~

අනුදී ගුණසේකර ගේ පරාජයෙන් ඉගෙන ගත හැකි පාඩම කුමක් ද?

-ආනුභාවනන්ද ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.06, ප.ව.8.25) වසර 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයට සුදුසුකම් ලැබූවේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවයි. එවර ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගන්නා කණ්ඩායම පිළිබඳ අර්ජුන රණතුංගගේ තක්සේරුව කුමක්දැයි විදේශ මාධ්‍ය ආයතනයක් ප්‍රශ්න කළේ ය. තමා හදවතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන නමුත් තරඟයෙන් ජයගැනීමට වැඩි අවස්ථාවක් ඉන්දියාවට ඇති බව අර්ජුන කියා සිටියේ ය. ඔහුගේ අනාවැකිය තහවුරු කරමින් ඉන්දියාව ලෝක කුසලානය දිනා ගත්තේ ය. ඒ වකවානුවේ රට පාලනය කළේ රාජපක්ෂලා ය. අර්ජුන විපක්ෂයේ මන්ත්‍රීවරයෙකි. මේ ක්‍රිකට් අනාවැකිය හේතුවෙන් රාජ්‍ය  මාධ්‍ය සහ රාජපක්ෂ බයියෝ අර්ජුනව “දේශද්‍රෝහියෙකු” වශයෙන් හංවඩු ගැසූහ. රටක්, ජාතියක් ජයග්‍රහණයක් පිළිබඳ දැඩි උමතු විශ්වාසයකින් ඒ දෙස හඹා යද්දී එයට විකල්ප මතයක් ප්‍රකාශ කිරීම ඉතා දුෂ්කරය. මෙවර ලෝක රූ රැජිණ තරඟය ද එවැනි අවස්ථාවකි. මෙයට පෙර කිසි දිනෙක ලෝක රූ රැජිණ තරඟයකට නොමැති උනන්දුවක් රට පුරා නිර්මාණය වූ අතර සමස්ත ජාතියම අනුදී ගුණසේකරගේ ජයග්‍රහණය ප්‍රාර්ථනය කළහ. ඇයට සහයෝගය පල කරන දැවැන්ත සමාජ මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක විය. වැඩ බලන පොලිස්පතිවරයා  පවා ඇයට සමාජ මාධ්‍යයන්හි සහයෝගය ලබාදෙන ලෙසට නියෝග කරමින් අභ්‍යන්තර චක්‍රලේඛයක් නිකුත් කළේ ය. එහෙත් සමාජ මාධ්‍ය “ලයික්” මගින් ලෝක රූ රැජිණ විය නොහැකි බව සනාථ කරමින් අනුදීගේ පමණක් නොව රටේම සිහිනය බිඳ වැටුණි. 

අනුදී  පරාජය වූයේ මන්ද?

අනුදී ගුණසේකර ලෝක රූ රැජිණිය වනු ඇතැයි අපි ප්‍රාර්ථනය කළ නමුත් යථාර්ථය එය නොවන බව පළමු මොහොතේ ම අවබෝධ කර ගෙන සිටියෙමු. ඇයට එම තරඟය ජය ගැනීමට හැකිව තිබුණේ යම් ආශ්චර්යකින් පමණි. ඒ සඳහා වන අපේ නිරීක්ෂණ වන්නේ:

1. අනුදී යනු රූපයෙන් සහ කාන්තා ලාලිත්‍යයෙන් අග තැන්පත් තැනැත්තියක් නොවේ. පසුගිය වසර කිහිපයක ශ්‍රී ලංකා රූප රාජණීයන් වශයෙන් කිරුළු පලන් තරුණියෝ කිහිපදෙනෙකු රූප සොබාවෙන් අනුදිට වඩා ඉදිරියෙන් සිටියහ. එම තරුණියන්ට දිනා ගත නොහැකි වූ ලෝක රූ රැජිණ කිරුළ අනුදි දිනා ගනී යැයි සිතීම සිහිනයකි. අනුදි සමඟ ආසියා-ඕෂනික් කාණ්ඩයේ තරඟ කළ අනෙකුත් තරුණියන් සමඟ සංසන්දනය කිරීමේ දී ද මේ යථාර්ථය පැහැදිලි වෙයි.

2. රූප සොබාවෙන් අගතැන්පත් නොවේ නම් අවශේෂ ක්ෂේත්‍රයන්හි විශිෂ්ට දක්ෂතා තිබිය යුතුය. එහෙත් අවාසනාවකට අනුදිට එවැනි මට්ටමේ දක්ෂතා නොතිබිණි. ඇය ධම්ම පදය උපුටා දක්වමින් සිදු කළ කථාව මගින් ප්‍රදර්ශනය වූයේ ඇයගේ ලෝකය කොතරම් කුඩා සහ පටු ද යන්නය. වසර 1951 දී පැවති සැන්ෆ්‍රැන්සිස්කෝ සමුළුවේ  දී ජේ ආර් ජයවර්ධන “නභි වෙරෙන වෙරානි සම්මන්තීච කුදාචනා අවෛරෙනච සම්මන්තී” යැයි බුද්ධ දේශනාව උපුටා දැක්වීය. ඉන් පසුව ගත වූ දශක ගණනාව තුළ ජාත්‍යන්තර වේදිකාවන්ගේ  බුදු වදන් උපුටා දැක්වීම බහුලව සිදු විය. එබැවින් අනුදිගේ කථාවේ විශේෂත්වයක් නැත. ලෝක රූ රැජිණ තරඟයක ජාත්‍යන්තර විනිශ්චය මණ්ඩලයක  විශේෂ අවධානය යොමු කර ගැනීමට ධම්ම පදය අද ප්‍රමාණවත් නැත.
 
3. අනුදී ගුණසේකර යනු ලෝක රූ රැජිණ තරඟයේ ශ්‍රී ලාංකීය නියෝජනයයි. එහෙත් අවාසනාවකට ඇය එහිදී ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කළේ සිංහල බෞද්ධ සංස්කෘතික  අන්‍යතාවයයි.  රුවන්වැලි සෑය වන්දනා කිරීම, ධම්ම පදයේ ගාථා උපුටා දැක්වීම සහ උඩරට සිංහල ඔසරිය ඇඳීම අපේ රටේ බහුතරයකගේ ආශ්වාදයට හේතු වුවද එය ලෝක රූ රැජිණ තරඟයක විනිසුරු මණ්ඩලයක අවධානය ලබා ගැනීමට අසමත් විය. එයට ප්‍රධාන හේතුව වන්නේ ආගම, ජාතිය, වාර්ගික අන්‍යතාව සහ ඒ වටා බැඳුන සංස්කෘතික ආධිපත්‍යයට මෙවැනි තරඟයක දී ලැබෙන්නේ අවම ප්‍රමුඛත්වයක් බැවිනි. එම ප්‍රවේශය ඇයට විශාල අවාසියක් වූ බව අපේ තක්සේරුවයි.

4. ලෝක රූ රැජිණ තරඟය යනු බක්මහ කුමරිය තේරීමේ තරඟයක් නොවෙයි. එවැනි තරඟයක දී නවීන විලාසිතාවන්ට වැඩි ප්‍රමුඛත්වයක් හිමිවෙයි. අනුදී ලෝක රූ රැජිණ තරඟයට තෝරා ගත් විලාසිතා  එවැනි ජාත්‍යන්තර තරඟයක ප්‍රමිතියට අනුකූල වූයේ ද යන්න ප්‍රශ්නකාරීය. අවාසනාවකට ඇයට දක්ෂ ඇඳුම් නිර්මාණකරුවෙකුගේ (costume designer) සහය නොලැබුණි. ඇය මේ තරඟයට යොදා ගත් ඇඳුම් නිර්මාණයන්හි හොඳ නිමාවක් (finish) නොතිබූ බව බැලූ බැල්මට පෙනෙන කරුණකි. එම නිර්මාණයන්ගේ නිමාව ලංකාවේ රූ රැජින තරඟයකට සුදුසු වූවද ජාත්‍යන්තර ප්‍රමිතියට නොගැලපීමේ දුර්වලතාවයක් විය. මේ පිළිබඳ විලාසිතා ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් කිහිප දෙනෙකුම සමාජ මාධ්‍යයේ ඒ පිළිබඳ අදහස් දක්වා තිබූ අතර අපේ සාමාන්‍ය ඇසට පවා එම අඩුපාඩුව හඳුනාගත හැකි මට්ටමේ විය. 

අනුදීලා නිර්මාණය කළ නව සමාජ පංතිය….

මෙවැනි මූලික දුර්වලතා රාශියක් යටතේ වුවද අනුදී ගුණසේකරගේ ලෝක රූ රැජිණ තරඟ මැදිහත්වීම රට තුළ උන්මාදයක් නිර්මාණය කිරීමට හේතු විය. එවැනි තත්ත්වයක් නිර්මාණය වූයේ කෙසේ ද? මෙය පසුපස ඇත්තේ නව  සමාජ, දේශපාලන ආර්ථික සංරචකයන් ය. පසුගිය දශක ගණනාව තුළ බොහෝවිට අපේ රූ රැජිනියන් වූයේ සිංහල බෞද්ධ නොවන කොළඹ ඉහළ සමාජය නියෝජනය කළ තරුණියෝ ය. ඔවුන් අතරින් බොහෝ දෙනෙක් බර්ගර්, මැලේ, දෙමළ සම්භවයක් සහිත වූහ. සිංහල සම්භවයක් සහිත අය ද කතෝලිකයෝ වූහ.  අපේ රූ රැජිනියන් වශයෙන් කිරුළු පලන් සිංහල බෞද්ධ තරුණියන් කිහිපදෙනා ද රටේ ඉහළ සමාජ පංතියේ නියෝජනයක් විය. එහෙත් අනුදී ගුණසේකර යනු සාම්ප්‍රදායික සමාජ පංතියෙන් පරිභාහිරව බිහි වූ අපේ රූ රැජිනියකි. ඇය නියෝජනය කරන්නේ පසුගිය දශක දෙකක පමණ කාලය පුරා රටතුළ බිහි වූ නව සමාජ පංතියකි. මේ නව සමාජ පංතිය කොළඹ, මහනුවර  වැනි ප්‍රධාන නගරවලින් බාහිර බිහිව තිබෙන ආර්ථික බලයක් සහිත ඉහළ සමාජ තීරුවකි. සරළව පැහැදිලි කරන්නේ නම් නව ග්‍රාමීය “පොෂ්” පංතියකි. 

සිංහල බෞද්ධ සංස්කෘතික මූලයන් ලෝක රූ රැජිණ තරඟයට එක් කිරීම..

ඉංග්‍රීසි භාෂාව හොඳින් හසුරුවන නව විලාසිතා රූපලාවන්‍ය සඳහා දැඩි උනන්දුවක් සහ ඒ සඳහා සැළකිය යුතු මුදලක් වියදම් කරන  පාරිභෝජනවාදී  නව සමාජ තීරුවකි. ඔවුහු බහුතරයක් “රට, ජාතිය, ආගම” කර තබාගත් සිංහල බෞද්ධයෝ වෙති. අනුරාධපුරයෙන් පැමිණි අනුදී ගුණසේකර නියෝජනය කරන්නේ මේ නව සමාජ පංතියයි. අනුදී ගුණසේකර මෙවර ලෝක රූ රැජිණ බවට පත් කිරීමට දැවැන්ත සමාජ මාධ්‍ය මෙහෙයුමක් දියත් කරමින් ඇගේ ජයග්‍රහණය වෙනුවෙන් රටම පෙළගැස්වීමට මුල් වූයේ මේ නව සමාජ පංතිය සහ එම නව සමාජ පංතියට අඩිය තැබීමට සිහින දකින කණ්ඩායම් ය. ධම්ම පදය උපුටා දක්වමින් කථාකිරීම, රුවන්වැලි මහ සෑය වන්දනා කිරීම, උඩරට ඔසරියට මුල් තැන දීම ඇතුළු සිංහල බෞද්ධ සංස්කෘතික මූලයන් ලෝක රූ රැජිණ තරඟයට අනුදී එක් කරන්නේ මේ සමාජ දේශපාලන, ආර්ථික පසුබිමේ ය. එම මැදිහත්වීම් පිළිබඳ පුදුම විය යුතු නැත. ඒ ඇගේ පසුබිම සහ අනන්‍යතාවයයි. අනුදී ගුණසේකරගේ එම මැදිහත්වීම් මගින් ආශක්ත වන්නේ ද එම සංස්කෘතික හරයන් උත්කර්ෂවයට නංවන සමාජ බලවේගයන් ය.

ලොව වසඟ කරගත් බර්නඩීන් රෝස් රාමනායක…

අනුදීගේ මැදිහත්වීමෙන් ඉගෙන ගත හැකි වැදගත් පාඩම වන්නේ ජාතිය, වර්ගය සහ ආගම් මුල් කර ගන්නා සංස්කෘතික ප්‍රවේශ මගින් ලෝක රූ රැජිණ වැනි ජාත්‍යන්තර තරඟයක් ජය ගැනීමට තබා එහි අර්ධ අවසාන පූර්ව වටයකට හෝ ලඟා විය නොහැකි බවයි. ඇයට ආසියා ඕෂනියා කාණ්ඩය නියෝජනය කරන අවසාන දස දෙනා අතරට පවා තේරීමට නොහැකි විය. අනුදීට රටතුළ උපරිම ජනතා සහයෝගයක්, ආදරයක් හිමිව තිබිණි. එහෙත් එවැනි කිසිදු සහයෝගය නොමැති ශ්‍රී ලංකා රූ රැජිණියෝ ජාත්‍යන්තර මට්ටමේ විවිධ ජයග්‍රහණය දිනා ගත්හ. ඒ සඳහා වන හොඳම නිදසුන බර්නඩීන් රෝස් (රෝසි) සේනානායකය (පෙර රාමනායක). වසර 1980 දී ශ්‍රී ලංකා රූ රැජිණිය වශයෙන් කිරුළු පැලදූ රෝසි, වසර 1981 දී ජාත්‍යන්තර ආසියා-ෆැසිෆික් රූ රැජිණ බවට පත් වූවාය. ඇය වසර 1984 දී ලෝක විවාහක රූ රැජිණ තරඟයෙන් ජයග්‍රහණය කළාය. තරුණ වියේ දී රෝසි බොහෝ දෙනෙකු වසඟ කර ගත හැකි රූසපුවකට උරුමකම් කීවාය. එදා ඇය බටහිර නිළියක මෙනි. තරුණවියේ ඇගේ ඡායාරූප නිරීක්ෂණය කරන ඕනෑම අයෙකුට ඒ බව නිරීක්ෂණය කළ හැකිය. ඇය මේ ජයග්‍රහණය ලබා ගැනීමට ධම්ම පදය උපුටා දැක්වූවේ හෝ රුවන්වැලිසෑය වන්දා කළේ නැත.

ආර්ථව දුගීභාවය සහ “පෑඩ් සජියා”

මේ අඳුරු වලාවේ අපට මතු වී ඇති රිදී රේඛාව වන්නේ රූ රැජිණ තරඟය පිළිබඳ පෙර නොවූ විරූ උනන්දුවක්, උන්මාදයක් සමාජයේ නිර්මාණය වීමය. එය ඉදිරියේ ඉදිරිපත් වන තරඟකාරියනට ධනාත්මක බලපෑමක් කළ හැකිය. එමෙන්ම අනුදීට වැරදුනු සහ මඟහැරනු අවස්ථා අවබෝධ කර ගතහොත් එය ඉදිරි ජයග්‍රහණ සඳහා පදනමක් වනු ඇත. ඉන්දියාවේ මෙන් රූ රැජිණ තරඟ සඳහා රාජ්‍ය අනුග්‍රහය සහ අවශ්‍ය මඟපෙන්වීම් ලබාදෙන ව්‍යුහයක් නිර්මාණය කර ගත හැකිය. එමෙන්ම අනුදී ගුණසේකරට හිමිවූ ජනතා කැමැත්ත, ප්‍රසිද්ධිය සහ ආදරය දැවැන්ත සමාජ සත්කාරයකට පරිවර්තනය කර ගැනීමට හැකිය. අනුදී ලෝක රූ රැජිණ තරඟයේ දී විශේෂ අවධානයක් ලබා දුන් සමාජ ප්‍රශ්නය වූයේ  ආර්ථව දුගීභාවයයි (period poverty). එය අපේ තරුණියන් මුහුණ දෙන ප්‍රමුඛ ගැටළුවකි. ඒ පිළිබඳ මුල්වරට ප්‍රසිද්ධ වේදිකාවේ කථා කළේ සජිත් ප්‍රේමදාසය. ආර්ථව දුගීභාවය වසර 2019 ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවේ ප්‍රධාන මාතෘකාවන් අතරට එක් කර ගන්නා ලෙස ඔහුගේ තරුණ උපදේශකයෝ ඉල්ලා සිටියහ. සජිත්  එම උපදේශය පිලිගත්තේ ය. කාන්තාවන් පවා  එදා ආර්ථව දුගීභාවය පිළිබඳ ප්‍රසිද්ධියේ කථා කිරීම පිළිබඳව ඔහුට අපහාස, උපහාස කළහ. රාජපක්ෂ බයියෝ “පෑඩ් සජිත් අපිට එපා” යැයි ප්‍රසිද්ධ මාර්ගවල සටන් පාඨ ලියූහ. 

නොකළ යුත්තේ කුමක් ද?

එහෙත් සජිත් ඒ වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටියේ ය. ඒ මැදිහත්වීම වෙනුවෙන් සජිත්ට අපගේ ගෞරව හිමිවෙයි.  ශ්‍රී ලාංකික සමාජයේ පසුගාමීත්වයේ ස්වරූපය හඳුනා ගැනීමට සජිත් ආර්ථව දුගීභාවය පිළිබඳ සමාජ ගැටළුව මතු කළ අවස්ථාවේ අපේ සමාජය දැක් වූ ප්‍රතිචාර ප්‍රමාණවත්ය. එදා සජිත්ට සමාජ මාධ්‍යයේ අවලාද, අපහාස කළ බොහෝ දෙනෙක් මෙවර අනුදීගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී සිටියහ. මෙවැනි පිරිස් ඉලක්ක කර ගනිමින් ආර්ථව දුගීභාවය පිළිබඳ සමාජ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අනුදීට හැකි වුවහොත් එය අපේ තරුණියන්ට පමණක් නොව සමස්ත සමාජයට කරන විශාල සේවයක් වනු ඇත. පාසැල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය හඳුන්වාදීමට මැදිහත්වීම තවත් යෝජනාවකි. ඇයගේ ජනප්‍රිය භාවය මෙවැනි සමාජ සත්කාර බොහොමයකට දායක කර ගත හැකිය. අනුදී ගුණසේකර ගෙන් ඉදිරි පරම්පරාව ඉගෙනගත හැකි වැදගත්ම පාඩම වන්නේ නොකළ යුත්තේ කුමක් ද? යන්න අවබෝධකර ගෙන පෙර වැරදි නැවත නැවත සිදු නොකිරීමය.  

-ආනුභාවනන්ද 

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33

---------------------------
by     (2025-06-06 15:00:23)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links