~

"කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ" -මහින්දානන්ද සහ නලින් හඬමින් හිරේට..! විනිසුරුවරුන්ට මල් කළඹක්..!

(ලංකා ඊ නිව්ස් -2025.මැයි.29, ප.ව.5.45) හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට වසර 20 ක් බරපතල වැඩ සහිත සිර දඬුවම් ද, හිටපු වෙළඳ අමාත්‍ය සහ හිටපු සතොස සභාපති  නලින් ප්‍රනාන්දුට වසර 25 ක් බරපතල වැඩ සහිත සිර දඬුවම්ද අද කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියම කළේ ය. ඊට අමතරව නලින් ප්‍රනාන්දුට රු. ලක්ෂ 4 ක දඩයක්ද, මහින්දානන්දට රු. ලක්ෂ 2 ක දඩයක් ද නියම කෙළේ ය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ 2014 සැප්තැම්බර් 01 දා සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුල ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් බෝඩ් 11,000 ක් ආනයනය කර ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53.1 ක පාඩුවක් සිදු කළේ යැයි මොවුන්ට එරෙහිව චෝදනා නගා නඩු පැවරුවේ අල්ලස් හා දූෂන විමර්ෂන කොමිසම විසිනි. එවකට සතොස සභාපති ධූරය දැරුවේ පසුව වෙළඳ ඇමැති ධූරයට පත් කළ නලින් ප්‍රනාන්දු ය. 

අල්ලස් කොමිසම නඩු පවරා තිබුනේ අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ ය.

තීන්දුව නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය, මෙම විත්තිකරුවන් තම ධුරයේ බලතල අයුතු ලෙස පරිහරණය කරමින් වැරදි ක්‍රියාවක් සිදුකර ඇති බව සඳහන් කළාය.

මෙම වරද හේතුවෙන් මහජන බදු මුදලින් අයකරගෙන තිබූ රුපියල් මිලියන 53කට අධික මුදලක් රජයට අහිමි වී ඇති අතර, ඉන් මහ ජනතාවට විශාල පාඩුවක් සිදුවූ බවත් ඇය පෙන්වා දුන්නාය. 

එම නිසා මෙවැනි වැරදි සිදුකිරීමට සූදානම් වන පුද්ගලයින්ට පාඩමක් කියාදෙන ආකාරයේ සහ දූෂණ විරෝධී පුද්ගලයින් අභිප්‍රේරණය වන ආකාරයේ තීන්දුවක් ලබාදෙන ලෙසත් අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඇය ඉල්ලා සිටි පරිදිම මහේෂ් වීරමන් විනිසුරුගේ සභාපතිත්වයෙන් ද ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් යුත් විනිසුරු මඩුල්ල මදියි නොකියන්නම ඉහත කී තීන්දුව ප්‍රකාශයට පත් කෙළේ ය. විනිසුරු මඩුල්ල වැඩි දුරටත් කියා සිටියේ පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කර ඇති බවයි. 

නඩු තීන්දුව ඇසීමත් සමග මහින්දානන්දගේ දෑසින් කඳුළු කඩා වැටෙනු දක්නට ලැබිණ. පසුව දෙදෙනාටම මාංචු දමා බන්ධනාගාර රිය වෙත ගෙන ගිය අතර පසුව වැලිකඩ බන්ධනාගාරය වෙත දෙදෙනා රැගෙන ගියේ ය.

අදීන විනිසුරුවරුන්ට මල් කළඹක්..

නලින් ප්‍රනාන්දු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා පෙනී සිටි අතර මහින්දානන්ද වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ පෙනී සිටියේ ය. ජනාධිපති නීතිඥයන් ඇල්ලූවද වරදක් කර ඇතිනම් ඵලක් නොවන බව මහාධිකරණ විනිසුරුවරු අද පෙන්වා දුන්හ. 

ජනතාවගෙන් මල් මිටක් නොව මල් කළඹක් ම අදීන විනිසුරුවරුන් වෙත පිදෙනු ඇත. මන්ද යත් මහජනතාව දශක ගණනාවකට පසු ජනතා ආණ්ඩුවක් පත් කරන ලද්දේ ප්‍රධාන වශයෙන් පසුගිය කාලයේ රට බංකොලොත් වෙනතුරුම මහජන දේපොල හොරා කෑ දේශපාලක අලුගුත්තේරුවන්ට දඬුවම් දෙන ලෙස ඉල්ලමින් බැවිනි. ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන එක් ආයතනයක් වන අධිකරණය ජනතාවගේ එම ජන මතය නිසි බරින් යුතුව ගෙන ඇති බව මෙවැනි තීන්දු මගින් පැහැදිලි වේ. මහජන මුදල් විනාශ කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරයෙකු සිරගත වූයේ ලංකාවේ පළමුවරට ය. 

මැරෙන්න වෙන්නේ මහ උළු ගෙදරම ය..

මහින්දානන්ද පසුගියදා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටියේ අසූචි පොහොර නැවක් ගෙන්වා රටට සිදුකරන ලද රු. කෝටි 130 තරම් මහා පාඩුව සම්බන්ධයෙනි. එම නඩුව ද නුදුරේම විභාගයට ගැණෙනු ඇත. කෝටි 5 කට වසර 20 ක් නම් කෝටි 130 කට කොතරම් සිර දඬුවම් නියම වේදැයි සිතා ගත හැකි ය. මහින්දානන්දට මැරෙන්න සිදුවන්නේ ද මහ උළු ගෙදරම බව ඒකාන්ත ය. මන්ද යත් සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට මහින්දානන්දලාගේ පිලේ එකෙක් යළි කවදාවත් ජනාධිපති නොවන නිසා ය.

"කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ" යනුවෙන් ලෝ වැඩ සඟරාවේ සඳහන් වන්නේ නිකමට නොවේ. 

---------------------------
by     (2025-05-29 13:16:14)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links