~

රු.කෝටි 55 ක් වංචා කළ නඩු 31 ක් තිබූ සිරකරුවෙක්, ජනාධිපතිගේත් කණින් රිංගා ගෙදර යැවූ අනුරාධපුර බන්ධනාගාර අධිකාරී අත් අඩංගුවට..! මීට පෙර ජනාධිපතිලාටත් මේ ගේමම ගහලා..! පොලිසියෙන් සියල්ල ගැන පුළුල් පරීක්ෂන..!

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියගෙන් දෙවන වරටත් ප්‍රශ්න කරයි

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.08, ප.ව.11.40) ජනාධිපතිවරයාගේ ද කණින් රිංගා පසුගිය වෙසක් පොහොය වෙනුවෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලැබීමට නියමිතව නොසිටි සිරකරුවෙකු හොරාට නිදහස් කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අනුව අනුරාධපුර බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරී වරයා සීඅයිඩිය මගින් අද සවස අත් අඩංගුවට ගෙන තිබේ. ඔහු හෙට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.  

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රථමයෙන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුවේ නැගූ ප්‍රශ්නයක් අනුව අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි, තවත් චෝදනා රැසක් අධිකරණ තුල විභාග වෙමින් සිටි, ඩබ්ලිව්. එච්. අතුල තිලකරත්න නමැති සිරකරුවා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලැබුවේ කෙසේ ද කියා ය. ඒ පිළිබඳ වහාම මූලික විමර්ශනයක් සිදුකළ ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රකාශ කෙළේ ජනාධිපති පොදු සමාව දුන් සිරකරු නම් ලැයිස්තුවේ එවැනි සිරකරුවෙකුගේ නමක් සඳහන්ව නොතිබූ බවයි. ඒ අනුව එදිනම සවස ජනාධිපති ලේකම් කාර්යාලය කොළඹ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට (සීඅයිඩියට) ඒ පිළිබඳ විමර්ශනයක් කරන ලෙස පැමිණිලි කෙළේ ය.

ඒ අනුව සීඅයිඩිය පුළුල් විමර්ශනයක් ආරම්භ කළ අතර බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේ ය. ඉන්පසු අද සවස දෙවන වරටත් තුෂාර උපුල්දෙණිය සීඅයිඩිය වෙත කැඳවා තිබිණ.

ජනධිපති පොදු සමාව අනීතිකව භාවිතා කර යම් සිරකරුවන් සංඛ්‍යාවක් පසුගිය වෙසක් දින නිදහස් කර ඇති බවට විමර්ශන තුළින් හෙළිදරව් වෙමින් ඇතැයි පොලිසිය පවසයි. පොලීසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. 

මීට ප්‍රථමවද පෙර සිටි ජනාධිපතිවරුන් විසින් ද මේ ආකාරයෙන් දුන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිත සිරකරුවන් අතර අනුමැතිය නොලද සිරකරුවන් ද නිදහස් කර ඇති බවටද තොරතුරු හෙළිදරව් වී ඇති බවද පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මොකක්ද මේ ජනාධිපති පොදු සමාව?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 /1 වගන්තියට අනුව  සිරකරුවන්ට පොදු සමාවක් ලබා දීමට ජනාධිපතිවරයාට බලය හිමි වෙයි.

ඒ අනුව බන්ධනාගාර අධිකාරීවරුන් විසින් තෝරාගන්නා නාම ලේඛනයක් අධිකරණ අමාත්‍යංශය වෙත යොමු කරන අතර එම ලේඛනය අධිකරණ අමාත්‍යංශය විසින් පරීක්ෂා කර බලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කරයි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ අනුමැතිය මත සිරකරුවන්ට පොදු සමාව ලබාදීම   සාමාන්‍ය  ක්‍රියාපටිපාටියයි.

ප්‍රශ්නගත සිදුවීමට පාදක වූ පසුගිය මස 06 වැනිදා ජනාධිපතිවරයා වෙත යොමු කළ පොදු සමාව ලබා දිය යුතු සිරකරුවන්ගේ ලේඛනයට, 388 දෙනෙකුගේ නම් ඇතුළත් විය.

අතුල තිලකරත්න නමැති සිරකරුවා නිදහස් කිරීමේ සිදුවීමේ පසුබිම..

මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ යැයි පවසමින් , මෙලෙස නිදහස් කර තිබුණේ  අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්ලිව් එච් අතුල තිලකරත්න නමැත්තෙකි. ඔහු ෆිනෑන්ස් සමාගමක කළමනාකාරවරයෙකි. ඔහුට  එරෙහිව මේ වන විටත් රුපියල් පනස් පන්කෝටි අසූ දෙලක්ෂයක මුදල් වංචාවලට අදාළව අධිකරණය හමුවේ නඩු 31ක් වෙන්වෙන්ව විභාගවෙමින් පවතියි. 

අතුල තිලකරත්න සිදුකළ එක් මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අධිකරණයෙන් දඬුවම් නියමකර සිටි අයෙකි. ඒ රුපියල් ලක්ෂ හතලිහක් (රු. 4,000,000) වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකටයි.

එකී චෝදනාවට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කෙරුණු සිර දඬුවම් නියම කර සිටි තිලකරත්නට එරෙහිව පැවති නඩුව පසුගිය මැයි මස 2 වන දා අනුරාධපුර මහාධිකරණය හමුවේ කැඳවූවේය. ඔහුට එරෙහිව තිබූ මූල්‍ය වංචා පිළිබඳ එක් චෝදනාවට වරදකරු බවට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය තීන්දු කළා ය.

ඒ අනුව, මුදලින් රුපියල් 20,000 ක දඩ මුදලක් ගෙවන ලෙස තිලකරන්නට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය එම දඩ මුදල නොගෙවන්නේ නම් ඔහුට මාස 6 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළා ය.

ඊට අමතරව විත්තිකරුට වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළ මහාධිකරණය එම සිර දඬුවම වසර පහකට අත්හිටුවීමට නියෝග කළේ ය.

තව ද තිලකරත්න විසින් වින්දිත පාර්ශවය හෙවත් පැමිණිල්ලේ පළමු සාක්ෂිකරුට මුදලින් රුපියල් ලක්ෂ විස්සක (20) වන්දි මුදලක් ගෙවන ලෙසට එකී දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම කෙරුණි.

එසේ නියම කළ දඩ මුදල් සහ වන්දි මුදල් ගෙවීම සඳහා එම නඩුව පසුගිය ජූනි 04 වන දා යළි කැඳවීමට ද එදින නියෝග කළා ය.

බන්ධනාගාර නිලධාරීන් මහාධිකරණයත් නොමග යවලා..

ඒ වන විට අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් විසින් අනීතිකව අතුල තිලකරත්නට ජනාධිපති පොදු සමාව ලැබුනා කියා ඔහුව ගෙදර යවා තිබිණ. 

ජුනි 04 වැනිදා  ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් මහාධිකරණයට දැනුම් දුන්නේ, අතුල තිලකරත්න පසුගිය මැයි මස 12 වැනිදා යෙදී තිබූ වෙසක් පෝය දිනයේ ජනාධිපති සමාව යටතේ මෙම නඩුවෙන් නිදහස් කර මුදා හැර ඇති බව යි.

බන්ධනාගාර නිලධාරීන්ගේ මෙම කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් උතුරු මැද පළාත් බද මහාධිකරණය නියෝග කළේ, විත්තිකරු ඔහුට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස යි.

අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් ගසා ඇති ගේම දැන් පත්තු වී තිබේ. පනස් පන් කෝටි අසූ දෙලක්ෂයක් වංචා කළ අතුල තිලකරත්න බන්ධනාගාර නිලධාරීන්ට කීයක් දෙන්නට ඇතිදැයි සිතා ගත හැකිය. 

---------------------------
by     (2025-06-08 21:47:40)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links