-මංජුල ගජනායක ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.20, ප.ව.11.30) ප්‍රජාතන්ත්‍රවාදය යනු නූතන දේශපාලන ලෝකයේ නිරතුරුවම වහරන වදන් වලින් එකක් විය හැකිය. එකී ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ඉතා ප්‍රකට කියමනක් ඇත්තේය. එනම් 'Democracy is the power of equal votes for unequal minds' යන්නයි. සමාන ඡන්දයෙන්, අසමාන සිතිවිලි ඇති ඡන්දදායකයන් අතර ඡන්දය මඟින් නිර්මාණය වන බලය ප්‍රජාතන්ත්‍රවාදය බව මින් කියැවේ. ඉන් පැහැදිලි වන අනෙක් කරුණ නම් අසමාන සිතිවිලි ඇති විවිධ පරාසයන්හි දිවිගෙවන තැනැත්තන් අතර ඒකමතිකත්වයක් ගොඩනැගීම එතරම් පහසු කාර්යයක් නොවන බවයි. මැතිවරණ ප්‍රතිසංස්කරණ යනු දුෂ්කර හා සැවොම සතුටු කිරීමට අපහසු යමක් වී ඇත්තේ එබැවිනි. ලොව පරිසමාප්ත මැතිවරණ ක්‍රමයක් නැත්තේද ඒ නිසාය.
මේ බව සනාථ වන හොඳම නිදසුන වන්නේ වර්තමානයේ සමස්ත රට පුරා පළාත් පාලන ආයතන සඳහා ප්‍රධානීන් පත්කිරීම සම්බන්ධයෙන් ඇතිවෙමින් පවතින කලිකලහයයි. මේ පිළිබඳව පළවන විවිධ මාධ්‍ය වාර්තා බලාසිටි එක් අප හිතමිතුරෙක් පැවසුවේ 'බලාගෙන ගියාම අමාරුම වැඩේ රුපියල් බිලියන 11 ක් වියදම් කරලා ඡන්දේ තියන එක නොවෙයි - පළවෙනි රැස්වීම තියලා නගරාධිපති තෝරාගන්න එකනේ' කියාය.
පසුගිය ජුනි මස 16 වැනි දින කොළඹ මහනගර සභාවේ මුළුදුන් පළමු සභා රැස්වීමේ සිදුවූ දෙය දැන් මුළු රටම දනී. එහි පශ්චාත් සමාජජාල විග්‍රහ සහ පෝස්ටු පරෙස්සමෙන් කියවීමේදී ඒවා බොහොමයක් තෙයාකාරය. ආණ්ඩු පාර්ශවය සිතා සිටින්නේ බස්නාහිර පළාතේ පළාත් පාලන කොමසාරිස්වරිය මුව පොව්වෙක් තරම් අහිංසක රාජ්‍ය නිළධාරිනියක් බවත් ඇය වගවලසුන් වැනි අති ප්‍රචණ්ඩ සතුන් ගහන කොළඹ මහනගර සභා පරිශ්‍රය නම් වනාන්තරයකට වැදී පණ බේරාගෙන ඇති බවයි. විපක්‍ෂයේ සිතිවිලි ඊට හාත්පසින් වෙනස්ය. ඔවුන් සිතන්නේ සහ කියන්නේ අදාළ කොමසාරිස්වරිය ආණ්ඩුවට අවශ්‍ය පරිදි නීතිය නමා ඇති බවත්, වසර පහකින් පසු එළඹෙන ඔවුන්ගේ ආණ්ඩුවේදී ඇය මට්ටු කරන බවත්ය. දේශපාලන කියැවීමක් හෝ ඒ පිළිබඳ එතරම් කැක්කුමක් නැති පේජ් ඇඩ්මින්ලාට ඇය ඉදිරි සතියම කතා කිරීම සඳහා යමක් ඉතිරි කළ Sex Symbol එකකි. දැනටමත් ඇය පිලිබඳ මෙටා අවකාශයේ Story සහ Reels විශාල ප්‍රමාණයක් නිර්මාණය කොට වයිරල් ද කොට ඇත. ඊට වැඩිමනත් ලෙස ඇයගේ දිගැටි ගෙල හා පැහැපත් ඡවි කල්‍යානය මෙන්ම නෙතඟ බැල්ම ද ඊට නොදෙවෙනි සේ පිහිටා ඇති ඇයගේ මුව මඬල ළඟ රැඳුණු උපන් ලපය ද ප්‍රහර්ෂයට නංවා TIKTOK අවකාශයේ මුදාහැර ඇති කෘතීම බුද්ධිය උපයෝගී කරගනිමින් නිර්මාණය කොට ඇති අන්තර්ගතයන් ප්‍රමාණය ද අති මහත්ය.
කෙසේවෙතත් මෙම සමස්ත ක්‍රියාවලිය ගැන ඇති පදම් පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතත් , විශේෂයෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළත් බොහෝ විග්‍රහ ඉදිරිපත් වී ඇත. එහෙත් අපට පෙනී යන ප්‍රධාන කරුණ වන්නේ පාර්ලිමේන්තුවේ පවා මීට අදාළව කරුණු ඉදිරිපත් කරන ජනාධිපති නීතිඥයන් පවා කරුණු දක්වන්නේ තමන්ට අවශ්‍ය වගන්තිය පමණක් උපුටා දක්වමින් බවයි. එහි පෙරමුණේ ඉන්නේ ආණ්ඩුවේ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගලයි. ඔහු තමන්ගේ නිතිවේදිත්වය සහ කොළඹ නගර සභාවට තිබූ පැරණි සම්බන්ධය උපයෝගී කරගනිමින් මෙම ක්‍රියාවලියේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ස්වෙච්ජාවෙන්ම තම පත්වීම තමන් විසින්ම නිර්මාණය කරගෙන ඇත. අවාසනාවට ඔහු වරෙක පනත අතේ තබා ගනිමින්ද , තවත් වරෙක එහි වගන්ති කියවමින්ද සිදු කරන ප්‍රකාශ මැතිවරණ නීතිය දන්නවුන්ගේ දෙබැම රැළි ගන්වන්නේය . ඊට සමගාමීව වරෙක කොළඹට තරඟ කිරීම සඳහාම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට සමුදුන් මුජිබර් රහමන් ද උදේට කියන දේ හවසට වෙනස් කරමින් සිටින්නේය. දේශපාලකයන් එසේ හැසිරීම එතරම් බරපතල කරුණක් සේ නොගෙන සිටිය හැකිය. ඒ ඔවුන් හැමදාම එසේ බැවිනි.
එහෙත් ගැටලුව වන්නේ බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය වන සාරංගිකා කල්හාරි ජයසුන්දර ඉතා බරපතල ලෙස අන්තර්ජාලයේ බුලි වීමයි. ඇය යම් පරිපාටිගතමය වරදක් කොට ඇත්නම් ඊට අදාළව පියවර ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සිට පිහිටා ඇති විධිමත් යාන්ත්‍රණයක් ඇත. නෛතිකමය ලෙස යම් අගතියක් කර ඇත්නම් ඊට එරෙහිව ගත හැකි අධිකරණ ක්‍රියාමාර්ග ද පැහැදිලිය . එහෙත් ඉන් බැහැරව ඇය සමාජජාල අවකාශයේ වරදිකාරියක් කිරීමෙන් පැමිණෙන පණිවුඩය එතරම් සෞඛ්‍ය සම්පන්න නැත. එමඟින් දැනෙන එක් හැඟීමක් විය හැක්කේ තීරණාත්මක කාර්යයන් සඳහා මැදිහත් නොවී ඔහේ පාඩුවේ ඉන්න එක ශරීර සෞඛ්‍යට වඩාත් ගුණදායක බව රජයේ විධායක සහ මාණ්ඩලික නිලධාරීන් සිතන්නට ඇති ඉඩකඩ බහුල වීමයි . ආණ්ඩුවට සමගාමීව , ආණ්ඩු හිතෛෂී පිරිස් ඇය අපමණ ප්‍රහර්ෂයට නැංවීමද මේ දිනවල යහමින් සිදුවේ. සැබවින්ම එයද ඇයට නොසිතු අවාසියක් ගෙනවිත් ඇත්තේය. ආණ්ඩුවේ ආධාරකරුවන් එලෙස බස්නාහිර කොමසාරිස්වරිය පමණක් වර්ණනා කළ ද , අදවන විට ඌවේ සහ මධ්‍යම ඉන්නේද කාන්තා කොමසාරිස්වරියන් වන අතර ඔවුන් අවම ගැටළු ප්‍රමාණයකින් යුක්තව තම කාර්යය කරමින් සිටින බව ඔවුන් වෙත ප්‍රශංසාත්මකව සටහන් කළ යුතුය.
සැබවින්ම මේ ගැටලුව කුමක්ද? දෙපාර්ශවයක කෙස් පැලෙන තර්ක හමුවේ සාමාන්‍ය ජන්දදායකයන් අතරමංව සිටිනවා විය හැකිය. ලෝකයේ නව මාධ්‍ය සීග්‍රයෙන් වැඩිවීමත් සමඟ උද්ගත ව ඇති අනෙක් ප්‍රශ්නය වන්නේ තොරතුරු වැඩිවැඩියෙන් ගලා යාමයි. එබැවින් ''සරු දේ සරු හැටියටත් -නිසරු දේ නිසරු හැටියටත් සලකන්න'' යැයි බුදු වදන පුනරුච්චාරණය කරන ධම්ම පදය ඉගැන්වූ මාර්ගයේ යාම එතරම් පහසු කාර්යයක් නොවේ.
පළාත් පාලන ආයතන ප්‍රධානීන් තෝරාගැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම උපයෝගී කරගන්නේ වසර 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතින් සංශෝධනය කර ඇති නෛතිකමය ප්‍රතිපාදනයන්ය. එබැව් ඉතා පැහැදිලිව සඳහන් වන්නේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා උපයෝගී කරගන්නා ප්‍රධානතම නීතිය වන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත-262 අධිකාරයේය. මෙලෙස පළාත් පාලන කොමසාරිස්වරුන් ඡන්ද ක්‍රියාවලිකට මැදිහත් වන්නේ ඇයිද යන්නද බොහෝ දෙනා පුදුමයට පත්කොට ඇත්තේය. සැබවින්ම එලෙස ඔවුන් මේ සඳහා කැඳවන්නේ යම් සභාවක 50% කට අඩු සභික සංඛ්‍යාවක් ගන්නා විටදීය. එලෙස නොමැති එනම් 50% ක හෝ ඊට වැඩි සභික සංඛ්‍යාවක් යම් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් ලබාගෙන ඇති අනෙක් සියලු සභාවලට මේ වනවිටත් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් පත්‍රයක් මඟින් ආයතන ප්‍රධානීන් පත්කොට ඇත්තේය.
නගරාධිපතිවරයෙක් හෝ සභාපතිවරයෙක් තෝරා ගන්නා විටදී එක් අයෙකුට වඩා ඉදිරිපත් වන්නේ නම් ඔහු හෝ ඇය තෝරා ගත යුත්තේ කෙලෙසද ? රහස් ඡන්දයකින් ද එසේත් නැත්නම් විවෘත ඡන්දයකින්දැයි යන්න එහි කදිමට විවරණය කොට ඇත. එහෙත් අදවනවිට උද්ගතව ඇත්තේ එලෙස ආයතන ප්‍රධානීන් තෝරා ගන්නා ඡන්දය පැවැත්විය යුත්තේ කුමන ආකාරයටද යන්න කිසිදු මැතිවරණ නීතියක සඳහන් නොවීමයි. එබැවින් පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශයේ ලේකම් එස් . ආලෝකබණ්ඩාර මහතාගේ අස්සනින් මාර්ගෝපදේශ මාලාවක් එළිදැක්වීය. ඒ සාමාන්‍ය මහජනයා හෝ දේශපාලකයන් වෙත නොවේ. අදාළ පළාත් නවයේ පළාත් සභා ලේකම්වරුන් 09 දෙනා සහ පළාත් පාලන කොමසාරිස්වරුන් නව දෙනා වෙතය. එහි යථෝක්ත කරුණ ගැන මෙසේ කියන්නේය.
''එක් එක් සභිකයාගේ නම් අඬ ගසා ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් කර බහුතරයේ එකඟතාව මත ඡන්ද විමසීමේ ක්‍රමය තීරණය කළ යුතුය''.
විපක්‍ෂය කොළඹ මහනගර සභාවේ පැවති සමස්ත සභා වාරයේදී මෙන්ම පාර්ලිමේන්තුවේ දී ද , විපක්ෂ නායකයා වෙනම ද ඉතා අභිරුචියෙන් උපුටා දක්වන්නේ මෙම ප්‍රකාශයයි. ඔවුන් විශ්වාස කරන්නේ මෙමඟින් අදාළ මාර්ගෝපදේශය ඉහත කී පරිදි ඡන්ද ක්‍රමයක් තෝරා ගැනීම සඳහා වන ආරම්භක පියවරේදී විවෘත ඡන්දයකට යාමට උපදෙස් දී ඇති බවයි. සැබවින්ම එවැන්නක් එහි නැත. එහි කියන්නේ සභිකයන්ගේ වැඩි එකඟතාව මත ඡන්දයකට යා යුතු බවයි. ඡන්දයකට යන්නේ නම් නුතන ලෝකයේ ඡන්දය භාවිත කරන ක්‍රම තුනක් ඇත්තේය. එකක් අත් ඔසොවාය. අනෙක රහසේ සලකුණු කරන ඡන්ද පත්‍රිකාවක් මඟිනි. තෙවැන්න විද්‍යුත් පුවරුවක් ඔස්සේය. මෙලෙස ක්‍රම තුනක් තිබියදී එක ක්‍රමයක් ගැන පමණක් කියා ඇතැයි පැවසීම කරුණු විකෘති කිරීමකි.
අනෙක් පසින් තවත් තර්කයක් පැන නගින්නේය. එනම් මෙම පනත මඟින් අදාළ තීරණ ගැනීම සඳහා පළාත් පාලන කොමසාරිස්වරුන් වෙත අභිමතානුසාරී බලයක් ලබාදී ඇතිද යන්නයි. පිළිතුර නම් කිසිදු නෛතික ප්‍රතිපාදනයක් එලෙස ම සඳහන් නොවන බවයි. එහෙත් අවස්ථාවෝචිත පරිදි තමන්ගේ බලය උපයෝගී කරගැනීමට විධායක නිළධරයන් ලෙස ඔවුන්ට බලයක් තිබිය යුතුය. එහිදී ඡන්ද ක්‍රමය තීරණය කිරීම ගැන පනත නිහඬය. එවැනි අපැහැදිළිතාවක් (Grey Area) තිබියදී කළ යුත්තේ කුමක්ද ? නීතිපතිගේ අර්ථකතනයක් ගැනීමයි. එසේත් නැත්නම් යටත් පිරිසෙයින් අදාළ අනුශාංගික කරුණු දක්වා පාර්ලිමේන්තුව අනුමත කළ ගැසට් පත්‍රයක් නිකුත්ව තිබේනම් ඊට අනුව හැසිරීමයි. . මේ දෙකම නැති තැන හොඳින් කරුණු සළකා බලා තීරණයක් ගැනීමට කිසිදු බාධාවක් නැත. ''කලය බිඳෙන්නේ වතුර අදින විටදී'' වන අතර වතුර නොඇද වුව සිටිය හැකිය. එහෙත් එවැනි මොහොතක පිපාසයෙන් මියයන්නට වුව සිදු විය හැකිය. එබැවින් යම් නීතියක ඉරිගසා නොතිබුණද අපැහැදිලි තැනකදී තමන්ට අභිමත ලෙස රජයේ ස්ථාපිත ක්‍රියා පරිපාටීන් උල්ලංඝනය නොකොට තීරණයක් ගැනීමට ඔවුන්ට හැකියාව තිබිය යුතුය. මෙම ක්‍රියාවලියේදී පෙරකී නීති පමණක් නොවේ වසර 1988 නිකුත්ව ඇති සභා රීති මෙන්ම යම් අතුරු ව්‍යවස්ථාවක් තිබේනම් ඒවාද , අධිකරණ විනිශ්චයන් ද උපයෝගිකරගනිමින් තම කාර්යය කිරීමට පළාත් පාලන කොමසාරිස්වරුන්ට බාධාවක් නැත. විශේෂ ලෙසින් සඳහන් කළ යුත්තේ පළාත් පාලනයේ මෙතෙක් පැවති සාමාන්‍ය ව්‍යවහාරය හෙවත් සම්ප්‍රදාය ද සමහරවිටෙක වැදගත් විය හැකි බවයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව වැනි රටක නම් නිළධාරීන් වැඩ නොකර සැඟව සිටින්නේද රජයේ ස්ථාපිත එවැනි නීතින් අතරේමය.
ආයතන සංග්‍රහය යනු එලෙස වැඩක් නොකර සිටින රජයේ විධායක සහ මාණ්ඩලික නිළධරයන්ට රක්ෂාවරණය සපයන කදිම තෝතැන්නකි . එබැවිනි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පවා ප්‍රකාශ කළේ ෙ"මින්පසු නීතිය විය යුත්තේ මගේ වචනය'' ය යන්නයි.
අනෙක් වැදගත්ම කරුණ නම් මුජිබර් රහුමාන් වැනි මන්ත්‍රීවරුන් සපථ කරන ලෙස බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය කොළඹ මහනගර සභාවේ සිදුවූ දෙයට අදාලව අධිකරණයට දක්කාගෙන යාමට නම් සිතන තරම් පහසු විය නොහැකිය යන්නයි . හේතුව ආරම්භයේ සිටම රහස් ඡන්දයක් ඉල්ලා සිටි සමගි ජන බලවේගය ප්‍රමුඛ සෙසු කණ්ඩායම් හදිසියේ තම ස්ථාවරය වෙනස් කොට එක් රහස් ඡන්දයක් පමණක් පවත්වා නගරාධිපති තෝරා ගනිමු යැයි යෝජනා-ස්ථිර කිරීමයි. රෝයි බෝගහවත්ත නම් වියපත් , අත්දැකීම් සහිත සභිකයා එලෙස යෝජනා කළ අතර ඊට සභාවේ ඒකමතිකත්වය හිමිවිය. ඉදින් කොමසාරිස්වරිය කර ඇත්තේ සභාව කියූ දෙය මිස වෙන අන් කවරක්ද ? අඩු තරමින් අත් ඔසොවා තමන්ගේ බහුතරය පෙන්වා සිටියේනම් ඔවුන්ට රහස් ඡන්දයක් මඟින් ක්‍රමවේදය තෝරාගැනීමේ හැකියාව තිබුණි. ඒ වෙනුවට ඔවුන් කළේ පෙරදා රාත්‍රියේ සකස් කළ අස්සන් ලේඛනයක් පෙන්වීමයි . තමන් ඉදිරියේ අස්සන් නොකළ ලේඛනයක් පිළිගැනීමට නම් කොමසාරිස්වරියගේ සිහි බුද්ධිය අඩුවී තිබිය යුතුය. සැබවින්ම කොළඹදී සිදුවූ පැහැදිලි දුර්වලතාව නම් පළාත් පාලන කොමසාරිස්වරියගේ දුර්වල ප්‍රවේශය හා අත්දැකීම් අඩු කමයි . ඒ හැර වෙන අඩුවක් වූ බවක් නම් අප නොදුටුවෙමු. අඩු තරමේ රහස් ඡන්දයක් ගැන මඳ කැමැත්තකින් සිටි කොමසරිස්වරිය, ඉහත බෝගහවත්ත නාඩගම නිසා දැහැමෙන් සෙමෙන් සභා තොමෝ විසිරෙන තෙක් එහි රැඳී සිට පිටවීමට සමත් වූවාය.
එබැවිනි තෝමස් ජෙෆර්සන් නම් ඇමෙරිකාවේ සමාරම්භක නායකයා මෙලෙස පැවසුවේ."The price of democracy is eternal vigilance.", ''ප්‍රජාතන්ත්‍රවාදය බැබළෙනු ඇත්තේ අනවරත අවදියෙන් සිටින ජනී ජනයා නිසාය. එය අපි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගෙවා දැමිය යුතු ඉහළම මිලද වනු ඇත.''
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/52
---------------------------
by (2025-06-20 19:41:45)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි