~

ජනාධිපතිගේ CLEAN SRILANKA ව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව DIRTY කරළා..! දූෂිත නිලධාරීන්ගේ නම් ගම් මෙන්න..!!

-සුනිල් ගාමිණී ජයලත්ගේ හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2025.සැප්.02, ප.ව‍.6.00) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන CLEAN SRILANKA වැඩසටහනේ මුඛ්‍යාර්ථය විනාශ කරමින්, රටේ ස්වාභාවික පරිසරයත් ජනතාවගේ ධනයත් දූෂණයට ලක් කරන අනීතික සහ නින්දිත වැඩසටහනක්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදු කරමින් සිටී.

2024 දෙසැම්බර් 19 වැනි දින සාමාජිකයන් 18 දෙනෙකුගෙන් යුතු ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරමින් ආරම්භ කළ CLEAN SRILANKA වැඩසටහන 2025 වසර තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත නව ව්‍යාපෘති ගණන 34 කි. රජය මේ සඳහා රුපියල් බිලියන පහක මුදලක් අය වැයෙන් වෙන් කර ගෙන තිබේ.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් දූෂිත වැඩපිළිවෙලක.....

මෙවැනි පසුබිමක් තිබියදීත්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ආශිර්වාදය ඇතිව එහි ඉහළ නිලධාරීන් පිරිසක් විසින් CLEAN SRILANKA වැඩසටහනට මුවා වී අන්ත දූෂිත වැඩපිළිවළක් ක්‍රියාවට නඟමින් සිටීම බරපතල ගැටලුවකි.

CLEAN SRILANKA වැඩසටහනට අනුව කුඩා වෙරළ උද්‍යානය 100 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 100 ක් වෙන් කර තිබේ. ඒ අනුව ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව වෙත, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව යවන ලද යෝජනාව වී ඇත්තේ කුඩා වෙරළ උද්‍යානය 85 කට ආසන්න ප්‍රමාණයක් ඉදිකරන බවය. ඒ සඳහා රුපියල් මිලියන 95 ක මුදලක් වැය වන බව දන්වා එම මුදල් වෙන්කරවා ගෙන ඇත.

වෙරළ උද්‍යානය ඉදිකිරීමේ මෙම ව්‍යාපෘතිය මේ වන විට ඉතා දූෂිත තත්ත්වයකට පත් වී තිබේ. විශේෂයෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල යෝජිත වෙරළ උද්‍යානය ඉදිකිරීමේ ව්‍යාපෘතිවල ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉතාමත් දූෂිත තත්ත්වයට පත් කරමින්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේම සේවයේ නියුතු නිළධාරින්ගේ කොන්ත්‍රාත් සමාගම් වලට කොන්ත්‍රාත් ලබාදීමේ ක්‍රියාවලියක් සිදු කොට ඇත.

ගාල්ල මහමෝදර වෙරළ උද්‍යානය ව්‍යාපෘතිය අන්ත දූෂිතයි...

ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට ක්‍රියාත්මක වන මහමෝදර සහ කොග්ගල වෙරළ උද්‍යානය ව්‍යාපෘතිය ලබා දී ඇත්තේ, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේම සේවය කරන කළුආරච්චි නමැති නිලධාරියාට අයත් ISULA CONSTRUCTION නම් වූ කොන්ත්‍රාත් සමාගමට ය.

මහමෝදර වෙරළ උද්‍යානය ව්‍යාපෘතියේ දූෂණ ක්‍රියාවලිය සිදු වී ඇත්තේ මෙසේය. ඇස්තමේන්තුවට අනුව මෙම වෙරළ උද්‍යානයේ බංකු ඉදිකිරීම සහ පැල සිටුවීම පළමුව සිදු කළ යුතුය. මේ සඳහා අනුමත කර ඇති මුදල රුපියල් මිලියන 3 කි. පළමු පියවරට අදාළව සිදු කළ යුතු බංකු ඉදිකිරීම සහ පැල සිටුවීම සිදු නොකොට, එම ස්ථානයේ ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයට මායිම්ව, වෙරළ පැත්තෙන් මේ වන විට ගල් බැම්මක් ඉඳිකරමින් තිබේ. (සේයාරූ වල දැක්වේ)

පුදුමයි ඒත් ඇත්තයි..

පුදුමයට කාරණය නම්, මෙම බැම්ම ඉදිකිරීම සිදුවන්නේ කිසිදු ඇස්තමේන්තු අනුමැතියක්, මිල ගණන් කැඳවීමක් හෝ කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීමකින් තොරව ය. අනෙක් අතට මෙම බැම්ම ඉදිකරන ස්ථානය මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ග සංරක්ෂණ කලාපයට අයත් වන්නකි. එවැනි ස්ථානයක ඉදිකිරීමක් සිදු කරන්නේ නම් ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ ලිඛිත අවසරය ලබාගත යුතුය. මෙම ලිපිය ලියන අද ( සැප්තැම්බර් 01) දිනය වනතුරු එවැනි ලිඛිත අවසරයක් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ඉදිකිරීම සිදු කරන පුද්ගලයන් හෝ ලබා ගෙන නොමැත. ඒ අනුව මෙම බැම්ම අනීතික ඉදිකිරීමකි. මේ අනීතික ඉදිකිරීමට රජයේ මුදල් ගෙවනු ලැබුවහොත් එය රජයේ මුදල් අවභාවිතා කිරීමක් බව නිසැක ය.

ඇස්තමේන්තු, මිල ගණන් කැඳවීම් සහ ප්‍රසම්පාදන ක්‍රියාවලි කිසිවක් නෑ ........

මහමෝදර වෙරළ උද්‍යානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය කිසිදු ඇස්තමේන්තුවක්, මිල ගණන් කැඳවීමක්, ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නොමැතිව මෙසේ සිදු කරන්නේ කාගේ බලපුලුවන්කාර කමකට දැයි පැහැදිලි නැත. කෙසේ නමුත් එකක් පැහැදිලිය. ඒ නම්, මේ බැම්ම ඉදිකිරීම අවසන් වූ පසු ඊට අදාළ මුදල්, අදාල කොන්ත්‍රාත් සමාගමට ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු කිසිදු ගැටලුවකින් තොරව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලවා සිදු කරගත හැකි බවට මේ දූෂිත ක්‍රියාව පිටුපස සිටින නිලධාරීන් දන්නා බව ය.

ලංකාව පුරා ඉදිකිරීමට නියමිත වෙරළ උද්‍යානය 85 ට ම වෙන් වී ඇත්තේ රුපියල් මිලියන 95 කි. උතුරේ සහ නැගෙනහිර පළාත්වල ඉදිකරමින් ඇති වෙරළ උද්‍යානය සඳහා ඒ පළාත් වල ඇති වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලය ඇස්තමේන්තු, මිල ගණන් කැඳවීම සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නියමිත පරිදි සිදු කොට ඇත්තේ උපරිම වශයෙන් රුපියල් මිලියන 3 - 4 අතර මුදලක් වැය වන පරිදිය. නමුත් ගාල්ල සහ මාතර කාර්යාලය වලට එසේ කිරීමට නොහැකි වී තිබේ. මහමෝදර වෙරළ උද්‍යානය ඉඳිකිරීමේ ව්‍යාපෘතිය අවසාන වන විට ඒ සඳහා අඩුම තරමින් රුපියල් මිලියන 16 ක් 17 ක් තරම් මුදලක් වැය වීමට නියමිතව ඇත. මේවා සහගහන අපරාධ බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ හොරා කන්නට සූදානම් වන්නේ ජනතාවගේ බදු මුදල් ය.

හරිත සංකල්පය කෝ, ඉදිකිරීම් කොන්ත්‍රාත්වලින් ගසාකෑම්......

කුඩා වෙරළ උද්‍යානය ඉදිකිරීමේ සංකල්පය, හරිත සංකල්පයක් ලෙස ඉදිරිපත් වී ඇති පසුබිමක, මේ ආකාරයට ගල් බැමි ඉදිකිරීම සිදුවන්නේ කෙසේ දැයි හිතාගත නො හැකිය.

අනෙක් අතට මහමෝදර ඉදිවෙන මෙම බැම්ම අත්‍යාවශ්‍ය නොවන ඉදිකිරීමක් බව ඉතා පැහැදිලිය. එසේ තිබියදීත් මෙවැනි ඉදිකිරීම් සිදුවන්නේ දූෂිත නිලධාරීන්ගේ උවමනාව සපුරා ගැනීම සඳහා පමණය. මෙවැනි ඉදිකිරීම් කොන්ත්‍රාත්, මෙම නිලධාරීන් ලබා දෙන්නේ තමන්ගේ හිතවත් සමාගම් වලට ය. එමඟින් මෙම දූෂිත නිලධාරීන් රජයේ මුදල් ගසා කෑමට හුරු පුරුදු වී සිටිති.

දූෂිත නිලධාරීන්ගේ නම් ගම් මෙන්න..

මහමෝදර වෙරළ උද්‍යානය ව්‍යාපෘතියට මුවා වී සිදු කරන මෙම දූෂිත ක්‍රියාව පිටුපස සිටින්නේ, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන W. K. G. පුෂ්ප කුමාර යන අය බවත්, මොහුගේ මෙම දූෂිත ක්‍රියාවන්ට රැකවරණය ලබා දෙන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර යන අය බවත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු බොහෝ නිලධාරීන් සහ සේවකයෝ දනිති.

ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ පුෂ්ප කුමාර නමැත්තා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කුළුපග දේශපාලන මිතුරෙකු ලෙස පෙනී සිටිමින් හැසිරෙන බවත්, ජනාධිපතිවරයා දකුණු පළාතේ යන එන අවස්ථාවලදී කෑම කන්නේ තමන්ගේ නිවසෙන් බව, ඔහු නිතර දෙවේලේ පවසන බවත් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සේවකයෝ පවසති. එසේම වත්මන් අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාරව එම තනතුරට පත් කර ගැනීමට තමන් මැදිහත් වූ බවත් පුෂ්ප කුමාර නමැත්තා පවසන බව ද දෙපාර්තමේන්තු සේවකයෝ කියති.

ඉංජීනේරුවරයකු නැති වෙරළ සංරක්ෂණයේ එකම කාර්යාලය.......

සාමාන්‍යයෙන් ප්‍රාදේශීය කාර්යාලයක ආයතන ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ ප්‍රාදේශීය ඉංජිනේරුවරයා ය. නමුත් ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ සහකාර අධ්‍යක්ෂ ලෙස සිටින පුෂ්ප කුමාර නමැත්තා ය. ඊට හේතුව ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ ඉංජිනේරුවරයෙකු සේවය නොකරන නිසාය.    වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉංජීනේරුවරයකු නොමැති එකම ප්‍රාදේශිය කාර්යාලය ගාල්ල ය. මීට පෙර සේවය කළ ඉංජිනේරුවාට අධ්‍යක්ෂ ජනරාල්වරයා ලවා වෙනත් තැනකට ස්ථාන මාරුකර ලබා දී ඇත්තේ පුෂ්ප කුමාර නමැත්තා විසින් බව කියැවේ. ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ ඉංජිනේරුවරයකු නොමැති නිසා මේ වන විට එහි ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ පුෂ්ප කුමාර ය. 

අන්ත දූෂිත ආයතනයක් බවට ප්‍රචලිත වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ දූෂිත භාවයෙන් මිදෙනු ඇතැයි යන විශ්වාසය එම දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සේවකයෝ විශ්වාස කළෝය. නමුත් දැන් සිදු වෙමින් පවතින්නේ ඔවුන් කිසි විටෙක බලාපොරොත්තු නොවූ දෙයකි. මේ තත්ත්වය යටතේ මෙම ආයතනයේ සේවය කරන අදූෂිත සහ අවංක නිලධාරීන් සහ සෙසු සේවකයෝ අතිශය ලෙස කලකිරීමට පත් වී තිබේ. 

ජනාධිපති කාර්ය සාධක බලකායවත් මේ ගැන සොයා බලන්න.......

මෙම ආයතනය භාරව සිටින ඇමැතිවරයා සහ නියෝජ්‍ය ඇමැතිවරයා, ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන නිසා මෙම ආයතනය පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකරනවා විය හැකිය. නමුත් මේ ආකාරයට මෙම ආයතනයේ වැඩ සිදුවන්නට තව දුරටත් ඉඩ හැරීමෙන් ආයතනයට, ඇමැතිවරුන්ට, පමණක් නොව සමස්ත ආණ්ඩුවටම සිදු වන්නේ අපකීර්තියට පත් වීමට ය.

ඇමැතිවරුන්ට මේ ගැන සොයා බැලීමට නොහැකි නම් අපහසු නම්, ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර හෝ නැති නම් අඩුම තරමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් මැදිහත් වී හෝ මේ දූෂිත ක්‍රියාව වහාම නතර කිරීමට කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

-සුනිල් ගාමිණී ජයලත්ගේ

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/106

---------------------------
by     (2025-09-02 12:44:49)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links