-කෙහෙළිය සිය දිවි හානි කරගන්න තැත් කරලා
(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.27, පෙ.ව. 5.25) කෙහෙළියට සහ ඔහුගේ පවුලේ අයට එරෙහිව මහාධිකරණය විසින් එක් දිනක් තුල නඩු දෙකක් සඳහා අධි චෝදනා 55 ක් ඊයේ (26) බාර දෙන ලදී.
එක් නඩුවක් වන්නේ විස ඖෂධ නඩුවයි
හියුමන් ඉමියුනොග්ලොබියුලින් සහ රිටොප්සිමැප් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා 13ක් එල්ල කර තිබේ.
නීතිපති විසින් පවරා ඇති එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු හිටපු කැබිනට් ඇමතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද සහ රොෂාන් රණසිංහ නම් කර තිබේ. ඊට අමතරව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක් ද ඇතුලත් සම්පූර්ණ සාක්කි කරුවන් සංඛ්‍යාව 350 ක් පමණ වේ. නඩු භාණ්ඩ සංඛ්‍යාව ද 300 ක් පමණ වේ.
මෙම නඩුව මහජන වැදගත්කමක් සහිත නඩුකරයක් සේ සලකා එය විභාග කිරීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් මීට පෙර අගවිනිසුරු වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අගවිනිසුරු විසින් නම් කර ඇත.
අධි චෝදනා බාර දුන් අනෙකු නඩුව කෙහෙළිය ඇතුළු පවුලේ අයට එරෙහිව පවරන ලද නඩුුවයි.
වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි වීමේ චෝදනාව යටතේ කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිය, දියණියන් තිදෙනා සහ බෑනා ඇතුළු සිය පවුලට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඊයේ (26දා) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළේය.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිය වන කුසුම් ප්‍රියදර්ශනී ඈපා, දියණියන් තිදෙනා වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල, චන්දුලා රමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල සහ බෑනා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අය නම් කර ඇත.
මෙම විත්තිකරුවන්ට එරෙහිව 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ පනත යටතේ අධිචෝදනා 43 ක් යටතේ චෝදනා ගොනුකර ඇත.
2020 වසරේ අගෝස්තු මස 13දා සහ 2024 වසරේ ජූලි මස 24දා අතර කාලය තුළදී සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැතිවරයා වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස වත්කම් රැස්කිරීම සහ ආධාර අනුබල දීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරද සිදු කළ බවට චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම නඩු පවරා තිබේ.
මේ අතර වාර්තා වන්නේ පසුගියදා පවුලේ සියළු දෙනාම සමග රිමාන්ඩ් බන්ධනාගාරගත වී පසුදා ඇප ලබා ගෙදර ගිය කෙහෙළිය එදින රාත්‍රියේ දී සිය දිවි නැති කර ගැනීමේ අරමුණින් ඔහු ලබා ගන්නා ඖෂධ අධි ප්‍රමාණයකින් ලබා ගෙන ඇති බවයි. කෙසේ වෙතත් ඔහු බේරී තිබේ.
---------------------------
by (2025-06-27 00:19:00)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි