-Captain -10 ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.05, ප.ව.10.20) තංගල්ල පැරණි බන්ධනාගාරය තුළ ශ්‍රී ලංකා පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය යටතේ හුදකලාව රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ''හරක් කටා'' පසුගිය මැයි 14 වැනිදා කොළඹදී දේශබන්දු තෙන්නකෝන් හා ටිරාන් අලස්ට විරුද්ධව සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව වහාම විමර්ශනයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල නියෝග කළ බව පොලිසිය පසුදින ඉතාමත් උජාරුවෙන් නිවේදනයක් නිකුත් කළේය.
ඇමතිවරයාගේ නියෝගය අනුව එම විශේෂ විමර්ශනය ''හරක් කටා'' භාරව සිටින පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයටම භාර දුන් බව ශ්‍රී ලංකා පොලිසිය එම නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම් දුන්නේය.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් යැයි පොලිසිය හඳුන්වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘’හරක් කටා’’ නඩු කටයුත්තක් සඳහා කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර ආපසු රැගෙන යමින් සිටියදී මාධ්‍ය වෙත පැවසුවේ, තමන් තංගල්ල බන්ධනාගාරය තුළ මාසයකට රුපියල් කෝටියක් පමණ වියදම් කර රඳවා තබා ඇත්තේ හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අල්ලස් හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට රුපියල් කෝටි 30ක අල්ලසක් ලබා නොදීම නිසා බවයි.
මෙම ප්‍රකාශයට අමතරව නඳුන් චින්තක අධිකරණය ඉදිරියේදී එදින ප්‍රකාශ කළේ ඔහු විවිධ රෝගාබාධ වලින් පෙළෙන බවත්, වෛද්‍ය නිර්දේශ වලට අනුව ප්‍රතිකාර ලබා ගැනීමට තංගල්ල ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානියා ඉඩ නොදෙන බවත්ය. මෙම ප්‍රකාශයට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ හරක් කටා වෙත අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට ක්‍රියා කළ යුතු බවයි.
පොලිසිය විසින් එම නිවේදනය නිකුත්කර මේ වනවිට සති 3 කට ආසන්න කාලයක් ගතවී ඇතත්, හරක් කටාගේ ප්‍රකාශය පිළිබඳව ප්‍රධාන චුදිතයින් වන ටිරාන් අලස් හා දේශබන්දු තෙන්නකෝන් ගෙන් හරක් කටාගේ කප්පම් චෝදනාව පිලිබඳව පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය අවම තරමේ ප්‍රකාශයක් හෝ ලබා ගත් බවක් වාර්තා නොවේ.
එමෙන්ම හරක් කටා ටිරාන් අලස් හා දේශබන්දු පිළිබඳව කළ චෝදනා හා, හරක් කටා තංගල්ල ත්‍රස්ත විමර්ශන ඒකකයට විරුද්ධව කළ චෝදනා පිළිබඳව, කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් හෝ විමර්ශනයක ප්‍රතිඵලයක් ගැන ඇමතිවරයා තවමත් ප්‍රසිද්ධියේ සඳහන් කර නැත.
කෙසේ වෙතත් හරක් කටා තමන් භාරව සිටින ත්‍රස්ත විමර්ශන ඒකකයට විද්ධව චෝදනා කර තිබියදී, එම චෝදනා ගැන විමර්ශන කිරීම ත්‍රස්ත විමර්ශන ඒකකයටම භාර දීම ''හොරාගේ අම්මාගෙන් පේන අහනවා'' වගේ වැඩක් යයි මුලදීම මාධ්‍ය වාර්තා කළේය.
හරක් කටාගේ චෝදනා පිළිබඳව ටිරාන් අලස් හා දේශබන්දු තෙන්නකෝන්ගෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය ප්‍රකාශ ගැනීම කෙසේ වෙතත්, දේශබන්දු ඔහුට විරුද්ධව W-15 නඩුවේ රජයේ සාක්ෂි කරුවන් වී සිටින දකුණු පළාතේ පොලිස් නිලධාරීන්ට විරුද්ධව බරපතල ප්‍රකාශයක් ඔහුට විරුද්ධව චෝදනා විමර්ශනය කරනු ලබන පාර්ලිමේන්තු කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබේ.
දේශබන්දු කමිටුව ඉදිරියේ පවසා ඇත්තේ නඳුන් චින්තක හෙවත් ''හරක් කටා'' දකුණු පළාතේ උසස් පොලිස් නිලධාරීන් හා සබඳතා පවත්වන බවයි. මෙම බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් දකුණු පළාතේ උසස් පොලිස් නිලධාරීන් රැසක් වැඩබලන පොලිස්පතිවරයා දැණුවත් කර ඇතැයිද, එවැනි සම්බන්ධතා ඇති අය පිළිබඳව දේශබන්දුගෙන් ප්‍රශ්නකර වහාම විමර්ශනයක් කළයුතු බවත් ඔවුන් වැඩබලන පොලිස්පතිවරයාට අවධාරණය කර ඇති බව එම පුවතෙන් වැඩිදුරටත් වාර්තා කර තිබේ.
W 15 හෝටලයට වෙඩි තැබීම ගැන විමර්ශනයෙදී දේශබන්දු ට විරුද්ධව දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා ඇතුළු පොලිස් නිලධාරීන් කීප දෙනෙකුම සාක්ෂි ලබා දීම හේතුවෙන් දේශබන්දු ඔවුන් කෙරෙහි වෛරයක් ඇතිකරගෙන ඇති අතර එම නිසා මෙවැනි ප්‍රකාශයක් සිදුකරන්නට ඇති බව බැලූ බැල්මට පෙනේ.
එහෙත් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරියගේ වගකීම විය යුත්තේ හරක් කටාගේ ප්‍රකාශ ගැන හා දේශබන්දු ගේ ප්‍රකාශ ගැන CID ය ලවා විශේෂ විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කිරීමයි. එහෙත් එවැනි විමර්ශනයකදී ටිරාන් අලස් ගැනද විමර්ශනය කිරීමක් සිදු කළ යුතු බැවින් පොලිසිය තුළ සිටින හෝ ඉන් බාහිරව සිටින අදිසි හස්තයක් මගින් මෙම ප්‍රකාශ ගැන වැඩි යමක් සිදු නොවන බව ඉඳුරාම පැවසිය හැකිය.
දේශබන්දු පොලිස්පතිව සිටි අවධියේදී හරක් කටාට සම්බන්ධ දකුණේ පොලිස් නිලධාරීන්ට විරුද්ධව කටයුතු නොකළේ මන්ද යන්නත් වහාම ඔහු ගැන විමර්ශනය කරන පාර්ලිමේන්තු කමිටුව හා ජාතික පොලිස් කමිටුව විසින් විමර්ශනයට ලක් කළ යුතු වේ.
දේශබන්දු අධිකරණය මග හරිමින් සැඟව සිටි කාලයේදී පොලිස් නිලධාරීන් ඔහුගේ හෝකන්දර නිවස සෝදිසි කිරීමේදී විස්කි හා වයින් බෝතල් දහසකට අධික ප්‍රමාණයක් සොයාගත් බවත් ඒවා අතුරුගිරිය පොලිසියට භාර දුන් බවත්, මාධ්‍ය වාර්තා කළේය. ඊට අමතරව ඔහුගේ රාජකාරී පිස්තෝලය හා ඇපල් වර්ගයේ දුරකථන 02ක් සොයාගත් බවත් එම දුරකථන ඔස්සේ විමර්ශන සිදුකරන බව පොලිස් ඇමති විජේපාල පාර්ලිමේන්තුවට කීවේය.
එහෙත් ඔහුගේ නිවසින් සොයාගත් නීති විරෝධී මත්පැන් කිසිවක් ශ්‍රී ලංකාවේ අධිකරණයකට ඉදිරිපත්කර නොමැති අතර දුරකථන වාර්තා පිලිබඳවද කිසිදු විමර්ශනයක ප්‍රතිඵල මාතර අධිකරණයට වාර්තා කර නැත. මෙම මත්පැන් තොගය ආපසු දේශබන්දු වෙත මුදා හැරිය බව පොලිස් අභ්‍යන්තර වාර්තා සඳහන් කරයි.
දේශබන්දුගේ හෝකන්දර නිවසේ අයිතිය ඔහු සතුව නොමැති බවත්, එම නිවසේ අයිතිය ඇත්තේ ඔහු මහණ වී සිටි අවධියේ එකට සිටි ඥාති හිමිනමකට බවත්, ඔහුට අයත් නිවාස 07 ක තොරතුරු ගැන මාධ්‍ය වාර්තා පළ වෙත්දී දේශබන්දුගේ නමට බයිසිකලයක් හෝ නොමැති, 2020 වසරෙන් පසු රටේ කිසිදු ප්‍රදේශයක ඡන්ද හිමි නාම ලේඛනයක හෝ නම ලියාපදිංචිවී නොමැති ඔහු ''අභිරහස්'' අයෙකු බව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ හෙළි කළ අතර එම හෙළි කළ තොරතුරු පිළිබඳව විමර්ශන නිලධාරීන් විසින් විමර්ශනය කර ඇත්ද යන්න තොරතුරු කිසිවක් මෙතෙක් ආනන්ද විජේපාල විසින් පාර්ලිමේන්තුවට හෝ ප්‍රකාශ කර නැත.
දේශබන්දු තෙන්නකෝන් හට W 15 නඩුවේදී ඇප දීමට දැඩි ලෙස විරුද්ධ වෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් පැවසුවේ දේශබන්දු නිදහසේ සිටියොත් විමර්ශන නියත ලෙසම අඩාල කරන බවත්, ඔහු නඩු විභාගය අවසානය තෙක්ම සිරගත කර තැබිය යුතු අයෙක් නිසා තමන් මෙයට විරුද්ධව ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කරන බවයි. එහෙත් අද වනතුරු එවැනි පෙත්සමක් ඉදිරිපත් කරන බවක් නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් පෙනෙන්නට නැත.
දේශබන්දු දවසක් හෝ එළියේ සිටීම අති භයානක යැයි පැවසු නීතිපති දෙපාර්තමේන්තුව දේශබන්දු ඇප ලබා මාසයක් ගතවෙත්දී වත් ඉදිරිපත් කරනවා යයි කියූ ප්‍රතිශෝධන අයදුම්පතට සිදුවූ දේ ගැන වෙනම විමර්ශනයක් සිදු කළ යුතුය.
එමෙන්ම මහේස්ත්‍රාත් වරයා ඇප ලබා දීමෙන් පසු අධිකරණ නියෝග නොතකා අධිකරණ භූමියට වාහනයක් ගෙන්වා පිටත්ව යෑමෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතිබව මහේස්ත්‍රාත් වරයා තීරණය කරනු ලැබුවත්, තවමත් අභියාචනාධිකරණය ඉදිරියේ අපහාස නඩුවක් ගොණු කරන්නට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන්නට සුදානම් බව පැවසුවත් තවමත් අභියාචනාධිකරණය ඉදිරියේ එවැනි නඩුවක් පවරා නොමැත. .
W 15 හෝටලයට වෙඩි තැබීම ගැන CID ය කළ විමර්ශනයෙදී මෙම සිද්ධියට එවකට මහජන ආරක්ෂක ඇමති ටිරාන් අල්ලස් සම්බන්ධ වූ අයුරු පිළිබඳවද විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කළ යුතු බව මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග කළේය.
ඊට පසුව ටිරාන් අල්ලස්ගේ වාහනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යන එන දර්ශන පමණක් මාධ්‍ය වාර්තා ඔස්සේ ජනතාවට දැක ගත හැකිවූ නමුත් එම වාහනයේ අල්ලස් කෙනෙක් සිටියේද, එවැනි අයෙකුගෙන් CID ය කට උත්තර ගත්තේද යන්නවත් තවමත් ජනතාවට රහසකි.
ටිරාන් අල්ලස් හා NPP ආණ්ඩුව අතර ඇති ළබැඳියාව පිළිබඳව මේ වනවිට මහජනතාව අතර බරපතල සැකයක් වර්ධනය වෙමින් පවතින බව ආනන්ද විජේපාලලා නොදන්නවා නොවේ. මේ පිළිබඳව වගකිව යුත්තේ කව්රුන්ද යන්න ඔවුන් ජනතාවට හෙළි කළ යුතුය.
මෙම නඩුව අවසන් වරට පසුගිය මැයි 23 වැනිදා මාතර මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවූ පසු නඩුව ලබන ඔක්තෝඹර් මාසය තෙක් කල් දමමින් දෙපාර්ශවයටම මාස 06ක කාලයක් ලබා දී තිබේ. මේ කාලය තුළ දිලීප පීරිස් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට අනුව නඩුවේ විමර්ශන කටයුතු දේශබන්දු සිය පොලිස් සගයන්ගේ සහයෙන් අඩාල කරනු ඇත්ද, නැතහොත් නීතිපති දෙපාර්තමේන්තුවේ දක්ෂතාවයෙන් දේශබන්දු ඇතුළු සැකකරුවන්ට නීතියේ තොණ්ඩුව හිමි කර දෙන්නට කටයුතු සිදුවේද යන්න ජනතාව විමසිල්ලෙන් බලා සිටිනු ඇත.
---------------------------
by (2025-06-05 17:01:55)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි