-LeN මාණ්ඩලික වාර්තාකරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.මැයි.27, ප.ව.12.15) මීට සති දෙකකට පෙර යාපනයේ නල්ලුර් හී පේදුරු තුඩුව පාරේ විවෘත කෙරුණු ‘බැරිස්ටා’ කෝපි කඩය පසුගිය සති අන්තයේ වසා දැමුණේය. අන්තර් ජාතික කෝපි කඩ මාලාවක් වූ බැරිස්ටාව යාපනයේ නල්ලුර් හි ආරම්භ කළේ ලංකාව තුල ඇති 60 ශාඛාව හැටියටය.
මෙම බැරිස්ටා ශාඛාව විවෘත වූ වහාම එනම් පසුගිය මැයි 13 වෙනිදා යාපනයේ ශිවසේනා හා රුද්‍රසේනා කණ්ඩායම්වල වීරෝධතා එල්ල විය. දකුණු පළාත්වල බොදුබල සේනා හා රාවණා පරපුර සමඟද සබඳතා ඇති මේ හින්දු අන්තවාදිහු බැරිස්ටා නල්ලුර් ශාඛාව ඉදිරියේ පමනක් නොව යාපන නගර සභාව ඉදිරියේ ද එය වසා දැමීමට උද්ඝෝෂණය කරන්නට වූහ. මේ අන්තවාදීන්ගේ චෝදනව වූයේ නල්ලුර්, කන්දසාමී කෝවිලට මීටර් 400 දුරින් පිහිටි මේ බැරිස්ටා කෝපි කඩයේ කුකුල් මසින් තැනූ ආහාර විකිණීම නිසා එය වහාම වසා දැමිය යුතු බවයි.
මේ නිර්මාංශවාදීන්ගේ විරෝධයට දණ නැමූ යාපන නගර සභාව නල්ලුර් බැරිස්ටාව වසා දැමීමට පසුගිය සතිය ආරම්භයේම නියෝග කලහ. මෙය යාපනයේ මීට පෙර නොතිබූ දෙයකි. යුද්ධයට පෙරත් ඉන් පසුවත් යාපනයේ දෙමළ බස කතා කරන කතෝලික, ක්‍රිස්තියානි හා මුස්ලිම්වරු තමන් කැමැති සත්ව මස් විකුණුහ. මිලදී ගත් හ. අනුභව කළහ. මේ නිර්මාංශවාදය බලාත්කාරයෙන් අනෙකා පිට පැටවීම ආරම්භ වන්නේ වසර කීපයක පටන් ය. එනම් ඉංදියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ ආගමික ව්‍යාපාර වූ ශිවසේනා, රුද්‍රසේනා හා රාවණා සේනා යාපනයට පැමිණීමත් සමඟය. බීජේපී නායකයන් මෙහෙයවන මේ ආගමික ව්‍යාපාර මුස්ලිම්වරුන්ට හා කිතුනුවන්ට පරම හතුරුවෙයි. කුලවාදය පතුරුවයි. සෙසු කුලවලට වෙනස්කම් කිරීමට උගන්වයි. සමාජයේ පවත්නා ආගමික සංහිඳියාව විනාශ කරයි. මෙහි වඩාත්ම අනතුර ඇත්තේ මේ හින්දු අන්තවාදීන් පිටුපස උතුරු ඉංදියාවේ ක්‍රියාත්මක වෙන සන්නද්ධ රාෂ්ඨීය සවාම් සේවක සංඝය ද සිටීමය. මේ ව්‍යාපාරය ගව මස් බුදින මුස්ලිම්වරුන්ට හා දාලිත්වරුන්ට දඬුවම් කරයි. මිශ්‍ර කුල විවාහවලට එන කුල පීඩිත පෙම්වතුන් හා පෙම්වතියන් මරා දමයි.
මීට වසර දෙකකට පෙර, එනම් 2023 දී මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති, අම්බිකා සත්ගුණනාදන්, උතුරු ඉංදියාවේ හින්දු අන්තවාදීගේ යාපන ආගමනය ගැන අනතුරු හැඟෙව්වාය. එහෙත් කොළඹ බලධාරීහු ඒවාට නෑසු කණ් ඇතිව සිටියාහ. දැන් සිවසේනා හා රුද්‍රසේනා එළිපිටම අන්තවාදී දේශපාලනයේ යෙදේ. යාපනයේ බලවත් වෙල්ලාල කුල නායකයන්ගේ රැකවරණය මේ අන්තවාදීන්ට ලැබෙන බව පෙනේ.
---------------------------
by (2025-05-27 06:59:05)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි