මිලියන දහස් ගණනකට විද්දේ කව්ද ?

2010 පැවති ජනාධිපතිවරණයට ජෙනරාල් ෆොන්සේකා ඉදිරිපත් වීමෙන් පසු ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා විවිධ පුද්ගලයන් ගෙන් අති විශාල මුදල් සම්භාරයක් ලැබුණි. එවකට ප්‍රසිද්ධ වී තිබුනේ රුපියල් මිලියනයකට වැඩි පරිත්‍යාග ලබා දීම සඳහා පමණක් සන්ධානයේ මහලේකම් වූ ටිරාන් අලස් හරහා ෆොන්සේකා හමුවීමට ඉඩලබා දුන් බවයි. මෙලෙස ලැබුණු අති විශාල බිලියන ගණනක මුදල් පාලනය භාරව තිබුනේ ටිරාන් අලස්, ෆොන්සේකාගේ ලේකම් සේනක පෙරේරා, ෆොන්සේකාට සහය දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක, එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීර, මලික් සමරවික්‍රම වැනි කීප දෙනෙක් අත බව එවකට හංස සන්ධානයට සහය දුන් පිරිස් සාක්ෂි දරනු ඇත.

මහින්ද රාජපක්ෂට එරෙහි ජනාධිපතිවරණයෙන් පරාජය වූ ෆොන්සේකාට හුස්මක් වත් ගැනීමට ඉඩ නොතබා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය මත 2010 පෙබරවාරි 08 වැනිදා ෆොන්සේකා අත්අඩංගුවට ගත්තේය. ඊට පසු ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ කතාව නිමා වූ අතර පසුව හංස සන්ධාන දේශපාලනයේ නිරත වූ ඉහල පෙළේ පිරිස් අතර කතා බහට ලක්වුයේ ඡන්ද ව්‍යාපාරයට ලැබුණු අති විශාල මුදල් කන්දරාවට සිදුවූ දේ කුමක්ද යන්නයි.

ෆොන්සේකා සිරගතව සිටිද්දී මේ බව ඔහුටත් ආරංචිව තිබු නමුත්, ඔහු සිරගතව සිටි නිසාත්, ටිරාන් අලස් ඔහුගේ එකම ගැලවුම් කරුවා ලෙස පෙනී සිටීමත් නිසා ෆොන්සේකා ටිරාන් අලස්ගෙන් මේ ගැන විමසා ඔහු තරහ කර ගැනීමට අකමැති විය.  එනිසාම ජෙනරාල් ෆොන්සේකා මැතිවරණයට ලැබුනු මුදල් පිලිබඳ කතා නොකර සිටියේය. එමෙන්ම ටිරාන් අලස්ගේ ''ඩබල් ගේම'' පිළිබඳව සරත් ෆොන්සේකාට පසුව අවබෝධ වූ අතර ඔහු සිරගත වී සිට නිදහස් වීමෙන් පසු ටිරාන් අලස් හා මිත්‍රත්වය අතහැර දැමුවේය. අදටත් ෆොන්සේකා හා ටිරාන් ‘නයාට අඳුකොළ’ මෙන් යයි පැවසුවොත් එය ඉතා නිවැරදිය.

දැනගන්නට ඇති පරිදි, ජෙනරාල් ෆොන්සේකාගේ 2010 ජනාධිපතිවරණය සඳහා දෙස්, විදෙස් ශ්‍රී ලාංකිකයන් ගෙන් ප්‍රසිද්ධියේ හා අප්‍රසිද්ධියේ අති විශාල මුදල් ප්‍රමාණයක් ලැබී ඇති අතර ඉතිරිව තිබු අති විශාල මුදලක් මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වූ ටිරාන් අලස්  විසින් ගල් කර තිබේ.

‘මව්බිම’ මාධ්‍යවේදියා කාර්යාලයට කැඳවා ටිරාන් දුන්නු උපදෙස්…

සරත් ෆොන්සේකා වසර දෙකක් සිරගත කර සිට 2012 මැයි 21 දින නිදහස් කරනු ලැබූ අතර ඊට දින කීපයකට පසුව ඔහු කොළඹ ‘ටාජ් සමුද්‍ර’ හෝටලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විය. එම මාධ්‍ය හමුව පිළිබඳව ටිරාන් අලස් හා ඔහුගේ පුවත්පත වූ 'මව්බිම' පුවත්පත දැඩි අවධානයකින් පසු වූ අතර මාධ්‍ය හමුවට පුවත්පත නියෝජනය කරමින් සහභාගී වූ මාධ්‍යවේදියා පුද්ගලිකවම සිය කාර්යාලයට කැඳවූ ටිරාන් අලස් ඔහුට උපදෙස් දුන්නේ ෆොන්සේකාගේ මැතිවරණයට කොපමණ මුදලක් ලැබුනේද, ලැබුනු මුදල් වියදම් කළ ආකාරය කෙසේද? යන්න මාධ්‍ය හමුවේදී විමසන ලෙසයි.

ෆොන්සේකාගේ මාධ්‍ය හමුවේදී මව්බිම මාධ්‍යවේදියා එම ප්‍රශ්නය කෙලින්ම ඔහුගෙන් විමසා සිටි අතර ෆොන්සේකා එයට මෙසේ පිළිතුරු දුන්නේය.

''අපිට මිලියන 1000 ක් විතර හම්බ උනා. ඒකෙන් වැඩි හරියක් වියදම් කළේ ප්‍රචාරක හා මාධ්‍ය කටයුතු වලට, තමුන්නාන්සේලාගේ ආයතන වලට තමයි අපි සල්ලි දුන්නේ". පිළිතුර එපමණකි.

ටිරාන් අලස්ට ෆොන්සේකාගෙන් මුදල් ගැන දැනගන්න වුවමනා වුනේ ඇයි?

ජෙනරාල් ෆොන්සේකා හා ඔහුගේ ලේකම් සේනක පෙරේරා සිරගත කිරීම නිසා මැතිවරණයෙන් පසු ගනුදෙනු බේරීමට හා ඉතිරි මුදල් වල වගකීම පැවරුනේ පක්ෂ මහලේකම් ටිරාන් හා ෆොන්සේකාගේ මැතිවරණ කමිටුවේ සිටි අනුර දිසානායක හා මංගල සමරවීර, මලික් සමරවික්‍රම වැනි පිරිසකටය. තමාගේ මැතිවරණ ව්‍යාපාරයට ලැබුනු මුදල් ප්‍රමාණය කොපමණද යන්න ෆොන්සේකා පවා හරියටම දැන නොසිටි අතර ඒ පිලිබඳ දැන සිටියේ ඉහත කී පිරිස පමණි.

ටිරාන් අලස් - ෆොන්සේකා මිත්‍රත්වය නිමවීමත් සමග තම මැතිවරණයට ලැබුනු මුදල් ගැන ෆොන්සේකාට ඇති අවබෝධය ගැන දැන ගැනීමට අලස්ට ක්‍රමයක් නොවීය. එහෙත් යම්, යම් දේ ඔහුට බන්ධනාගාරය හරහා ආරංචි වී තිබු අතර  එම ආරංචි වලින් අලස්ට දැනගන්නට ලැබුනේ මැතිවරණයට ලැබුණු මුදල් පිලිබඳ ෆොන්සේකාට දැනගන්නට ලැබී ඒ පිළිබඳව ඔහු නොසතුටෙන් සිටිනා බවයි. ඒ පිලිබඳ සැකහැර දැන ගැනීම සඳහා ඔහු ෆොන්සේකාගේ මාධ්‍ය හමුවේදී තම මාධ්‍යවේදියා ලවා එම ප්‍රශ්නයට පිළිතුරු ලබා ගත්තේය.

එහෙත් කිසිවෙකුට අවනත නොවන චරිතයක් ලෙස සැලකු ජෙනරාල් ෆොන්සේකා අවසානයේ සිය බිරිඳගේ බසට අවනත වී ටිරාන් සමග ගැටුමකට නොයාමට තීරණය කළේය. ඒ වනවිට ටිරාන් පසුපස සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුල බව සරත් ෆොන්සේකා සක්සුදක් සේ අවබෝධ කරගෙන සිටි නිසා සතුරාට වැඩි වාසි පවතින යුධ භූමියේදී තමන්ද පසු බැසිය යුතු යයි කියන යුධ න්‍යාය අනුව දේශපාලන පොර පිටියෙන්ද මදකට පසු බසින්නට සිතුවේය.

ෆොන්සේකාගේ සල්ලි නිසා ටිරාන්ගේ උගුලේ හසුවූ ජවිපෙ...

ෆොන්සේකාගේ සල්ලි බෙදී ගිය ආකාරය දන්නා ජනතා විමුක්ති පෙරමුණ ටිරාන්ගේ උගුලකට හසු වී තිබේ. ටිරාන්ට විරුද්ධව මොනතරම් චෝදනා නැගුවත් අනුරගේ NPP ආණ්ඩුව කිසිදු චෝදනාවක් නෑසුකන්ව සිටින්නේ මෙම රහස නිසා බව දන්නා සීමිත පිරිසක් සිටී. මේ පිළිබඳව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සත්‍ය දන්නා මුත් ඔහුද ටිරාන් අලස්ට විරුද්ධව නොයන බව දැනටමත් ප්‍රදර්ශනය කර තිබේ.

එහෙත් තරාතිරම නොබලා වරදකරුවන්ට දඬුවම් දෙන බවට ජනාධිපති අනුර ජනතාවට දුන් පොරොන්දුවට පයින් ගැසිය නොහැකි බව ඔහු පසක් කරගත යුතුමය. මෙය අසත්‍යක් නම් ඒ බව වචනයෙන් නොකියා ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු කාලය ඔහුගේ අත ළඟටම පැමිණ ඇත. ටිරාන් අලස් ගෝඨාභයගේ ආරක්ෂකයා ය. අනුර ටිරාන්ගේ ආරක්ෂකයා වෙනවාද එසේත් නැත්නම් ජනතාවගේ ආරක්ෂකයා වෙනවාද යන්න ජවිපෙ ප්‍රමුඛ NPP ආණ්ඩුව තීරණය කළ යුතුය.

-Captain-10

---------------------------
by     (2025-05-25 01:28:32)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links