-විශේෂ ලියුම්කරුවකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.18, ප.ව.11.00) පේරාදෙණිය විශ්වවිද්‍යාලය වර්තමානයේ පීඨ නවයකින් සමන්විත වන අතර ඒ අතරින් දීර්ඝ මෙන්ම කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන පීඨ කිහිපය අතර ශාස්ත්‍ර පීඨය වෙයි. මහාචාර්ය සරච්චන්ද්‍ර, මහාචාර්ය පරණවිතාන වැනි සුපතල විද්වතුන් හේතුවෙන් ඉහළින් වැජඹුණු ශාස්ත්‍ර පීඨය ගෙවුණු දශක ගණනාවක් පුරාම ප්‍රකට විද්වතුන්ගේ නායකත්වය හෙවත් පීඨාධිපති ධූරය යටතේ ඉහළ නාමයක් සහිතව පැවතියේ ය.
එවන් ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියූ පේරාදෙණි ශාස්ත්‍ර පීඨයේ වර්තමාන පීඨාධිපතිවරයා ආචාර්ය ප්‍රභාත් ඒකනායක නැමැත්තෙකි. කලින් පාසැල් ගුරු වෘත්තියේ සිට විශ්විද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස සේවයට එන ඒකනායකගේ ‘ශාස්ත්‍රීය මැදිහත්වීම්’ සොයන්නට ඔබ ‘ගූගල් ස්කොලර්’ හෝ සමාන තැනකට ගොඩ වැදීම තේරුමක් නැත. තමන් දන්නා ශුද්ධ සිංහලයෙන් ශිෂ්‍යයින් ඇමතීමේ සිට කුප්‍රකට වැඩ-කිඩ ගණනාවක තොරතුරු ඔහුගේ නමින් අන්තර්ජාලයම සොයා දෙන බැවිනි.
ශාස්ත්‍ර පීඨය අද මෙහෙය වෙන්නේ පසුගිය ජනාධිපතිවරණයට ‘ඔන්න-මෙන්න’ තියා සජබය ඇටවූ ‘සමගි බුද්ධි මණ්ඩපය’ විසින් යැයි කිවහොත් ඔබ පුදුම වනු නියත ය. නමුත්, ඒ කණගාටුදායක ඇත්තකි. පසුගිය 2024 වර්ෂයේ අප්‍රේල් 07 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී, සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ඇරඹෙන ‘සමගි බුද්ධි මණ්ඩපයේ’ විශාලතම බල ඒකකය පේරාදෙණියේ මහාචාර්ය-ආචාර්ය එකතුවකි. එදා සමුළුව පිළිගන්නේ, පේරාදෙණියේ හිටපු උපකුලපතිවරයෙකු වන මහාචාර්ය උපුල් දිසානායක ය. සභාපති ශාස්ත්‍ර පීඨයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම ය; ලේකම් දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය එස්. බාස්කරන් ය. සුභසාධනය සහ දරිද්‍රතාව ගැන කතා කරන්නේ දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ඒ. සර්ජූන් ය. ඉතිහාසය සහ කලා සංස්කෘතික පැතිකඩ ගැන කතා කරන්නේ ඉතිහාස දෙපාර්තමේන්තුවේ ආචාර්ය ශ්‍රියානි ගුණරත්න ය. අවසානයේ වන සංවාදයේ පුටුවක වාඩි වන්නේ දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවේ අංශාධිපති, මහාචාර්ය උපුල් අබේරත්න ය. පේරාදෙණි, ශාස්ත්‍ර පීඨය නියෝජනය කරමින් පෙනෙන සෙසු පිරිස අතර ඉන්නේ, ඉතිහාස අංශාධිපති මහාචාර්ය රෝහිත දසනායක, ලලිත කලා අංශාධිපති මහාචාර්ය සුදර්ශන බණ්ඩාර, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය අරුණ රාජපක්ෂ, භූගෝල විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය මුදිත පෙරේරා, ඉතිහාස දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය සහන් මහේෂ්, බෞද්ධ අධ්‍යයන දෙපාර්තමේන්තුවේ කේ. ධර්මසිරි ඇතුළු කණ්ඩායමකි. ඉහත කී පීඨාධිපති ඒකනායක ශැංග්‍රිලා හමුවට පෙර සිටම, මහාචාර්ය ආනන්ද ජයවික්‍රම සමග ගොස් සජිත් හමුවී මෙම ‘බුද්ධි මණ්ඩපය’ පිහිටුවන්නට ද පෙර සිටම, සජබය තනන ‘ජනතාවාදී විශ්වවිද්‍යාල ආචාර්ය සංසදය’ පිහිටුවද්දී ද මුල් තැන ගත්තෙකි.
පීඨයකට පීඨාධිපතිවරයෙක් පත් කෙරෙන්නේ, එම පීඨයේ සියලුම ස්ථිර ආචාර්ය මණ්ඩල සාමාජික, සාමාජිකාවන් ඇතුළු පිරිසකගේ රහස් ඡන්දයකිනි. ඒකනායක පළමුවර මෙම තනතුරට පත්වීමට ඉඩ ලබාගන්නේ රට තුළ එවකට නැගෙමින් ආ ‘පොහොට්ටු’ විරෝධයට පින්සිද්ධ වන්නට ය. 2021 වසරේ පැවති පීඨාධිපති ඡන්දයේ ඔහුගේ ප්‍රතිවාදියා වුණේ ‘පොහොට්ටු’ හිතවතකු බව කියවුණු මහාචාර්ය ආරියරත්න හේරත් ය. රට තුළ නැගෙමින් තිබුණු පොහොට්ටු විරෝධය දඩමීමා කරගත් ඒකනායක පීඨයේ මුල් පුටුවට පැන ගත්තේ ය.
2024 දෙවැනි වාරය වන විට ඒකනායක එදා මෙදා උන් ශාස්ත්‍ර පීඨ පීඨාධිපතිවරුන් සියල්ලටම වඩා ‘ජනප්‍රියව’ සිටියේ ය. ‘නවක වදය’ නවත්වා දැමූ බව කියමින් නිරන්තරයෙන් පාරම් බෑ ඔහු, ශිෂ්‍ය සංගම්වල නියෝජිතයින්ට ශුද්ධ සිංහලයෙන් ඇමතූ අතර තමන්ට ලැබී තිබුණු නිලයෙහි බලය දේශපාලකයෙකු ලෙස පාවිච්චි කරමින් සිටියේ ය. ‘සජබ’ සමීපතමයින්ට වැඩි සැලකිලි ලබාදෙමින් ද, සිය දෙපාර්තමේන්තුව වූ අධ්‍යාපන දෙපාර්තුමේන්තු සගයින්ට බොහෝ නිලතල බෙදා දෙමින් ද, ඒ සියල්ල හරහා සහචර කණ්ඩායමක් තමන් වටා ගොඩ නගා ගනිමින් ද ඔහු කටයුතු කරමින් සිටියේ ය.
ලොව පුරා ප්‍රචලිතව තිබුණු ‘කුණුහරුප සංවාද’, ප්‍රසිද්ධ රහසක්ව තිබුණු අධ්‍යාපන ඩිප්ලෝමාව හදාරන්නට එන ගුරුවරියන්ට කෙරුණු බලපෑම්, විශ්වවිද්‍යාල පාලක සභාව තෙක් ගොස් තිබුණු මූල්‍ය ගැටළු යනාදී සියල්ල හේතුවෙන් ඒකනායක කටයුතු කළේ පීඨාධිපති ධූරයට යළි ඉල්ලන්නට ය! බලය යළි දිනා ගැනීමෙන්ම මිස ගැලවිල්ලක් නැති බව ඔහු දැන සිටියේ ය. ඒ සඳහා තමන්ට එරෙහිව ඉල්ලන්නට ආ තිදෙනා (ආර්ථික විද්‍යා අංශාධිපති මහාචාර්ය ශ්‍රී රංජිත්, භූගෝල විද්‍යා අංශාධිපති මහාචාර්ය තිලක් බණ්ඩාර සහ ඉංග්‍රීසි අංශාධිපති ආචාර්ය කලුගම්පිටිය) පරදන්නට ඔහු විවිධ පියවර ගත්තේ ය. ඒවා ඔහු පෙනී සිටින ‘සජබයේ’ නායකයාගේ දේශපාලන ගැටවලට දෙවැනි වූයේ නම් නැත.
ඔහු ශ්‍රී රංජිත් තරගයෙන් ඉවත් කරවා ගත්තේ ය. ඉතිරි දෙදෙනාට වැඩි ඡන්ද ඇති බව ඇඟෙන්නට කටයුතු කරන ලෙස සිය සහචරයින් හරහා ‘පාවෙන ඡන්ද’ වලට උපදෙස් දුන්නේ ය. අනතුරුව, අත තිබුණු පීඨාධිපති බලය හරහා විවිධ පොරොන්දු, වරදාන සහ වරප්‍රසාද සිය ‘සජබ’ කණ්ඩයේ ආචාර්ය මණ්ඩලයට ලබා දුන්නේ ය. අවසානයේ ඔහු වැඩි දෙනා මවිත කරමින් පීඨාධිපති ධූරය යළි දිනුවේ ය!
ගුරුවරයෙකු ලෙස සේවය කොට, විශ්වවිද්‍යාල සේවයට ආ ඒකනායක සේවය කළ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අංශාධිපති තනතුර ඔහුගෙන් පසු ලැබුණේ ආචාර්ය වෝල්ටර් සෙනවිරත්නට ය. එහි උන් ජ්‍යෙෂ්ටතම සාමාජිකයෙකු වූ මහාචාර්ය සේතුංග ජාතික අධ්‍යාපන ආයතනයේ ඉහළ නිළයක් ලැබ ගොස් සිටින හෙයින් ඉතිරි කණ්ඩායමේ මහාචාර්ය සකුන්තලා යටිගම්මනට ඔහු, අලුතින් ඇරඹුණු තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ අංශාධිපතිකම ලබා දීමට ඉඩ හෙළි කළ අතර, මහාචාර්ය අර්ජුන පරාක්‍රම විශ්‍රාම යාමත් සමග හිස් වූ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම් දෙපාර්තමේන්තුවේ අංශාධිපතිකම මහාචාර්ය පුශ්පා විතාරණට ලබා දීමට කටයුතු සැලසුවේ ය. ඒ හරහා අංශාධිපති රැස්වීමට සිය දෙපාර්තමේන්තුවෙන්ම තුන් දෙනෙකුට අසුන් පනවා දුන්නේ ය.
අද වන විට පීඨයේ දෙපාර්තමේන්තු සංඛ්‍යාව දහනවයකි. ඉන් තුනකම අංශාධිපතිවරු (අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ සහ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම්) අධ්‍යාපන දෙපාර්තමේන්තුවේම අය ය. අර්බුද පැවති පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඒකනායක පවත්වාගෙන යන්නේ තමන්ගේ අධීක්ෂණය යටතේ, අංශාධිපතිවරයෙකු නැතිව ය. දෙපාර්තමේන්තුවේ කිසිදු ආචාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ කැමැත්ත නැතිව ආ (සමගි බුද්ධි මණ්ඩල සාමාජික) මහාචාර්ය සුදර්ශන බණ්ඩාර ලලිත කලා අංශාධිපතිවරයා ය. (සමගි බුද්ධි මණ්ඩල සාමාජික) මහාචාර්ය රෝහිත දසනායක ඉතිහාස අංශාධිපතිවරයා ය. (සමගි බුද්ධි මණ්ඩලයේ ප්‍රමුඛතමයෙකු වන) මහාචාර්ය උපුල් අබේරත්න දේශපාලන විද්‍යා අංශාධිපතිවරයා ය. ඒකනායකගේ බිරිඳ වන මහාචාර්ය නාමලී හඳගම දර්ශන අංශාධිපතිවරිය ය. ඒකනායකගේ අතිසමීප මිතුරකු වන මහාචාර්ය මහින්ද හේරත් බෞද්ධ හා පාලි අංශාධිපතිවරයා ය. මෑතක බරපතල ආන්දෝලනයක් ඇති කරවමින්, දැඩි ප්‍රජාතන්ත්‍ර විරෝධීව පත් කරගත්, සමාජ විද්‍යා අංශාධිපතිනිය වන මහාචාර්ය මල්ලිකා පින්නවල ද ඒකනායකගේ සෘජු බලපෑමෙන් ගෙන එන තැනැත්තියක ද වේ. මේ අයුරින්, ඒකනායකගේ සෘජු මිත්‍ර කණ්ඩායමක් හා ‘සජබ’ (සමගි බුද්ධි මණ්ඩල) කණ්ඩායමක් අද පේරාදෙණිය ශාස්ත්‍ර පීඨය පාලනය කරයි.
ඒකනායකත්, ඔහුගේ ‘සජබ’- ‘සමගි බුද්ධි මණ්ඩප’ කණ්ඩායම සහ සහචර මිතුරු කැළත් සිදු කළ හා සිදු කරන ක්‍රියා පෙළකි. ඒ එක් එක් දේ ගැන වෙන වෙනම ලිවිය හැකි නමුත්, මෙම ලිපිය තුළ, දැනට ඒ අතරින් ප්‍රධාන කරුණු පමණක් මෙසේ පෙළ ගස්වමු.
⋆ මහින්ද හේරත් සිද්ධිය- ඒකනායක නිවාඩු ගන්නේත්, විදෙස්ගත වන්නේත් සිය සමීපතමයෙකු ‘වැඩබලන’ පීඨාධිපති හැටියට තබමිනි. ඒ තනතුර වැඩි වශයෙන් ලබා ගන්නේ ඔහුගේ අතිජාතයින් වන මහින්ද හේරත්, නැතිනම් රෝහිත දසනායක හෝ සිංහල අංශාධිපති මංගල දිසානායක ය. මෑතදී මහින්ද හේරත් අතට වැඩ බලන්නට දී ගිය විට ඔහු අපූරුවට ‘වැඩක් බලා’ තිබිණි. ඒ සිය ‘පෙම්වතියක්’ වූ සිසුවියකගේ ලකුණු, පරිගණක පද්ධතියට හොරෙන් ඇතුළු වී වෙනස් කිරීමෙනි. පෙරළා ආ ඒකනායක වහාම අතිජාතයා බේරාගත්තේ තමන් මුල් පුටුවකට යැවූ සකුන්තලා යටිගම්මන ඇතුළු කණ්ඩායමකට පරීක්ෂණය භාර දීමෙනි. ‘නඩුත් - බඩුත් හාමුදුරුවන්ගේ’ බැවින් පරීක්ෂණය ද සිදුවී, වාර්තාව ද ආ නමුත්, පියවරක් නම් ගැනුනේ නැත. මහින්ද තවමත් හොඳිනි.
⋆ මල්ලිකා පින්නවල සිද්ධිය - සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ අංශාධිපති තනතුර හිස් විය. මහාචාර්ය ධම්මික හේරත් සහ මහාචාර්ය අබේ රත්නායක යෝජනා විය. වැඩි මනාපය හේරත්ට ලැබෙද්දී, ඒකනායක කළේ අබේ රත්නායක පාර්ශවයේ මහාචාර්ය මල්ලිකා පින්නවල තනතුරට එවීම ය. අනතුරුව, පින්නවලගේ වැඩ භාරගැනීම සිය ‘සජබ - සමගි බුද්ධි’ කණ්ඩායම සමග ගොස්, පිරිත් කියා, නූල් බැඳ සැමරීම ය. සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව ‘බේරාගත්’ බවට පාරම් බෑමට දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අබේරත්නට ඉඩ ලබාදීම ය.
⋆ සුදර්ශන බණ්ඩාර සිද්ධිය - ලලිත කලා දෙපාර්තමේන්තුවේ අංශාධිපති තනතුර හිස් වූයේ ඒකනායක දෙවැනිවර පත්වන්නටත් පෙර ය. එහි සියලු ආචාර්ය මණ්ඩල සාමාජිකත්වය ආචාර්ය මනෝජ් අලවතුකොටුව මුල් පුටුවට පත් කරන්නැයි ඒකනායකගෙන් ඉල්ලූ හ. තමන්ම තමන්ව යෝජනා කරගත් මහාචාර්ය සුදර්ශන බණ්ඩාරව ඒ වෙනුවට මුල් පුටුවේ තැබුවේ ඒ වන විට පැවති විශ්වවිද්‍යාල සම්මතයන් බිඳ දමමිනි. ඒ දෙදෙනාම ‘සජබ’ වීම හේතුවෙනි. මුල් පුටුවට අනිවාර්ය සාධකයක් තිබුණු පරිපාලනය පිළිබඳ අභ්‍යන්තර පාඨමාලාව බණ්ඩාර සිවුවතාවක් මග හැර ගොස් තිබිණ. ඔහු පත් කිරීමට පෙර උපකුලපතිවරයා ඉදිරිපිට සිදු කෙරෙන ‘ප්‍රසන්ටේෂන්’ කිසිවක් සිදු වූයේ ද නැත.
⋆ පුහුණු සංචාර - විශ්වවිද්‍යාලය හරහා පීඨයට ලැබෙන ඇතැම් පුහුණු සංචාර ආදිය නිසි ක්‍රමවේදයකින් යුතුව සැම වෙත සන්නිවේදනය වන්නේ නැත. මෑතදී ඒකනායක සමග තායිලන්තය බලා සුදර්ශන බණ්ඩාරත්, මහින්ද හේරතුත් පිටව ගියේ එවැනි අප්‍රකට පුහුණුවකට ය. ඉංග්‍රීසි භාෂා භාවිතය දුර්වල හේරත් හා බණ්ඩාර විදෙස් පුහුණුවකට රැගෙන යාම පීඨයට කර ඇති සෙත කුමක්දැයි විමතියකි.
⋆ වරදාන සහ වරප්‍රසාද - වර්තමාන දෙවැනි ධූර කාලය සඳහා ඡන්දය දිනාගනු පිණිස ඒකනායක, සජිත් පන්නයේ පොරොන්දු රැසක් පීඨයේ බොහෝ අයට ලබා දී තිබිණි. ඒ අනුහසින් ‘මහාචාර්ය’ පදවි ඉක්මණින් ලබා ගත්තවුන් වෙති. තමන්ටම කියා හොඳ හොඳ කාමර හා කාර්යාල පීඨ ගොඩනැගිලි තුළ ලැබුණු අය නැත්තේ ද නොවේ. ලලිත කලාවේ බණ්ඩාරට ඔහු ලබා දී ඇති කාර්යාල කාමරයත්, දේශන කාමරයකුත් ප්‍රසිද්ධියේ පාවිච්චි කරන්නේ බණ්ඩාරගේ සොර අඹුවක වන, පීඨයේ නිලයක් හෝ නොදරන, රත්නායක නැමැත්තිය බව ප්‍රසිද්ධ රහසකි.
⋆ උත්සව සැමරුම් සඳහා කණ්ඩායම සමග - දෙපාර්තමේන්තුවක් පාසා පැවැත්වීමට ඒකනායක යෝජනා කරන අවුරුදු උත්සව, පිළිගැනීමේ උත්සව, පත් කිරීමේ උත්සව සඳහා ඒකනායකගේම යෝජනාව හරහා සහභාගි වන නිශ්චිත කණ්ඩායමක් වෙයි. ‘සමගි බුද්ධි කණ්ඩායමේ’ උපුල් අබේරත්න, මහින්ද හේරත්, සුදර්ශන බණ්ඩාර, රෝහිත දසනායක ඇතුළු පිරිස මෙන්ම, ඒකනායකගේ බිරිඳ වන නාමලී හඳගම, මල්ලිකා පින්නවල, මංගල දිසානායක ද ඒ කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෝ ය.
⋆ පීඨයේ සෙමෙස්ටර් කොට කිරීම හා දිගු කිරීම - විශ්වවිද්‍යාලයකට ශිෂ්‍ය කණ්ඩායමක් ඇතුළු වන්නේ නිශ්චිත විෂය නිර්දේශ හැදෑරීමට ය. ඒ විෂය නිර්දේශ අනුමත වන්නේ ඉහළ පරිපාලනය දක්වා, නැතිනම් සෙනෙට් සභාව හා පාලක සභාව වෙත යාමෙනි. ඒ ඒ විෂයය නිර්දේශ හා පාඨමාලා සඳහා නියමිත කාල සීමා ඇත. ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් සෙමෙස්ටරයක කාලයක වැඩසටහනක් නිමා කිරීමට සති 15ක කාලයක් අධ්‍යාපනය හැදෑරිය යුතු ය. නමුත් ඒකනායක ඇතුළු නඩය එය වෙනස් කොට වරෙක කොට කළේ ය. ඒ සති 12කට ය. අනතුරුව යළි දිගු කළේ ය. ඒ සති 17කට ය. ඒකනායකගේ දියණියක් නීති දෙපාර්තමේන්තුවේ අධ්‍යාපනය හදාරණ බැවින්, ඉක්මණින් ඇයගේ උපාධිය නිම කොට, ඇයටත් එහි ආචාර්ය මණ්ඩල අවස්ථාවක් ලබා දීම ‘කොට කිරීම’ පිටුපස වූ රහසදැයි ශිෂ්‍යයින් අතර මතයක් පැතිරුණේ එමගින් ශිෂ්‍යයින් මත පැටවුණු අධික වෙහෙස ගැන ඒකනායකට වගේ වගක් නැති වුණු හෙයිනි. නමුත්, සෙමෙස්ටරයක් සති 12කින් කෙළවර කළ ඒකනායක පාලනය, දෙවැනි වතාවටත් එයම ගෙන ආ අතර, එක්වරම කරණමක් ගසා සෙමෙස්ටරය අමතර සති දෙකක් ද ලැබෙන පරිදි දිගු කර දැම්මේ ය. තමන් විරුද්ධ ආචාර්ය මණ්ඩල සාමාජිකාවක් හැකි විගස විශ්‍රාම ගැන්වීම එහි අරමුණ බව පසුව කරළියට ආ කතාව විය.
⋆ මහාචාර්යවරියකට අපහාස කිරීම - තමන්ගේ සහචර කණ්ඩායම හැර වෙනත් කිසිවකුට ඒකනායක හොඳින් සළකන්නේ නැත. ඔහුගේ උද්දච්චකම්, දුර්වල පරිපාලනය, අනීතික වැඩ ආදිය නිසා නිරතුරුව ඔහුට විරුද්ධව නිර්නාමික ලිපි ලැබෙයි. ඒ ලිපි හේතුවෙන් කේන්ති ගන්නා ඒකනායක තව තවත් නිර්ලජ්ජිත ලෙසම හැසිරෙයි. මෑතදී ඔහු පිළිබඳ ලැබුණු එවැනි ලිපියක් පීඨයේම මහාචාර්යවරියක විසින් එවනු ලැබූවක් බව චෝදනා කළ ඒකනායක එම ලිපිය ඇය තැපෑලට භාර දෙන සීසීටීවී දර්ශන තමන් ලබාගත් බව ද, ඇයට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව ද කියමින් ලියන්නටත්, කියන්නටත් පටන් ගත්තේ ය. එය සත්‍යයක් නම් ඔහු නීතිය ඉදිරියට යෑම වරදක් නැතත්, ඔහු අදාල මහාචාර්යවරිය හඳුන්වා දුන්නේ ‘මහාචාර්යකම ගණිකා වෘත්තියේ යොදවන්නියක්’ ලෙස ය.
ඒකනායකගේ කෙරුවාවල් තවත් නම් එමට ය. එලෙසම ඔහුගේ සහචර කැළ පිළිබඳව ද වෙන් වෙන්ව ලිපි ලිවීම අපහසු නැත. එසේ වුවත්, අදට මෙය අවසන් කළ යුතු ය.
ඒ නමුත්,
අප කියන මෙම කාරණා පිළිබඳ විශ්වවිද්‍යාලයේම ඉහළ පරිපාලනය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, අධ්‍යාපන අමාත්‍යාංශය හා රජය ඉක්මණින් අවධානය යොමු කළ යුතු ය. කීර්තිමත් පීඨයක අවසානය ඉක්මණින් ළඟා කිරීමට මේ ඒකනායක නඩය කටයුතු කරමින් සිටිනා හෙයිනි. වත්මන් රජයට ප්‍රසිද්ධියේ අවමන් කරමින් ඔවුන් සිය ‘සජබකරණය’ මැනවින් නඩත්තු කරනා හෙයිනි.
අනීතික පත්කිරීම් යළි විමසිය යුතු ය. ඒ නිවැරදි කළ යුතු ය. එසේ නැතිනම් නව රජයේ දූෂණය පිටුදැකීම ප්‍රමුඛ විශ්වවිද්‍යාලයක් තුළම බිඳ වැටෙන බැවිනි. පරීක්ෂණ යට ගැසීම් හෙළි කරගත යුතු ය. මහින්ද හේරත් සිද්ධිය වැනි සිද්ධි ඔප්පු වන්නේ නම් දඬුවම් ලබාදිය යුතු ය. සමස්ථ අධ්‍යාපනය පිළිබඳ විශ්වාසය මෙවැනි නරුම ක්‍රියා හේතුවෙන් බිඳ වැටෙන බැවිනි.
අනෙකුත් සියලු කරුණු පිළිබඳ නිසි විමර්ෂණයක් කෝප් කමිටුව වැන්නක් හරහා සිදු කළ යුතු ය. ඒ රාජ්‍ය දේපළ මෙවැනි ලෙස අවභාවිත වීමට ඉඩ නොදිය යුතු බැවිනි.
---------------------------
by (2025-06-18 17:35:58)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි