~

රට ජාතිය ගැන කථා කරන හිටපු ජනපති - මන්ත්‍රී පුත්‍රයෙකුගේ ඩොලර් මිලියන දෙසීයක බිට් කොයින්-ක්‍රිප්ටෝ ආයෝජනයේ අභිරහස..!

-විශේෂ වාර්තාකරුවෙකු ලියයි - සිංහලට නැගුවේ සංජය දසනායක

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.12, ප.ව.11.30) මෙම කථාව ආරම්භ වන්නේ කොළඹ දේශපාලන පසුබිම්වල තිර රචනය කර ඩුබායි හි සුවිසල් මාලිගා තුළ ඔප දැමූ ත්‍රාසජනක චිත්‍රපටයක් මෙනි. එහෙත් මෙය ප්‍රබන්ධයක් නොවේ. ‘ලංකා ඊ-නිව්ස්’ විසින් ලබාගත් සහ ‘ද සන්ඩේ ටයිම්ස්’ විසින් සමාලෝචනය කරන ලද රහස්‍ය ලේඛන රාශියකට අනුව, දැවැන්ත ඩොලර් මිලියන 200 ක මෙම රහස් ආයෝජනය පිලිබඳ විශ්මයජනක කරුණු මතු වී තිබේ.

මෙම රහස් ආයෝජනයට නම් ඈදී ඇත්තේ දෙවරක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවූ හිටපු ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුගේ වැඩිමල් පුත්‍රයා ගේය. එම පුත්‍රයා දැන් රට ජාතිය වෙනුවෙන් කථා කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අතර බිට්කොයින් හි ඩොලර් මිලියන 200 ක දැවැන්ත ආයෝජනයක් කර ඇති බවට ඔහුට දැන් චෝදනා එල්ල වේ.

මෙම හෙළිදරව්ව පිළිබඳ සත්‍ය සොයා ගතහොත් , එය නිදහසින් පසු ශ්‍රී ලාංකිකයෙකු විසින් රහසේ පිටරටක ආයෝජනය කළ විශාලතම වත්කම ලෙස  ශ්‍රේණිගත වනු ඇත

රහස් වලින් පිරුණු සුරක්ෂිතාගාරයක්…

ඩිජිටල් මුල්‍ය ඒකකයක් වන Bit coin හි ආයෝජනය කරන්නේ ලොව නීති විරෝධී කළු සල්ලි ජවාරමුන් වෙති. මෙම ජනාධිපති පුත්‍රයාගේ රහස් ආයෝජනයේ ආරම්භය ඩුබායි  වන අතර, කේමන් දූපත් වල අතරමැදියන් හරහා රහසේ ලියාපදිංචි කරන ලද බ්ලොක්චේන් භාරකාර වේදිකාවක් හිටපු පළමු පුත්‍රයාගේ දැවැන්ත ගුප්ත ව්‍යවහාර මුදල් හුවමාරුවට පහසුකම් සැලසූ බව වාර්තා වේ. එමෙන්ම මෙම ආයෝජනයන් සඳහා අධි ආරක්ෂිත, අතිශය නිර්නාමික, සහ පැහැදිලි වාසිදායක හිමිකාරිත්ව මංපෙතක් නොමැති ආයතන විසින් සහාය දක්වනු ලබන බව කියනු ලැබේ.

ඩුබායි හි ක්‍රිප්ටෝ වත්කම් කළමනාකරණ සමාගමකින් හෙළිදරව් වී ඇති අභ්‍යන්තර ලියවිලි වලට අනුව, ආයෝජනය ඉහළ ශුද්ධ වටිනාකමක් ඇති ඩිජිටල් වත්කම් භාරකාරත්වය සඳහා විශේෂිත වූ ෂෙල් සමාගම් දෙකක් හරහා ව්‍යුහගත කර ඇත. ඉන් එක් ආයතනයක් වන්නේ අල්-සෆීර් වෙන්චර්ස් ලිමිටඩ් (Al-Saffir Ventures Ltd) නම් සමාගමකි. එහි අධ්‍යක්ෂවරුන් පැනමාවේ පදිංචි ප්‍රොක්සි නාමිකයින් දෙදෙනෙකු ලෙස ලැයිස්තුගත කර ඇත. දෙවැනි සමාගම වන්නේ නෝ ලිමිට් හෝල්ඩින්ග්ස් (No limit Holdings) නම් කාර්යාලයක් හෝ නොමැති නමක් පමණක් ඇති සමාගමකි.

බ්ලොක්චේන් නම් බිට් කොයින් විශ්ලේෂණ ආයතනය මගින් මීට මාස 14 කට පමණ පෙර තොග බිට්කොයින් අත්පත් කර ගැනීමක් සනාථ කර තිබේ. ඒ වන විට බිට්කොයින් එකක මිළ ඩොලර් 27,000 ක් පමණ විය. අද වන විට බිට්කොයින් එකක් ඩොලර් 100,000 ට වෙළඳාම් වන අතර එය 400% ක ලාභයක් ලබා දී තිබේ. මූලාශ්‍ර චෝදනා කරන පරිදි, මෙම ආයෝජනය දැන් ඩොලර් මිලියන 800 කට වඩා වටිනා බව පැවසේ.

අභිරහස් මන්ත්‍රීවරයා කව්ද?

හෙළිවී ඇති රහස් ලේඛන වලට අනුව ආයෝජනය කළ පුද්ගලයා කෙලින්ම නම් කිරීමෙන් වැළකී සිටී. කෙසේ වෙතත්, පළවී ඇති ඉඟි අනුව නිසැකවම ප්‍රසිද්ධ දේශපාලන පවුලක උරුමක්කාරයෙකු දෙසට ඇඟිල්ල යොමු කරයි. ඔහුගේ පියාගේ පාලන තන්ත්‍රය ආක්‍රමණශීලී ජාතිකවාදය සහ දැවැන්ත රාජ්‍ය වියදම් යන දෙකටම සුප්‍රසිද්ධය. ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයකට පාර කැපුනේ මෙම මන්ත්‍රීවරයාගේ පවුල් පාලනය හරහා බව ශ්‍රී ලංකා උපරිමාධිකරණයත් තීන්දු කර තිබුණි.

දැන් පාර්ලිමේන්තුවේ පසුපෙළ ආසනයක් හිමිකරගෙන සිටින මෙම මන්ත්‍රීවරයා, සාම්ප්‍රදායික සිංහල වටිනාකම් සහ ශ්‍රී ලංකාවේ "ස්වෛරී ඩිජිටල් අනාගතය" සඳහා හඬක් ලෙස පෙනී සිටියි. එහෙත් ඔහු කිසි විටෙකත් ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට තම ඩිජිටල් වත්කම් ප්‍රකාශයක් ගොනු කර නොමැත.

මේ ඩොලර් මිලියන 200 කොහෙන්ද?

මෙම මන්ත්‍රීවරයාගේ පියාගේ ජනාධිපති ධුර කාලය තුළ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවලට සම්බන්ධ ප්‍රමුඛ සමාගම් ජාලයක් හරහා අරමුදල් ගොස් ඇති බවට දේශීය හා විදේශීය විමර්ශකයෝ දැන් සැක කරති. පාරාන්ධ ලංසු තැබීමේ ක්‍රියාවලීන් යටතේ රජයේ යටිතල පහසුකම් ටෙන්ඩර් ලබාගත් ශ්‍රී ලාංකික සමාගම් කිහිපයක් දැන් නැවත පරීක්ෂාවට ලක්ව ඇත.

එවැනි එක් සමාගමකට ඩොලර් මිලියන 480 ක නාගරික ප්‍රතිසංවර්ධන කොන්ත්‍රාත්තුවක් පිරිනමන ලදී. එහෙත් එම සමාගම කිසි විටෙකත් නියමිත ඉදිකිරීම් සම්පූර්ණ කර නැත. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය මාලදිවයිනේ සුඛෝපභෝගී නිවාඩු නිකේතනයක් ඉදි කිරීම සඳහා ආයෝජනය කළේය. එම නිවාඩු නිකේතනය වන කොරල් එම්බර් රිට්‍රීට් වෙත ඩොලර් මිලියන 40 කට ආසන්න අක්‍රමවත් විදේශ ප්‍රේෂණ ලැබී ඇති බවට හා සැක සහිත බැංකු ක්‍රියාකාරකම් වාර්තාවක් (SAR) ගොනු කරගන්නට සිංගප්පුරු බැංකුවක් ක්‍රියා කර ඇත.

මීට අමතරව, මූල්‍ය විශ්ලේෂකයින් තරුණ කටයුතු අමාත්‍යාංශයෙන් ක්‍රීඩා උපකරණ ප්‍රසම්පාදන ටෙන්ඩරයක්, මන්ත්‍රීවරයාගේ කාලයේ "නිල නොවන උපදේශකයෙකු" ලෙස අත්සන් කර ඇති අතර, එය ප්‍රහේලිකාවේ කොටසක් විය හැකි බව සලකුණු කර ඇත. කොන්ත්‍රාත් වටිනාකමෙන් 15% ක් දක්වා ඉහළ කොමිස් මුදල් කිහිපයක්, මොරිෂස් සහ ගුවර්න්සි හි  භාර වෙත යොමු කර ඇති බව පෙනේ.

ඩිජිටල් ආයෝජන හෙළි කළ යුතු නීති තවමත් නෑ…

ක්‍රිප්ටෝ මුදල් අසමසම නිර්නාමිකභාවයක් ලබා දෙයි - ධනය ගලායාම අපැහැදිලි කිරීමට උත්සාහ කරන අයට පරිපූර්ණයි. “බිට්කොයින් නිර්මාණය කර ඇත්තේ විනිවිද පෙනෙන ලෙසයි. නමුත් ප්‍රමාණවත් ස්ථර, ෂෙල් සමාගම් සහ බහු-සිග් පසුම්බි සමඟ, වඩාත්ම දියුණු අධිකරණ වෛද්‍ය සමාගම් පවා වාසිදායක හිමිකාරිත්වය සොයා ගැනීමට අරගල කරයි,” එක්සත් රාජධානියේ විදේශ කාර්යාලයේ හිටපු අවදානම් විශ්ලේෂකයෙකු වන ආචාර්ය ඇලෙස්ටෙයාර් නිව්ටන් එසේ පැවසීය.

ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනට විදේශයන්හි පවතින ක්‍රිප්ටෝ මුදල් වත්කම් සඳහා අනිවාර්ය හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවයක් නොමැත. මෙම නීතිමය අන්ධ ස්ථානය දේශපාලනිකව සම්බන්ධ පුද්ගලයින් සහ ව්‍යාපාරිකයින් සඳහා ආකර්ශනීය රැකවරණයක් බවට පත් කර ඇත.

හෙළිදරව් කිරීම සඳහා වන ඉල්ලීම…

වෙරිටේ පර්යේෂණ ආයතනයේ ප්‍රධානී ආචාර්ය නිෂාන් ද මෙල් අනතුරු අඟවන්නේ  “ඩොලර් මිලියන 200 ක බිට්කොයින් දේශපාලනඥයෙකුගේ අතේ පැවතිය හැකි බව දැන ගැනීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. එය ඔහු වෙත පැමිණියේ කෙසේදැයි අප විමසිය යුතුය. එය සොරකම් කර තිබේද?, විශුද්ධිකරණය කර තිබේද?, නැතහොත් බදු පැහැර හැර තිබේද? රාජ්‍යයට නොදැනුවත්කම මවා පෑමට නොහැකිය.”

ආචාර්යවරයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ, සෑම පුරවැසියෙකුම ජුනි 30 ට පෙර දේශීය හෝ විදේශීය ඕනෑම ආයෝජනයක් හෝ තැන්පත් කර ඇති  මුදල් ප්‍රමාණයක් හෙළි කරන ලෙසයි.“ඔබ නිහඬතාවය නීතිගත කරන්නේ නම්, ඔබ අපරාධය නීත්‍යානුකූල කරයි,” ඔහු පැවසීය.

ඩුබායි, කේමන් සහ මගහැරීමේ ව්‍යුහ විද්‍යාව…

ගල්ෆ් අනුකූලතා සමාගමක එක් මූලාශ්‍රයක් 'ද සන්ඩේ ටයිම්ස්' වෙත මෙසේ පැවසීය: “මෙම ව්‍යුහයන් අප්‍රිකානු දූෂිත දේශපාලන බලවතුන්, ගල්ෆ් රාජකීයයන් සහ වැඩි වැඩියෙන් දකුණු ආසියානු ප්‍රභූන් විසින් භාවිතා කරනු ලැබේ. හිටපු දකුණු ආසියානු ජනාධිපතිවරයෙකුගේ පුත්‍රයා මෙහි පළමු හෝ අවසානය නොවනු ඇත.”

ජාත්‍යන්තර ගිවිසුම් බැඳීම් මගින් බල කරනු ලැබුවහොත් මිස, කේමන් දූපත් වල වාසිදායක හිමිකාරිත්ව තොරතුරු බෙදා ගැනීම ප්‍රතික්ෂේප කිරීම සමඟ ඒකාබද්ධව, ඩිජිටල් වත්කම් පිළිබඳ ඩුබායි හි දුර්වල අධීක්ෂණය පරිපූර්ණ ආරක්ෂක වැටක් සාදයි." රටින් පිටකර මෙසේ රහස් ආයෝජන වල තැන්පත් කර ඇති මුදල් සොයා ගැනීමට කොළඹ රජයට දේශපාලන කැමැත්තක් නොමැති නම්, මෙම මුදල් සදාකාලිකවම  වැළලෙනු ඇත " මූලාශ්‍රය තවදුරටත් පැවසීය

නිල නිහඬතාවය - සහ ජාත්‍යන්තර ඇස්…

මේ චෝදනා පිළිබඳව තරුණ මන්ත්‍රීවරයාගේ කාර්යාලයට නැවත නැවතත් කරන ලද විමසීම්වලට පිළිතුරු ලැබී නොමැත. මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සහායකයෙකු පැවසුවේ: "ඔහුගේ චරිතයට කැළලක් ඇති කිරීම අරමුණු කරගත් මෙවැනි පදනම් විරහිත ලිපි පිළිබඳව අදහස් දැක්වීමට ඔහුට හැකියාවක් නැත." යනුවෙනි.

ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී කොමිසම මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබේද නැතහොත් ගොනුවක් විවෘත කර තිබේද යන්න තහවුරු කිරීම ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත්, සිකුරාදා මහ බැංකු අධිපතිවරයා පැවසුවේ "රහස් ව්‍යවහාර මුදල් ආයෝජන නිරීක්ෂණය කරනු ලබන" බවත්, බැංකුව "නීතිමය රාමුවක් මතුවීම සාදරයෙන් පිළිගන්නා" බවත්ය.

මේ අතර, ජාත්‍යන්තර පීඩනය වැඩි විය හැකිය. ත්‍රස්තවාදී මූල්‍යකරණය නිරීක්ෂණය කිරීමේදී දකුණු ආසියානු රටවල් සමඟ කටයුතු කර ඇති එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව, ඩොලර් ගනුදෙනු සම්බන්ධ විය හැකි මුදල් විශුද්ධිකරණයට එරෙහි (Anti money laundering) තොරතුරු නිරීක්ෂණය කරන බව වාර්තා වේ.

දූෂණයෙන් දැවුණු ජාතියක්…

ඉන්ධන පෝලිම් , ආහාර හිඟ, සහ ඒවාට විරුද්ධව මතුවූ මහජන අරගල  හා 2022 ආර්ථික බිඳවැටීමෙන් තවමත් පීඩා විඳින ශ්‍රී ලාංකිකයන්, මහජනතාවගේ මුදල් මෙසේ සොරකම් කිරීම සැහැල්ලුවට නොගන්නා බව පැහැදිලිය.

2022 දී විරෝධතාකරුවෝ ජනාධිපති මන්දිරයට කඩා වැදී දේශපාලන ව්‍යුහයේ හා පාලන ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටියහ. 2023 දී හිටපු ඇමතිවරුන් COVID-19 ආධාර විදේශීය ගිණුම්වලට මාරු කර ඇති බව සොයා ගන්නා ලදී. දැන්, සැක සහිත ප්‍රාග්ධනය මත ගොඩනගා ඇති 'බිට්කොයින් අධිරාජ්‍යයක්' නැවත වරක් මහජන කෝපය ඇවිස්සීමට තර්ජනය කරයි.

ඉදිරි මාවත…

මෙම පරීක්ෂණය ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණවල ඊළඟ පරිච්ඡේදය සඳහා පරීක්ෂණ භූමිය බවට පත්විය හැකිය.

එම නිසා වර්තමාන ශ්‍රී ලංකා දේශපාලන අධිකාරියෙන් පහත සඳහන් ඉල්ලීම් වැඩිවෙමින් පවතී:

1)      ලබන ජූනි 30 වන දිනට පෙර සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා ඩිජිටල් වත්කම් හිමිකම ප්‍රකාශ කිරීම අනිවාර්ය කරන නීති සම්පාදනය වහාම සම්මත කිරීම.

2)      පසුගිය රජයේ ටෙන්ඩර්වලට සම්බන්ධ රටින් පිට ගිණුම් සහිත ෂෙල් සමාගම් පිළිබඳ වෝහාරික විගණනයක් .

3)      ප්‍රශ්නයට ලක්ව ඇති හිටපු ජනාධිපති පුත්‍ර මන්ත්‍රීවරයාට ඔහුගේ මූල්‍ය මුලාශ්‍ර හා ආයෝජන හෙළි කිරීමට පාර්ලිමේන්තු කැඳවීමක්.

4)      අන්‍යෝන්‍ය නීති ආධාර ගිවිසුම් යටතේ ඩුබායි සහ කේමන් මූල්‍ය බලධාරීන් සමඟ සහයෝගීතාවය.

-විශේෂ වාර්තාකරුවෙකු විසිනි -  සිංහලට නැගුවේ සංජය දසනායක

---------------------------
by     (2025-06-12 23:50:42)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links