-Lion Roar 2025 ජුනි කලාපයේ පළවූ භික්ඛු බෝධි හිමි දේශනයේ සිංහල පරිවර්තනය - කුඩගම්මන සීලරතන හිමිගෙනි.
(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.12, ප.ව.11.45) සදාචාරාත්මක වීමක් අවශ්‍ය නොවේ යයි කියැවෙන තැනෙක අභියෝගයට ලක්වන මානව ගරුත්වය ආරක්ෂා කර ගන්නේ කෙසේද?
එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දිනය නිමිත්තෙන් 2025 මැයි 5-8 දිනවල වියට්නාමයේ හෝ චි මිං නගරයේ පැවති උත්සවයේ ප්‍රධාන දේශනය, අතිපූජ්‍ය භික්ඛු බෝධි විසින් පවත්වන ලදී. එය මාතෘකා කොට තිබුණේ, “සදාචාරාත්මක වීම ප්‍රතික්ෂේප වීමේ තර්ජනයෙන් මානව ගරුත්වය ආරක්ෂා කිරීම,” ලෙසය. දේශනය සමාප්ත කරමින් ගාසා තීරය කෙරෙහි අවධානය යොමු කරන අතිපූජ්‍ය භික්ඛු බෝධි පවසන්නේ, “සදාචාරාත්මක වීමක් අනවශ්‍ය යයි කියන බලවේග අතර තරගයේ කේන්ද්‍රස්ථානය සහ මානව ගරුත්වය ආරක්ෂා කිරීමට අප බැඳීමක් තිබේ,” යනුවෙනි.
–Lion Roar 2025 ජුනි කලාපයේ පළවූ දේශනයේ සිංහල පරිවර්තනය කුඩගම්මන සීලරතන හිමිගෙනි.
මානව ගරුත්වය යනු කුමක්ද යන්න පිළිබඳ පොදුවේ කාටත් එකඟ වියහැකි සරල අදහසක් දැක්වීම දුෂ්කර ය. එයට විධිමත් අදහස් පැහැදිලි කිරීමක අපට අව්‍ය නැහැ. සහජයෙන්ම අපට එහි අදහස අපට දැනෙන එකක්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයෙ සඳහන් වන්නෙ, “සියලුම මිනිසුන් නිදහස්ව හා ගෞරවයෙන් හා අයිතිවාසිකම්වලින් සමානව උපත ලබා ඇති” බවයි. ඊළඟ වගන්තිවල මානව ගරුත්වය කියන එක තවත් පැහැදිලි කෙරෙනව; සියල්ලටත් වඩා ජීවත්වීමේ අයිතිය, නිදහස සහ පුද්ගලික ආරක්ෂාව, සිතීමේ සහ ප්‍රකාශනයේ නිදහස, සහ තවත් බොහෝ අයිතිවාසිකම් ඇතුළත් බොහෝ දේ ඇතුළත් වෙන දෙයක් හැටියට. මානව ගරුත්වය කෙලෙසෙන දේවල්වලට අන් අයව සූරාකෑම සහ පීඩා කිරීම, වධහිංසා පැමිණවීම, ඔවුන්ට අවමන් සහගත දඬුවම් පැමිණවීම සහ ඔවුන්ගේ සමාජ තත්ත්වය, ජාතිය, ආගම හෝ ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගික අනන්‍යතාව මත මිනිසුන්ට අවමන් කිරීම වැනි ක්‍රියා ඇතුළත් වෙන බව.
මානව ගරුත්වය පිළිබඳ අදහසින් ඇඟවෙන්නේ සෑම පුද්ගලයෙකුටම ආවේණික වටිනාකමක් තිබෙනවය, එනිසාම, ගෞරවය සහ සලකා බැලීම ලැබිය යුතු බවත්. සිරකරුවන්ට පවා බලධාරීන් හඳුනාගත යුතු ඇතැම් අයිතිවාසිකම් තියෙනව.
බෞද්ධ ග්‍රන්ථවල මානව ගරුත්වය පිළිබඳ අදහස පැහැදිලිව මතු කෙරෙන්නෙ නැහැ. එහෙත්, මා කියන්නෙ බෞද්ධ ශික්ෂා පදවල ඒ අදහස ගැබ්ව තිබෙන බවයි. ශික්ෂා පද අපට පවසන්නෙ, අප අන් අය අපට සලකනු ඇතැයි අපේක්ෂා කරන ආකාරයටම, අපත්, ඔවුන්ට සැලකිය යුතු බවයි. අපි ඔවුන්ව මරා දැමීම, ඔවුන්ගේ දේපළ සොරකම් කිරීම, ඔවුන්ට අපහාස කිරීම හෝ කිසිම ආකාරයකින් තුවාල කිරීම නොකළ යුතුයි. මන්ද, සෑම පුද්ගලයෙකුම තමන්ගේම ජීවිතය, ආරක්ෂාව සහ යහපැවැත්ම අගය කරන නිසා. මෛත්‍රිය, කරුණාව සහ අනුකම්පාව යන ගුණාංග කේන්ද්‍ර කර ගත්ත බෞද්ධ ආචාර ධර්ම මානව ගරුත්වය සඳහා කැපවීමත් ශක්තිමත් කරවනව.
දැන් මම මගෙ කතාවෙ දෙවන කොටසට පැමිණෙනව. අද ලෝකයෙ ක්‍රියාත්මක වන දේවල් මානව ගරුත්වයට තර්ජනයක් වගේම, සදාචාරාත්මක වීම ඒ තරම් ගණන් ගත යුතු දෙයක් නොවෙයි කියන දිසාවට අපව තල්ලු කරවනව. මේවයෙ ආවේණික වටිනාකමක් නොමැති බවත්, එනිසාම, හෘද සාක්ෂියට නොදැනෙන විදියට මිනිසුන්ව පහත් කොට සැලකීමත්, සූරාකෑමත්, වධහිංසා පැමිණවීම සහ මරා දැමිට හැකියාවකුත් තියෙනව කියන බවක් කල් ඇතිව හිතාගෙන වගේ හැසිරෙන මිනිස්සු ඉන්න බව පෙනෙන්නෙ එනිසයි.
සදාචාරාත්මක වීම වැඩක් නැහැ කියන දෙසට අපව තල්ලු කරන සාධක හතරක් මම කෙටියෙන් සඳහන් කරන්නම්. ඒවට වඩා තව තියෙනව. ඒත්, එච්චර සාකච්ඡා කරන්න මට කාලයක් නැහැ.
සදාචාරාත්මක වීම අවශ්‍ය දෙයක් නෙවෙයි කියල හිතන දෙසට අපව තල්ලු කරන පළමු සාධකය වන්නෙ නියාමනයක් නොකෙරෙන, කොල්ලකාරී ධනවාදය විසින් මෙහෙයවනු ලබන අන්තර්ජාතික ආර්ථික ක්‍රමය. මෙම ක්‍රමය ක්‍රියාත්මක වෙන්නෙම, ආයතනයක අරමුණ ලාභ උපරිම කිරීමමයි කියන පදනම මත. මෙමගින් මූල්‍යමය නොවන සියලු වත්කම් - ඉඩම්, ගංගා, ඛනිජ සම්පත්, ගස්-වැල්, සතා සිවුපාවුන් සහ මිනිසුන් - සැලකෙන්නෙ මූල්‍යමය ලාභ උපයා ගැනීමේ මාධ්‍ය වශයෙන්. දැවැන්ත ලාභ ඒ ආයතන මෙහෙයවන්නන් සහ ආයෝජකයින් පොහොසත් කරවනව වුණත්, ඔවුන් එක්ක වරප්‍රසාද භුක්තිවිඳින කවයන්ගෙන් පිටත බොහෝ දෙනෙකුට අත්කර දෙන්නෙ, දුක්ඛිත භාවය සහ බලාපොරොත්තු සුන්වීමයි.
තෙල් හා රසායනික සමාගම් අපගේ පරිසරය දූෂණය කරවන අතර, ආදිවාසීන් ඔවුන්ගේ පාරම්පරික ඉඩම්වලින් තල්ලු කරල දමනව. ක්ෂණික ආහාර ජාලයන් ප්‍රමාණවත් වැටුපක් නොමැතිව කම්කරුවන් සූරාකන අතර, ඔවුන්ට උපරිම කාර්යක්ෂමතාවයෙන් ඔවුන්ට වැඩ කරන්න තවදුරටත් නොහැකි බව දැනගත් වහාම ඔවුන්ව සේවයෙන් පහ කරවනව. ඖෂධ සමාගම් ජීවත් වීමට අවශ්‍ය ඖෂධ සඳහා ගෙවීමට මිනිසුන්ට ඇති හැකියාව ඉක්මවා ඖෂධ මිල ඉහළ නංවනව.
ආයතනික ධනවාදය සුපිරි ධනවතුන් සහ අනෙක් සියල්ලන් අතර පුළුල් පරතරයක් ඇති කරවනව. අද ඉහළම 1% ලෝකයේ ධනයෙන් 43% ක් හිමිකර ගනිද්දි; පහළම 50%කට හිමි වෙන්නෙ 1% යි. මෙම දුර්දාන්ත අසමානතාවය ශාරීරික හා මානසික සෞඛ්‍යයට ඇති කරන්නෙ හානිකර බලපෑමක්. පරිමාණයේ පහළම කෙළවරේ සිටින අයට ඔවුන්ගේ ආත්ම ගෞරවය පිළිබඳ හැඟීම නැති වී යන අතර, බොහෝ දෙනෙක් මරණයට ගොදුරු වෙන්නෙ; බලාපොරොත්තු සුන් කරගෙන, මත්පැන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා, සෞඛ්‍ය තත්ත්වය දුර්වල කරගෙන. එහෙම නැතිනම්, සියදිවි නසා ගැනීමෙන්.
සදාචාරාත්මක වීමේ අවශ්‍යතාවක් නැත යන මතයට දායක වන දෙවන සාධකය මේ වෙනකොට අපගේ ජීවිත තුළ ආක්‍රමණශීලී භූමිකාවක් රඟපාන පරිගණක තාක්ෂණය. අන්තර්ජාලය අපට අත්කර දෙන ප්‍රතිලාභ අතිමහත්. ඒවුණත්, එය මානව ගරුත්වයට බරපතල තර්ජනත් ඇති කරවනව. මේ දත්ත පද්ධති මෙහෙයවන අයට අපේ පුද්ගලික තොරතුරු බිලියන ගණනින් අතු ගා දමන්න ගත වෙන්නෙ තත්පර කිහිපයයි. ඒ වගෙම, මෙම තොරතුරු යොදාගෙන ඔවුන්ට පුළුවනි අපේ දේශපාලන අදහස්වලට බලපෑම් කරන්න, පාරිභෝගිකයන් හැටියට අපේ තේරීම් වෙනස් කරන්න, අපේ රැකියා අපේක්ෂාවන්ට හානි කරන්න වගේම, අපේ නෛතික තත්ත්වයන් පවා විනාශකාරී ලෙස භාවිතා කරන්න. පරිගණක තාක්‍ෂණයම වටිනා වත්කමක්. ඒත්, අපි විද්‍යුත් මාධ්‍ය නිසි ලෙස නියාමනය නොකළොත්, ඔවුන් ආපසු හැරිල අපට දෂ්ට කරයි. මේව, ඒකාධිපති පාලනයන්ගෙ මෙවලම් බවට පවා පත් වෙන්න පුළුවන්.
අන්තර්ජාලය ද අභිලාෂයන්ගෙන් පිරුණ ඒකාධිපතියන්ට බලයට පත්වීමට පහසු මාර්ග සකසල දෙනව. ට්වීට් සහ අනෙකුත් ක්ෂණික පණිවිඩ මගින් පුළුවන් කෝපයට පත් වූ ජනකායක් අවුස්සන්න, මිනිසුන් අතර ප්‍රචණ්ඩත්වය අවුලුවාලන්න වගේම, ප්‍රතිවාදී දේශපාලනඥයෙකුගෙ අවස්ථා විනාශ කරවන්න වුණත්. අන්තර්ජාලය හරහා බොරු දෝංකාර දෙවන අතර, බොහෝ විට නැවත නැවතත් ඒව ප්‍රචාරණය වෙන අතරෙ, අපිත් ඒවා කරුණු හැටියට ගිල දමන්නෙ නැද්ද?
මෑත වසරවල පෙනෙන දෙයක් තමයි, ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කිහිපයක නායකයින් තමන් ආධිපත්‍යය දරණ රාජ්‍යය දක්ෂිණාංශික ඒකාධිපති රාජ්‍යයන් බවට පරිවර්තනය කරමින් ඉන්න බව. බොහෝ විට, ඒකාධිපතියන් බලයට පත් වන්නෙම ඔවුන්ගේ පදනම, එහෙම නැත්නම්, ඔවුන් “සැබෑ ජනතාව” ලෙස හඳුන්වන අයව, ඔවුන් බිල්ලන් ලෙස සලකන අයට එරෙහිව තරග කරවීමෙන්: සංක්‍රමණිකයන්, සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින්, වෙනස් ජාතියක අය සහ “වැරදි ආගමේ” අනුගාමිකයින්. බලය ලබා ගන්නෙ බොහෝ බලාපොරොත්තු සහගත ඒකාධිපතියන් නම්, ඔවුන් තම වින්දිතයින් සිරගත කිරීමට, පිටුවහල් කිරීමට හෝ “අතුරුදන්” කරවීමට ඉඩ තියෙනව. දශක ගණනාවක් තිස්සේ යටිබිම්ගතව හිඳ නැවත පැමිණෙමින් සිටින බව පෙනෙන ෆැසිස්ට්වාදය, දැන් භාවිතා කරන්නෙ මෘදු භාෂාවක්. ඒ එක්කම උත්සාහ කරන්නෙ, වාර්ගික අමනාපය, ආර්ථික අවුල් සහගත බව සහ සතුරන්ය කියල හිතාගෙන ඉන්න අයට දඬුවම් කිරීමේ උමතු අවශ්‍යතාව ඔස්සෙ ඉස්සර කරල තිබුණ ඉල්ලීම් ඉටු කරල අනුගාමිකයින් දිනා ගැනීමට.
බොහෝ විචාරකයින් පෙන්වා දී ඇත්තෙ, ප්‍රජාතන්ත්‍රවාදය බිඳෙනසුලු බවත්, එය සුපරීක්ෂ්‍යකාරීව ආරක්ෂා කළ යුතු බවත්. පරිස්සම් නොවෙනව නම්, අපට ජීවත් වෙන්න වෙන්නෙ උඩු යටිකුරු ලෝකයක බවත්. එහිදී අපිම කියනව ඇත්තෙ, අපේ වධකයන් අපේ ගැලවුම්කරුවන් ලෙස.
සදාචාරාත්මක වීම ප්‍රතික්ෂේප කිරීමට තුඩු දෙන සිව්වන සාධකය වන්නෙ අද යුද්ධය හැසිරෙන ආකාරයයි. හැම යුද්ධයම මානව ගරුත්වය උල්ලංඝනය කිරීමක්. අද පැවැත්වෙන යුද්ධ විනීතභාවයේ මූලික ප්‍රමිතීන් ඉක්මවා යන ඒව. යුද වැදුණ ජාතීන් හිතාමතාම රෝහල්, පාසල්, පල්ලි සහ බලාගාර විනාශ කරනව. ඔවුන් දරුවන් පැහැරගෙන යනව. සිරකරුවන්ට වධ හිංසා කරනව. ඔවුන් සිවිල් වැසියන් ඝාතනය කර ඔවුන්ගේ වින්දිතයින්ගෙ ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරනව. සිවිල් වැසියන්ගෙ ජීවිත හානි “වෙන දෙයක් නිසා සිද්ධ වෙච්ච දෙයක්” ලෙස බොහොම සැහැල්ලුවෙන් ප්‍රතික්ෂේප කෙරෙනව. දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ සකස් කරන ලද ජාත්‍යන්තර ගිවිසුම් යුද්ධයෙ නීත්‍යානුකූල හැසිරීමෙ සීමාවන් නිර්වචනය කරනව. නමුත්, අද ආණ්ඩු මෙම නීති පාගා දමමින් ගෝලීය සදාචාරාත්මක පිළිවෙළ පවත්වා ගෙන යන ආරක්ෂක වැටවල් විකෘති කරනව.
මානව ගරුත්වයට ඇති තර්ජන හතරක් පිළිබඳ මගෙ කෙටි සමීක්ෂණය මෙතනින් අවසන් කරනව. මෙම ප්‍රවණතා හතර සදාචාරාත්මක වීම ප්‍රතික්ෂේප කෙරෙන සාධක බවට පත් වන්නෙ, මානුෂීයකරණය බෙදා ගැනෙන ව්‍යාපෘතියක් හැටියට. එතෙන්දි, අඩු වැටුප් ලබන සේවකයින්ට මානව අවශ්‍යතා නොමැති බව මවා පාමින් සූරාකෑමට ලක්වීම සිදුවෙනව. අන් අයගෙ පුද්ගලික දත්ත මුළුමනින්ම මකා දැමීමට, ඒ දත්තවල සැබෑ හිමිකරුවන් නොසලකා හැරිය යුතු වෙනව. අවදානමට ලක්විය හැකි අයට ප්‍රහාර එල්ල කර බලයට පත්වීමට, ඔබ ඔවුන් වෛරයේ නීත්‍යානුකූල ඉලක්ක ලෙස සැලකිය යුතු වෙනව. සිවිල් වැසියන් මරා, සිරකරුවන්ට වධ හිංසා කිරීමට, ඔබ මුලින්ම ඔවුන් අමානුෂික කළ යුතුයි.
මෙයින් පෙනී යන්නෙ, සදාචාරාත්මක විය යුතු බව නොපිළිගැනීමට එරෙහිව සටන් කිරීමේ යතුර වූ මානව ගරුත්වය තහවුරු කිරීමයි කළයුතුව තිබෙන්නෙ කියන බවයි. අවදානමට ලක්ව සිටින අයගේ මනුෂ්‍යත්වය කෙරෙහි අප ආලෝකය විහිද විය යුතුයි. අප අන් අය තුළ අපව දැක ගත යුතුයි, ඔවුන් අපගේ හදවත්වලින් වැළඳ ගත යුතුයි, සහ ඔවුන්ගෙ ආරක්ෂාව සඳහා නිර්භීතව ක්‍රියා කළ යුතුයි.
මම දැන් මගේ කතාවේ තුන්වන කොටසට පැමිණෙන්නෙ, “බෞද්ධ ඉගැන්වීම්වලට අනුකූලව, අද ලෝකයේ මානව ගරුත්වය පවත්වා ගැනීමට සහ වැඩිදියුණු කිරීමට හැක්කෙ කුමන ආකාරයෙ සමාජයකට ද?” යන ප්‍රශ්නය මතු කරමිනි. අද මානව ගරුත්වයට සතුරු බලවේගවලට එරෙහිව සටන් කිරීමට, අප මුහුණ දෙන අන්තරායන් පෙන්වා දීම පමණක් ප්‍රමාණවත් නොවේ. අපගේ වර්තමාන පද්ධතියට විකල්ප දැක්මක් ද ඉදිරියට ගෙන යා යුතුව ඇත. මානව ගරුත්වය තහවුරු කෙරෙන සමාජ පිළිවෙළක ආකෘතිය, සෑම කෙනෙකුම ජයග්‍රහණය කරන ලෝකයක්.
එවැනි දැක්මක් ලබා දීම සඳහා, මානව ගරුත්වයෙ පරමාදර්ශය මූර්තිමත් කෙරෙන සමාජ ක්‍රමයක් දරා සිටින කුළුණු හයක් මම යෝජනා කරමි.
(1) පළමු අවශ්‍යතාවය වන්නෙ; ආරක්ෂිත, ලස්සණ, සමෘද්ධිමත් ස්වභාවික පරිසරයක් සහිත ලෝකයක් හෙවත්, දේශගුණික විපර්යාස සහ කාර්මික දූෂණය මගින් අවුලුවන අනතුරු වළක්වා ගැනෙන ලෝකයකි. එවැනි ලෝකයක් සාක්ෂාත් කර ගැනීම සඳහා අපි විෂ සහිත අපද්‍රව්‍ය සීමා කර, පිරිසිදු හා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත වේගයෙන් සංක්‍රමණය විය යුතු අතර, ඒවායේ ප්‍රතිලාභ මෙම ග්‍රහලෝකයේ සිටින සෑම කෙනෙකු සමගම බෙදා ගත යුතුය. වනාන්තර, ගංගා සහ විල් සහිත සමෘද්ධිමත් සත්ව රාජධානියක් ආරක්ෂා කර පවත්වා ගැනීමට මෙන්ම, මිනිසුන් හැර අනෙකුත් විශේෂ ආරක්ෂා කිරීමට ද අපි අධිෂ්ඨානශීලීව උත්සාහ ගත යුතුය.
(2) සුරක්ෂිත ලෝකයක් යනු සාමයේ ලෝකයක් ද වනු ඇති අතර, එහිදී අපි තවදුරටත් ආරවුල්වලට විසඳුම් වශයෙන් යුද්ධයට යොමු නොවෙමු. ජාතීන් අතර ගැටුම් සාකච්ඡා, මැදිහත්වීම් සහ සම්මුති හරහා විසඳා ගත යුතු අතර, එවැනි සාකච්ඡා සඳහා නිසි වේදිකාව ලෙස එක්සත් ජාතීන් කටයුතු කළ යුතුය. න්‍යෂ්ටික අවි සහ අනෙකුත් මහා විනාශකාරී අවි සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම අපගේ ඉලක්කය විය යුතුය.
(3) සමාජ ක්ෂේත්‍රය තුළ, වඩාත් අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහිත ලෝකයක් අප අපේක්ෂා කළ යුතු අතර, එහිදී පුරවැසියන්ට ඔවුන්ගේ ජීවිතවලට බලපාන තීරණාත්මක තීරණ හැඩගැස්වීමට බලය ඇත. සෞඛ්‍ය සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදයක්, සුපිරි ධනවත් පරිත්‍යාගශීලීන් මැතිවරණවලට බලපෑම් කිරීම වළක්වන දැඩි නීති සම්මත කරනු ඇත. රජය පිළිබිඹු කළ යුත්තේ, ජනතාවගේ කැමැත්ත මිස, වැඩි ධනයක් සහ බලයක් සඳහා උනන්දුවක් දක්වන දැවැන්ත සමාගම් සහ බිලියනපතියන්ගේ කැමැත්ත නොවේ.
(4) සාධාරණ සමාජ ක්‍රමයක් සැකසීමට නම්, පුරවැසියන් නොවන අය ඇතුළුව රටක සියලුම පදිංචිකරුවන්ට තරමක් සමාන ජීවන තත්වයක් අවශ්‍ය වේ. ධනයේ සහ ආදායමේ පරිපූර්ණ සමානාත්මතාවය කළ නොහැකි නමුත්, රටක සියලුම පදිංචිකරුවන්ට: නිවෙසක්, පෝෂ්‍යදායී ආහාර, ඇඳුම් පැළඳුම් සහ සෞඛ්‍ය සේවාවක් යන ඔවුන්ගේ මූලික ද්‍රව්‍යමය අවශ්‍යතා සපුරාලීමට හැකි විය යුතුය. පර්යේෂකයන් සඳහන් කර ඇත්තේ, සතුටින්ම සිටින්නේ බහුතරය සමානයන් වන සමාජයන්ය. වඩාත් අසමාන සමාජ, ප්‍රචණ්ඩකාරී මෙන්ම ආතති සහිත ය.
(5) සජීවී ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ, පුරවැසියන්ව ඔවුන්ගේ සිවිල් රාජකාරි ඉටු කිරීම සඳහා සූදානම් කෙරෙන හොඳින් වටකුරු අධ්‍යාපනයක් ලැබිය යුතුය. පාසල් මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාවන්හි, ආචාර ධර්ම හා සිවිල් විද්‍යාවන්ට සම්බන්ධ අවශ්‍ය පාඨමාලා ඉදිරිපත් කළ යුතු අතර, විවේචනාත්මක චින්තනය ක්‍රියාත්මක කළහැකි ලෙස සිසුන් පුහුණු කළ යුතුය. උසස් අධ්‍යාපනයට රජයන් නොමසුරුව සහාය දිය යුතු අතර, සියලු දෙනාටම උසස් අධ්‍යාපනික ප්‍රතිලාභ ලබා ගත හැකි වන පරිදි දුප්පත් සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දිය යුතුය.
(6) කාන්තාවන්ට ඔවුන්ගේ සම්පූර්ණ හැකියාවන් අවබෝධ කර ගත හැකි වන පරිදි සමාජයේ සෑම තරාතිරමකම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පවතින බව අපි සහතික කළ යුතුය. බෞද්ධ පැවිදි පිළිවෙත සම්බන්ධයෙන්, පැවිදි නායකයින් භික්ෂුණී සංඝයාට පූර්ණ පිළිගැනීමක් ලබා දිය යුතු අතර, ඔවුන්ගේ අදාළ පරම්පරාවල භික්ෂුණී උපසම්පදාව අනුමත කිරීමට පියවර ගත යුතුය. නීත්‍යානුකූල භික්ෂුණී උපසම්පදාව සඳහා විනය තුළ මාර්ග ඇති අතර, විවෘත හා නම්‍යශීලී මනසකින් අපට එවැනි ක්‍රම අනුගමනය කළ හැකිය.
ඊළඟට, මානව ගරුත්වය සම්පූර්ණයෙන්ම තහවුරු කෙරෙන සමාජ පිළිවෙළක් සාක්ෂාත් කර ගැනීමට අපට අවශ්‍ය වටිනාකම් මාලාවක් කෙටියෙන් දැක්වීමට මම කැමැත්තෙමි. බෞද්ධ ආචාර ධර්මවල මුල් බැසගත් මෙම වටිනාකම් මාලාව මම හඳුන්වන්නේ, “හෘද සාක්ෂියට එකඟ අනුකම්පාව” ලෙසයි. හෘද සාක්ෂියට එකඟව අනුකම්පා කිරීම යනු, අන් අයගේ දුක් වේදනා කෙරෙහි නිෂ්ක්‍රීය අනුකම්පාවක් නොව, පීඩාකාරී පද්ධතිවලට එරෙහිව නැගී සිටීමට සහ පොදු යහපතට හිතකර විකල්ප අනුගමනය කිරීමට ක්‍රියාකාරී කැපවීමකි.
හෘද සාක්ෂියට එකඟව අනුකම්පාවේ මූලික වටිනාකම වන්නේ, සහයෝගීතාවයය. එසේ නැතහොත්, අන් අය ඒ අයගේ අවශ්‍යතා සමග හඳුනා ගැනීමේ හැකියාවයි. සහයෝගිතාවය ගලා එන්නේ, සියලු මිනිසුන්ගේ අත්‍යවශ්‍ය එකමුතුකම හෙවත්, සියලු මිනිසුන් යහපැවැත්ම, සතුට සහ ආරක්ෂිත වීමට කැමති බව හඳුනා ගැනීමෙනි. අප සියල්ලන්ම ප්‍රචණ්ඩත්වයෙන් හා දුක් වේදනා වලින් නිදහස් වීමට උත්සාහ කරන බව අවබෝධ කර ගැනීමෙනි. සහයෝගීතාව; අන් අයගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරී සැලකිල්ලක් ලෙස ආදරයත්, මිනිසුන් මෙන්ම අනෙකුත් සියළුම ජීවීන් දුක් වේදනා වලින් නිදහස් කිරීමේ අභිලාෂය ලෙස අනුකම්පාව යන පිළිවෙළට ආදරය සහ අනුකම්පාව ඇති කරවයි.
“බෞද්ධ නායකයින් ලෙස අප නිහඬව පසෙකට වී නොසිටිය යුතුය. අපි මේ මොහොතේ ඉල්ලීම් ග්‍රහණය කරගත යුතුය. අපගේ හඬ සොයා ගත යුතුය. සාමය සහ යුක්තිය ඉල්ලා සිටීමට ඒවා භාවිතා කළ යුතුය.”
හෘද සාක්ෂියට එකඟව අනුකම්පාව සාර්ථක වීමට නම්, අපට තවත් ගුණාංගයක් අවශ්‍ය වේ, එනම් ධෛර්යය, එය ශක්තිය (විරිය) සහ අධිෂ්ඨානය (අධිත්තානය) යන පාරමිතා වලට අනුරූප වේ. හෘද සාක්ෂියට එකඟව අනුකම්පා කිරීමේ කාර්යයේදී, ධෛර්යය යනු හෘද සාක්ෂියේ කැඳවීම අනුගමනය කිරීමට, ජීවිත හා ගෞරවය තර්ජනයට ලක්ව ඇති සියලු දෙනා වෙනුවෙන් නිර්භීතව, බියෙන් තොරව ක්‍රියා කිරීමට ඇති සූදානමයි. හෘද සාක්ෂියට එකඟව අනුකම්පාව යනු කරුණාවන්ත වීම පමණක් නොවේ, ආදරය හා අනුකම්පාවට අනුකූල මූලධර්ම සඳහා මෘදු හා ප්‍රචණ්ඩකාරී ලෙස සටන් කිරීමට ධෛර්යය අවශ්‍ය වේ. තමාට විශාල පෞද්ගලික අවදානමකදී පවා ක්‍රියා කිරීමට කැමැත්ත අවශ්‍ය වේ.
මම මගේ කතාව තවත් අදහස් කිහිපයකින් අවසන් කරමි. මෙම ප්‍රකාශයන්හිදී මම මගේම පෞද්ගලික දෘෂ්ටිකෝණය ප්‍රකාශ කරන බව මුලින්ම පැවසිය යුතුය. මම එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුව, වියට්නාම් රජය හෝ වෙනත් කිසිදු සංවිධානයක් නියෝජනය නොකරමි.
සදාචාරාත්මක ශුන්‍යවාදයේ බලවේග සහ මානව ගරුත්වය ආරක්ෂා කිරීමට අපගේ වගකීම අතර තරගයේ කේන්ද්‍රස්ථානය ලෙස හැඳින්විය හැකි ලෝකයේ කලාපයක් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් මම අවසන් කිරීමට කැමැත්තෙමි. මම ගාසා තීරය ගැන සඳහන් කරමි, එහි, මේ වන විට, භයානක ජන සංහාරයක් සිදුවෙමින් පවතී. අපගේ රූපවාහිනී සහ පරිගණක තිරවල අපට පෙනෙන එය කුරිරු සමූලඝාතන ව්‍යාපාරයකි. මෙය මානව ගරුත්වය සඳහා අපගේ කැපවීම, සුමට රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ වඩාත්ම මාරාන්තික අවි ගබඩා කර ඇති අවි ගබඩා සමග විනාශකාරී ව්‍යාපාරයක් දියත් කරන සදාචාරාත්මක ශුන්‍යවාදයේ බලවේගයන්ට එරෙහිව අඛණ්ඩ අරගලයකට අපව සම්බන්ධ කර ගත යුතු ඔවුනොවුන් එකට හමුවන ලක්ෂ්‍යයයි.
2023 බිහිසුණු හමාස් ප්‍රහාරයට ඊශ්‍රායලයේ ප්‍රතිචාරය සියලු සදාචාරාත්මක සීමාවන් බිඳ දමා ඇති අතර, ජාත්‍යන්තර නීතිය සහ මානව හිමිකම් මුල් බැසගත් ගෝලීය නීති මත පදනම් වූ පිළිවෙළ ඉරා දැමීමට තර්ජනය කරයි. මාස දහඅටක් ඇතුළත, ඊශ්‍රායලය ගාසා තීරයේ 55,000 කට අධික පිරිසක් මරා දමා ඇති අතර, ඔවුන්ගෙන් සියයට 70 ක් පමණ කාන්තාවන් සහ ළමයින් ය. බෝම්බ හෙලීම් එහි; නිවාස, රෝහල්, සහන මධ්‍යස්ථාන සහ විශ්ව විද්‍යාල දූවිලි බවට පත් කර ඇත. එහි හමුදා ගුරුවරුන්, වෛද්‍යවරුන්, මාධ්‍යවේදීන් සහ සහන සේවකයින් අමු අමුවේ මරා දමා ඇත. පසුගිය මාස දෙක තුළ, ඊශ්‍රායලය ගාසා තීරයට සම්පූර්ණ අවහිරයක් පනවා ඇත. සම්පූර්ණ අවහිරයක් යනු, වචනාර්ථයෙන්: ආහාර නැත, පිරිසිදු පානීය ජලය නැත, විදුලිය නැත, වෛද්‍ය උපකරණ නැත.
ඔබ හෝ ඔබේ ආදරණීයයන් හෙට ජීවතුන් අතර සිටීදැ’යි ඔබ නොදන්නා විට, දිනපතා බෝම්බ හෙලීමට මුහුණ දීම කෙබඳු දැ’යි පැරණි පරම්පරාවේ වියට්නාම ජාතිකයන් දනී. ගාසා තීරයේ ජනතාව දැන් ඒ හා සමාන පීඩාවකට මුහුණ දෙති. ගාසා තීරයේදී, ඔබේ පවුලේ සාමාජිකයන් විසි දෙනෙකු එක රොකට් ප්‍රහාරයකින් විනාශ වනු ඔබට දැකගත හැකිය. ඔබේ දරුවන්ගේ අත් සහ කකුල් අහිමි වී තිබිය හැකිය. ඔබට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට මාර්ගයක් නොමැති අතර, ඔබේ මුළු පවුලම හිතාමතාම කුසගින්නේ තබා ඇත. අප මෙය ඉවසන්නේ කෙසේ ද?
කරුණාකර මතක තබා ගන්න, මම මෙම අර්බුදය ප්‍රධාන වශයෙන් දේශපාලනික ගැටලුවක් ලෙස නොසලකමි. මා එය සලකන්නේ, මානුෂීය ආචාර ධර්ම පිළිබඳ ගැටලුවක් ලෙසය. අප මුහුණ දී සිටින්නේ, සමූල ඝාතන ව්‍යාපාරයකටය. එය, සදාචාරාත්මක අවුල් සහගත තත්ත්වයකට දොරටු විවර කර තිබේ. එය මානව ගරුත්වය පිළිබඳ අදහසම බිඳ දමා තිබේ. අපේ හෘදය සාක්ෂිය දවා හළු කරවන ඒ ජන සංහාරයට එරෙහිව ක්‍රියාත්මක වීමට ප්‍රචණ්ඩකාරීව, මනුෂ්‍යත්වය පිරිහීමට ලක් වෙන්නට හැර, ප්‍රචණ්ඩ ලෙස තලා දැමූ ජනතාවක් ආරක්ෂා කිරීමට අපව අපම පොළඹවා ගත යුතුය. මේවා ශක්තිමත් වචන බව මම දනිමි, නමුත් මා කතා කරන්නේ, නිව්යෝර්ක්, බෘක්ලින්හි යුදෙව් පවුලක ඉපදී හැදී වැඩුණු යුදෙව් සම්භවයක් ඇති පුද්ගලයෙකු ලෙස ය.
බෞද්ධ නායකයින් අනුකම්පාව, සාමය, යුක්තිය සහ මානව ගරුත්වය ගැන නිමක් නැතිව කතා කරන බව මම දැක ඇත්තෙමි, නමුත් පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලයේ ජන සංහාරය විවේචනය කිරීමේදී ඔවුන්ට ඔවුන්ගේ හඬ අහිමි වන බව පෙනේ. මෙය බිය නිසාද නැතහොත් උදාසීනත්වය නිසාද යන්න මම නොදනිමි, නමුත් අපි ධෛර්ය සම්පන්න විය යුතුය. බෞද්ධ නායකයින් ලෙස අපි නිහඬව පසෙකට වී සිටිය යුතු නැත. මේ මොහොතේ ඉල්ලීම් අල්ලා ගැනීමට, අපගේ හඬ සොයා ගැනීමට සහ සාමය සහ යුක්තිය ඉල්ලා සිටීමට ඒවා භාවිතා කිරීමට අපට සිදුවේ. ගාසා තීරයේ ජනතාවට එරෙහි ඊශ්‍රායලයේ ප්‍රචණ්ඩත්වය අවසන් කරන ලෙස අප අවධාරණය කළ යුතු අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ නියෝජනයක් සහිත තමන්ගේම ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් සඳහා පලස්තීන ජනතාවගේ අභිලාශයට අප සහාය දිය යුතුය.
එක් ප්‍රජාවක මානව ගරුත්වයට පහරදීම සියලු දෙනාගේම ගරුත්වයට පහරදීමක් බව අප මතක තබා ගත යුතුය. පලස්තීන ජනතාව සමඟ සහයෝගීතාවයෙන් සිටීමෙන්, අපි අපගේ අනුකම්පාව, අපගේ ධෛර්යය සහ මනුෂ්‍යත්වය කෙරෙහි අපගේ කැපවීම පෙන්නුම් කරමු.
ඔබගේ අවධානයට බොහොම ස්තූතියි. සැමට ප්‍රීතිමත් වෙසක් උත්සවයක් ප්‍රාර්ථනා කරමින් මම අවසන් කරමි. ඔබ සැමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා!
හිමි ලියූ ලිපි එකතුව
https://www.lankaenews.com/category/80
---------------------------
by (2025-06-13 00:27:48)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි