-සම්පත් දිල්ලිමුණි ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.10, ප.ව.11.10) ජනාධිපති සමාවක් නොලැබූ සිරකරුවෙකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් 2025 ජුනි 9 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූයේ, ජනාධිපති සමාවක් නොලැබූ අතුල තිලකරත්න නමැති සිරකරුවෙකු පසුගිය වෙසක් පොහොය වෙනුවෙන් ජනාධිපති පොදු සමාව භාවිතා කර අනීතික අන්දමින් නිදහස් කිරීම මතය . මාධ්‍ය වාර්තා කිරීම් සහ පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ තුෂාර උපුල්දෙණියලා මුදල් මත මෙලෙස අනීතික අන්දමින් නිදහස් කරන ලද පුද්ගලයන්ගේ තොරතුරු රාශියක් මේ වනවිට හෙළිවෙමින් පවතින මොහොතක අතුල තිලකරත්න නම් සිරකරු නිදහස් කිරීමට අදාළ සිද්ධිය රාජ්‍ය විශ්වාසය උල්ලංඝනය කිරීමක් මෙන්ම බලය අනීතික අන්දමින් භාවිතා කර කූඨ ලේඛන සකසා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැලකෙන අතර, රජයද ඒ පිළිබඳ දැඩි නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇත.
අත්අඩංගුවට ගත් තුෂාර උපුල්දෙණිය මහතා 2025 ජුනි 10 වැනිදා (අද දිනයේ) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. අදාළ නඩුව විභාග කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින්, උපුල්දෙණිය 2025 ජුනි 11 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීම සඳහා නියෝග ලබාදී ඇත.
අදාළ පරීක්ෂණ ක්‍රියාවලිය තවදුරටත් සිදුවන අතර, ඔහු නැවත ඉදිරිපත් කෙරෙනු ලබන්නේ හෙට දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියෝග කර ඇත.
ලෝකයේ බන්ධනාගාර පද්ධති ඉතිහාසය පුරා කිසිදු රටක බන්ධනාගාර පද්ධතියේ (corrections system) එකේ ඉහළම තනතුරේ සේවය කරන ලද පුද්ගලයෙකුගේ සේවය කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව අත්හිටුවා සිටියදී පැය 24 ක් ඇතුළත රිමාන්ඩ් කරනු ලැබූ බවට කිසිදු වාර්තාවක් අද දිනය දක්වා ලෝකයේ වාර්තා වී ඇති බවට සනාථ වාර්තාවක් හමු නොවීය.
නමුත් ශ්‍රී ලංකා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, ඉතා දුර්ලභ ලෝක වාර්තාව තම නම ඉදිරියේ ලියා තැබීමට සමත් විය.
බන්ධනාගාර පද්ධතියක් යනු, අපරාධයකට යටත් වූ පුද්ගලයන්ට දඬුවම් කිරීම සහ ඔවුන් නැවත සමාජයට යහපත් ලෙස එකතු කිරීම සඳහා ක්‍රියාත්මක වන පාලන යන්ත්‍රණයකි. මෙය "බන්ධනාගාර පද්ධතිය" ලෙස හැඳින්වෙයි.
කෙසේ නමුත්, එම පද්ධතියේ නායකයා විසින්ම සිදු කළ අනීතික ක්‍රමවේදයකට අනුව සිදු කරන ලද කූඨ කාර්යයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම ලෝකයේම පළමු වතාවට සිදු වී ඇති බවට වාර්තා වී ඇත.
2025 ජුනි 9 දා උපුල්දෙණිය අත්අඩංගුවට ගන්නා ලද අතර, කැබිනට් මණ්ඩලය විසින් ඔහුගේ රාජ්‍ය සේවයද එදිනම අත්හිටුවිය. නමුත් පැය 24ක් යාමටත් පෙර – 2025 ජුනි 10 දා – ඔහු කොළඹ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් එදිනම ඔහු රීමාන්ඩ් කිරීමට නියෝග දුනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) ආරංචි මාර්ගවලින් ලැබී ඇති තොරතුරු අනුව, අතුල තිලකරත්න නම් සිරකරු ජනාධිපති සමාව යටතේ නීතිමය ක්‍රියාවලියකින් තොරව නිදහස් කර තිබේ.මෙම නිදහස රජය විසින් රාජ්‍ය විශ්වාසය කඩ කිරීමක් ලෙස ප්‍රකාශ කර ඇත.
අනීතික අන්දමින් නිදහස් කරන ලද අතුල තිලකරත්න නමැති සිරකරු රුපියල් කෝටි 55ක මුදලක් වංචා කර ඇති බවත් ඔහුට එරෙහිව විශාල පිරිසක් විසින් නඩු කිහිපයක් පවරා ඇති බවත් වාර්තා වේ.
අතුල තිලකරත්න නමැති සිරකරුට අමතරව මෙලෙස තවත් සිරකරුවන් පිරිසක් ජනාධිපති සමාවට මුවා වී ජනාධිපති සමාව අවභාවිතා කර නිදහස් කර ඇති අතර, මේ සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ඇතුළු ඉහල පෙලේ නිලධාරින් පිරිසක් කටයුතු කර ඇති බවද වාර්තා වේ.
මෙලෙස අනීතික අන්දමින් සිරකරුවන් නිදහස් කර ඇත්තේ ඔවුන්ගෙන් අති විශාල මුදල් සාක්කුවට දා ගැනීමේ අරමුණින් බවට වැඩිදුරටත් වාර්තා වන අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තුෂාර උපුල්දෙණියලා ඇතුළු ඉහල පෙලේ බන්ධනාගාර නිලධාරීන් සහ ඔවුන්ගේ පවුලේ අයගේ වත්කම් පරීක්ෂා කිරීම ද දැඩිව අවශ්‍ය බවට සමාජයේ දැඩි අපේක්ෂාවක් පවතී. මෙලෙස රාජ්‍ය සේවයේ යෙදී සිටිමින් තක්කඩි කම් කර ජනාධිපති වරයා ඇතුළු රජයද බරපතල ලෙස අපහසුතාවයට පත් කරන ලද තුෂාර උපුල්දෙණිය ලා ගැන ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතුය
---------------------------
by (2025-06-10 23:59:33)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි