-Captain-10 ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.10, ප.ව.11.30) පාර්ලිමේන්තුවට තේරී පත්වූ දා සිට හැමවිටම කුමකින් හෝ ප්‍රසිද්ධියට පත්වීමට උත්සාහ දරන යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙමින් බරපතල ප්‍රකාශයක් කළේය.
ඔහු පැවසුවේ, 2009 මැයි 19, ශ්‍රී ලංකා හමුදා හා LTTE ය අතර පැවති යුද්ධය අවසන් වීමට පෙර LTTE ය විසින් තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ඒමට සැළසුම් කර තිබු අවි ආයුධ රැසක්, කුමරන් පද්මනාතන් හෙවත් ‘KP’ ගේ මැදිහත්වීමෙන් පසුගියදා ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇති බවත්, එම ආයුධ මීට මාස කීපයකට පෙර රේගු පරීක්ෂාවකින් තොරව වරායෙන් නිදහස් කළ කන්ටේනර් 323 තුල තිබු බවයි.
මන්ත්‍රී අර්චුනා එදින පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙමින් පාර්ලිමේන්තුවේදී කළ කතාව මෙසේයි.
''දිනුවට පස්සේ ප්‍රභාකරන්ගේ statue එකක් හදන්න NPP එක පොරොන්දු වුනා. එහෙම ගහපු සින්දු මා ළඟ තියෙනවා. ප්‍රභාකරන්ගේ නම දාල ජැටියක් හදන්න පොරොන්දු වුනා. ජැටිය හදන්න ඕන මිනිස්ටර් දැන් කියනවා ඒක එයාගේ වැඩක් නෙවේ ලු. එයා ඒ වගේ කතාවක් කිව්වේ නෑ ලු. NPP එකේ ලෝගෝ එක දාල ඒ තරම් බොරු කිව්වා"
"මාස 3-4කට කලින් කන්ටේනර් තුන්සිය ගාණක් ගියා කියල ආරංචි වුනා. මේක කිව්වොත් මට වෙඩි වදිනවා. මට ආරක්ෂාව දීල නැහැ. නමුත් මම මේක කියන්න කැමතියි.ඡන්දෙට කලින් ''ප්‍රසිඩන්ට්'' ජර්මන් ගිහින් අපේ ඩයස්පෝරා එක හම්බ උනා. ඩයස්පෝරා එක හම්බවෙලා කරන්න බැරි දේවල් කරනවා කියල පොරොන්දු දුන්නා. තායිලන්තේ කන්ටේනර් වල තිබිච්ච බඩු ටික ..සිංහලෙන් කියන්නම් ..මේකෙන් පස්සේ මට මරණ තර්ජනයක් එයි, මම බය නෑ...තායිලන්තේ ඉතුරුවෙලා, 2009 ට කලින් අපි ගෙන්නන්න ට්‍රයි කරපු බඩු KP කුමාරන් පද්මනාතන් හරහා ඒ ගොල්ලෝ මෙහෙට ගෙනත් තියෙනවා කියල මිනිස්සු කතා වෙනවා. මට ජර්මනියෙන් කතා කරලා කිව්වා ඒ කන්ටේනර් වල තිබ්බේ ඉතුරු වෙච්ච ආයුද ටික, ගිණි අවි ටික තමා මේ කන්ටේනර් වල දාල එවල තියෙන්නේ. මට ඔප්පු කරන්න බැහැ , මම වගකීමකින් කියන්නේ''
මන්ත්‍රී අර්චුනා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී කළ මේ බරපතල ප්‍රකාශයෙන් මුලින්ම ඉලක්ක කලේ ජනාධිපති අනුර හා NPP ආණ්ඩුවයි. NPP ආණ්ඩුවට හා ජනාධිපති අනුර හට දෙමළ ඩයස්පෝරාව හා සෘජු සම්බන්ධකම් ඇති බවත්, ඔවුන් LTTE හිතවාදීන් හට ඉටුකල නොහැකි පොරොන්දු ලබා දී දැන් බොරු කියන බව පෙන්වීම සඳහා ඔහු ජර්මනියේ බොරුව සමාජ ගත කළේය.
එමෙන්ම ජනාධිපති අනුර ජනාධිපතිවරණයට පෙර ජර්මානු සංචාරයක් කළා යැයි මඩක් ගැසීමද අර්චුනාගේ මේ ප්‍රකාශයේ ඉලක්කයක් විය හැක. අප දන්නා තරමින් අනුර ජනාධිපතිවරණයට පෙර ජර්මනියේ සංචාරයක් කළේ නැත. පහසුවෙන්ම ජනාධිපති අනුරගේ අද ආරම්භ වන ජර්මානු සංචාරයෙන්ද ඔහු කලින් කළ සංචාර වලදී මෙන් ලකුණු දා ගන්නා බව දන්නා විපක්ෂය ජනාධිපතිවරයා ඉලක්ක කර මෙසේ මඩ ගැසීමට අර්චුනා හට කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බව ඉතා පැහැදිලිය.
දෙවනුව ඔහු ඉලක්ක කළේ LTTE සංවිධානයේ ජාත්‍යන්තර සැපයුම්කරු වූ හිටපු නායකයෙකු වන ''KP'' හෙවත් කුමරන් පද්මනාතන් හෙවත් සෙල්වරාසා පත්මනාතන්ය. 2009 වසරේ මැයි මස LTTE පරාජයෙන් පසු තමන් නව LTTE නායකයා ලෙස ඔහු ප්‍රකාශයට පත් කළේය. 2009 අගෝස්තු මස මැලේසියානු ආරක්ෂක බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා බලධාරීන් වෙත භාර කෙරුනු KP ගෙන් ඔහු භාරයේ තිබු සියලු LTTE මුදල්, දේපොළ හා වස්තුව රාජපක්ෂලා විසින් කොල්ලකා ගන්නා ලදී.
KP විසින් LTTE දේපොළ හා මුදල් රාජපක්ෂලාට ලබා දීම LTTE යට කළ මහා පාවාදීමක් ලෙස තවමත් LTTE හිතවාදීහු සළකති. එම පාවාදීමෙන් පසු KP ශ්‍රී ලංකා යුධ හමුදාවේ ආරක්ෂාව සහිතව -සත්‍ය වශයෙන් නම් නිවාස අඩස්සියක - නොදන්නා තැනක අදටත් නිරුපද්‍රිතව කරදරයකින් තොරව ජීවත්වන නිසා මෙම ආණ්ඩුව ලවා KP අනාරක්ෂිත කර ගැනීම අර්චුනාගේ දෙවන ප්‍රකාශයේ අරමුණයි. පැරණි ඉතිරිව තිබු LTTE ආයුධ KP ගේ මැදිහත්වීමෙන් NPP ආණ්ඩුවේ සහයෙන් මෙරටට ගෙනා බව පැවසීමෙන් KP එලියට ගැනීම සඳහා අර්චුනා පළමු වෙඩිමුරය පත්තු කළේ ය .
එංගලන්තයේ ද අධ්‍යාපනය ලබා ඇති දෙමළ හා ඉංග්‍රීසි භාෂා දෙක චතුරව කථා කළ හැකි මන්ත්‍රී අර්චුනා පාර්ලිමේන්තුවේදී ඔහුට අපහසු සිංහල භාෂාවෙන් කථා කරන්නේ ඇයි? ඔහු දෙමළෙන් හෝ ඉංග්‍රීසියෙන් කථා කළහොත් ඔහුට ලැබෙන ප්‍රචාරය අවම වන නිසා හා ඔහුගේ යටි අරමුණ ඉටු කර ගැනීම අපහසුය. ඔහු කැඩුණු සිංහලෙන් කථා කර බහුතර සිංහල සමාජය තුළ ජනප්‍රිය රුපවාහිනී නාලිකා හරහා ඉක්මන් ප්‍රචාරයක් හා ඔහුගේ යටි අරමුණ කරා ලඟා වීමේ පහසු ක්‍රමය අත්හදා බලයි.
මේ වනතෙක් ඔහුගේ අත්හදා බැලීම් සාර්ථක වී ඇති බව පෙනෙන්නේ NPP රජයට විරුද්ධව සිටින ජනප්‍රිය රූපවාහිනී නාලිකා දෙකක් ඔහුගේ ප්‍රකාශ සඳහා ගෙඩි පිටින් ප්‍රචාරය ලබා දීමට පෙළඹීම නිසාය.
පැහැදිළිවම මන්ත්‍රී අර්චුනාගේ පසුපස සිටින්නේ දෙමළ ඩයස්පෝරාවේ LTTE හිතවාදීන් හා NPP ආණ්ඩුවට විරුද්ධ සිංහල ජාතිවාදීන් හා හෙට අනිද්දා මහ උළු ගෙදර සෑහෙන කලකට ස්ථීර නේවාසිකත්වය ලැබීමට නියමිත දුෂිතයන් පිරිසක් බව නොරහසකි.
ශ්‍රී ලංකාව තුළ ජාතිවාදය නැවත අවුලවා දෙමළ ජාතිකයින්ට තවමත් ශ්‍රී ලංකාව අනාරක්ෂිත රටක් බව ලොවට ප්‍රචාරය කිරීම LTTE හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ පහැදිලි අරමුණකි. මහා බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය ඇතුළු බොහෝ රටවල දේශපාලන සරණාගත තත්ත්වය පතන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට එම රටවල සරණාගත තත්ත්වය ලැබෙන්නේ ශ්‍රී ලංකාව තුළ තවමත් දෙමළ ජාතිකයින් හට බරපතළ අසාධාරණකම් සිදුවන බව ඔප්පු කිරීමෙන් පමණකි.
එම නිසා ඔවුන් මෙවැනි කුමන්ත්‍රණකාරී කටයුතු අර්චුනා වැනි පුද්ගලයින් හරහා ඉටුකර ගනු ලබන අතර ඒ වෙනුවෙන් ඔවුනට විශාල මුදලක් ගෙවනු ලබයි. මන්ත්‍රී අර්චුනා තමන්ට LTTE හිතවාදී ඩයස්පෝරාව කෝටි ගණනින් මුදල් ලබා දුන් බව හෙළි කර තිබේ.
ශ්‍රී ලංකාවේ සිංහල ජාතිවාදීන් හා දුෂිත දේශපාලනඥයන් ඉදිරියේදී තමන්ට අත්වන ඉරණම දන්නා නිසා කෙසේ හෝ මෙම ආණ්ඩුව පලවා හැරීම සඳහා කුමන හෝ ක්‍රමයක් අත්හදා බැලීමට පෙළඹීම ගැනද විවාදයක් නොමැත.
'පාර්ලිමේන්තුවේදී කරනු ලබන ප්‍රකාශයකට නීතිමය ක්‍රියා මාර්ග ගත නොහැකිය' යන වරප්‍රසාදය ආවරණය කර ගනිමින් අර්චුනා වැනි කොන්ත්‍රාත් කරුවෙක් වසර 16 කට පසු LTTE ආයුධ KP විසින් ජනාධිපති අනුරගේ අනුග්‍රහයෙන් මෙරටට ගෙනා බව පැවසීම පට්ටම විහිළුවකි.
KP අත්අඩංගුවට පත්වීමෙන් පසු රාජපක්ෂලාගේ අනුග්‍රහයෙන් යහතින් ජීවත්වූ බව අර්චුනා නොදන්නවාට මුළු ශ්‍රී ලංකාවම දනී. KP ට විරුද්ධව කිසිදු චෝදනාවක් අධිකරණය ඉදිරියට ගෙන නොයාමට රාජපක්ෂගා සහතික වුනේ KP සතුව තිබු LTTE දේපොළ සියල්ල හෝ වැඩි ප්‍රමාණයක් රාජපක්ෂලාට ලබා දීමට එකඟ වූ පසුව බව රටම දනී. එසේ නම් එම ආයුධ මෙතරම් කලක් තබා නොගෙන 2015 ට පෙර රාජපක්ෂ සමයේදීම ඒවා ගෙන්වා ගැනීමට ඔහුට හැකිව තිබිනි.
අනුර දිසානායක ජනාධිපති වූ පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා ඇමතිවරුන්ගේ ආරක්ෂාව, නිළ නිවාස, නිළ වාහන, තීරුබදු රහිත වාහන බලපත්‍රය, කාර්‍ය මණ්ඩල හා තවත් බොහෝ වරප්‍රසාද රැසක් අහෝසි කළේය. එහෙත් රටේ උත්තරීතර ස්ථානය වූ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ට ජාතිවාදය පැතිරවිය හැකි , මහජන කැළඹීම් ඇතිකළ හැකි ඕනෑම බොරුවක් කියා යහතින් ජීවත්විය හැකි පාර්ලිමේන්තු වරප්‍රසාදය ගැන තීරණයක් නොගැනීම ඉතා අවාසනාවකි.
මෙවැනි අතේ පැලවෙන බොරු සමාජ ගත කිරීම සඳහා මෙම ආණ්ඩුවට අකමැති ප්‍රසිද්ධ රූපවාහිනි නාලිකා දෙකක් දත මැදගෙන සිටින බවද හොඳින් දන්නා NPP ආණ්ඩුව තවත් කල් නොයවා වහාම පාර්ලිමේන්තුවේදී ඕනෑම බොරුවකට ඇති ඉඩකඩ වසා නොදැමුවහොත් එහි විපාක ඉතා ඉක්මනින් මේ ආණ්ඩුවට අත්විඳිය හැකි බවනම් මතක් කළ යුතුමය. මේ පිලිබඳ 2/3බලයක් හිමි ආණ්ඩුවකට ඉතා ඉක්මන් තීරණයක් ගත හැකිය.
---------------------------
by (2025-06-11 00:44:59)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි