-Captain - 10 ලියයි...
(ලංකා ඊ නිව්ස් -2025.මැයි.27, ප.ව.12.40) මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ අක්කර එකහමාරක ඉඩමක් අයථා ලෙස උපයාගත් මුදලින් මිලදී ගැනීම පිළිබඳව බැසිල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට විරුද්ධව මාතර මහාධිකරණයේ විභාග වන නඩුවේදී බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින නීතීඥ අනිල් සිල්වා ශ්‍රී ලංකාවේ වෛද්‍ය සංහතියටම බරපතල අපහාසයක් කෙළේය.
පසුගිය 22 වැනිදා මාතර මහාධිකරණ විනිසුරු අරුණ බුද්ධදාස මහතා ඉදිරියේදී මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී නඩුවේ තුන්වැනි විත්තිකරු වන බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ අධිකරණය ඉදිරියේ පෙනී නොසිටින බැසිල් රාජපක්ෂ ඒ සඳහා සාධාරණ හේතුවක් ඉදිරිපත් නොකරන්නේ නම් ඔහුට විරුද්ධව වරෙන්තු නිකුත් කරන ලෙසයි.
එහිදී බැසිල් රාජපක්ෂගේ නීතීඥ අනිල් සිල්වා අධිකරණය ඉදිරියේ පවසා සිටියේ තම සේවාදායකයා ඇමරිකාවේ සිය නිවසේ සිටියදී හදිසි අනතුරකට මුහුණ දීම නිසා අද දින අධිකරණයේ පෙනී නොසිටින බවයි.
එහිදී නීතීඥ අනිල් සිල්වා ප්‍රකාශ කලේ තම සේවාදායක බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිය නිවසේදී 'පුටුවකින් වැටීම' නිසා හිසෙහි හා බෙල්ලේ ස්නායු අබාධයකට ලක්ව ඇති හෙයින් ඒ සඳහා ඔහු ප්‍රතිකාර ගන්නා නිසා ගුවන් ගමන් වලින් වැළකී සිටින ලෙස ඇමරිකාවේ වෛද්‍යවරු නිර්දේශ කර ඇති බවයි.
එනිසා නඩුවට පෙනී සිටීමට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් ප්‍රවේශපත් වෙන් කරනු ලැබුවත් මෙම හදිසි අනතුර හේතුවෙන් ඔහුට අද දින නඩුවට පෙනී සිටිය නොහැකි බව නීතීඥ අනිල් සිල්වා ප්‍රකාශ කළේය. එමෙන්ම තම සේවාදායක බැසිල් රාජපක්ෂ හට මෙම නඩුව මගහැර සිටීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, ලබන නඩු වාරයෙදී ඔහු පෙනී සිටිනු ඇති බවත්, එම නිසා ඔහුගේ ඇප අවලංගු කිරීමක් හෝ වරෙන්තු නිකුත් කිරීම අනවශ්‍ය බවත් නීතීඥ සිල්වා සඳහන් කළේය.
මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය ප්‍රකාශ කළේ..
''ස්වාමීනී, තුන්වැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥවරයා අධිකරණය හමුවට ලේඛණ කීපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තා දෙකක්ද තියෙනවා. ඉන් එක වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන්නේ 2025 මාර්තු 18 වැනිදා. එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ ඔහුගේ ඉරියව් වල වැරදි හේතුවෙන් සාමාන්‍ය ෙආතරයිටීස් තත්ත්වයකින් ඔහු පසුවන බවයි. එම නිසා එම වෛද්‍ය වාර්තාවෙන් නිර්දේශ කර ඇති ප්‍රතිකාර දින 14 ක් යනතුරු ක්‍රියාත්මක කරන ලෙසත්, තත්ත්වය දරුණු වුවහොත් පමණක් වහාම රෝහලට පැමිණෙන ලෙස එම වාර්තාවෙන් දන්වා සිටිනවා.
මොහු දින 14කට පසු අසාධ්‍ය තත්ත්වයකට පත්වී වැඩිදුර ප්‍රතිකාර ගත් බවක් මෙම වාර්තාවල ඇත්තේ නැහැ. එවැනි පසුබිමක 2025 අප්‍රේල් සිට 2025 ඔක්තෝඹර 15 දක්වා සැකකරුට ගුවන් ගමන් වල නොයෙදෙන ලෙස තවත් වෛද්‍යවරයෙකු ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තා පිළිගත නොහැකියි. මොහු සත්‍ය යයි පෙනෙන අසත්‍ය වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිසා මොහුගේ ඇප අවලංගු කළ යුතුයි ''
ඊට බැසිල් රාජපක්ෂගේ නීතීඥ අනිල් සිල්වා මෙසේ පිළිතුරු දුන්නේය.
'' මගේ සේවාදායකයා රාජපක්ෂ පවුලේ අයෙකු නිසා නීතිපති දෙපාර්තමේන්තුව ඔහුට විරුද්ධව වරෙන්තු ඉල්ලනවා. නීතිපති දෙපාර්තමේන්තුව මෙය නොකළ යුතු දෙයක්. අපි ආයතන නොමග යවල කටයුතු කර නැහැ. මෙතුමිය මේ කියන්න හදන්නේ මගේ සේවාදායකයා හොරා කියලනේ. ඔහු නඩු වාර 23 කට ඇවිත් තියෙනවා. මට වෛද්‍ය විද්‍යාව ගැන දැනුමක් නැහැ. මම දන්නේ නැහැ මේ වෛද්‍ය වාර්තා බොරුද කියල. මම හිතන්නේ නැහැ ලංකාවේ වෛද්‍යවරු වගේ ඇමරිකාවේ වෛද්‍යවරුත් හොරු කියල. නීතිපති දෙපාර්තමේන්තුව හරි කැමති ඇති මගේ සේවාදායකය රාජපක්ෂලා ලොකු ලෙඩක් හැදිලා මැරිලා යනවනම්. හොඳ වුනත් , නරක් වුනත් ඒ මිනිස්සුත් ලංකාවේ ඉන්න ඕනනේ. ඉදිරි නඩු දිනේදී ඔහු එනවා ස්වාමීනී."
මෙයට පිළිතුරු දුන් ලක්මිණී ගිරිහාගම මෙනවිය පැවසුවේ නීතිපති දෙපාර්තමේන්තුව පුද්ගල නාම වෙන් කර ක්‍රියා නොකරන බවයි.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා තීරණය කළේ සැකකරු මේ මොහොතේ අධිකරණය මගහරින බවක් පෙනෙන්නට නැති නිසා නඩුව තවත් මාස 6 කින් එනම් ලබන නොවැම්බර් 21 දක්වා කල් තැබීමටයි.
මෙම නඩුවේ පළමු වග උත්තරකරු වන්නේ බැසිල් රාජපක්ෂගේ බිරිඳගේ සොහොයුරියගේ සැමියා වන තිස්ස ගලප්පත්ති ය. දෙවන සැකකරු ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි ය. සිව්වැනි සැකකාරිය බැසිල්ගේ බිරිඳගේ සොහොයුරිය වන අයෝමි ගලප්පත්තිය.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය සංහතියටම කළ මෙම බරපතල අපහාසය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ට කට උත්තර නැතුව ගොස් තිබේ. රටේ යහපත් වෛද්‍යවරුන් කොතෙක් සිටියත් රාජපක්ෂලාට කඩේ යන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රාජපක්ෂලා නියෝජනය කරමින් අධිකරණය ඉදිරියේ සමස්ත වෛද්‍ය සංහතියට එල්ල කළ මෙම බරපතල අපහාසයට විරුද්ධව අවම තරමේ නිවේදනයක් හෝ නිකුත් කරන්නට තරම් කොන්දක් GMOA ට නැත්තේ ඇයි දැයි හොරුන් නොවන වෛද්‍යවරු රාශියක් මේ වනවිට GMOA න් විමසන්නට පටන් ගෙන තිබේ.
---------------------------
by (2025-05-27 07:14:25)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි